Home » පවුල් පිටින් සවාරි ගිහින් ඉතාලි මුහුදේ සැඟව ගිය බ්‍රිතාන්‍ය කෝටිපතියා

පවුල් පිටින් සවාරි ගිහින් ඉතාලි මුහුදේ සැඟව ගිය බ්‍රිතාන්‍ය කෝටිපතියා

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

හ සයුරේ හෝ උඩු ගුවනේ සිදුවන අනපේක්ෂිත ඛේදවාවක කවදත් ජනතාව අතර දැඩි අවධානයට ලක් වෙයි. ලොමු දැහැගැන්වෙනසුලු එවැනි විපත් කාලාන්තරයක් යනතුරු ලෝක ප්‍රජාවගේ මතකයේ රැඳී පවතින්නේ කුතුහලය හා ත්‍රාසය කැටි වුණු හැඟීම් සමුදායක් ද සමඟිනි. ටයිටැනික් නෞකාව ජීවිත 1500ක් සමඟ උතුරු අත්ලාන්තික් සාගර පතුලට ගොස් වසර 112ක් ගතවුවත් අදටත් ලෝකවාසීන් අතර වරින් වර කතාබහට ලක්වෙන්නේ එබැවිනි. මීට වසර 10කට පෙර මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12ක් රැගෙන පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන්යානයේ අනතුර ද එවැන්නකි. ගුවන‍ෙයානයට සිදුවූ දේ අදටත් අබිරහසකි. එවැනි ගුවන් අනතුරු ඉතිහාසයේ එමටය.

ඊයේ පෙරේදා ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත මධ්‍යධරණී මුහුදේදී ටොනේඩෝවකට හසුවී අඩි 160ක් මුහුදු පතුලේ ගිලී ගිය ‘බයේසියන්‘ නමැති සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවේ ඛේදවාචකයත් ඊට නොදෙවැනි එකකි. එය වඩාත් කතාබහට ලක් වූයේ බ්‍රිතාන්‍යයේ නොම්මර එකේ තාක්ෂණ සමාගමක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරික මයික් ලින්ච් ඇතුළු ලෝක ප්‍රකට පුද්ගලයන් කිහිපදෙනකුටම මරු කැඳවූ සිදුවීමක් නිසාය. ‘බ්‍රිතාන්‍යයේ බිල් ගේට්ස්‘ නමින් ප්‍රචලිත 59 හැවිරිදි මයික් ලින්ච් එසේ මෙසේ පුද්ගලයකු නොව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරු දෙදෙනකුගේ තාක්ෂණ උපදේශකයා ලෙස රාජකාරි කළ එරට කීර්තිමත් පුද්ගලයෙකි. කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය උපාධිධාරියෙකි.

ගිලුණු යාත්‍රාවේ ඔහු සමඟ අවසන් ගමන් ගිය සෙසු ප්‍රභූවරුන් සියලුදෙනාම ඔහුගේ සමීපතම හිත මිතුරෝ වෙති. ඒ අතර ලෝක ප්‍රකට මෝගන් ස්ටැන්ලි බැංකුවේ සභාපති ජොනතන් බ්ලූමර් සහ ඔහුගේ බිරිය ජූඩි බ්ලූමර්, ලින්ච්ගේ නීතිඥවරයා වූ බ්‍රිතාන්‍යයේ ඉහළම මට්ටමේ නීතිඥ සමාගම වන ක්ලිෆර්ඩ් චාන්ස්හි අමෙරිකානු ශාඛාවේ නීතිඥ ක්‍රිස් මෝවිලෝ සහ ඔහුගේ බිරිය වන ප්‍රකට ආභරණ නිර්මාණ ශිල්පිනිය නේඩා මෝවිලෝ ඒ අතර වූහ. අමෙරිකානු ජාතික ක්‍රිස් මෝවිලෝ වැඩි ප්‍රසිද්ධියට පත්වූයේ 9/11 සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධ විමර්ශනයට සම්බන්ධව රාජකාරි කිරීම නිසාය.   

බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මේ සුඛෝපභෝගී මගී යාත්‍රවේ අයිතිය ඇත්තේ ද ඔහුගේ බිරිය ඇන්ජෙලා බාකෙයාර්ස්ටය. ඇය යන්තම් ජීවිතය බේරා ගැනීමට වාසනාවන්ත වූවත්, ලින්ච් පවුලේ බාල දියණිය 18 හැවිරිදි හනා ලින්ච් ද පියා සමඟම මරු තුරුලට ගියාය. යාත්‍රාව මුහුදුබත්වීමත් සමඟ අතුරුදන්වූ පිරිසගෙන් පස්දෙනකුගේ මළසිරුරු ගොඩ ගැනීමට කිමිදුම්කරුවෝ සමත්වූවද, ඊයේ වන විටත් කෝටිපති දියණියගේ මළසිරුර සොයාගෙන නොතිබිණි. ලින්ච් පවුලේ වැඩිමල් දියණිය මේ සංචාරයට එක්නොවූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කීවේය.

පසුගිය වසරේදී කුඩා සම්මැරීනයකින් ටයිටැනික් නටබුන් ගවේෂණ චාරිකාවේ ගිය බ්‍රිතාන්‍ය ජාතික කෝටිපතියකු වූ හමීෂ් හාර්ඩින් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්ලාන්තික් සාගර පතුලේදී මරු තුරුලට ගිය ඛේදජනක සිදුවීමෙන් පසු ලොව වැඩිම අවධානයට ලක්වූ බයේසියන් යාත්‍රාවේ අනතුරට ද බ්‍රිතාන්‍ය කෝටිපතියකු සම්බන්ධවීම දෛවෝපගත සිදු වීමකි.

අනතුරට ලක්වන විට සිසිලි දූපතේ පලේර්මෝ අගනුවරට යාබද සාන්ත ෆ්ලේවියා ටවුමට උතුරින් පිහිටි පෝර්ටිසෙලෝ නමැති කුඩා ධීවර ගම්මානයේ වරාය පෙනෙන නොපෙනෙන මායිමේදී නැංගුරම් දමා තිබූ බයේසියන් යාත්‍රාව ටොනේඩෝවකට හසුවූයේ පසුගිය සඳුදා අලුයම ඉතාලි වේලාවෙන් 4.00ත් 5.00ත් අතර ය. මගීන් 12 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 10 දෙනකු එහි සිටි අතර, ඒ වෙද්දී බයේසියන් යාත්‍රාව අසලින් ශ්‍රීමත් රොබර්ට් බඩේන් පවෙල් නමැති තවත් මගී යාත්‍රාවක් ගමන් කරමින් තිබිණි. නෞකා ගමන්වල දත්ත වාර්තාවලට අනුව ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාව එක්වරම ගමන වේගවත් කර ඇති අතර, එය පෝර්ටිසෙලෝ වරායෙන් ඈත දියඹට යාත්‍රා කිරීමට පටන් ගෙන තිබේ. තවත් මිනිත්තු 15කට පමණ පසු එතෙක් ගමන් කරමින් තිබූ බයේසියන් යාත්‍රාව හිටිහැටියේම නතර වී ඇති අතර, ඊට මොහොතකට පසු ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාවේ ගමන ද ඊට අඩි 656ක් ඈතින් නතරවී ඇතැයි දත්ත වාර්තාවලින් කියැවේ. බයේසියන් යාත්‍රාවට මුලින්ම සහායට පැමිණියේ එම යාත්‍රාවය.

ඒ වන විට සියල්ල සිදුවී හමාර ය. සිසිලි දූපත අවට මධ්‍යධරණී මුහුදටම ආවේණික ටොනේඩෝව ඒ වෙද්දී බයේසියන් යාත්‍රාව උඩුයටිකුරු කර හමාරය. ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාව නවත්වා ඇත්තේ අනතුරට පත් යාත්‍රාවේ සිටි පුද්ගලයන් බේරා ගැනීම සඳහා ය. නෞකා ගමන් දත්තවාර්තාවල අවසන් වතාවට ‘බයේසියන්‘ යාත්‍රාවේ දත්ත ගබඩා වී ඇත්තේ එලෙසිනි.

‘හුළං තත්ත්වය අඩු වුණාට පස්සේ අප බයේසියන් යාත්‍රාව ගැන හොයා බැලුවා. ඒක පේන්න තිබුණේ නෑ. ටිකකට පස්සේ අපේ මඟියෙක් කිව්වා රතු පාට එළියක් දැල්වෙනවා කියලා. ඒක තමයි රාත්‍රී කාලයේ මුහුදේ අනතුරකට ලක්වුණාම ඒ යාත්‍රාවෙන් අවට ගමන් කරන අනික් යාත්‍රාවලින් උදව් ඉල්ලලා දල්වන ආලෝකය. අපි අපේ කුඩා බෝට්ටුව මුහුදට දාලා ඉක්මනට ඒ පැත්තට ගියා. ඒ වෙලාවේ 15 දෙනෙක් විතර ජීවිතාරක්ෂක බෝට්ටුවක නැඟලා ඉන්නවා අපි දැක්කා. අපි ඔවුන්ව අපේ බෝට්ටුවට නංවාගෙන යාත්‍රාවට රැගෙන ආවා. වෙරළාරක්ෂක බළකායට දැනුම්දීලා එගොල්ලෝ එනතුරු අපි ඔවුන්ට සත්කාර කළා. වෙරළාරක්ෂක බළකායේ කණ්ඩායමක් ඉක්මනින්ම ආවා. එයාලා මුලින් තුවාල වෙලා හිටපු අය අරන් ගියා. පස්සේ අනිත් අයවත් අරන් ගියා. මේ තරම් ලොකු යාත්‍රාවක් මෙච්චර ඉක්මනට මුහුදේ ගිලෙනවා මම කවදාවත් දැකලා නෑ.‘ ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාවේ කප්පිත්තා නෙදර්ලන්ත ජාතික කර්ස්ටන් බෝනර් පසුව මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඉතාලි වෙරළාරක්ෂක බළකායේ මෙහෙයුම් ආරම්භ වන්නේ ඉන්පසුවය. ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාවේ පිරිස පමණක් නොව ඒ මොහොතේ දරුණු කාලගුණ තත්ත්වය නිසා අවදිව සිටි පෝර්ටිසෙලෝ ගම්මානයේ ධීවරයෝ ද බයේසියන් ඛේදවාචකය සියැසින් දුටුවෝ වෙති. ඔවුන් කියන්නේ මේ අවාසනාවන්ත යාත්‍රාව වැරදි වෙලාවක වැරදි තැනක තිබුණු බවය.

‘කාලගුණය නරක අතට හැරෙමින් පවතින බව අපි දැනගත්තේ පාන්දර 3.00ට විතර. අපි ඉක්මනින්ම යාත්‍රාවේ ඇංජිම ක්‍රියාත්මක කළා. ‘ශ්‍රීමත් රොබර්ට් යාත්‍රාවේ කප්පිත්තා ආරක්ෂක පියවර ගෙන තිබුණේ එලෙසිනි. එහෙත් බයේසියන් යාත්‍රාව එවැනි ආරක්ෂිත පියවරක් අනුගමනය කර නොතිබූ බව පසුව හෙළි විය. එහි කප්පිත්තා නවසීලන්ත ජාතික ජේම්ස් කට්ෆීල්ඩ් ය. ඔහු අත්දැකීම් බහුල යාත්‍රිකයකු ලෙස ද ප්‍රකටය. ජීවිත බේරාගත් අය අතර මාස 12ක් වයසැති බිලිඳියක ද සිටියාය. පසුව දැරිය ගුවන් මගින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි. ඒ සමඟ තවත් අටදෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර, යාත්‍රාවේ කප්පිත්තා ද ඒ අතර වේ.

ඉතාලි විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ මේ ඛේදවාචකය වළක්වා ගැනීමට බයේසියන් යාත්‍රාවේ කප්පිත්තා ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂිත පියවර අනුගමනය කළේ දැයි සොයා බැලීමටය. එය දැන ගැනීමට ඔවුන් රෝහල්ගතව සිටි යාත්‍රාවේ කප්පිත්තාගෙන් පැය දෙකකට වඩා ප්‍රශ්න කර තිබිණි. ඔහු පුන පුනා කියා ඇත්තේ ‘ටොනේඩොව එනවා අපි දැක්කේ නෑ‘ කියාය

දිවි බේරාගත් අය අතුරින් වඩාත්ම ත්‍රාසජනක කතා පුවත 12 මසැති බිලිඳිය ‘සොෆියා‘ දිවි ගලවා ගැනීමේ සිදුවීම ය. යාත්‍රාව අනතුරට ලක්වෙද්දී දැරිය සිය මව චාලට් ගොලුන්ස්කිගේ තුරුලේ නිදා සිටියාය. ඔවුන් සිටියේ යාත්‍රාවේ එළිමහන් තට්ටුව මත ය. මව අවදි වූයේ හිටිහැටියේම යාත්‍රාව පැද්දෙන්නට පටන් ගැනීමත් සමඟය. ඊළඟ නිමේෂයේදී යාත්‍රාව අන්ධකාරයේ ගිලී ගිය අතර, ඇය සිටියේ මුහුදු ජලකඳ අතරේය.

‘තත්පර කිහිපයකට බබා මගෙන් ඈත් වුණා. මම බබාව අල්ලගන්න උත්සාහ කළා.‘ වාසනාවකට ඇසිල්ලකින් දැරිය ජල කඳ අතුරින් ඩැහැ ගැනීමට මව සමත් වූවාය. ඉන්පසු ඇය දැරිය අත්හැරියේම නැත.

‘මට මුකුත්ම පෙනුණේ නෑ. හැම පැත්තෙන්ම අන්ධකාරය. උදව් ඉල්ලලා මම කෑගැහුවා.‘ ඒ වනවිට ඇගේ සහකරු ජේම්ස් එම්ස්ලි ද සිටියේ ජල රකුසා සමඟ පොර බදමිනි. කාර්ය මණ්ඩලයේ පිහිටෙන් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩ වී වාසනාවකට ඔවුන් තිදෙනාම දිවි බේරා ගැනීමට සමත් වූහ. රෝහල් වෛද්‍යවරු කියා සිටියේ දැරිය පූර්ණ සුවයෙන් යුතුව සිටින බවය. සුළු තුවාල ලැබූ ඇගේ පියා වෙනත් රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි අතර, පසුව එම රෝහලටම මාරු කර යවා තිබිණි.

මේ තිදෙනාට අමතරව දිවි බේරාගත් මගීන් අතර ක්ලිෆර්ඩ් චාන්ස් නීතිඥ සමාගමේ අයිලා රොනල්ඩ් නීතිඥවරිය ද, ඇගේ සහකරු මැතිව් ෆ්ලෙචර් ද වූහ. ඔවුන් සියලුදෙනාම කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතමයෝ ද වූහ. මගීන් 12 දෙනාගෙන් ජීවිතය බේරාගත් අනික් පුද්ගලයා මයික් ලින්ච්ගේ බිරිය 57 හැවිරිදි ඇන්ජෙලා ය. ඇය යාත්‍රාවේ හිමි බ්‍රිතාන්‍යයේ රෙව්ටෝම් සමාගමේ වැඩිම කොටස්කාරිනිය ද වූවාය. සිය සැමියා සහ දියණිය සමඟ එකම කැබින් කාමරයක නිදා සිටි අතර, ඇය අවදි වී ඇත්තේ ටොනේඩෝවට ගොදුරුවීමෙන් එක් පසෙකට යාත්‍රාව ඇලවෙද්දීය. ඉතාලියේ වාර්තාකරුවන්ට ඇය කියා ඇත්තේ යාත්‍රාව තදබල ලෙස පැද්දීමට පටන් ගැනීමත් සමඟ සිය සැමියා ද නින්දෙන් අවදි වූ බවය. ජල කඳ යාත්‍රාවේ වීදුරු කවුළු බිඳ දමමින් එතුළට පිවිසෙද්දී ඇය කැබින් කාමරයෙන් පිටතට පැනගත් බවත්, පසුව කාර්ය මණ්ඩලයේ කිසිවකු විසින් ඇය ජීවිතාරක්ෂක බෝට්ටුවට නංවා ගත් බවත් ය. ඇගේ දෙපතුල් වීදුරු කැබලිවලට දැඩි ලෙස කැපී ඇති බවත්, කාලයක් යනතුරු ඇයට රෝද පුටුවක් භාවිත කිරීමට සිදුවනු ඇති බවත් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරු ප්‍රකාශ කර තිබිණි.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ දසදෙනාගෙන් 9ක්ම ජීවිතාරක්ෂක බෝට්ටුවේ ආධාරයෙන් දිවි ගලවා ගත් පිරිස අතර වූහ. යාත්‍රාවේ කප්පිත්තා හැරුණුවිට අමුත්තන්ට ආහාරපාන සැපයීමේ කටයුතුවල නිරත වූ විසි හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ලියා රැන්ඩල් හා 22 හැවිරිදි ජර්මානු ජාතික කට්ජා චිකන් නමැති තරුණියෝ දෙදෙනකු ද ඒ අතර සිටියහ. සෙසු අය අතර අයර්ලන්ත ජාතික සාෂා මරේ, මියන්මාර ජාතික මියින් ටුං ක්වාවෝ, ප්‍රංශ ජාතිකයන් වන ලියෝ චැපල් හා මැතිව් ග්‍රිෆිත් සමඟ ටුස් කූප්මන්ස් සහ ඊට්න් පාකර් නමැති සේවකයෝ දෙදෙනකු ද එහි සිටි බව පසුව අනාවරණය විය. දෙදෙනාගෙම වයස් සීමාව හෝ ජාතිකත්වය තහවුරු වී නොතිබිණි. අනතුරින් ජීවිතක්ෂයට පත්වූ එකම කාර්ය මණ්ඩල සාමාජිකයා වූයේ යාත්‍රාවේ අරක්කැමියා වූ රිකාල්ඩෝ තෝමස් වන අතර, ඔහු ඇන්ටිගුවා සම්භවයක් සහිත කැනේඩියානු පුරවැසියෙකි.

බයේසියන් යාත්‍රාවේ ඛේදවාචකය ලොව පුරා වේගයෙන් පැතිරී ගියේ එහි සිටි කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු ප්‍රභූවරුන්ගේ අතුරුදන්වීම නිසාය. එසේ අතුරුදන්වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සිවුදෙනකු හා අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකි. යාත්‍රාව ගැඹුරු මුහුදු පතුලට ඇදී යද්දී මේ පිරිස පසුවූයේ තද නින්දේ බව කියැවේ. එහෙත් දිවි බේරාගත් ඇන්ජෙලාට අනුව ඇගේ කෝටිපති සැමියා ඒ මොහොතේ සිටියේ අවදියෙනි. අනතුර සම්බන්ධව පරීක්ෂණය මෙහෙයවන විමර්ශකයන් අනුමාන කර ඇත්තේ ඔහු සිය දියණිය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ගිලෙන්නට ඇති බවය.

බයේසියන් යාත්‍රාවේ අනතුර සම්බන්ධව සහ අතුරුදන්වූ පුද්ගලයන්ගේ තොරතුරු මේ වන විට ලොව පුරා දැඩි කුතුහලයට කරුණක් බවට පත්වී තිබේ. මේ සවාරිය සංවිධාන කර ඇත්තේ මයික් ලින්ච් පසුගිය ජූනි මාසයේදී ඔහුට එරෙහිව අමෙරිකාවේ අධිකරණයක ගොනු වී තිබූ වංචා නඩුවකින් නිදහස් වීමේ ප්‍රීතිය සැමරීමටය. සංචාරයට එක්වූ සෙසු ප්‍රභූවරුන් ඔහු වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ අය වෙති. එම නඩුව පවරා තිබුණේ ලෝක ප්‍රකට හෙව්ලට් පැකාර්ඩ (එච්පී) පරිගණක සමාගම විසිනි. ඔවුන් වසර 2011 දී මයික් ලින්ච් සතුව තිබූ ඔටෝනොමි මෘදුකාංග සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 11කට මිලදී ගත්තේය. එහෙත් ඒ සඳහා මයික් ලින්ච් විසින් ව්‍යාජ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇතැයි ද, ඉන් සිය සමාගමට ඩොලර් බිලියන ගණනාවක පාඩු සිදුවී ඇතැයිද චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව නඩු පැවරීය. දෙරටේම දැඩි කතාබහට ලක්වූ මේ නඩුව නිව්යෝක් අධිකරණයේ මෙන්ම ලන්ඩන් නුවර අධිකරණයේත් වසර ගණනාවක් ඇදි ගිය අතර, ඔහු ඉන් නිදහස් වූයේ පසුගිය ජූනි මාසයේදිය. ඔහුගේ නඩුවේ තවත් විත්තිකාරයකු වූ ඔටෝනොමි සමාගමේ එවකට උපසභාපතිවරයා වූ ස්ටීවන් චැම්බර්ලින් ලන්ඩන් නුවරදී මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ යාත්‍රාවේ අනතුරට දිනකට පෙරය. ඒ පිළිබඳ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නැති බවත් වාර්තා වේ.

බයේසියන් යාත්‍රාවේ කප්පිත්තා ඇතුළු කාර්ය මණ්ඩලය සිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් ද වැඩි කතාබහක් ඇති වී තිබේ. යාත්‍රාව අනතුරට ලක්වීමෙන් මිනිත්තුවක් වැනි කෙටි කාලයකදී මුළුමනින්ම ගිලී යෑම සාගර ගමන් පිළිබඳ විශේෂඥවරුන්ගේ විමතියට කරුණක් වී තිබේ.

අතුරුදන්වූ ප්‍රභූවරුන් සිටි කැබින් කාමරවල කවුළු ඝනැති වීදුරු සවි කළ ඒවාය. එබැවින් කුටියේ වාතාශ්‍රය ඔවුන්ට අඩුම තරමින් දින දෙකකට හෝ පණ නල ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් බවත් කියැවේ. එහෙත් පසුව අතුරුදන්වූවන් සොයා ගැඹුරු මුහුදට ගිය කිමිදුම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ කැබින් කුටිවල කවුළු හැර දමා තිබූ බවය. යාත්‍රාව අනතුරට ලක්වූ දිනයේදී සිසිලි දූපත අවට සෙල්සියස් අංශක 33කට වැඩි උෂ්ණත්වයක් පැවැති බැවින් ඔවුන් කැබින් කාමරවල කවුළු හැර තබන්නට ඇතැයි ද අදහස් පළ වී තිබේ.

අනිත් අතට පවුම් මිලියන 30ක වටිනාකමකින් යුතු මේ සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ ගැටලු රැසක් පිළිබඳවත් යාත්‍රා නිෂ්පාදනය සම්බන්ධ ප්‍රවීණයන්ගේ විවේචනයට ලක්වී තිබේ. එහි කුඹ ගස අඩි 246ක් උසැතිය. බයේසියන් හඳුන්වනු ලබන්නේ ලොව වඩාත්ම උසැති කුඹගස සහිත යාත්‍රාව හැටියටය. නෞකා ප්‍රවීණයන් කියන්නේ ‘පොඩි නැවකට එය ලොකු වැඩි‘ බවය. ටොනේඩෝවෙන් යාත්‍රාව මුහුදුබත් වීමට එය ද එක් හේතුවක් බව හෙළි වී තිබේ. ඊළඟ කාරණාව වන්නේ කුඹ ගස සහ යාත්‍රාව අතර සමබරතාව රඳවා තබා ගැනීමට ඉවහල් වන අනතුරුවලින් නෞකාව පෙරළීමෙන් වළක්වා ගැනීමට උපකාරී වන යාත්‍රාවේ පතුලේ පිහිටි උපකරණයකි. එය නැවේ පතුලේ සිට සයුර තුළට කිඳා බැස ඇති දැව හෝ වානේවලින් තැනූ පිටතට නෙරා ඇති කොටසකි. බයේසියන් යාත්‍රාවේ සවි කර තිබූ එම කොටස උස් පහත් කිරිමේ හැකියාව සහිත එකකි. එහෙත් යාත්‍රාව අනතුරට ලක්වෙද්දී එය අඩකට වඩා ඉහළට ඔසවා තිබූ බව ද හෙළි වී තිබේ. වැරදි ලැයිස්තුවක්ම බයේසියන් යාත්‍රාවේ තිබූ බව ඉතාලි මුහුදු ගමන් පිළිබඳ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.

අනතුරුදායක තත්ත්වයක් තුළ යාත්‍රාව නැංගුරම් ලා තිබීම වරදක් බව ඔහුගේ අදහස ය. එමෙන්ම සුළි කුණාටු වැනි තත්ත්වයන් තුළදී යාත්‍රාවේ කිසිවකු කැබින් කාමරවල නොසිටිය යුතු බවට උපදෙස් දීම යාත්‍රාවේ කාර්ය මණ්ඩලය අතින් මඟ හැරී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ව්‍යසනය ගැන අවබෝධයක් කප්පිත්තා ඇතුළු කාර්ය මණ්ඩලයට තිබිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ. ඒ අතින් බැලූ විට බයේසියන් යාත්‍රාවේ ඛේදවාචකය එහෙම පිටින්ම ඔවුන් විසින්ම සිය ජීවිත අවදානමකට දමා ගැනීමෙන් සිදුවූවකි. බයේසියන් යාත්‍රාව අනතුරට ලක්වෙද්දී ඒ අවට තවත් යාත්‍රා කිහිපයක්ම ගමන් කරමින් තිබූ බවත්, ඒ කිසිදු යාත්‍රාවකට ටොනේඩෝවෙන් බලපෑම් සිදු නොවූ බවත් ඉතාලි මාධ්‍ය සඳහන් කිරීමෙන් පෙනෙන්නේ මේ අවාසනාවන්ත සංචාරය ප්‍රකෝටිපතියා ඇතුළු ප්‍රභූවරුන් සිය ඉරණම සොයා ගිය ගවේෂණ චාරිකාවක් බවය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division