වසරකට වරක් සිදුකරනු ලබන රාජ්‍ය සාහිත්‍ය දේශනය සඳහා මෙවර යොදාගෙන තිබුණේ “විසිවන සියවසේ සිංහල නවකථා අවකාශය සිතියම්ගත කරමු” යන මාතෘකාවයි. මෙවර දේශකයා වූයේ සාහිත්‍යවේදී රංජිත් පෙරේරා ය. ස්වාධීන විචාරකයකු, සමාජ-සංකෘතික මැදිහත්කරුවකු, සාහිත්‍ය පරිවර්තකයකු ලෙස සමාජ-සාහිත්‍ය කතිකාව පෝෂණය කිරීමෙහි ලා සක්‍රිය දායකත්වයක් සපයන්නකු ලෙස ඔහු ප්‍රකටය. ඒ සියල්ලටම වඩා තෝරාගත් මාතෘකාවට අදාළව පුළුල් විශ්ලේෂණයක යෙදීමට අවශ්‍ය පරිචය මෙන්ම අද්‍යතන ශ්‍රී ලාංකේය සහිත්‍යය ගැන මනා දැනුමකින් ද යුතු කෙනකු සේ මම ඔහු හඳුනා ගතිමි.
රාජ්‍ය සාහිත්‍ය උලෙළට පූර්වගාමීව පැවැත්වෙන වාර්ෂික සාහිත්‍ය දේශනය සංවිධානය කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව විසිනි. එම දේශනයේ පිටපතක් සහභාගි වන්නන්ට ලබා දීමට කටයුතු කිරීම මහඟු ක්‍රියාවකි. අපේ සාහිත්‍යයේ උන්නතිය පිළිබඳව තිබෙන සමාජ අවධානය දුබලව පවතින මොහොතක මෙවැනි කටයුතුවලින් හෝ දායකත්වයක් ලබාදෙමින් සාහිත්‍යයේ පෝෂණයට උරදීමට පෙලඹීම හේතුකොට ඒ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය හිමි විය යුතු වේ.
බැලූ බැල්මටම මෙය කල් ඉකුත් වූ මාතෘකාවකි. විසිඑක්වන සියවසේත් හතරෙන් පංගුවක් ගෙවා දැමීමට ආසන්නව තිබියදී විසිවන සියවසේ සිංහල නවකථා අවකාශය සිතියම් ගත කිරීමට යෑම කාලෝචිත නොවේ යැයි සිතේ. දේශනයට සහභාගි වූ සාහිත්‍යවේදීන් කිහිපපොළක්ම මේ මතය දැරීමම ඒ ගැන සඳහන් කිරීමට මා පෙලඹවූ බව කිව යුතුව තිබේ. ප්‍රසිද්ධ දේශනයක් උදෙසා එවැනි මාතෘකාවක කාලෝචිත බව විවාදාත්මක වුව ද පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙස එහි ඇති ශාස්ත්‍රීය වටිනාකම කිසි ලෙසකින් අවතක්සේරු කළ හැකි නොවේ. කෙසේ වූව ද දේශනයේ අන්තර්ගතය මාතෘකාවේ අදහස ඉක්මවා යන්නක් වන අතර සැබවින්ම එය දේශනයට වඩා අතිශයෙන්ම වටිනා සාරගර්භ නිබන්ධනයකි.
බොහෝ සාහිතඥයන් විසින් පර්යේෂණයට ලක් කොට ඇති මෙම සිතියම්ගත කිරීම රංජිත් පෙරේරා විසින් අභියෝගාත්මක ලෙස වෙනත් මානයකින් විමර්ශනයට ලක්කිරීමම එහි ඇති ශාස්ත්‍රීය වටිනාකම ඉහළ නංවයි. සිංහල නවකතාවේ සම්භවය සහ විකාශනය විමර්ශනයට ලක් කොට තිබෙන මින් ඉහත ව්‍යායාමයන්හි පරිපූර්ණ බව දේශකයා බැහැර කරනුයේ ඒවා ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ දුවන බව පෙන්වා දෙමිනි.
පළමුවැන්න, ඉතිහාසය යුග වශයෙන් බෙදා වෙන් කිරීම නම් යල්පිනූ ක්‍රමවේදයට අනුව සිංහල සාහිත්‍යය බෙදා වෙන්කොට නවකතාව ඊට සමමිතික වන පරිද්දෙන් එතුළ ස්ථාන ගැන්වීම
දෙවැන්න, ප්‍රසිද්ධ අවකාශය නම් සන්නිවේදන/සංස්කෘතික න්‍යාය භාවිත කරමින් නවකතාව ඇගැයුම් කොට සම්ප්‍රදාය සරු කළා යැයි හඳුන්වන ලේඛක පිරිසක් සහ ඔවුන්ගේ කෘති සුවිශේෂීකරණයට භාජනය කිරීමයි.
2024 දීත් අපේ සාහිත්‍ය මේ ධාරා ඔස්සේම පෙළැගැසෙද්දී ඒ දෙස රංජිත් පෙරේරා සාහිත්‍යවේදියා වෙනත් මානයකින් බැලීමට පෙලඹීම අගය කළ යුත්තක් වන අතර නව පරපුරේ විද්වතුන්ගේ සහ සාහිත්‍යවේදීන්ගේ නෙත් පෑදීමකි. විසිඑක්වන සියවසට ඔබින සේ සිංහල නවකතා අවකාශය සිතියම්ගත කිරීම උදෙසා මෙම දේශනය තුළින් අතීතය දෙස අනාගතවාදී බැල්මක් හෙළා තිබීම වඩාත් කාලෝචිතය. පටු වපසරියක් ඔස්සේ ඉදිරියට ගලා යන ශ්‍රී ලාංකික සාහිත්‍යයට අනාගතවාදී තල්ලුවක් දීමට එවැනි ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. වත්මන් පරපුර සිංහල සාහිත්‍යයෙන් ඈත් වීම වළක්වා ගැනීමට ද එය වැදගත් සාධකයකි. කෙසේ වුව ද, පිටපත තුළින් විනා ඔහුගේ දේශනය තුළ එවැනි දැක්මක් ගැබ් වුණු බව මට නොහැඟුණේ සාර්ථක දේශනයකට අවශ්‍ය නවීන පහසුකම් ඔහු භාවිත නොකළ හෙයිනි. එවැනි පහසුකම් තිබුණා නම් සංෂිප්තකරණය මීට වඩා සාර්ථක වීමට බොහෝ ඉඩ තිබුණි. තම දේශනයේදී ද ඔහු විසින් කිහිපවරක් ඒ බව මතු කළ බව මගේ මතකයේ තිබේ.
ඥානනීය, පරිකල්පිත සහ ප්‍රත්‍යක්ෂ වශයෙන් තුන් ආකාරයකින් සමාජ අවකාශය හඳුනා ගැනීම පිළිබඳව දේශකයා මතුකරන අදහස්, එකිනෙකට වෙනස් සාහිත්‍ය ප්‍රවර්ග ඇගයීමකට ලක්කිරීමේදී අපේ ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ සහ සාහිත්‍ය විචාරකයන්ගේ අවධානයට බඳුන්විය යුතුමය.
අද්‍යතන නවකතා සංස්කෘතිය තුළ ගැබ්වුණු අන්තර්ගතය ඔහු සැකෙවින් දක්වා ඇත්තේ තෙවැදෑරුම් ආකාරයෙනි. ඒ,
අද්‍යතන නවකතාව එකවිටම දේශීයයි, කලාපීයයි, ගෝලීයයි
අද්‍යතන නවකතාව බහුභාෂිකයි.
අද්‍යතන නවකතාව බහුශාබ්දිකයි
“සිංහල නවකතාවේ ඉදිරිගමන සහ ගෝලීය නවකතාව” මැයින් ඔහු දක්වා ඇති අදහස් බොහෝ වටිනාකමකින් යුක්ත වුව ද, එවැනි අදහස් ප්‍රායෝගීකරණයට ලක්කිරීම උදෙසා වගකිවයුතු ආයතන කවර ක්‍රියාමාර්ග ගන්නේ ද යන්න මට නම් පැහැදිලි නැත.
“මේ වන විට මාර්ටින් වික්‍රමසිංහගේ ‘අපේ ගමේ රුචිරාණනය’ විෂය මූලික වශයෙන් විපර්යාස වී වෙනත් ගමක් ගොඩනැඟී තිබුණත් සිංහල නවකතාකරුවන්ගේ බහුතරය මනෝමූලික වශයෙන් තවමත් සමරමින් සිටින්නේ ඔය කියන අපේ ගමේ රුචිරාණනයයි” යනුවෙන් රංජිත් පෙරේරා මතු කරන අදහස අපේ සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා බොහෝ වැදගත්ය. මා එසේ පවසනුයේ හුදෙක්ම සාහිත්‍යකරුවා දෙස බැලීමෙන් පමණක් නොවේ. විශේෂයෙන්ම පාඨකයා දෙසත් පුළුල් ලෙස සමාජය දෙසත් බැලීමෙනි.
බහුතරයකගේ මෙවැනි මනෝමූලික චාරිකාවකින් සිදුවනුයේ පාඨකයා හා සමාජය ආපසු කැඳවාගෙන යාමයි. වත්මන් පරපුර අපේ සාහිත්‍යයෙන් දුරස් කරන ප්‍රධාන සාධකය ද එයයි. ප්‍රශස්ත ගෝලීය සාහිත්‍යයක රසවින්දනය මොට කිරීමට තුඩු දෙන්නේ ද මෙයමයි. “අද ලෝකය තුළ පවතින්නේ ගෝලීය ධනවාදී ලංකාව මිස පැරණි වහල් සහ සීමා ඉරිවලින් කොටු කරන ලද ලංකාව නොවේ” යැයි ඔහු අපට අවධාරණය කරනුයේ මේ හේතුවෙනි.
කලාපීය සහ ගෝලීය වශයෙන් කිසියම් රටක් හඳුනා ගැනීමකට ලක්වෙනුයේ එම රටේ කලා මාධ්‍යයන්ගේ අද්‍යතන හැසිරීමෙනි. රංජිත් පෙරේරා සාහිත්‍යවේදියාගේ අදහස් ඔස්සේ සැලකිලිමත්වීමේදී අද අපේ සමාජය, පොතපත තුළින් එලෙසින්ම පිළිබිඹු වේදැයි සිතේ. බහුතරයක් පොතපතට අනුව අප තවමත් ජීවත් වන්නේ විසිවන සියවසේ ගම්මානයන්හිය. සොබාදහමට ආවඩන අපි තාක්ෂණික සොබාදහමට නතුව හෝ යෝනිසෝමනසිකාරයෙන් ජීවිතය විඳීම පසෙක ලන්නෙමු. පුපුරා යන තාක්ෂණික දියුණුව මැද අපේ ප්‍රබන්ධකරණය පවතින්නේ කොතැනද? සමාජ ප්‍රගමනය ගන සිතා හෝ නිසි අවකාශයක එය පිහිටුවාලීමට, අධ්‍යාපනික සහ සංස්කෘතික නිසි බලධාරීන්ගේ මනැස් විවර වේවා!යි පතමි.
අජන්ත සෙනෙවිරත්න