අත පය හිරිවැටීම යනු බොහෝ දෙනකුට ඇති එහෙත් බොහෝ දෙනෙක් නොසලකා හරින රෝගයකි. නමුත් මෙම නොසලකා හැරීම යහපත් දෙයක් නොවන බව අවබෝධ කරගත යුතුය.
අත්පය හිරිවැටීම්, ඇඟිලි හිරිවැටීම් ඇතැම් විට හිරිවාතයක් ලෙස හෝ වාත රක්ත අවස්ථාවක් සේ හඳුනා ගත හැකිය. නමුත් සෑම හිරි වැටීමක්ම අපේ ශරීරයේ ඇති අභ්‍යන්තර රෝගයක්, කායික හෝ මානසික ආබාධයක් පිළිබඳ රෝග ලක්ෂණයක් විය හැකිය. අතේ හෝ පයේ මෙම තත්ත්ව ආරම්භ වන්නේ ඇඟිලි හිරිවැටීමෙනි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ස්නායු ආවේගවල ක්‍රියාකාරිත්වය දුර්වල වීම නිසාය.
මේලෙස ස්නායු ආවේග දුර්වලවීමට ප්‍රධාන හේතු කිහිපයකි. ස්නායු තදවීම හෝ තෙරපීම, ස්නායු අවට වෙනත් ඛණිජ වර්ග තැන්පත් වීම හා විටමින් ඌනතා ස්නායු ආවේග දුර්වල වීමට හේතු වේ. මෙවැනි සංකීරණයන් තුළ අතපය හිරිවැටීම නිශ්ඡිතව සිදුවන්නේ කෙසේ දැයි කිව නොහැකිය. ඇතැම්විට වෙනත් රෝගවල ලක්ෂණයක් හෝ රෝගයක උපද්‍රවයක් විය හැකිය.
අතපය හිරිවැටීම් සහිත පුද්ගලයන්ගේ අක්මාවේ ප්‍රශ්න තිබිය හැකිය. වකුගඩු දුර්වල වීමේදීත් කකුල් හිරිවැටීම සිදු වේ. සන්ධි ආශ්‍රිත ස්ථානවල රුධිර නාලවල තෙරපීම් නිසා ද හිරිවැටීම් ඇති විය හැකිය.
• නිසි ආහාර පුරුදු ඇති කරගැනීම
අප නිරන්තරයෙන් ගන්නා ආහාර ද මෙම අතපය හිරිවැටීම්වලට බලපායි. උෂ්ණාධික ආහාර අධික වාතය වඩන ආහාර, සමබල ආහාරයක් නොවන ආහාර ගැනීමෙන් හිරිවැටීමේ තත්ත්ව ඇති වේ. ඉස්සන් දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගන්නා පුද්ගලයන්, වැඩිපුර කැල්සියම් සහිත ආහාර ගන්නා පුද්ගලයන්ට හිරි වැටීම් තත්ත්ව ඇති විය හැකිය.
ස්නායු බන්ධනවල ක්‍රියාකාරිත්වයට ඛණිජ, විටමින් වැනි විශේෂ පෝෂණ පදාර්ථ අවශ්‍යය. එවැනි පෝෂණ ලැබෙන්නේ සමබල ආහාර වේලකිනි. ආයුර්වේදය පැත්තෙන් කිවහොත් ත්‍රිදෝෂ සමනය කරන, ත්‍රිදෝෂ කෝප නොකරන ආහාර අපේ කෑම වේලට එකතු කරගත යුතුය.
එමෙන්ම නිරන්තර මත්පැන් පානය කරන පුද්ගලයන්ට, ආහාර ජීරණ පද්ධතියේ දෝෂ මෙන්ම මලබද්ධය ඇති පුද්ගලයන්ට අත පය හිරිවැටීම් ඇති විය හැකිය. ලේ දූෂිතවීම අතපය හිරිවැටීම් රෝගයට ඉතාම තදින් බලපාන්නේය. එවැනි පුද්ගලයන් සම්බන්ධ ලක්ෂණ පහළ වනවිට ඉතාම සැලකිලිමත් විය යුතුය.
• නිවැරදි ප්‍රතිකාර
අතපය හිරිවැටෙන විට අප බොහෝ වෙලාවට ප්‍රතිකර්මයක් ලෙස කරනු ලබන්නේ තෙල් ටිකක් ආලේප කර අතගෑමය. නමුත් මේ රෝග තත්ත්වය එසේ සුව කළ හැක්කක් නොවේ. ශරීර අභ්‍යන්තරයට ද ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍යය.
විශේෂයෙන්ම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග මූලිකව ප්‍රකාශ වන්නේ ඇඟිලි හිරිවැටීමය. යමක් එක දිගට අල්ලා ගෙන සිටීමට නොහැකි වීම, හිස පීරීමට නොහැකි වීම, අතට ගත් දේ බිම වැටීම වැනි ලක්ෂණ පහළ වනවිට මෙය හිරි වාතයක් ලෙස සලකා නොසලකා නොහැර පිළිගත් වෛද්‍යවරයෙකුට වහාම පෙන්වා ප්‍රතිකාර ගත යුතුය.
ඇඟිලි හිරිවැටීම යනු පක්ෂාඝාත (අංශබාග) රෝගයක මුල් අවස්ථාව විය හැකිය. පක්ෂාඝාත රෝගය ඇතිවීමට පෙර දින කීපයක් ඇඟිලි හිරි වැටී තිබීම බොහෝ විට රෝග ලක්ෂණයක් සේ ප්‍රකට වේ. ඊට ප්‍රතිකාර ගැනීමෙන් පක්ෂාඝාත තත්ත්වය මගහරවා ගත හැකිය.
• දියවැඩියාව
දියවැඩියාව වැනි රෝගයක් ඇති විට රුධිරයේ සීනි මට්ටම වැඩිවන විට ක්‍රමයෙන් අතපය හිරිවැටීම් තත්ත්ව ඇති වීම වැළැක්විය නොහැකිය. සංවේදනා නොමැතිවීමෙන් අතපයවලට වන හානිය වැඩිය. ක්‍රියාකාරිත්වය දුර්වල වේ. ඊට හේතුව ස්නායුවල ක්‍රියාකාරිත්වය දුර්වලවීමය. එවැනි රෝගීන්ට හිරිවැටීමට ප්‍රතිකාර කරන අතරම රුධිරයේ සීනි මට්ට්ම අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුය.
දියවැඩියා රෝගියකු නිසැකවම තම පාද පරීක්ෂාව කළ යුතුය. කකුල් හිරි වැටුණු විට කකුලේ සිදුවන තුවාල පිළිබඳ සංවේදනා දැනෙන්නේ නැත. එවැනි තුවාල ඔඩුදුවා කකුල් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා වාර්තා වේ. එවැනි රෝගීන් පාද සම්බන්ධව දැඩි අවධානයකින් පසුවීම වැදගත් වේ. වෛද්‍ය උපදේශයෙන් තොරව වැරදි ප්‍රතිකර්ම නොකිරීමට මේ අවස්ථාවල වගබලා ගත යුතුය. උදාහරණයක් ලෙස දියවැඩියා රෝගීන්ට ඇතිවන හිරිවැටීම්වලදී තද රස්නයෙන් සිදුකරන තැවීම් වැනි ප්‍රතිකාර ඉතාම අහිතකරය.
• වෙනත් රෝග
වාත රක්ත රෝගීන්ට අතපය හිරිවැටීමට ඉඩ තිබේ. එවිට ඔවුන්ට වාත රක්තය හරහා අවශ්‍ය නිශ්චිත ප්‍රතිකාර කළ යුතු වේ. අක්මා රෝගියකුගේ අතපය කකුල් හිරිවැටිය හැකිය. එවැනි අයට ඒ සඳහා ගැළපෙන ඖෂධ ලබා දිය යුතුය. වෛද්‍ය නිර්දේශයක් මත ලැබෙන තෙල් ගැල්විය යුත්තේ ඒ සමඟය.
රුධිර පීඩනය අඩු හෝ වැඩි වනවිට ලැබෙන රුධිර සැපයුම් තත්ත්ව යටතේ ස්නායු ආවේග ගමන් කිරීමට බාධා ඇති වේ. රුධිරගත මේදය බලපානු ලබන්නේ රුධිර පීඩනය කෙරෙහිය. එබැවින් අධි රුධිර පීඩනය, අඩු රුධිර පීඩනය මෙන්ම රුධිරගත මේදය ද අත් පා හිරිවැටීම්වලට බලපායි. ශරීරයට නිසි ව්‍යායාම නොමැති වීමද අතපය ක්‍රියාකාරිත්වය දුර්වල වී හිරි වැටීම් ඇති කරයි.
අපේ පැරැන්නන් අතර අත පයේ තල තෙල් හෝ මී තෙල් ටිකක් ගා සම්බාහනය කිරීමේ සම්ප්‍රදායක් තිබිණි. එම සම්ප්‍රදාය අද දක්නට නැත. අතපය හිරිවැටීමේ තත්ත්ව සුලබ වීමට මෙවැනි පුරුදු අප අතරින් ඉවත්වී යෑමත් හේතුවක් විය හැකිය. අතපය හිරිවැටීම ඇතිවන විට ඊට හේතු වන රෝග තත්ත්වය සොයා ප්‍රතිකාර කළ යුතු වන්නේ එබැවිනි.
• ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු නොකිරීම
ශරීර අභ්‍යන්තරය පිරිසිදු කළ යුතුය. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ එන බඩ විරේක කිරීම එවැනි අභ්‍යන්තර පිරිසිදු කිරීමකි. බඩ විරේක යනු හුදෙකලා ප්‍රතිකර්මයක් නොවේ. විරේක කිරීමට පෙර රුධිරය පිරිසිදු වන රක්ත ශෝධක ඖෂධ ප්‍රතිකාර කරනු ලබයි. ලේ පිරිසිදු කිරීම සඳහා කසාය වර්ග ආහාර වර්ග භාවිත කරනු ලැබේ.
• සරල ප්‍රතිකාරයක්
ඉස්සර අපේ මිනිසුන් වතුර බීවේ පොල්කට්ටෙනි. මැටි කළේ වතුර පොල්කට්ටෙන් බොනවිට පොල්කට්ටේ ඇති සමහර රසායනිකයන් අපේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කිරීමට හේතු වුණේය.
අපි තැඹිලි සහ වෑවර බොන්නෙමු. ළපටි වෑවරයේ වෑවරවල ඇති කහකඩය ස්නායු දුර්වලතා ඇති අයට ඉතාම හොඳය.
අමු පොල් ලෙලි මඳ රස්නයෙන් හිරිවැටීම් ඇති ස්ථාන තැවිය හැකිය. මී තෙල්, තල තෙල් ගෙන කපුරු පෙති කීපයක් දමා රත්කර සම්බාහනයෙන් අපහසුතා යම් දුරකට මඟහරවා ගත හැකිය. නමුත් මේවා නිශ්චිත ප්‍රතිකාර නොවන බවත් පවතින තත්ත්වය ඒ අවස්ථාවේ දී සමනය කරගත හැකි සරල ප්‍රතිකාර බවත් සැලකිය යුතුය.
ඔබට කිව හැක්කේ අත පය හිරිය සම්බන්ධව ප්‍රතිකාර ගැනීම සඳහා කිසිදු බියක් සැකයකින් තොරව පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යන ලෙසය. ඔවුන් මෙම රෝගය සමනය කළ හැකි නිශ්චිත ප්‍රශස්ථ ප්‍රතිකාර ඇති බව අවධාරණය කළ යුතුය.