Home » රට රැකියා පෙන්වා ලක්ෂ ගණනකට විද්ද බියගම ජාවාරමා

රට රැකියා පෙන්වා ලක්ෂ ගණනකට විද්ද බියගම ජාවාරමා

by thanushika
August 24, 2024 12:30 am 0 comment

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් රටේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචාකර සැඟවී සිටි පුද්ගලයෙකු බියගම පොලිසිය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද ප්‍රියලාල්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී බියගම, කොට්ටුන්න ප්‍රදේශයේ නිවෙසක් කුලී පදනම මත ලබාගෙන සැඟවී සිටියදී මේ ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නා ලද්දේ දින කීපයක් ඔහු ගැන සිදු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය.

මේ අවස්ථාවේ මොහු ළඟ තිබී කාන්තාවන්ගේ සහ පිරිමින් සතු විදේශ ගමන් බලපත්‍ර 32ක්, විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප 50ක්, රටේ විවිධ පොලිස් ස්ථානවලින් නිකුත් කරන ලද පොලිස් වාර්තා 20ක් සහ විදේශ රැකියා ලබා දෙන බවට පවසන අත්පත්‍රිකා ද පොලිස් භාරයට ගන්නේ ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහාය. එලෙස අත්අඩංගුවට ගත් විදේශ ගමන් බලපත්‍ර හිමියන් ගැනද සොයා බැලීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

මොහුට එරෙහිව විදේශ රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කිරීම සම්බන්ධව පැමිණිලි බෙලිඅත්ත, උඩවලව, මොරගහහේන, මීගහවත්ත, අඟුණකොළපැලැස්ස, හක්මන, කුට්ටිවිල සහ බියගම යන පොලිස් ස්ථානවලට ලැබී තිබෙන බව ද විමර්ශනවලදී හෙළි වූ අතර එම පැමිණිලි සම්බන්ධව විමර්ශන නිලධාරීන් මේ වන විට පරීක්ෂණ සිදු කරති.

මොහු විසින් ඩුබායි, කුවේට් සහ සවුදි යන රටවලට ගෘහ සේවිකාවන් සහ වෙනත් රැකියාවන් සඳහා පුද්ගලයින් යවන බවට පවසා කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් 60ගෙන් පමණ මෙසේ වංචනිකව මුදල් ලබාගෙන තිබේ. ඒ අනුව එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් ලබාගෙන තිබෙන බවට අනාවරණය වන්නේ එම පුද්ගයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසුවය. දීර්ඝ කාලයක් සැකකරු එම ජාවාරම සිදු කරගෙන ගොස් තිබිණි.

මොහු විසින් බියගම, කොට්ටුන්න ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවෙසට මාසිකව රුපියල් හතළිස් දෙදහසක් ගෙවා ඇති බවද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය විය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණේ ඔහුගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කර කටඋත්තර ලබාගැනීමෙන් පසුවය.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහගේ උපදෙස් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද ප්‍රියලාල්, උප පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත, කොස්තාපල්වරුන් වන යොහාන් (99918), ජයසිංහ (103658) යන නිලධාරීහු විමර්ශන සඳහා එක්වූහ.

සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division