Home » දුම්කොළේ තිස්දාහයි හිරගෙදරට යන හැටි මාරයි

දුම්කොළේ තිස්දාහයි හිරගෙදරට යන හැටි මාරයි

by thanushika
August 24, 2024 12:30 am 0 comment

තහනම් භාණ්ඩවලට හිරගෙදර ඇතුළෙන් ඇත්තේ පුදුමාකාර ඉල්ලුමක් බව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය, සිගරැට්, දුම්කොළ, ජංගම දුරකතන, චාජර්, සිම්පත්, ජංගම දුරකතන බැටරි ඉතා විශාල මිලකට සිරගෙදර ඇතුළතදී අලෙවි වන බව රහසක් නොවේ.

හිරගෙදරට තහනම් භාණ්ඩ ඇතුළට යැවීම සඳහාම හුරුපුරුදුව සිටින අය ද නැත්තේම නැත. ඒ, ඒ සඳහා ඔවුන්ට විශාල මුදලක් ද ලැබෙන බැවිනි. ‘සුළු වරද’ සඳහා පොලිසියට හසුවී දඩ මුදල් ගෙවාගත නොහැකි අය ලෙස හැසිරී බන්ධනාගාරගත වන මොවුහු ඉතා සංවිධානාත්මකව සිය සිරුරේ සඟවාගෙන ඇතුළට ගෙන යන තහනම් භාණ්ඩ බන්ධනාගාර රැඳවියන්ට අලෙවි කර ලොකු මුදලක් සොයා ගනිති. එවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන් දෙදෙනෙක් හෝමාගම පොලිසියේ නිලධරයන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ බව ද වාර්තා විය.

මෙලෙස සුළු වරදකට හසුවී දඩ මුදල් ගෙවාගත නොහැකි ලෙස හඟවා බන්ධනාගාරගත වන සංවිධානාත්මක පුද්ගලයන් තම සිරුරු තුළ සඟවා වැඩිපුරම රැගෙන යන්නේ හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය, කුඩා ජංගම දුරකතන බැටරි සහ චාජර්ය. ඒවාට ඇතුළේදී නියම වී ඇති මිල හිතා ගැනීමට ද බැරි තරම්ය.

බන්ධනාගාර අවට රැඳී සිටිමින් තාප්පවලට උඩින් මත්ද්‍රව්‍ය සහිත ටෙනිස් බෝල විසි කර ඒවා රැඳවූවන් අතට පත් කිරීමේ ජාවාරමක් ද පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අතර රැඳවූවන් බැලීමට එන අය ඔවුනට ගෙන එන ආහාර පාර්සල් අස්සේ සඟවා මත්ද්‍රව්‍ය ලබාදීමද කාලයක් සිදු කෙරිණි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බන්ධනාගාර නිලධාරීන්, බුද්ධි අංශ එක දිගට සිදු කරන ලද විමර්ශන නිසා රැඳවූවන් අතට තහනම් බඩු පත්කිරීමේ ජාවාරම අඩාළ වූ අතර යුක්තිය මෙහෙයුමේ එක් පැතිකඩක් ලෙස බන්ධනාගාර රැඳවූවන්ට තහනම් බඩු ලබාදීමේ ජාවාරම් සම්බන්ධ විමර්ශන ද ක්‍රියාත්මක විය. විශේෂයෙන් සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්, කුලී ඝාතකයින් රඳවා සිටින බන්ධනාගාර අවට විශේෂ පුහුණුවලත් පොලිස් කණ්ඩායම් රඳවා අදාළ රැඳවූවන් රහසේ සඟවාගෙන සිටින ජංගම දුරකතනවලින් පිටත සිටින සිය සගයන් සමඟ කරන කතාබහට බාධා කිරීමට ද විශේෂයෙන් සිදු වූයේ අපරාධ අඩු කිරීම සඳහාය.

බන්ධනාගාර රැඳවූවන්ට තහනම් බඩු අතර දුම්කොළයට ද ලොකු තැනක් ලැබී ඇති බව හෙළිවන්නේ පසුගියදාය. ඒ මැගසින් බන්ධනාගාරය ඇතුළේ දුම්කොළයකට රුපියල් 30,000ක මිලක් නියම වී ඇති බව හෙළිවීමත් සමඟය. එම බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමකවරයකු සිය සපත්තුවේ සඟවාගෙන ගිය දුම්කොළයක් පසුගියදා සොයා ගැනුණු අතර සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩ තහනමකට ලක් කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන් සිදු කරන ලද විමර්ශනයේදී හෙළි වන්නේ ‘ඊසි කෑෂ්’ මඟින් දුම්කොළ ජාවාරම සිදුවන බවය. බන්ධනාගාර හදිසි උපක්‍රමික සහ ප්‍රතිචාර අංශයේ නිලධාරීන් විසින් සැකකාර බන්ධනාගාර නිලධරයා සෝදිසි කරන ලද්දේ ලැබී තිබුණු තොරතුරු නිසාය. එහිදී ඔහුගේ පාවහන් යුගල පතුලෙන් දුම්කොළය සොයා ගැනිණි. මෙහි විශේෂත්වය වන්නේ අදාළ බන්ධනාගාර නිලධරයා තිස් වසරක සේවා කාලයක් ඇත්තෙක් වීමය. ඔහු ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට ද තොරතුරු හෙළි විය.

මේ අතර මෙලෙසම මීගමුව බන්ධනාගාරය ඇතුළට දුම්කොළ ගෙන ගිය තවත් බන්ධනාගාර නියාමකවරයකු මීගමුව බන්ධනාගාරයේම නිලධරයන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු දුම්කොළ ඉරුවක් සඟවාගෙන බන්ධනාගාරය ඇතුළට ගෙන යාමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන තිබුණේ එහි ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරත බන්ධනාගාර නිලධාරීන් විසිනි.

සැකකාර බන්ධනාගාර නිලධරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරිණි. ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ බන්ධනාගාර නිලධරයාගේ වැඩ තහනම් කිරීම සඳහා බන්ධනාගාර මූලස්ථානයට මීගමුව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දැනුම් දී තිබුණි. අදාළ බන්ධනාගාරයේ රැඳවූවන් අතර දුම්කොළයකට නියම වී ඇති මුදල රුපියල් 40,000 ක් පමණ වන බව ද දැන ගැනීමට ඇත. මේ අනුව දින 5ක් ඇතුළත වැලිකඩ මැගසින් සහ මීගමුව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු රැඳවූවන්ට තහනම් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී හසුවීම කතාබහට ලක්වී ඇත්තේය.

මේ අතර වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටින චීන ජාතිකයන් පිරිසක් බැලීමට පැමිණ සිටි චීන ජාතිකයන් තිදෙනෙකු ඔවුනට දීමට ගෙන ආ නූඩ්ල්ස් පැකට් දෙකක තිබී රුපියල් ලක්ෂයක මුදල් සහ දුම්කොළ කුඩු තොගයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගනු ලබන්නේ පසුගියදාය. වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටින චීන ජාතිකයන් එකොළොස් දෙනෙකු බැලීම සඳහා මේ චීනුන් තිදෙනා එහි පැමිණ ඇති බව ද හෙළි විය.

සැකකාර චීනුන් තිදෙනා ගෙනා ආ නූඩ්ල්ස් පැකට් දෙක කඩා බලන විට ඒ අතරේ රුපියල් පන්දහසේ නෝට්ටු 2 ක් සහ දුම්කොළ කුඩු තිබී ඇති බව ද අනාවරණය විය. සැකකාර චීනුන් තිදෙනා මුදල් සහ දුම්කොළ කුඩු වැඩිදුර පරීක්ෂණ සඳහා වාරියපොළ පොලිසියට භාරදීමට බන්ධනාගාර නිලධරයෝ පියවර ගත්හ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක්ස් සහ ජී වාට්ටුවල සිදු කරන ලද සෝදිසියකදී ජංගම දුරකතන 5ක් සහ උපාංග රැසක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධරයන්ට හැකි වී තිබුණේ පසුගියදාය. මෙම අංශයේ රැඳවූවන්ගේ තදබදය වැඩි වී ඇති අතර තහනම් උපකරණ භාවිතාවට එය ද එක් හේතුවක් වී ඇති බව ද දැනගැනීමට ඇත. මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වුවන් සහ මත්ලෝලී කතුන් ඇතුළු 800ක් පමණ මේ වන විට එහි රඳවා සිටින බවද දැනගැනීමට තිබේ.

කාන්තා වාට්ටු දෙසට තහනම් භාණ්ඩ තාප්ප උඩින් විසි කරන සංවිධානාත්මක පුද්ගලයන් වනාතමුල්ල සීවලී පටුමඟ දෙස සිට ක්‍රියාත්මක වන බව ද හෙළි වී තිබේ. මේ වනවිට රටපුරා බන්ධනාගාරවල සිටින රැඳවූවන් ගණන 30268කි. ඒ අතරින් කාන්තා රැඳවූවන් සංඛ්‍යාව 1350 කි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division