පුද්ගලයෝ විවිධ ආකාරයෙන් පිළිස්සුම් තුවාල ලබති. උණු වතුරට, ගින්නට ඇසිඩ් වර්ග වැටීමෙන් සිදුවන පිලිස්සුම් තුවාල බහුලය. පෙර වකවානුවල කුප්පි ලාම්පු පෙරළී යෑම නිසා සිදුවන අනතුරු බහුලව වාර්තා වුවද වර්තමානයේ ඇති තාක්ෂණික පරිසරය හේතුවෙන් කුප්පි ලාම්පු පෙරළීම්වලින් සිදුවන පිලිස්සීම් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි.
පිලිස්සුම් තුවාලවල ලප කැළැල් සුව නොවන බවට මතයකි. නමුත් මෙම ප්‍රතිකාර විධියෙන් වයස අවුරුදු 12න් පහළ දරුවන්ගේ සිදුවන පිලිස්සුම් තුවාල ලප කැළැල් නිසැකවම සුව වේ.
මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවකි. වීරප්පෙරුම වෙද පරම්පාරවට අයත් රහස් බෙහෙත් වට්ටෝරුවකි.
• බෙහෙත හදා ගන්නේ මේ ආකාරයටය.
හීනියට ගා ගත් තැඹිලි පොල් රාත්තල් 5ක් (රාත්තල් 2.2 ක් කිලෝ එකකි.) ගන්න. හීනියට කපා ගත් පෙති තෝර කොළ රාත්තල් 05ක් ගන්න.
එයට ක්ලෝරීන් මිශ්‍ර නොකළ පිරිසිදු වතුර ( ළිං වතුර හෝ වැහි වතුර) අඬු කෝප්පයක් ගන්න. ඉන් පසු වංගෙඩියක දමා කොටා ගෙන ඒම මිශ්‍රණය රෙදි කැබැල්ලක දමා සොඳින් මිරිකා ගන්න. අනතුරුව පිරිසුදු තල තෙල් බෝතල් බාගයක් ගෙන ඉහත යුෂ එම තල තෙල් බෝතල් බාගයට කලවම් කරන්න.
පසු දින තුනක් තද අව්වේ තබා ( සුර්ය පුට දීම) කකාරවා ගන්න.
අනතුරුව කළුදුරු, සූදුරු, සුදු හඳුන්, වැල් මදටි, කළං තුන බැගින් ගෙන පිරිසුදු මිරිස්ගලක තබා අඹරා ගන්න. අඹරන විට අව්වේ කකාරවා ගත් තෙල් ස්වල්පය බැගින් දමමින් මිශ්‍රණය අඹරා ගන්න.
ඒ මිශ්‍රණය නැවතත් මුලින් සදා ගත් ගත් තෙල් භාජනයට දමා කරවෙන්නට නොදී මඳ ගින්නේ (සමපාකයට) හිඳ ගන්න. එය පරෙස්සමෙන් තබා ගන්න.
මෙම ඖෂධය පිරිසිදු භාජනයක දමා සිසිල් වියළි තැනක තැබීමෙන් සෑහෙන කලක් භාවිත කළ හැකිය. මෙම ඖෂධය ඒ අවස්ථාවේ පිලිස්සුණ තුවාලයක් සඳහා වුවද භාවිත කළ හැකිය.
පිරිසිදු රෙදි කෑල්ලක තවරා එම පිළිස්සුම් තුවාලය මත එළිය හැකිය. පොඩි ළමයකුගේ පැරණි පිලිස්සුම් තුවාලයක් නම් ඒ සඳහා ද ඉහත ආකාරයෙන්ම පිරිසුදු රෙදි කැබැල්ලක ඖෂධය ගල්වා තුවාලය මත එළිය හැකිය.
• බෙහෙත් බැඳිය යුතු වෙලාව
රාත්‍රී කාලයට බෙහෙත බැඳිය යුතුය. රෑ හතට බෙහෙත් බැඳ පසුදින උදේ 07ට ඉවත් කළ යුතුය. පැය 12ක කාලයක් බෙහෙත් ගල්වා ගෙන සිටීම අනිවාර්ය වේ. හොඳටම හොඳ වී කැළල මැකෙන තුරු තුවාල ස්ථානයේ සබන් ගෑමෙන් වැළකිය යුතුය.
මුං ඇට පිටි ගල්වා තුවාල ස්ථාන පිරිසුදු කළ හැකි නම් වඩාත් උචිතය. මාස එකහමාරක් පමණ කාලයක් මෙම බෙහෙත ගැල්විය යුතුය.
ඉතාම ක්‍රමයෙන් තුවාල සුව වී කැළැල් මැකී සම ප්‍රකෘති තත්ත්වයට පත් වනු ඇත.
• මුං ඇට පිටි ගා සේදිය යුතු ආකාරය
මුං ඇට පිටි මිටක් ගන්න. එම පිටි භාජනයකට දමා වතුර ටිකක් දමා දිය කරන්න.
අනතුරුව එම මිශ්‍රණය තුවාල සහිත තැන්වල ගා සෝදා හරින්න. තුවාල සහිත ස්ථාන මැනවින් පිරිසුදු වේ.