මේ දිනවල පවතින වැසි සහිත සීත සුළං සහිත පාරිසරික හා දේශගුණික තත්ත්වය තුළ බහුලව ඇති විය හැකි සෞඛ්‍ය ගැටලුවකි සෙම් ගෙඩි (Tonsils) ඉදිමීම හෙවත් සෙම් ගෙඩි ප්‍රදාහය. සාමාන්‍ය ව්‍යාවහාරයේ සෙම් ගෙඩි වශයෙන් හඳුන්වනු ලබන්නේ අපගේ ශ්වසන මාර්ගයට අයත් උගුරේ දෙපස පිහිටා ඇති ග්‍රන්ථි දෙකටය. මෙය ශරීරය පුරා විසිරි පවත්නා වසා පද්ධතියට අයත් වසා ග්‍රන්ථි දෙකකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි මෙම ග්‍රන්ථි ‘තුණ්ඩීකේරී’ නමින් විස්තර කර ඇත. වසා පද්ධතියට අයත් සෛල විශාල ප්‍රමාණයක් එකට එකතු වී නිර්මාණය වූ සංකීර්ණ ගැටිති දෙකක් වශයෙන් වැඩිදුරටත් හැඳින්විය හැකිය. ශරීරය පුරා පිහිටා ඇති වසා ගැටිති හෙවත් කුද්දෙටිවල මෙහෙවර වනුයේ බාහිරින් ඇතුළු වී ඒ හරහා ගමන් කරන්නා වූ විෂබීජවලට විරුද්ධව සටන් කර ඒවා විනාශ කර පෙරා පිරිසුදු වසා දියර වසා නාල පද්ධතියට නිකුත් කිරීමය. මෙම ක්‍රියාවලිය අප රෝගවලින් ආරක්ෂා කර ගැනීමට අතිවිශාල මෙහෙවරක් කරයි. එහෙයින් මෙය බාහිර පරිසරයෙන් සිරුරට ඇතුළු වන විෂබීජවලින් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය ඉන්ද්රිය පද්ධතියකි.
අපගේ සිරුරට බහුල ලෙසම විෂබීජ ඇතුළු වන දොරටු වන්නේ, මුඛය හා නාසයයි. ඒ තුළින් ඇතුළු වන විසබීජ විනාශ කිරීමට ස්වභාවධර්මයෙන්ම උගුර දෙපස තරමක් විශාල වසා ගැටිති දෙකක් නිර්මාණය කර ඇත. අප සෙම්ගෙඩි වශයෙන් හඳුන්වනු ලබන්නේ ඒවායි. මෙම ප්‍රධාන වසා ගැටිති දෙකට අමතරව, බෙල්ල වටේ ද වසා ගැටිති (කුද්දෙටි) රාශියක් පිහිටා ඇත්තේ වැඩිදුර ආරක්ෂාව සඳහාය. ළමා වයසේදී මෙම සෙම්ගෙඩි තරමක් විශාල වන අතර වැඩිවියට පත් වීමේදී එම විශාලත්වය ක්‍රමයෙන් අඩු වී යයි. එහෙයින් වැඩිහිටියන්ගේ සෙම් ගෙඩි විශාලත්වයෙන් අඩුය. සිරුර තුළට මුඛය හෝ නාසය මඟින් විෂබීජ ඇතුළු වූ විට ඒවා විනාශ කිරීමට වසා ග්‍රන්ථි ප්‍රතික්‍රියා දැක්වීම නිසා ඒවා විශාල වේ. ඇතුළුවන විෂබීජ ප්‍රමාණය අනුව මෙම වසා ග්‍රන්ථි හෙවත් සෙම්ගෙඩිවල විශාල වීමේ ප්‍රමාණය රඳා පවතී.
සිරුරට ඇතුළු වූ විෂබීජවලට විරුද්ධව සටන් කිරීමට වසා පද්ධතියේ හා රුධිරයේ පවත්නා විෂබීජ නාශක සෛල විශාල ප්‍රමාණයක් මෙම වසා ග්‍රන්ථිවල එකතු වීමෙන් විශාල වීම සිදුවේ.
සෙම් ගෙඩි ඉදිමීම බොහෝ විට සිදු වන්නේ වයිරස හෝ බැක්ටීරියා ආසාදනය වීමකිනි. එයට අමතරව ආයුර්වේදය විස්තර කරන අන්දමට උගුර ආශ්රිත ප්‍රදේශය සෙම බලවත් ප්රදේශයකි. ළමා වයස ද සෙම බලවත් වයස් කාණ්ඩයකි. එහෙයින් ළමා කාලයේදී සෙම වැඩෙන, සිසිල් කළ ආහාර පාන, සීත සුළඟට නිරාවරණය වීම, වැස්සට තෙමීම, තෙත් පොළවෙහි නිතර ගැවසීම (ක්‍රීඩා කිරීම) වැනි හේතු නිසා සෙම වැඩී යාමෙන්ද සෙම්ගෙඩි ඉදිමීම සිදු විය හැකිය. එමෙන්ම විවිධ ආහාර, දූලි, මල් රේණු, රසායනික සංඝටක ආඝ්‍රාහණය වැනි හේතු නිසා ඇතිවන අසාත්මිකතාවක් වශයෙන් ද සෙම් ගෙඩි ඉදිමීම සිදු විය හැකිය. එමෙන්ම ජඨරාග්නියේ ( කුසගින්නේ) මන්දභාවය නිසා ආහාර නිසි පරිදි නොදිරවීමෙන් ඇති වන ‘ආම’ තත්ත්ව නිසාද සෙම්ගෙඩි ඉදිමී ඒ වටා සෙම් පටල බැඳීම සිදු වේ. එම සෙම් පටල කෑරීමේදී බත් ඇට වැනි කැබලි වශයෙන් ගැලවී යයි. මෙවැනි අවස්ථාවලදී මුඛ දුගඳ හමයි. ඇතැම් විට කලාතුරකින් ඇති විය හැකි තත්ත්වයක් වන්නේ පිළිකා ගණයට අයත් හෝ පිළිකා නොවන ගෙඩි සෙම් ගෙඩිවල හට ගැනීමය.
උගුරේ වේදනාව, ගිලීමේ අපහසුව, කැස්ස, උගුර රතුවීම සහ උණ සෙම් ගෙඩි ඉදිමීමේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය. සහජ ප්‍රතිශක්තිය දුර්වල දරුවන් කෙරෙහි සෙම්ගෙඩි ප්‍රදාහය වරින්වර හටගත හැකිය. එසේ නිතර විෂබීජ ආසාදනයෙන් සෙම්ගෙඩි ප්රදාහිත වීම විවිධ සෞඛ්‍යමය සංකූලතාවලට හේතු විය හැකිය. විශේෂයෙන්ම ‘ස්ට්‍රෙප්ටො කොකස්‘ කාණ්ඩයට අයත් බැක්ටිරියා ආසාදනයෙන් හට ගන්නා සෙම්ගෙඩි ප්‍රදාහයට මුල් අවස්ථාවේදීම නිසි ප්‍රතිකාර ලබා සුවකර නොගත හොත් හෘදය හා වකුගඩු ආශ්රිත සංකූලතා මෙන්ම රූමැටිසියා උණ ද හටගත හැකිය. එයට අමතරව උගුර හා කන සම්බන්ධ වී පිහිටා ඇති නාළය ඔස්සේ විෂබීජ ගමන් කිරීමෙන් කන් පැසවීමද සිදු විය හැකිය. විෂබීජ පෙණහලු තුළට ගමන් කිරීමෙන් නිවුමෝනියා තත්ත්වයක් වුවද හටගත හැකිය. සෙම්ගෙඩි ප්‍රදාහය එවැනි උපද්‍රව හා අතුරු ආබාධ ඇති කිරීමට ද හේතු වන බැවින් රෝගය ආරම්භයේදී නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ප්රමුඛ අවධානය යොමු කළ යුතුය. සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නා තෙක් නිවෙසේදී කරගත හැකි සරල ප්‍රතිකාර කීපයක් මෙසේය.
1. ලුණු මිශ්‍ර මඳ උණුසුම් වතුරෙන් උගුර සේදීම පැය 02 කට වරක් බැගින් කළ යුතුය.
2. හුමාලය ආශ්වාස කිරීමට දෙහි කොළ, කොත්තමල්ලි තැම්බූ හුමාලය ඉතා සුදුසුය. දවසට තුන් වරක් කළ යුතුය.
3. දවසට තුන්වරක් උණු අලු පල්ලේ තම්බා ගත් අමුඉඟුරු පෙති කීපයක් සූකිරි සමඟ හපා යුෂ ගිලින්න.
4. මීපැණි අවුන්ස 01 ක් දෙහි ඇඹුල් අවුන්ස 01 ක් සුදු ලූණු යුෂ අවුන්ස 1/2 හා අමු ඉඟුරු යුෂ අවුන්ස 1/2 ක් මිශ්‍ර කර තබා ගෙන වරින්වර තේ හැඳි එකක් බැගින් දිවට දමා තලු මරමින් ගිලින්න.
5. කාමරංග ගසේ පොතු, පිට කුරුට්ට ගා ඉවත්කර සිහින්ව කපා මේස හැඳි 02 ක් පමණ ගෙන එයට ගම්මිරිස් තේ හැඳි 1ක් ලුණු තේ හැඳි 1ක් දමා සියුම්ව කුඩුකර දෙහි ඇඹුලෙන් අනා තබාගෙන වරකට එයින් ස්වල්පයක් සුදු කපු රෙදි කඩක පොට්ටනිය ගැටගසා හක්කේ තබා විකමින් යුෂ ගිලින්න. සෙම කාරා දමන්න.
6. සර්වවිෂාදී තෛලය මඳක් රත්කර බෙල්ල වටා ගල්වා හොඳින් පිරිමැද බුලත් කොළයක් හෝ ඇඹුල් දොඩම් ගැටයක් රත්කර තවන්න.
7.සර්වවිෂාදී තෛලය උගුරේ ගා සෙම කාරා දමා අනතුරුව ලුණු මිශ්‍ර මඳ උණුසුම් ජලයෙන් උගුර සෝදන්න.