ඔහු ගුවන් යානයකින් මෙරටට පැමිණෙමින් සිටි පුද්ගලයෙකි. විශේෂත්වය වූයේ ඔහුගේ ගමන් මලුවල මත්ස්‍යයින් සහ ඉබ්බන්ද සිටීමයි. එම ජීවී මත්ස්‍යයින් සහ ඉබ්බන් සමූහය ඒ වනවිටත් සිටියේ ඔහුගේ ගමන් මලු තුළ අනෙකුත් බඩු අතර කිටි කිටියේ සිර වෙමින්ය. ඔහු සැලසුම්කර තිබූ ආකාරයට මෙම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ තුළ ගොඩ බැස්සවීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් තුළ මෙම ජීවී සතුන් සමූහය ඔහු වෙත භාර දී මුදල් ගනුදෙනු බේරා ගැනීම අභිප්‍රාය වී තිබුණි.
මොහු කොළඹ, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු නිතර ගුවන් ගමන්වල නිරත වෙමින් තමා දන්නා හඳුනන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත, ඔවුන්ට අවශ්‍ය විවිධ විදේශීය රටවල නිෂ්පාදිත භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීම ජීවිකාව කරගෙන තිබුණි.
ඒ සඳහා ඔහුට දැරීමට සිදු වන ගුවන් ගමන් ගාස්තු , ආහාරපාන සහ ඔහු රැගෙන එන භාණ්ඩවලට ගුවන් සේවාව, ඒවායේ බර අනුව අය කරන ගාස්තුවලට යම් ලාභ ප්‍රතිශතයක් එකතු කිරීමෙන් ඔහු රැගෙන එන භාණ්ඩ සඳහා මිල නියම කිරීම සිදුකර ගෙන යමින් සිටියේය.
ඒ අනුව භාණ්ඩයේ වටිනාකම ලෙස ඔහු ප්‍රකාශ කර සිටින්නේ, ඒ සඳහා කිලෝග්‍රෑම් එකකට ගුවන් මඟින් ප්‍රවාහනය කිරීමට අදාළ වන මුදලයි. උදාහරණයක් ලෙස ඔවුන් රත්තරන් කිලෝ ග්‍රෑම් එකක් සඳහා අය කරනු ලබන්නේ එම ගුවන් සේවය බර අනුව කිලෝ ග්‍රෑම් එකකට අය කරනු ලබන මුදලයි.
මෙම ව්‍යාපාරය සිය ජීවන වෘත්තීය කරගෙන යාම සඳහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව විශාල පිරිසක් සැදී පැහැදී සිටින අතර, ඔවුන් කිලෝ ග්‍රෑම් එකක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් භාර දීම සඳහා රුපියල් හාරදහස් පන්සියයක් වැනි මුදලක් අය කර ගනිමින් සිටිති.
මෙය මෙරට සිටින ඇතැම් ව්‍යාපාරිකයන්ට පහසුවක් වුවද, මෙම ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු මෙම අවස්ථාවන් උපයෝගී කරගෙන රට තුළට නීති විරෝධී ආනයනයන් සිදු කිරීම මේ වනවිට ප්‍රවණතාවක් බවට පත් වෙමින් තිබේ. ඒ අනුව මෙම ව්‍යාපාරිකයා සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමෙන් පසුව මෙම ජීවී මත්ස්‍යයින් සහ ඉබ්බන් සමූහය මිලදී ගැනීමට සූදානම් වන අවස්ථාවේ සිට සිංගප්පූරු රේගු බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් පිරිසක් ඔහු පසුපස ලුහුබඳිමින් සියලුම අවස්ථාවන් ජායාරූප සහ වීඩියෝගත කිරීමකට ලක්කිරීමට පටන්ගෙන තිබුණි.
ඔහු ජීවී මත්ස්‍යයින් සහ ඉබ්බන් 365දෙනෙකු මිලදී ගෙන ඒ සතුන්ගේ වර්ග අනුව වෙන වෙනම ඔක්සිජන් වායුව පිරවූ පොලිතින් බෑග් වෙත අසුරා ගැනීමට පියවර ගෙන තිබුණි.
ඉන් පසුව ඔහු එම ජීවී සතුන් සමූහය තම ගමන් මලු තුළ සූක්ෂ්ම ආකාරයට අසුරාගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව්.- 468 දරන ගුවන් යානය වෙත පැමිණ අසුන් ගත්තේය. එහෙත් ඒ වනවිටත් සිංගප්පූරු රේගු බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් මේ පිළිබඳ සියලුම තොරතුරු ජායාරූප සහ වීඩියෝ සහිතව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබීමට සලස්වා තිබුණි.
ඒ අනුව එම නිලධාරීන් පිරිස එදින රාජකාරී කටයුතුවල නිරත වී සිටි කටුනායක ගුවන්තොටුපොළ රේගු පිරිසක් ද සමඟ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ මෙම ගුවන් මගියා පැමිණෙන තෙක් රැඳී සිටින්නට විය. ඒ අනුව මෙම ගුවන් යානය කටුනායකට ගොඩබස්වා විනාඩි විස්සක් වැනි කාලයක් තුළ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.
එතෙක් ඔහු එනතුරු රැක සිටි රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන, ඔහු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කරන ලදි.
ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයටම එම ගමන් මලු තුළ විවිධ වර්ගවල අරවානා මත්ස්‍යයින්, රතු වලිගය සහිත මගුරන් (Red Tail Cat Fish ), විසිතුරු මඩු මත්ස්‍යයින් විශේෂ කීපයක් සහ රතු කන් ඉබ්බන් සමූහය ද ඒ අතර විය.
මෙම රතු කන් ඉබ්බන් දැනට ශ්‍රී ලංකාව තුළ දක්නට නොලැබෙන අතර, ඔවුන් මේ වන විට ශ්‍රී ලංකාවේ මිරිදිය ජලාශවලට යොමු කරමින් සිටින , විදේශීය ආක්‍රමණශීලී සතුන් විශේෂයකි. මෙම ඉබ්බන් දේශීය, මෙරටට ආවේනික ඉබ්බන්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම සිදු කරන අතර ඒ නිසා තව කාලයක් ගත වී යත්ම මෙරටට දේශීය ඉබ්බන් මේ නිසා වඳ වී යාමේ තර්ජනයකට ලක්වෙමින් සිටිති.
මෙම ආනයනය ශ්‍රී ලංකාවේ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, සත්ත්ව රෝග පනත, ධීවර සහ ජලජ සම්පත් පනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝනය කරමින් සිදු කරමින් සිදු කර තිබුණි.
ඒ අනුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය කටුනායක ගුවන්තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු විසින් පවත්වා තිබූ අතර මෙම සතුන් සමූහය රාජසන්තක කිරීමට නියෝග කළ අතර ඔවුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දීමට ද නියෝග කළ අතර මෙම නීති විරෝධී ආනයනය කළ ගුවන් මගියාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.
එසේම එදින දහවල් මෙම ජීවී සතුන් අසුරා තිබූ පොලිතීන් ඇසුරුම් කටුනායක ගුවන් තොටුපොළ තුළ දී යළි විවෘත කර ඔක්සිජන් වායුව යළිත් ලබා දීමට ද රේගු නිලධාරීන් පියවර ගෙන තිබුණි.
කටුනායක - ටී.කේ.ජී. කපිල