Home » මිතුරන්ගේ බිරින්දෑවරුන්ට පෙම් කළ යක්කල ගිටාර් වාදකයාට අත්වූ අනූවේදනීය ඉරණම

මිතුරන්ගේ බිරින්දෑවරුන්ට පෙම් කළ යක්කල ගිටාර් වාදකයාට අත්වූ අනූවේදනීය ඉරණම

by thanushika
August 24, 2024 12:30 am 0 comment

කෙනෙකුගේ ජීවන පැවැත්මද ඇතැම් අවස්ථාවල ඔහුගේ හෝ ඇයගේ ජීවන ගමනේ ඉරණම තීන්දු කරන ප්‍රධානතම සාධකයකි. ඇතැමුන් සමාජය ඉදිරියේ සාන්තුවරයන් සේ පෙනී සිටියද ඔවුනගේ ජීවිතවල ඇතුළාන්තය හාරා අවුස්සද්දී පෙනී යන්නේ ඔවුන් සිදු කරන්නේම සමාජ විරෝධී ක්‍රියා බවය. කෙසේ හෝ කෙනෙකුගේ ජීවන පැවැත්ම කෙතරම් සමාජ විරෝධී ද, විෂමාචාර ද මත්ද්‍රව්‍යයට ලොල් වූවෙක් ද එසේත් නැතිනම් මත් ජාවාරම්කාරයෙක් ද, ස්ත්‍රී ලෝලියෙක් ද යන්න හෙළි වුවද එම පුද්ගලයාට එරෙහිව නීතිය අතට ගෙන ඔහුට දඬුවම් කිරීමට කිසිවකුට අයිතියක් නැත.

එවැනි පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව කටයුතු කළ යුත්තේ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියට පමුණුවීමෙන් පසුවය.

එහෙත් ඉකුත් දා ගම්පහ පොලිසියෙන් වාර්තා වූයේ එලෙස නීතිය අතට ගෙන කටයුතු කළ තරුණයන් දෙදෙනෙකු නිසා සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තරුණයකුට අත්වූ ඛේදනීය ඉරණමක් ගැන කතාන්දරයකි.

ගම්පහ, යක්කල ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගිය 39 හැවිරිදි සුරංග සිල්වාගේ මළසිරුර අත්තනගලු ඔයේ අතු ගංගාවක තිබී හමුවීමත් සමඟ එතෙක් දින තුනක කාලයක් අතුරුදන්ව සිටි ඔහුට සිදුවූ ශෝචනීය ඉරණම අනාවරණය විය. එහෙත් සුරංගට එම අපරාධය සිදුකළේ කවුරුන්ද යන්න අනාවරණය වූයේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී. ගරුසිංහ ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයෙන් පසු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආකාරය මෙන්ම සුරංගට අත්වූ ඉරණම අනාවරණය කරගත් පොලිස් විමර්ශනය ගම්පහ මූලස්ථාන පොලිසියේ පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

ගලප්පත්ති ගුරුගේ සුරංග ප්‍රතාපල සිල්වා 40 හැවිරිදිය. විවාහකයකු වූ සුරංග ගම්පහ, බැලුම්මහර, මුදුන්ගොඩ, නොම්මර 413/57 ලිපිනයේ පදිංචිව සිටියේය. සුරංග සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යමින් එහි ලීඩ් ගිටාර් වාදකයා මෙන්ම ගායකයකු ලෙස කටයුතු කළේය.

ඉකුත් අගෝස්තු 2 වැනිදා සවස් යාමයේ තමාගේ නිල් පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් නිවසින් පිටව ගිය සුරංග නැවත නිවසට නොපැමිණියේය. පසුදා එනම් 3 වැනිදාට පහන් විය. එදින සුරංග ගැන තොරතුරක් නොවූ හෙයින් එදින පෙරවරුවේ සුරංගගේ බිරිය ඉමේෂා මධුෂානි සුරංගගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කිරීමට ගියේ යක්කල පොලිසියටය. ඇය යක්කල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධරයන් හමුවී කියන්නේ තම සැමියා දෙවැනිදා සවස් යාමයේ නිවසින් ගිය පසු මේ වනතුරු තොරතුරක් නැති බවය.

එම පැමිණිල්ල පිළිබඳව යක්කල පොලිස් ස්ථානාධිපති අතුල ගමගේ ගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ඇරැඹිණි. එලෙස යක්කල පොලිසිය සුරංගගේ ආගිය අතක් නොමැති වීම ගැන විමර්ශන සිදු කරද්දී යක්කල පොලිසියට ආසන්න පොලිස් ස්ථානයක් වන ගම්පහ මූලස්ථාන පොලිසියට 5 වැනිදා සවස් යාමයේ දුරකතන ඇමැතුමක් ලැබිණි.

“සර්… බෙම්මුල්ලේ මෝරුපොළ තියෙන අත්තනගලු ඔයේ අතු ගංගාවේ මැරිච්ච මනුස්සයෙකුගේ මිනියක් පාවෙනවා…“ යැයි ගම්පහ මූලස්ථාන පොලිසියට ලද එම දුරකතන ඇමැතුම දුන් පුද්ගලයා එලෙස පොලිසිය දැනුම්වත් කළේය.

ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ මෙහෙයවීමෙන් ගම්පහ මූලස්ථාන පොලිස් වසමට අයත් එම ස්ථානය සොයා ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ගරුසිංහ ඇතුළු කණ්ඩායමක් සැණින් එම ස්ථානයට ගියේය. පොලිස් නිලධාරි කණ්ඩායම එම ස්ථානයට යන විට පොලිසිය දැනුම්වත් කළ පුද්ගලයා කී තොරතුර නිවැරැදි බව පෙනිණි. හඳුනා ගැනීමට නොහැකි ලෙස ඉදිමී දුර්වර්ණ වූ මළසිරුරක් එම අතු ගංගාවේ පාවෙමින් තිබිණි.

ඒ අනුව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා විසින් තම පොලිස් වසමෙන් හමුවූ එම නාඳුනන මළසිරුර පිළිබඳ ප්‍ර දේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමෙන් පසු එම නිලධාරින්ගේ ද උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ද එම නාඳුනන මළසිරුර පිළිබඳව කරුණු වාර්තා කිරීමත් සමඟ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මළසිරුර පරීක්ෂා කරන ලදී.

ගම්පහ රෝහලට ගෙන ගිය එම මළසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් අගෝස්තු 6 වැනිදා ගම්පහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ඩී.එස්. ගංගහවත්තේ මහත්මිය විසින් සිදුකළ අතර එකී පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලෙස විවෘත තීන්දුවක් ලබා දුන්නේ පොලිස් විමර්ශන සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස සඳහන් කරමිනි. ගම්පහ මූලස්ථාන පොලිසිය විසින් සොයාගත් එම නාඳුනන මළසිරුර ගැන රටේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමත් සමඟ යක්කල පොලිස් ස්ථානයට අගෝස්තු 3 වැනිදා අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී තිබූ සුරංග නමැත්තාගේ බිරිය ඇතුළු ඥාතින්ද එම මළසිරුර පිළිබඳව දැනුම්වත් කෙරිණි.

ඒ අනුව සුරංගගේ බිරිය සහ ඥාතින් ගම්පහ රෝහලට පැමිණ එම නාඳුනන මළසිරුර සෝදිසි කර බැලීය. ඒ වන විට මළසිරුර දුර්වර්ණ වී තිබිණි. එහෙත් සුරංගගේ බිරිය විසින් සුරංගගේ දකුණු අතේ කොටා තිබූ ටැටූ එකක් මඟින් එතෙක් නාඳුනන මළසිරුරක් ලෙස සඳහන්ව තිබූ එම මළසිරුර තම සැමියාගේ බවට හඳුනාගත්තාය.

මළසිරුර සුරංගගේ බවට හඳුනාගැනීමත් සමඟ යක්කල පොලිසිය ද විමර්ශනවලට එක්වෙද්දී ගම්පහ මූලස්ථාන පොලිසියේ විමර්ශන නිලධාරින් සුරංග ගැන සෝදිසි කොට බලද්දී ඔහුගේ අනියම් සබඳතා කීපයක් ගැනම තොරතුරු අනාවරණය කරගත්තේය. ඒ අතරේ ඔහුගේ අනියම් පෙම්වතියන් තිදෙ­‍ෙනක් ගැන වාර්තා වීමත් සමඟ විමර්ශන සිදුකළ ගම්පහ පොලිස් නිලධාරින් එම කාන්තාවන්ද පොලිසියට කැඳවා ප්‍රශ්න කරන්නට විය. එහිදී එක් කාන්තාවකගේ පියා සමඟ ද සුරංග පසුගිය දිනෙක ආරවුලකට පැටළී තිබූ බව පොලිසිය අනාවරණය කරගත්තේය. එහෙත් එය දුරදිග ගොස් තිබූ ආරවුලක් නොවීය. ඒ අතරේ පොලිසියට සැලවූයේ කලක් සුරංගගේ සංගීත කණ්ඩායමේ සිටි ව්‍යාපාරිකයකු වන ඔහුගේ හිතමිතුරකුගේ බිරියක සමඟ ද සුරංග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බවය.

ඒ සුරංගගේ මිතුරකු වන ප්‍රසාද් නමැත්තාගේ බිරිය සමඟය. විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තේ එම අනියම් ඇසුර නිසා ප්‍රසාද්ගේ බිරිය මීට මාසයකට පමණ පෙරදී ප්‍රසාද් සමඟ ආරවුලක් ඇතිවී නිවසෙන් ද පිටව ගොස් සිටි බවයි. පොලිස් නිලධාරින් ප්‍රසාද් ගැනද සෝදිසි කරන්නට විය. ප්‍රසාද් යක්කල පොලිස් වසමේ ග්‍රීන්පාත්හි පදිංචිකරුවෙකි. 39 හැවිරිදි ප්‍රසාද් ත්‍රිරෝද රථ ‘ස්පෙයාර් පාට්ස්‘වෙළෙඳාමේ ව්‍යාපාරයක නිරත වන්නෙකි. සුරංගගේ මරණය ගැන වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලින් පසු සැකපිට ඉකුත් 8 වැනිදා ප්‍රසාද් චන්දිම විදානගේ නමැති එම ව්‍යාපාරිකයා ගම්පහ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් ප්‍රසාද්ගෙන් දිගින් දිගටම සුරංගගේ මරණය පිළිබඳ ප්‍රශ්න කෙරිණි. එලෙස ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ සුරංගගේ මරණයේ බොහෝ තොරතුරු අනාවරණය වන්නට වූයේ තවත් පුද්ගලයකු ගැන ද හෙළිදරව් වෙමිනි. එම පුද්ගලයා රනිල් නමැත්තෙකි. 45 හැවිරිදි රනිල් ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ රැකියාවේ නිරතව සිටි අයෙකි. ඔහු යක්කල, ඉඹුල්ගොඩ නුවර – කොළඹ මාර්ගයේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් හෙවත් ගරාජයක් පවත්වාගෙන ගිය අයෙකි. විවාහකයකු වන රනිල් දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු ආසිරි මාවත, බැලුම්මහර ලිපිනයේ පදිංචිව සිටියේය. රනිල් ද සුරංගගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනුණේ පොලිසිය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි.

දෙදෙනාගෙන් ප්‍රශ්න කරද්දී සුරංගගේ අබිරහස් මරණය සිදුවූ ආකාරයත් එය රනිල් සහ ප්‍රසාද් එක්ව සිදුකළ ආකාරය ද අනාවරණය කරගැනීමට පොලිස් නිලධාරින්ට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“ඇයි තමුන්ලා… තමන්ගේම යාළුවා… සුරංග මැරුවේ…“ විමර්ශන නිලධාරියෙක් එලෙස ප්‍රශ්න කෙළේ සැකකරුවන් දෙදෙනාගෙනි.

එහෙත් දෙදෙනා නිහඬය. අනතුරුව ගැලවීමක් නොමැති බව දත් දෙදෙනා සුරංගගේ ඝාතනයේ සියලු තතු හෙළි කළේ වරදක් කළහොත් නීතියෙන් ගැලවීමක් නොමැති වග පසක් කරමිනි. දෙදෙනාගේ පාපෝච්චාරණ අනුව සුරංගගේ ඝාතනයේ සියලු තතු හෙළි වන්නේ මෙලෙසිනි.

සුරංග, ප්‍රසාද් සහ රනිල් නිතරම පාහේ එකටම සිටි මිතුරන් තිදෙනෙකි. සුරංග සංගීතයට ලැදි අයෙකි. ඔහු පවත්වාගෙන ගිය සංගීත කණ්ඩායමේ කලක් ප්‍රසාද්ද වාදකයකු මෙන්ම ගායකයකු ද විය.

දැඩි සේ කාන්තා ඇසුර ප්‍රිය කළ සුරංග පසුගිය කාලයේ ප්‍රසාද්ගේ බිරිය සමඟ ද අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි. එය ප්‍රසාද් ද දැන සිටියේය. එහෙත් එම ඇසුර නිසා ප්‍රසාද් සහ සුරංගගේ මිතුරු ඇසුර නතර වූයේ නැත.

දිනය ඉකුත් අගෝස්තු 2 වැනිදාය. එදින සවස් යාමයේ ප්‍රසාද් රනිල්ගේ ගරාජයට ගියේය. අනතුරුව දෙදෙනා එක්ව බීර පානය කළෝය. බීර පානය කළ ද රනිල් ‘වැඩ‘ කරමින් සිටි අතර ඔහුගේ ගෝලයා ද ග්‍රයින්ඩරය ක්‍රියාත්මක කරමින් කිසියම් කාර්යයක නිරතව සිටියේය. ඒ මොහොතේ ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් ගරාජයට පැමිණියේ සුරංගය. එලෙස පැමිණි සුරංග සහ ප්‍රසාද් මඳක් ‘උස් හඬින්‘ කතාබහක නිරතව සිටියේ සුරංගගේ අනියම් ඇසුරේ ප්‍රතිඵල නිසාවෙනි. ගරාජය තුළ එලෙස දෙදෙනා ආරවුලකට මෙන් කතාබහක් සිදුවෙද්දී ගරාජයේ වැඩ කරමින් සිටි රනිල් ද ඊට මැදිහත් විය.

“උඹලා දෙන්නගේ ප්‍රශ්න උඹලා දෙන්නා බේරගනින්… හැබැයි මෙතන කෑගහන්න එපා… වෙන තැනකට ගිහින් ඕන දෙයක් කතා කරගනින්…“ යැයි රනිල් ද දෙදෙනාට දොස් කියන්නට වූයේ උස් හඬිනි.

රනිල්ට ද සුරංග සමඟ කෝන්තරයක් තිබිණි. ඒ වරක් සුරංග, දියණියන් තිදෙනෙකුගේ මවක වන රනිල්ගේ බිරියගේ ද අතින් ඇදීම නිසා වූ ආරවුලක් හේතුවෙනි. ඒ අවස්ථාවේ රනිල් විසින් සුරංගට අවවාද කර තිබුණේ, “සුරංග ජරා වැඩ කරන්න එපා… මගේ ගෑනි ගෑනු දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්…“ යැයි පවසමිනි.

කෙසේ හෝ රනිල් ‘වැඩ‘ කරන අතරේ සුරංගට සහ ප්‍රසාද්ට බහින්බස් වීම නතර කරන ලෙස පැවසුවද එය ඉවරයක් නොවීය. අනතුරුව ඔහු කේන්තිය ඉහවහා ගොස් දෙදෙනා අසලටම ගොස් නෝක්කාඩු කියද්දී, සුරංග ක්ෂණයෙන් අසැබි වචනයක් ද කියමින් රනිල්ගේ ඇඟට කඩා පැන්නේය.

ඒ සමඟම ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ රනිල් අසල තිබූ ත්‍රිරෝද රථයක ‘කික් පොල්ලක්‘ ගෙන සුරංගට තඩි බෑවේ දෙවරක් නොසිතමිනි. එම පහර දීමෙන් සුරංග එම ස්ථානයේම ඇද වැටුණු අතර බිම වැටි සිටි සුරංගට රනිල් විසින් තවත් පහරක් ගැසීය. සැණින් ක්‍රියාත්මක වූ රනිල් ඒ වන විට ගරාජයේ වැඩ කරමින් සිටි ගෝලයා අජිත් කුමාර අසලට ගොස් ඔහුට වැටුප් දී ‘වැඩ කළා ඇති… දැන් යන්නැ‘යි කියා ඔහු ගරාජයෙන් පිටමං කළේය.

ඒ වන විට සුරංග බිම වැටි සිටියේය.

“ඒයි… ප්‍රසාද්… උඹත් මූට ගහපන්…“ යැයි පවසමින් රනිල් සුරංගට පහර දුන් ‘කික් පොල්ල‘ ප්‍රසාද්ට දුන්නේය. අනතුරුව ප්‍රසාද් ද එම පොල්ලෙන් සුරංගට පහර කීපයක් එල්ල කෙළේය. ඒ වන විට වේලාව රාත්‍රී 7ට පමණ විය. දෙදෙනාගේ පහර දීමෙන් මියගොස් සිටි සුරංගගේ සිරුර දෙදෙනා එක්ව ඉටි කවරයකට බහාලීය. එලෙස සිරුර ගරාජය තුළ තිබියදී නැවත දෙදෙනා ආසන්න මත්පැන් අලෙවිසලකට ගොස් බීර රැගෙන ආවේය. එලෙස ගෙන ආ බීර කෑන්වලින් එකක් යාබද අන්නාසි වෙළෙඳසලේ සිටි වයස්ගත පුද්ගලයාට ද දුන්නේය.

එම බීර කෑනය පානය කළ එම වැඩිහිටි පුද්ගලයා රාත්‍රී 8ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය අතර ඒ වන විට එම පුද්ගලයා ගරාජයේ සිදුවූ කිසිවක් දැන සිටියේ නැත. ඔහු පිටව ගිය සැණින් ක්‍රියාත්මක වූ දෙදෙනා ගරාජයට අලුත්වැඩියාවකට පැමිණ තිබූ ‘එව්රි‘ වර්ගයේ ලොරි රථයට සුරංගගේ සිරුර පැටවීය. ඒ සමඟම සුරංග පැමිණි යතුරුපැදිය ද ලොරියට පැටවීය. අනතුරුව දෙදෙනා එම මළසිරුර සහ යතුරුපැදිය දැමීමට තැනක් සොයමින් කරක් ගැසූහ. පසුව දෙදෙනා පැමිණියේ ගම්පහ පොලිස් වසමට අයත් බෙම්මුල්ල මෝරුපොළ සුදු පාලම අසලටය. එම ස්ථානයෙන් ගලා යන්නේ අත්තනගලු ඔයේ අතු ගංගාවකි. කිඹුලන් ද සිටින එම අතු ගංගාව සුරංගගේ සිරුර දැමීමට හොඳම ස්ථානය යැයි තීන්දු කළ දෙදෙනා කිසිවකුට නොපෙනෙන සේ කල් යල් බලා සුරංගගේ මළසිරුර එම අතු ගංගාවට දැමුවේ කිඹුලන්ට කෑමේ අටියෙනි. එසේම යතුරුපැදිය ද එම ස්ථානයේ දමා එම ස්ථානයෙන් පිටව ගිය දෙදෙනා සුරංගගේ මුදල් පසුම්බිය ගරාජය තුළම පුලුස්සා දැමීය.

පසුව දෙදෙනා ගියේ ප්‍රසාද්ගේ නිවසටය. එම නිවසට ගොස් දෙදෙනා නැවත මත්පැන් පානය කරන්නට විය.

“සර්… ඊට පස්සේ අපි දෙන්නා කරන්නම දෙයක් නැති නිසා පහුවදා පාන්දරම ලොරියෙන් අනුරාධපුරේ ගියා… ඒ ගිහින් එදාම ආවා…“ යැයි දෙදෙනා පැවසූහ.

එසේ පැමිණ සිටියදී 8 වැනිදා සිය නිවසේ සිටියදී ප්‍රසාද් අත්අඩංගුවට ගත් අතර රනිල් අත්අඩංගුවට ගැනුණේ 9 වැනිදාය.

දෙදෙනාගේ පාපෝච්චාරණ අනුව සුරංගගේ යතුරුපැදිය ද බෙම්මුල්ලේ සුදු පාලම යට ඇළේ තිබී පොලිසිය විසින් සොයා ගැනුණේ නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවමිනි. අනතුරුව මෙම ඝාතනය සම්බන්ධයෙන් රනිල්ගේ ගෝල අජිත් කුමාරගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තේය.

ඔහු පොලිසියට කීවේ, “සර්… සුරංග ඔය කියන දවසේ ගරාජ් එකට එනවා මං දැක්කා… ඒ වගේම එයා වැටිලා ඉන්නවත් මං දැක්කා… ඒ වෙලාවේ තමයි මට පඩි දීලා යැව්වේ…“ යැයි කියාය.

සුරංගගේ ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය විසින් එලෙස අත්අඩංගුවට ගත් ප්‍රසාද් සහ රනිල් වැඩිදුර විමර්ශන සඳහා යක්කල පොලිසිය වෙත භාර කෙරිණි. ඒ සමඟම යක්කල පොලිසිය විසින් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය සහ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායකගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ගරුසිංහ සහ සැරයන්වරුන් වන 12839 රොෂාන්, 32795 ප්‍රේමලාල්, කාන්තා පොලිස් සැරයන් 4545 මංජුලා, කොස්තාපල්වරුන් වන 75444 ලියනගේ 83458 මධුෂංක, 39627 මාලින්ද, 102429 බණ්ඩාර සහ කොස්තාපල් රියැදුරු 80851 ජයසිංහ යන නිලධරයෝ විමර්ශනවලට එක් වූහ.

ඡායාරූප – සිසිල ගුණතිලක

– ගම්පහ දිස්ත්‍රික් විශේෂ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division