Home » ඉන්දු – පැසිපික් කලාපය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආධිපත්‍ය

ඉන්දු – පැසිපික් කලාපය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආධිපත්‍ය

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ත්මන් ගෝලීය ජාත්‍යන්තර සබඳතා පර්යාය අන් කවරදාකටත් වඩා සංකීර්ණය. අනෙක් අතින් වියවුල්කාරීය. ලෝක රාජ්‍යයන්ගේ ජාතික අභිලාෂයන්, ජාත්‍යන්තර අභිලාෂයන් බවට පරිවර්තනය වීම ඇරඹුණු දා පටන් ම ලෝක ක්‍රමය තුළ නිර්මිත යථාර්ථය වූයේ මෙයයි. ලෝක රාජ්‍ය කලාපීය වශයෙන් විවිධ පැතිකඩ හා ගතිකත්ව ඔස්සේ ශක්තිමත් වීම හරහා සෙසු කලාපයන් අබිබවා යාමක් මෙන් ම අනෙක් අතින් අන් කලාපයන් උදෙසා සෘජු මැදිහත්වීමකට අවශ්‍ය උපායමාර්ගික වටපිටාව මනාව සකස් කරගැනීමේ නව ප්‍රවණතාවක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ස්ථාපිත කරගැනීම 21 වන ශතවර්ෂයේ ජාත්‍යන්තර සබඳතා පර්යායේ සුවිශේෂි ලක්ෂණයකි. ලොව සුපිරි බලවතාගේ භූමිකාව නිරූපණය කරනු ලබන අමෙරිකා එක්සත් ජනපදය, සෙසු කලාපවල නව ගෝලීය බලවතුන්ගේ නැඟීම හා එහි බලපෑම ඉතා සූක්ෂ්ම අන්දමින් ග්‍රහණය කොට ගන්නා රාජ්‍යයක් බව පැවසුවහොත් එය නිවැරදිය. අමෙරිකා එක්සත් ජනපදය ඉන්දු – පැසිපික් කලාපය අරභයා ද ගෙන යනු ලබන උපයාමාර්ගික මෙන්ම රාජ්‍යතාන්ත්‍රීය සැලසුම් සම්පාදනය වී ඇත්තේ, ඉහත තත්ත්වයන් මුල් කොටගෙන බව පැවසුවහොත් එය නිවැරදිය.

ඉන්දු – පැසිපික් කලාපය වූ කලී ලෝක ජනගහනයෙන් භාගයකටත් වඩා ජීවත් වෙන රටවල් 40ක පමණ එකතුවෙන් නිර්මාණය වූ ඉතා වැදගත් කලාපයකි. ඉන්දු-පැසිපික් යන වචනයෙන් අර්ථවත් වන්නේ, මෙම කලාපය ඉන්දියන් සාගරය හා පැසිපික් සාගරය කලාපයේ එකතුවකින් නිර්මාණය වූවක් බවයි. ඇත්ත වශයෙන්ම මෙම කලාපය, ලෝක ජනගහනයෙන් වැඩිම හා විවිධ ආර්ථික ගතිකත්වයන්ගෙන් බහුල රාජ්‍ය රැසක් පිහිටි කලාපයකි. ඉන්දියාව , ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දුනීසියාව ආදී රටවල් මෙම සුවිශේෂි ලක්ෂණ ඇති රාජ්‍යයන් ලෙස ඉන්දු-පැසිපික් කලාපයේ කැපී පෙනේ. මේ ආකාර ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද කැපී පෙනෙන සුවිශේෂි ලක්ෂණයන්ගෙන් හෙබි මෙම කලාපය ගෝලීය භූ දේශපාලනයේ මධ්‍යගත කලාප බවට පත්ව ඇති බව පැවසුවහොත් එය නිවැරදිය. අමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් ඉන්දු-පැසිපික් කලාපයේ ඩොලර් ට්‍රිලියන 2ක ටත් වඩා වැඩි ප්‍රමාණයකින් වෙළඳාම ව්‍යාප්ත කොට ඇති අතර, ඩොලර් මිලියන 956 ඉක්ම වූ සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment) දියත් කොට ඇත. ඉන්දු-පැසිපික් කලාපය, අ. එ. ජනපදයට ආර්ථික වශයෙන් කෙතරම් වැදගත් කලාපයක් ද යන්න මේ ඔස්සේ අපට කදිමට වටහා ගැනීමට පුළුවන. මෙවැනි ආයෝජන අවස්ථා හිමි, නවීන ආර්ථික ලාභදායි අවස්ථා හිමි කලාපයක් නිදැල්ලේ හැරීමට අමෙරිකා එක්සත් ජනපද උපාය මාර්ගික සැලසුමේ කොයි ආකාරයකින් හෝ ඉඩක් නොමැති බව නම්, ඔබට ඉඳුරාම පසක් වනු නොඅනුමානය. ඉන්දු-පැසිපික් කලාපය, අමෙරිකා එක්සත් ජනපද උපායමාර්ගික ප්‍රවේශය අනුව විස්තර වී ඇත්තේ, මෙම කලාපය එහි ජනපද අනාගත ආරක්ෂාව හා සෞභාග්‍යය සාක්ෂාත් කරගනු ලැබීමේ දී ඉදිරියට රැගෙන යන්නා වූ “රියැදුරුවරයා” ලෙසිනි.

ඉන්දු-පැසිපික් කලාපය තුළ චීන භූමිකාව

චීනය, මේ වන විට ගෝලීය බලවතෙකි. චීනය ලෝකයේ 2 වන ආර්ථික බලවතා වන අතර, චීනය ලෝකයට විවෘත වීමෙන් පසු ඔවුන් අත්පත් කොටගත් ශිඝ්‍ර ආර්ථික වර්ධනය අතිමහත්ය. ගෝලීය පාරිසරික ප්‍රශ්න විසඳීමට චීනයේ මැදිහත්වීම නොමැතිව එය කළ නොහැකි තත්ත්වයට මේ වන විට ගෝලීය වට පිටාව නිර්මාණය වී ඇත. ඉහළ – මධ්‍යම පාන්තික රාජ්‍යයක් වශයෙන් ස්ථානගත වී ඇති චීනය, ඉතාම ශක්තිමත් රාජ්‍යයක් ලෙස ලෝක ක්‍රමය තුළ රඳා පවතිනවා යැයි කිවහොත් එය නිවැරදිය. ඉතා සාධනීය අයුරින් වර්ධනය වන චීන ආර්ථිකය, අපනයන ක්ෂේත්‍රයේ ගෝලීය වශයෙන් දක්වන භූමිකාව අන් රාජ්‍යයන්ට විශාල අභියෝගයක් වී ඇත.

චීනය මේ වන විට ලෝකයේ, නිෂ්පාදනය, වෙළඳභාණ්ඩ හුවමාරුව විදේශ විනිමය සම්පත් හිමිකාරීත්වය අතින් ප්‍රමුඛතම රාජ්‍යය ලෙස කටයුතු කරනු ලැබේ. ඇත්ත වශයෙන් ම චීනය 1979 පටන් ස්වකීය ආර්ථිකය එතෙක් පැවති හුදෙකලා ආර්ථික ප්‍රතිපත්තීන්වලින් බැහැරව ලෝකයට විවෘත කරනු ලැබීය. 1979 පටන් චීනය, විදේශ වෙළඳාමට හා ආයෝජනයන්ට ස්වකීය ආර්ථිකය විවෘත කිරීමත් සමඟ චීනය අත්පත් කොටගත් ශීඝ්‍ර ආර්ථික වර්ධනය ඇදහිය නොහැකි තරම්ය. 2018 වන විට චීන දළ දේශීය නිෂ්පාදිතය (GDP – Gross Domestic Production) 9.5%ක් වූ අතර ලෝක බැංකුව මෙම වර්ධනය විස්තර කොට තිබුණේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධන ආර්ථිකයක් හිමි කරගත් වේගවත්ම ආර්ථික වර්ධනයක් ලෙසයි. මෙම වර්ධනය ඔස්සේ චීනයට දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කර ගැනීමට අවකාශ ලැබුණු අතර, එතැන් පටන් ගත වූ අවුරුදු 8 ඇතුළත මිලියන 800ක් වූ ජනතාවගේ දරිද්‍රතාවෙන් මුදාගත් අතර, ස්ථාවර ආර්ථික ප්‍රගතියක් හිමි ලෝකයේ සාර්ථකම රාජ්‍යයක් ලෙස සිට රට ඔසවා තැබීමට ඔවුන් සමත් විය. චීනය, අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම සගයා වේ. චීනයේ මෙම වර්ධනය ගෝලීය වශයෙන් කොතරම් වැදගත් ද හා බලපෑම්කාරී ද යත්, අ. එ. ජනපද ධවල මන්දරය ප්‍රකාශ කොට තිබූයේ, චීනයේ පවතින තරගකාරී ස්වරූපය, ඉන්දු – පැසිපික් කලාපයට පමණක් සීමා නොවන අතර, එය සියලුම ලෝක රාජ්‍යයන් සම්බන්ධ විය යුතු ගෝලීය සංසිද්ධියක් ලෙස සලකා කටයුතු කළ යුත්තක් බවයි.

ඉන්දු-පැසිපික් කලාපය තුළ චීනයේ භූමිකාව අමෙරිකා එක්සත් ජනපදයට අභියෝගයක් ද?

2011 වසරේ පටන් ඉන්දු-පැසිපික් කලාපයේ අමෙරිකා එක්සත් ජනපද භූමිකාව සක්‍රිය වන්නට චීනය ද ලෝකයේ දෙවන විශාලතම ආර්ථික බලවතා ලෙස මෙම කලාපයේ දක්වන භූමිකාව සුවිශේෂි ආකාරයෙන් ප්‍රදර්ශනය වන්නට විය. ඇත්ත වශයෙන් ම චීනයට ඉන්දු-පැසිපික් කලාපය, ආර්ථික, ආරක්ෂක හා දේශපාලන යන අංශ 3න් ම ඉතා වැදගත් කලාපයකි. චීනයේ දිනෙන් දින ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථික ක්‍රියාවලිය හමුවේ ඊට සරිලන අමුද්‍රව්‍ය, තාක්ෂණය, කළමනාකාරීත්ව පහසුකම් ඉන්දු-පැසිපික් කලාපීය රාජ්‍යයන් හරහා සිදුවන බැවිනි. පශ්චාත් සීතල යුද්ධ සමයෙන් පසු අවදිය මෙන්ම සීතල යුද්ධ වකවානුවේ දී පවා චීනය, අසල්වැසි රටවල් සමඟ ඉතා සමීප, සාධනීය සබඳතාවක් පවත්වා ගත් රාජ්‍යයකි. චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වද්දී අනාගත වෙළඳපළ උදෙසා බෙයිජිංවල සාර්ථකත්වයට මෙම ඉන්දු-පැසිපික් කලාපයෙන් දායකත්වයක් ලැබීය. එමෙන්ම චීනය අසල්වැසි ආසියා-පැසිපික් රාජ්‍ය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් (Free Trade Agreements) අත්සන් කරගැනීමෙන් මෙම සබඳතාව තව තවත් පුළුල් කොට ගනු ලැබීය. චීනය, ස්වකීය “වෙළඳාම” පිළිබඳ වෙළඳ රාජතාන්ත්‍රීයභාවයක් (Commercial Diplomacy) ගොඩනඟා ගත් අතර, එය ඉතා ස්ථාවර එකක් විය. මේ අයුරින් චීනය, ඉන්දු-පැසිපික් කලාපය තුළ චීන භූමිකාව වර්ධනය වෙද්දී අමෙරිකා එක්සත් ජනපදය ජෝ බයිඩීන් – හැරිස් පරිපාලනය උත්සාහ දරනු ලැබුවේ, මෙම කලාපය තුළ අමෙරිකා එක්සත් ජනපද නායකත්වය ස්ථාපිත කිරීමටයි. අමෙරිකා එක්සත් ජනපද ආකල්පයට අනුව ඉන්දු-පැසිපික් කලාපය ඔවුන්ට කෙතරම් වැදගත් ද යත් ඔවුන් එය හඳුන්වන්නේ, එක්තරා ආකාරයක “දිලිසීමක්” වශයෙනි. ඇත්ත වශයෙන් ම බොහෝ රාජ්‍යතාන්ත්‍රික විශලේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ මෙම කලාපය උදෙසා අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රමුඛ අභිලාෂයන් තිබුණ ද මෙම කලාපය සෛවරීයත්වය, සබඳතාවන් හා අපේක්ෂාව සම්බන්ධ ඉතා සංකීර්ණ කලාපයක් බවයි. 2022, Poll of Southeast Asian Elites අනුව, චීනය විස්තර වන්නේ ප්‍රධාන ආර්ථික හා උපායමාර්ගික නියෝජනය ලෙසිනි. ඉන්දු-පැසිපික් කලාපය අරභයා අමෙරිකා එක්සත් ජනපද හා චීන මැදිහත්වීම් විවිධ කොටස් විවිධාකාරයෙන් විග්‍රහ කිරීමට පෙලඹී ඇත.

ඇත්ත වශයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය වූ කලී ඉතා ශක්තිමත් ආකාරයෙන් ඉන්දු-පැසිපික් කාලපයේ ස්වකීය ස්ථාවරත්වයට අවශ්‍ය පදනම සකස් කොටගත් රාජ්‍යයකි. ඉන්දියාව සමඟ ද රාජ්‍යතාන්ත්‍රීය වශයෙන් ඉතා කුළුපඟ සබඳතාවක් දක්වන අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දු -පැසිපික් කලාපීය ස්ථාවරත්වය උදෙසා ද චීනයට එරෙහිව නැඟී සිටීමට අවශ්‍ය සහාය ඉන්දියාවෙන් ලබාගැනීමට කටයුතු කිරීමක් ද සිදුවන බව ලෝක දේශපාලන විචාරකයන්ගේ අදහස් වී ඇත. අමෙරිකා එක්සත් ජනපදය ඉන්දු-පැසිපික් කලාපය අරභයා ස්වකීය උපායමාර්ගික සැලැස්ම පදනම් කොට ගෙන ඇත්තේ එය විවෘත හා නිදහස් (Open and Free) පැතිකඩ ඔස්සේ දියත් වන බව අවධාරණය කරමිනි.

චීනය මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද ඉන්දු -පැසිපික් කලාපය තුළ ඉතා සක්‍රිය මෙන්ම අභියෝගාත්මක ප්‍රතිවාදීන් බව නම් ඉතා හොඳින්ම ප්‍රකාශිත යථාර්ථයකි. මෙහි දී චීනයේ භූමිකාව තුළ ඇති සුවිශේෂීතාව වන්නේ, චීනය ගෝලීය වශයෙන් හිමිකර ගෙන ඇති සාර්ථකත්වය ඔවුන් අන් රාජ්‍යයන් උදෙසා නිරායාසයෙන්ම බලාත්මක රාජ්‍යයක් බවට පත්වන බවයි. ඉන්දු-පැසිපික් කලාපය උදෙසා ද අමෙරිකා එක්සත් ජනපදය, චීනය තමාට අභියෝගයක් ඇති රාජ්‍යයක් ලෙස සලකනු ලබන්නේ මෙම යථාර්ථය නිසාවෙනි. ලෝක බලවත් රාජ්‍යයන් සම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික රටාවෙන් බැහැරව ස්වකීය විදේශ ප්‍රතිපත්තීන් නවීන ලෝකයේ ගතිකයන්ට අනුව ක්ෂණයෙන් වෙනස් කිරීමට දෙවරක් නොහිතන බව නම් මනාව පසක් වේ.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division