ගම්වැසියන්ගේ විරෝධතාවලට පිටුපා පොලොන්නරුව දිසාවේ ඔනැගම, මොනරතැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ නීති විරෝධී ලෙස මත්පැන් පෙරීම සහ අලෙවි කිරීමේ නිරතව සිටී පුද්ගලයකු කසිප්පු බෝතල් 90ක්, ගෝඩා බැරල් 2යි ගෝඩා මිලි ලීටර් 360000ක් සමඟ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුම යටතේ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා යන නිලධරයන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි ‘බේබි’ නමින් ප්‍රසිද්ධ මෙම පුද්ගලයා කාලයක් තිස්සේ නීති විරෝධි මත්පැන් පෙරීමේ නිරතවී සිටීන පුද්ගලයකු බවද වැටලීම සිදුකළ පොලිස් නිලධාරීයකු සඳහන් කළේය. මහ සංඝරත්නය සහ ගම්වැසියන්ගේ විරෝධතාව තිබුණද ‘බේබි’ නමැති මෙම පුද්ගලයා කාලයක් තිස්සේ නීති විරෝධි මත්පැන් පෙරා මත්පැන් තොග වශයෙන් අලෙවි කරන පුද්ගලයකු බවද විමර්ශනවලදී හෙළි විය. වැටලීම සිදු කළ දින අලුයම පොලිසියට කතා කළ අයෙක්, “සර් බේබි මේ දැන් කසිප්පු පෙරනවා… වටේට මුර දාගෙන පෙරන්නේ… දැන් වෙලාව තුනයි… සර්ලා මේ පැත්තේ එනවා නම් ටිකක් සොදිසියෙන් එන්න… අලි නිතර ගැවසෙනවා… මම එහෙම කිව්වේ සර්ලාගේ ජීවිතත් බේරාගන්න ඕන නිසා” යැයි දුරකතන පණිවිඩයක් දී කියා තිබිණි.
දුරකතන ඇමතුම ලැබූ සැණින් අලුයම 3ට පමණ වන සතුන් ගැවසෙන ගන කැලෑව පීරමින් පොලිස් නිලධාරීන් තම ජීවිත ද පරදුවට තබමින් වැටලීමට පිටත් විය. එම අවස්ථාවේ සැකකාර ‘බේබි’ නීති විරෝධි මත්පැන් පෙරමින් සිටි බව පොලිස් නිලධාරින් දුටුවේය. සැණින් බේබි නීති විරෝධි මත්පැන් සමඟ පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඒ අනුව එම වැටලීමේදී සැකකරු සමඟ නීති විරෝධි මත්පැන් බෝතල් 90ක් ගෝඩා බැරල් 2 ක් ගෝඩා මිලි ලිටර් 360000 ක් කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් තඹ දඟර ඇතුළු උපකරණ ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයා මීට පෙර ද වරින්වර අත්අඩංගුවට ගෙන නීති විරෝධි මත්පැන් පෙරීම, අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරුවද එම නඩු සඳහා ඉදිරිපත් වී අධිකරණයට පෙනි සිටිමින් දඩ මුදල් එවලේම ගෙවා නැවතත් ගමට පැමිණ මත්පැන් ජාවාරමේ නිරතවී සිටී බවද වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරීයකු සඳහන් කළේය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශන්න ජාගොඩගේ මෙහෙයවීමෙන් පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමිර මංජුල කුලරත්න, සැරයන්වරුන් වන 61530 චමින්ද, 46679 සිල්වා, කොස්තාපල් 82748 සඳකැළුම් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදි. සැකකරු පොලොන්නරුව පොලිසිය වෙත භාර දීමෙන් පසු පොලොන්නරුව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර නඩු පවරා ඇත.
ඇළහැර සරත් වෙලගෙදර