නාරංගල කන්දට උඩින් වෙනදටත් කලියෙන් ඉර පෑව්වාක් මෙන් හැඟීමකින් සිලිබිල්ලන්ගේ හඬ ගෙවත්ත පුරා දෝංකාර දෙන්නට විය. තොරතෝංචියක් නැති සිලිබිල්ලන්ගේ කන් කරච්චලයෙන් නින්දෙන් පිබිදුණ අනුලාවතී පැදුරු කඩමාල්ලේම නිදි ගැට හැරියාය.
කුඩා දරුවා කිසිත් නොදන්නා සේ නිදි දෙව්දුව තුරුලේ සිඟිති සිහින දකිමින් උන්නා ය. අදවත් දරුවාට පිටි පැකට් එකක් කොහොම හරි ගත යුතු යැයි සිතූ ඇය වහ වහා නිදි පැදුරෙන් නැඟී සිටියා ය. කුඩා දරුවා වටකොට කොට්ට කිහිපයක් තැබූ ඇය වත්ත පහළ පුංචි ළිඳට හනි හනික ගෑටුවාය. ඇය වේගයෙන් සීතල වතුර බාල්දී එක පිට එක හිසට වත් කරගෙන ගියේ මේ සීතල වතුරට ජීවිතේම දියවෙලා ගියා නම් හොඳයි කියල ඇති වුණ සිතුවිල්ලත් සමඟයි.
දොරින් එබි දරුවා සුවසේ නිදනවා දුටු ඇයගේ සිතේ බිය මඳක් පහව ගියාය. ඇය හෙමි හෙමින් දිගු කෙස් වැටිය පිසදමන්නට ගත්තීය. වික්‍රම මහත්සේ ආදරය කළ දිගු කෙස් වැටිය ඇය පරිස්සමින් පිස දැමුවාය. වික්‍රමගේ මතකය හිත අස්සේම ගුළි ගැහෙද්දී ඇය කඩිමුඩියේ අලුත් ඇඳුමකින් සැරසුණාය. ගිය සුමානේ බඩු ගනිද්දී කාටත් හොරෙන් ධර්මේ මුදලාලි තම බඩු මල්ලට එක් කළ සුවඳම සුවඳ පුයර ටින් එකෙන් පුයර ටිකක් ගෙන ඇය එය ගෙලෙහි තවරා ගත්තා ය. ඇගේ සිත දෙපෝයකට පෙර සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම ළඟ නතර වුණි. එක දිගට වැසි අනෝරා වැස්සට බදුලු ඔය පිටාර ගලා යන්නට අර අදිමින් සිටියා ය.
උදෑසන කඩයට ගිය වික්‍රම පාන් රාත්තලක් ගෙනවිත් මේසය මත තබා නැවත මිදුලට දිව්වේ අමතක වූ දෙයක් මතක් වූ කලෙක මෙනි.
ඔයා කොහේද ඔය දුවන්නේ?
අනුලාවති උන් තැනම හිටගෙන හඬ තැළුවා ය.
වතුරට ගහගෙන පොල් එනවා. මම දුවල ගිහින් අහුලගෙන එන්නම්. සම්බෝල ටිකක් හදන්න පුළුවන්නේ. පොල් ගෙඩියක් දැන් එකසිය දහයක්නේ අනූලෝ……..
පිටාර ගලන බදුලු ඔයේ ගසාගෙන එන පොල් එකතු කිරීම වික්‍රමට විනෝදාංශයක් මෙන්ම ආර්ථික වටිනාකමක් ද විය.
වෙනදා වගේම නිහඬව බදුලු ඔය මහ ජල කඳක් දරාගෙන මුනිවතින් ඇදී ගියා ය. ජල කඳේ පොල් අහුලන්නට ගිය වික්‍රමට එන්න එන්නම වැඩිවෙන ජල කඳ ගැන නිනව්වක් නොවී ය. එකවරම ජල කඳ රුදුරු විය. වික්‍රමව ද ඩැහැගත් ජල කඳ නිසොල්මනේ ඉදිරියට ගලා ගියේ කිසිදු බරක් නොදැනුණ විලාශයෙනි.
අනුලාවතීගේ ජීවිතේ කාලකන්නිම දවස එදා ය.
වික්‍රම අහිමි වූ දා පටන් අනුලාවතීගේ ජීවිතේ කණකොකා හැඬුවා සේ විය. එදිනෙදා කුලී වැඩක් කර කීයක් හරි ඉපයූ ආදායම ද අද අහිමිව ඇත.
තවදුරටත් එය ඉවසන්නට නොහැකි වූ අනුලාවති කුඩා දරුවා අසල නිවෙස්වලට බලා කියා ගන්නට බාර දී කුලී වැඩ කරන්නට ගියාය. විටෙක ඇය අළුගොල්ලේ ගල් කැඩී ය. තවත් විටෙක ඇය ලෙජර්වත්තේ දලු කැඩී ය. තවත් විටෙක ලෝයර් මහතෙකුගේ ගෙදර මෙහෙකාරිය විය. මොනතරම් දුෂ්කර ජීවිතයක් ගත කළ ද ඇයගේ රුව නම් අඩු නොවීය. එන්න එන්නම ඒ රුව ඔපවත් වෙත්දී ඒ රුවට මත්ව ගමේ තවත් ඇස් දෙකක් ඇය පස්සේ ඇති බව ඇය නොදත්තා ය.
රටටම මහත් නස්පැත්තියක් සිදු වෙමින් තිබුණි. එදා වේල හොයාගත් මිනිසුන් කබලෙන් ලිපට වැටුණි. කුලී වැඩක්වත් කරගන්නට නොහැකිව ගෙවල්වලටම වී ඉන්න සිදුවුණ රෝගය මුළු ලෝකය පුරා පැතිර යමින් තිබුණි.
මුළු රටම අගුළු වැටුණි. ඇති එකා කෑ අතර නැති එකා හාමත් විය. දරුවා කුසගින්නට හඬන්නට විය. ගස්ලබු ගෙඩියක් තම්බා දවසක් දෙකක් දරුවාගේ කුසගින්න නිවූව ද එය හැමදාමත් කෑම දරුවා අප්‍රිය කරන්නට විය. තවත් දරා ගත නොහැකි වූ මොහොතේ ඇය ධර්මේ මුදලාලිගේ කඩේ පිහිට පැතුවාය. ඇගේ රුවට මත්ව සිටි ධර්මේ මුදලාලිට එය නිධානයක් ලැබුණා සේ විය. එදා ඇය ගැලවූ හැට්ට කටු හෙමි හෙමින් හැට්ට පියන් පත් දෙක එකතු කර ගසා ගන්නා අයුරු ධර්මේ මුදලාලි කෑදර බැල්මෙන් බලා උන්නේ ය.
අනුලාවතීගේ බඩු මල්ලට වෙනදට නැති තරම් බඩු පිරවිණි. සැමන්, පරිප්පු, සුවඳ සබන් එකින් එක බඩු මල්ල තුළ සැඟවෙන අයුරු ඇය බලා සිටියේ හිස් බැල්මෙනි. ඇයගේ හිසට දරාගත නොහැකි වූ බඩු මල්ල ගැන හෝ ඇය ගැන පශ්චාත්තාපයක් ඇයට ඇති නොවිණි. දරුවාගේ කුසගින්න ඊට වඩා දරුණුවට ඇගේ සිත පෑරවීය.
අමරාවතී අක්කේ………
අල්ලපු ගෙදර අමරාවති අක්කා පෙනෙන්නට නොසිටි හෙයින් ඇය ශබ්ද නඟා කතා කළා ය.
ඇයි නංගියේ………..
අසමින් චීත්තේ පොට උඩට උස්සා ගසා ගනිමින් අමරාවති අඩියට දෙකට අනුලාවතීගේ ගේ දෙසට අඩි ඉක්මන් කළා ය.
අනේ අක්කේ…..දරුවට දෙන්න පිටි පැකට් එකක් අරගෙන එනකම් පොඩ්ඩක් දරුවව බලා ගන්නවද..? ඌට දැන් දවස් ගාණක් තිස්සේ දෙන්නේ කහට ටිකක්…….
මොනවා කරන්නද නංගියේ…මේ අපි ලබා උපන් හැටි……
උඹ එහෙනම් ගිහින් වරෙන් නංගියේ……මන් දරුවව බලාගන්නම්….
උදෑසන ධර්මේ මුදලාලි දුම් කබොල අල්ලමින් කඩේ වටේ යමින් වටපිට බැලුවේ ය. එක පියනක් පමණක් ඇර තිබූ කඩයට තවම කිසිවකු පැමිණ තිබුණේ නැත. ඔහුගේ ඇස් දිගේලිව ගියේ ඈතින් මතු වුණ ලැසි ගමනක් එල්ලයටය. ධර්මේ මුදලාලිගේ හිතේ මල් පිපුණි. ඔහු හිමින් රෝම පිරුණ පපුව අත ගෑවේ ය.
අනුලාවතී ධර්මේ මුදලාලි දෙස නෙතඟින් බලමින් හෙරක ලෙස බාගෙට වැසූ දොර පියන අතරින් කඩයට ඇතුළු විය. ඇගේ පුසුඹ ධර්මේ මුදලාලිගේ හිත් පත්ලම මෘදුවට අත ගෑවා ය.
…..උඹ මට වස්තුවක්……
ධර්මේ මුදලාලි ඈ වෙතින් නික්මෙමින් වඩාත් සරාගික හඬින් ඇගේ කනට කෙඳිරීය.
ධර්මේ මුදලාලි බඩු කිරන්නට පටන් ගත්තේ අශ්ව රේස් එකකින් දිනූ අශ්වයෙක් හති අරින්නාක් මෙනි. තරාදිය විටෙක පඩිවලට සමපාත නොවිණි. ඔහු යහමින් අනුලාවතීගේ බඩු මල්ලට බඩු එකතු කළේ ය. කොහේදෝ සැඟවී තිබූ කිරි පිටි පැකට් දෙකක් ද ඇගේ මල්ලේ සැඟවුණේ නිධානයක් සඟවන්නාක් මෙන් ය.
සීතලට ඇස් අගිස්සෙන් ගැලූ කඳුළක් අනුලාවතීගේ ගවුම් කරින් හැංඟී ගියා ය. වික්‍රමගේ මුහුණ බොඳව ගිය සිත්තමක් සේ ඇගේ දෑස් තුළ සැඟව යද්දී ඇය බඩු මල්ල හිසට ගත්තා ය.
ගල් බොරලුවලින් පිරුණු මාර්ගය දෙපස මානම් පඳුරු පිටින් අරක් ගෙන තිබුණේ පාරට ඒවා නැතුවා බැරිවාක් මෙන් ය.
ලෑලි ගහපු අත්වැල් පාලම මතට නැඟුණ ඇයට එහි කිරි කිරිය ද ඔච්චමක් මෙන් විය. තැනින් තැන ලෑලි දිරා ගිය අත්වැල් පාලම වසර ගණනාවකින් අලුත්වැඩියා කර නොමැති බව ඇයට පසක් විය. ඇය දන්නා කාලයේ සිට මේ අත්වැල් පාලම මෙලෙසම ය. එය පිළිසකර කරන කෙනෙකු නැත.
මේ දුක් ගැහැට…. මේ අපමණ වේදනා ජීවිතයට උරුම වූවක් යැයි සිතමින් ඇය කිරි එක හැදුවා ය. නොදරුවා කිරි කෝප්පය අමෘතය මෙන් රස කර කර බිව්වේ ය. ධර්මේ මුදලාලිට රස ගුලාවක් වූ ඇගේ ළැම හිමි හිමින් උස් පහත් විය. ශරීරයේ හැම අංශු මාත්‍රයක්ම රළු අතැඟිලිවලට පොඩිව රිදුම් දුන්න ද දරුවාගේ සතුට අබියස එය ඇයට නොදැනුණි.
නොදරුවා නිදන්නට ඇගේ ඇකයේ හිස තබා ගත්තේ ය. ඔහුගේ රැලි ගැසුණු කෙහෙරැලි අතර ඇගේ ඇඟිලි තුඩු රටාවට නොවන රටාවක් සොයා ඇවිද්දා ය. විසිර ගිය සිතුවිලි පොදිය හිත මත්තේ පහුරු ගෑවා ය.
දරුවා සුවසේ නිදමින් සිටියේ ය. කිරි සීනේ අතරමංව පුංචි පුතු හිනාවුණි. ඇයට දැනුණේ සතුටකි.
ඒ ඉන්ධන… කිරිපිටි.. වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පෝලිං ඇතිවූ කාලයකි. පුස්සැල්ලෑව ප්‍රදේශයටම තිබුණේ ධර්මේ මුදලාලිගේ කඩය පමණි. යන්තම් එක වේලක් සරිකර ගන්නට බඩුවක් මුට්ටුවක් ගන්න ගමේ ගැමියන්ට පෝලිම්වල සිටින්නට වීම ඒ තරම්ම ලොකුවට නොදැණුනි. ඒත් දරුවන්ට කිරිපිටි ටිකක් අරන් දෙන්නට ගම්වැසියන්ට මහත් යුද්ධයක් කරන්නට වූ බව අනුලාවතී සිහි කළේ මහත් විස්සෝපයෙනි.
එන්න එන්නම ආහාර හිඟ වූ අතර මිල ගණන් වැඩි විය. ඇති ඇත්තෝ බඩු පොදි ගැසුහ. අනුලාවතීට එසේ රැස් කරගන්නට හැකියාවක් නොතිබුණි. ඇය යන්තම් දරුවාට කැඳ ටිකක් දීමට හාල් තුනපහ ටිකක් ගෙන දුම් මැස්සේ තබා ගත්තා පමණි.
අනුලෝ……..අනුලෝ………
ඈතින් මැගිලින් අක්කාගේ කටහඬ ඇසී වළං සෝදමින් උන් අනුලාවතී චීත්තයේ දෙඅත් පිසිමින් දොරකඩට ආවා ය.
අර ඊයේ ඉඳන් ප්‍රවෘත්තිවලට කිව්වේ ජනාධිපති මන්දිරය වටලනව කියල… අන්න මිනිස්සු ගඟක් වගේ කොළඹ ගිහිල්ලා…එක යුද්ධයයි නංගී…
හැබෑද අක්කේ…. මිනිස්සුන්ට මේ දුක දරාගන්න බැහැනෙ…. පෙරේදා ප්‍රවෘත්තිවලට කිව්වේ මනුස්සයෙක් පෝලිමේ මැරිලා කියලා…. කවුද අක්කේ මේවා දරාගෙන ඉන්නේ..
ඒකනං හැබෑ නංගි. අපිත් කනව නෙවෙයි ලෙව කනවනේ. මේවගේ දුකක් හත්මුතු පරම්පරාවකදි වින්දේ නැතිව ඇති. යාන්තම් මිනිස්සු බඩට හොඳට කාලා ඇඳලා කරලා හිටියනේ යස අපූරුවට. අපේ වගාවත් එතකොට හොඳයි. මං ගම්මිරිස් වගාවෙන් කොච්චර මුදල් හම්බ කරා ද නංගියේ. දැන් සතපහක් නෑනේ. ඔක්කොම විනාශයි. මොකක්ද කාබනික පොහොර කියල කසළ ගොඩක් කවරවලට පුරවලා පොහොර කියල එවලා මුන් මුළු වගාවම විනාශ කළා නංගියේ.
නංගියේ, උඹ වැඩ ඉවරයි නම් යමුද කඩේ පැත්තෙ ටීවී බලන්න.
ඉඳින් අක්කේ දරුවත් අරන් එනකන්…
කඩේ එක රොත්තට මිනිසුන්ගෙන් පිරී තිබුණි. ගමටම එකම රූපවාහිනිය වූ ධර්මේ මුදලාලිගේ කඩේ තිබූ රූපවාහිනිය දෙස සියල්ලෝම ඇස් කන් ඇරගෙන බලා සිටියෝ ය. සිදුවෙමින් පවතින්නේ මහා නස්පැත්තියකි. මිනිසුන් ගහ මරා ගනී. වාහන ගිනි ගනියි. මාලිගා වගේ ගෙවල් ගිනි ගනිමින් තිබුණි. රටේ හැමතැනම මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ද ඒ අස්සේ ගිනි ගනිමින් ලොවට හෙළි නොකළ රහස් ගින්නෙන් වසා දමින් තිබුණි.
නින්දත් නොනින්දත් අතර මිනිසුන්ගේ ඡන්ද අයිතිය ගැන මහා හයියෙන් කතා කරන දේශපාලඥයන් අතරේ අහිංසක අසරණ මිනිසුන්ගේ කතිරය ගැන ඇයට පළමු වතාවට විස්සෝපයක් ඇති විය.
ඊළඟ තත්පරයේදී ධර්මේ මුදලාලි දෙස බලා ඇය සැනසුම් සුසුමක් හෙලුවාය.
ශ්‍රිමානි ප්‍රියංගිකා - කොලොන්නාව