Home » යාල – හම්බේගමුව කංසා හේන් දහයක් වටලන්න පොලිසිය හමුදාව එක්ව කළ මෙහෙයුම

යාල – හම්බේගමුව කංසා හේන් දහයක් වටලන්න පොලිසිය හමුදාව එක්ව කළ මෙහෙයුම

by thanushika
August 24, 2024 12:30 am 0 comment

කංසා වගාවන් සහ කංසා හේන් ගැන කතා කරන ඕනෑම කෙනකුගේ සිහියට එන්නේ මොනරාගල, හම්බන්තොට, බදුල්ල, අම්පාර, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කීපයක මහා කැලෑය. ඒ විශේෂයෙන් එම දිස්ත්‍රික්ක මූලික කරගෙන සංවිධානාත්මක ජාවාරම්කරුවන් කංසා ජාවාරම්වල නිරතව සිටින නිසාය.

විශේෂයෙන් මේ දිස්ත්‍රික්කවල ප්‍රධාන මාර්ගවල සිට කිලෝමීටර් ගණනාවක් ඈත මහා වනාන්තරවල ඉතා සූක්ෂ්ම ලෙස සහ සංවිධානාත්මකව පවත්වාගෙන යන කංසා හේන් වැටලීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යුක්තිය මෙහෙයුම යටතේ ද පියවර ගෙන තිබුණේ මීට මාස හත අටකට කලිනි.

එලෙස ඉතා සූක්ෂ්මව මහ කැලෑ මැද වගාකර තිබුණ කංසා හේන් සැලකිය යුතු සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීමට ද පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකිවී තිබීම සුවිශේෂිය.

සියඹලාණ්ඩුව, බුත්තල සහ පස්සර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල ප්‍රධානීන් ඇතුළු කණ්ඩායම් පසුගියදා එවැනි සාර්ථක මෙහෙයුම් කීපයක්ම සිදු කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ ‘ඩ්‍රෝන ඒකකය’ මෙන්ම ‘චීටා’ ඒකකයේ නිලධාරීන්ද මෙම මෙහෙයුම්වලට සහභාගි වී සිටීමද සුවිශේෂී කාරණයකි.

කංසා හේනක තොරතුරු අනාවරණය කරගෙන ඒවා වැටලීම දක්වා සිදුවන ක්‍රියාදාමය ඉතා සැලසුම්සහගත සහ අතිශය දුෂ්කර වන්නේ අභියෝග රැසකටම මුහුණ දීමට එම මෙහෙයුම්වල නිරත පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් සහ පොලිස් නිලධාරීන්ට සිදුවීමයි. අයහපත් කාලගුණය, වන සතුන්ගෙන් එල්ල වන තර්ජන, බඳින තුවක්කු සහ ජාවාරම්කරුවන් විසින් අටවා ඇති මර උගුල් සෙසු අභියෝගයි. දින තුන හතරක් පුරා මහ කැලේ කිලෝමීටර් ගණනාවක් පා ගමනින් ගොස් මේ නීති විරෝධී කංසා හේන් විනාශ කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ගන්නේ අපමණ වෙහෙසකි.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව සිදු කරන ලද එවැනි සාර්ථක මෙහෙයුම් දෙකක් පසුගියදා සිදු කෙරුණේ හම්බේගමුව සහ යාල වනෝද්‍යානයට අයත් රක්ෂිත ප්‍රදේශයකදීය. හම්බේගමුව පොලිසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ගුවන් හමුදා කණ්ඩායම් එක්ව හම්බේගමුව පොලිස් වසමේ හම්බේගමුව රක්ෂිතයේදී පසුගියදා සුවිශේෂි මෙහෙයුමක් සිදු කරන ලදි. එම ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුණ කංසා හේන් වටලා විනාශ කිරීම සඳහාය.

අදාළ ආරක්ෂක අංශ එලෙස සිදු කරන ලද මෙහෙයුමේදී කංසා හේන් 08ක් සොයා ගෙන ඒවා වටලා ඒවායේ තිබුණු කංසා ගස් තොග පිටින් ගිනි තබා විනාශ කෙරිණි. අදාළ හේන් 08 ක සිටියදී පුද්ගලයෝ සිවුදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

කංසා හේන් අටේ තිබියදී සොයා ගන්නා ලද කංසා ගස් ප්‍රමාණය 57,610 කි. ඒවා පුලුස්සා විනාශ කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.

හම්බේගමුව රක්ෂිතයට අයත් කිලිබුන්න, පොකුණුතැන්න, අලුත්වැව, කුකුළු කටුව, ගොමගල, කෝන්ගස්මංකඩ ප්‍රදේශවල මෙලෙස සරුවට වගා කර තිබුණු කංසා හේන් වැටලීමට ආරක්ෂක අංශවලට හැකි විය. හම්බේගමුව අලුත්වැවදී වටලන ලද කංසා හේනේ ප්‍රමාණය අක්කර කාලකි. එහි තිබි අඩි එකහමාරක් උස කංසා ගස් 4125 ක් සොයා ගැනුණු අතර එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හම්බේගමුව කිලිබුන්න ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

කෝන්ගස්මංකඩ ප්‍රදේශයේදී වටලන ලද කංසා හේනේ විශාලත්වය අක්කරයකි. එහිදී සොයා ගන්නා ලද කංසා ගස් ප්‍රමාණය 6850 කි. අඩි 3ක් පමණ උසට එම ගස් වැඩි තිබුණි. බළන්ගොඩ, ඌරාවල, වැලිගෙපොළ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එහිදී අත්අඩංගුවට ගන්නා ලදි. එම ප්‍රදේශයේම පවත්වාගෙන ගිය අක්කර භාගයක කංසා වගාවක්ද ආරක්ෂක අංශ විසින් වටලන ලද අතර අඩි තුනක් පමණ උසැති කංසා ගස් 3280ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි. ඔහුගේ වයස අවුරුදු 63කි. පදිංචිය අලුත්වැව ප්‍රදේශයේය.

කුකුළුකටුව ප්‍රදේශයේදී වටලන ලද්දේ පර්චස් 10 ක ප්‍රමාණයක පවත්වාගෙන යන ලද කංසා වගාවකි. එහි තිබී කංසා ගස් 1625ක් සොයා ගත් අතර පොකුණුතැන්න ප්‍රදේශයේ පර්චස් 120ක පමණ වගා කර තිබුණු කංසා ගස් 18500ක් විනාශ කෙරිණි. එම ගස්වල උස අඩි තුනහමාරකි. එම ප්‍රදේශයේම අක්කර එකහමාරක වගා කර තිබුණ කංසා හේනක කංසා ගස් 5800ක් සොයා ගැනීමට මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශවලට හැකි විය.

ඊට අමතරව කෝන්ගස්වැව ප්‍රදේශයේම පැළ තවානක තිබූ අඟල් 08ක් පමණ උස කංසා පැළ 15280ක් පොලිසිය විසින් සොයා ගැනිණි.

හම්බේගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.විජේසුන්දර, උප පරීක්ෂකවරුන් වන ආනන්ද ප්‍රේමකුමාර ඇතුළු නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා සහ ගුවන් හමුදා නිලධරයකු මෙහෙයුමට එක් වූහ.

මේ අතර යාල වනෝද්‍යානයට අයත් රක්ෂිතයේ වගා කර තිබුණු කංසා වගා දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වටලනු ලැබුවේද පසුගියදාය.

එම කංසා වගා දෙකේ තිබියදී සොයා ගන්නා ලද කංසා ගස් 11761ක් විනාශ කෙරිණි. පර්චස් 50ක තරම් ප්‍රමාණයක මේ කංසා වගා සිදු කරගෙන ගොස් තිබුණි. සොයා ගන්නා ලද කංසා පැළ උසින් අඩි 2 – 3 අතර ප්‍රමාණයේ ඒවාය. කංසා පැළ සාම්පල් 20ක් පමණ නීතිමය කටයුතු සඳහා කතරගම පොලිසියට භාර දී තිබූ අතර සෙසු කංසා පැළ ගිනි තබා විනාශ කර තිබුණි.

මේ කංසා හේන් පිහිටි ස්ථාන සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා අංශයේ නිලධරයෝද මෙහෙයුමට එක්වූහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත හම්බන්තොට කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සිල්වාගේ මෙහෙයවීමෙන්, සහකාර පොලිස් අධිකාරි වෑවිටවිදානගේ අධීක්ෂණයෙන්, උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරී අණදෙන පොලිස් පරීක්ෂක ජී.පී.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු කණ්ඩායමක් මෙහෙයුම සිදු කරන ලදි.

ඡායාරූප – සුරියවැව – නුවන් ජය‍සේකර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division