ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ දී අප ඉගෙන ගත් ජනමාධ්‍ය ආචාර ධර්මවලට අනුව ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ මිත්‍යාව ප්‍රචාරය කළ නොහැක. කෙසේ වෙතත් අද වන විට එය ඇතැම් ජනමාධ්‍යවල ප්‍රධාන පෙළේ ඉපැයුම් මාර්ගයකි.
ගුප්ත විද්‍යාවන්ට ගැරහීම නොකළ යුතු යැයි මම සිතමි. නමුත් ඒවාට මුවා වී මිත්‍යාව වපුරා මුදල් ගැරීම වෙනත් ප්‍රශ්නයකි.
මගේ මතකයේ හැටියට මෙය සිදුවූයේ 1998 දී පමණය. එකල පෝය දින ප්‍රචාරය වන රූපවාහිනි සාකච්ඡා වැඩසටහනක් මෙහෙයවීමට මට අවස්ථාව ලැබිණි. එය භාරව සිටියේ ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වූ සේනාධීර මහතාය.
“අපි මරු වැඩ සටහනක් කළා. ඔයා මේ පරිසරයේ කොහේ හරි ලස්සන තැනක ඕපනින් එකක් දාලා දෙන්ඩ ඕනේ.”
මා පැමිණ සිටියේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයටය. පෝය වැඩසටහන පටිගත කරන්නේ මෙතැනය. නමුත් මේ කතා කරන්නේ වෙනත් අමතර වැඩ සටහනක් පිළිබඳවය. මේ අලුත් වැඩසටහන පිළිබඳව සේනාධීර මහතා මහත් ආශාවකින් සිටින බව පැහැදිලි විය.
“මනුස්සයෙක් හම්බ උණා; මිනිහා ඇස් බැඳගෙන අකුරු කියවනවා.” මා තුළද කුතුහලයක් ඇති විය.
කුඩා යන්ත්‍රයකින් මට එය නරඹන්නට අවස්ථාව සලසා දෙනු ලැබිණ.
පිරමීඩාකාර කුටියක සිට පිරමීඩාකාර තොප්පියක් හිස පැලඳි කාන්තාවක් කළු පැහැ පටිවලින් ඇස් වසාගෙන තමන් අතට දෙන කඩදාසියේ ඇති දෑ කියවයි. පිරමිඩාකාර ගොඩනැඟිල්ල විසින් උරා ගන්නා විශ්ව ශක්තිය ඇය හිස පැලඳි තොප්පිය මතින් කේන්ද්‍රගත වී ගුප්ත බලයක් නිර්මාණය වෙයි. අකුරු කියවන්නේ එම බලයෙනි. ඒ පිළිබඳව ආචාර්ය මහාචාර්යවරු අදහස් දක්වති. බැලූ බැල්මට එය කුතුහලය දනවන වැඩසටහනකි.
වැඩසටහන නරඹද්දී අතීත සිදුවීම් ගණනාවක් මගේ සිතේ හොල්මන් කරන්නට පටන් ගත්තේය.
“මේක පට්ටපල් බොරුවක්.”
මම ආරම්භක නිවේදනය යෙදීම ප්‍රතික්ෂේප කළෙමි. නමුත් ඒ මොහොතේ ඔවුන් පත්වන අසරණභාවය සලකා මැදහත් ආරම්භයක් ලබාදීමට කටයුතු කළෙමි.
එම වැඩසටහන නියමිත පරිදි ප්‍රචාරය විය. ප්‍රචාරයෙන් දින කීපයක් ගතවිය.
සේනාධිර මහතා සුපුරුදු තැන්පත් ස්වරයෙන් කතා කළේය.
“ඔයා කියපු එක හරියටම හරි. මිනිහා බොරුකාරයෙක්. කිසිම ගුප්ත බලයක් නෑ. .අපි ඒක හොයාගත්තා.
“කොහොමද දැන ගත්තේ.”
“මහනුවර ගණිත ගුරුවරයකුයි එයාගේ දුවයි ඇවිල්ලා, ඒ විදිහටම පිරමිඩ තොප්පි දාලා ඇස් වහගෙන ඒක කරල පෙන්නුවා. කිසිම ගුප්ත බලයක් නෑ.”
“ඉතින් දැන් මොකද කරන්නෙ. අර ප්‍රෝග්‍රෑම් එක ටෙලිකාස්ට් උනානේ”
“නෑ අපි මේකත් කළා. හෙට දානවා. ඒක කියන්නයි මම කතා කළේ.
ඇත්තටම චන්දන කොහොමද ඕක දැනගත්තේ?”
“මං හම්බවෙලාම කියන්නම්.කෝ ඒක දිග කතාවක්.”
ඒ කතාව පටන් ගන්නේ පාසල් කාලයෙන්ය. ගුප්ත විද්‍යා ප්‍රතික්ෂේප කිරීමේ සහ ඒවාට පහර දීමේ රෝගය මා සමඟ කොළඹ ආනන්දයේ සිටි තවත් මිතුරන් රැසකට වැලඳී තිබුණේ ය. ඒ විදිහෙ එකම අදහස් තිබූ ළමුන් පිරිසක් එක්වී ‘දර්ශන චින්තා සංගමය’ නමින් සංගමයක් ද පිහිටුවා ගෙන තිබිණ.
මගේ ඥාති දියණියක් හදිසියේ මියගියේ මේ කාලයේය. මියගිය ඇයගේ ආත්මය එක්තරා ප්‍රදේශයක දේව බලයෙන් ශාස්ත්‍ර කියන ස්ථානයකට පැමිණ තිබේ. මේ ආරංචිය නිසා කම්පනය දෙගුණ තෙගුණ වූ ඥාතීන්,වැඩි විස්තර දැන ගැනීම සඳහා එම ස්ථානයට යන්නට සැරසිණ .
මේ ගමනට සහභාගි වීමට මට ද ඕනෑ විය. මගේ සමීප පාසැල් මිත්‍රයෙක් වන පරාක්‍රම කුරේ ද ගමනට එක් විය.
මීරිගම , අදාළ නිවසට යන විට ඒ තුළත් පිටතත් විශාල පිරිසක් රැස්ව සිටියහ. දේව බලයෙන් ශාස්ත්‍ර කියන අයුරු ඉදිරිපස ජනේලයෙන් පෙනේ. මිත්‍රයාත් මමත් ජනේලයෙන් බලා සිටියෙමු. කාන්තාවක් වාඩි වී සිටී. ඇගේ දෑස් සුදු රෙදි කඩකින් වසා ඇත. ඒ අසල සිටින පුද්ගලයෙක් සියල්ල මෙහෙයවයි.
ප්‍රශ්න ඇති අය මිදුලේ සිට පෝලිමේය. තමන්ගේ වාරය පැමිණි විට, ගැටලුව කඩදාසියක ලිවිය යුතුය. එය ඉන්පසු මෙහෙයවන්නා විසින් කාන්තාවට දෙයි. එවිට ඇය පිළිතුරු දෙයි.
අපට පැහැදිලිව ඇසුණු ප්‍රශ්නයක් තවමත් මතකය.
“මගේ ඉඩමට හූනියමක් කර තිබේද?”
එය කියවූ වහාම ඇස් බැඳ ගත් කාන්තාවගේ පිළිතුර වූයේ ‘නැත’ යන්නයි.
අපේ වාරය පැමිණියේය. වැඩසටහන මෙහෙයවන්නා අපිට අවශ්‍ය කාරණය
ඉතාම කරුණාවෙන් විමසා සිටියේය.
“කඩදාසිවල ලියන්න වුවමනාවක් නෑ, අපේ දුව මෙහෙ ආවා කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන අහන්නයි ආවෙ.”
නැන්දනිය කීවේ හැඟුම්බරවය.
“ආ මොකක්ද එයාගේ නම.?”
නම කී පසු කිසියම් සටහන් පොතක් පෙරළා ඔහු නිවැරදි විස්තරය සොයා ගත්තේය. එහෙම කෙනෙක් ඇවිල්ල තියෙනවා. අපි බලමු එයාව ආපහු ගෙන්න ගන්න පුළුවන්ද කියලා.
ඔහු දරුවාගේ නම කීවේ මැද නම වෙනස් කරලාය. එම දැරිය මියගියේ වයස අවුරුදු එකහමාරේදීය. නමුත් මෙහි පැමිණි ආත්මය කියා ඇත්තේ වයස අවුරුදු හතර හමාරක් බවය. මම ඒ ගැන ප්‍රශ්න කළෙමි.
“වයස අවුරුදු එකහමාරක දරුවෙකුට නම හරියට කියන්න පුළුවන්ද? වයස හරියට කියන්න පුළුවන්ද? මේ තරුණ මහත්තය ටිකක් කල්පනා කරලා බලන්නකෝ.”
ඔහු ඉතා සන්සුන්ව පිළිතුරු දුන්නේය.
ඒ මොහොතේ ඇස් බැඳගෙන සිටි කාන්තාව කිසියම් ඔක්කාර ගතියකින් පෙළෙන්නට පටන් ගත්තාය.
” ආ… පොඩ්ඩක් අවසර දෙන්න අදත් ආත්මයක් ඇවිත්”
මෙම ආත්ම කැඳවීම් සහ ඥානය ලබා දෙන්නේ කාන්තාවට ආවේශ වන ඥාති භූතයෙකු විසිනි. පිහි ඇනුමකින් මියගිය පුද්ගලයකුගේ ආත්මය කරළියට ආවේය. පිහි ඇනුම පිළිබඳ සියලු විස්තර ඉදිරිපත් කෙරිණ. ඒ වෙලාවේ ආත්මය සිටියේ බෝක්කුවක් තුළ සිරවෙලාය. නමුත් පිහියෙන් ඇන්නේ කවුදැයි කියන්නට, භූතාත්මය දන්නේ නැත.
මේ කතාව අවසන් වන්නට පෙර මගේ මිත්‍රයා කට දැම්මේය.
“මාත් හරි ආසයි ඔය විදියට ඇස් බැඳගෙන කියවන්න පුළුවන්ද කියල බලන්න.”
ඔහුගේ හඬේ තිබුණේ අභියෝගයකි.
පෝලිමේ සිටි අයගෙන් බාගයකට පමණ ඒ හඬ ඇසිණ. මෙහෙයවන්නා ඉතාමත්ම සන්සුන්ය.
“මං දන්නවා තරුණ හිත්. තරුණ මහත්තයට හිතුණු දේ හරි. මේක කරලා බලමු. මම ඔබතුමාට අලුත්ම පටියක් දාන්නම්.”
අර කාන්තාවගේ ඇසට වෙළුම් පටි දමා තිබුණේ ඉතාමත්ම දැඩි ලෙසය. පළමුවෙන්ම අඳුරු කළු පැහැ ටේප් වර්ගයක් අලවා තිබුණේය. සුදු පැහැති රෙදි කැබැල්ලෙන් ඇස් වසන්නේ ඉන් පසුවය.
මගේ මිත්‍රයාගේ දෑස ද ඒ ආකාරයටම වෙළුම්පටිවලින් ආවරණය කරනු ලැබිණ. අනතුරුව , අතට කඩදාසියක් දුන්නේය. එහි ලියා තිබුණේ කුමක්දැයි අප කිසිවෙක් දැන සිටියේ නැත. මගේ මිත්‍රයා මුහුණේ මාංශ පේශී එහෙ මෙහෙ කරමින් කඩදාසිය කියවීමට ලොකු වෙහෙසක් ගත්තේය.
“මේ තරුණ මහත්තයා සෑහෙන්න වෙහෙසෙනවා මේක කියවන්න නේද ?”
ඔහු ඇසුවේ මේ අපූරු සංසිද්ධිය බලන්නට ජනේලයෙන් මෙන්ම දොරෙන්ද පිරී ඉතිරී සිටි සෙනගින්ය. රැස්වූ අය කිසිත් නොකියා ආයා ගත් මුවින් යුතුව වන්නේ කුමක්දැයි බලා සිටිති. අපේ ඥාතීන්ගේ මුහුණේ තිබුණේ තව මොහොතකින් අපට ගුටි කන්නට වනවා වැනි හැඟීමකි.
මගේ මිත්‍රයාගේ විනාඩියක දෙකක උත්සාහය ජයගත්තේය. ඔහු කඩදාසිය පැහැදිලිවම කියෙව්වේය. ඇස් ආවරණය ඉවත් කෙරිණ.
මෙහෙයවන්නා කලබල වූයේ නැත.
“මහත්තයා සෑහෙන්න ආයාසයක් ගත්තනේ ඉතින් මේක කියවන්න.”
“ඔව් මට මේක පුරුදු කරලා නෑනේ.” මිත්‍රයා කීවේය.
රැස්ව සිටි පිරිස අතර කසුකුසුවක් මතුවිය.
“යමල්ලා යන්ඩ මෙතනින් පණ්ඩිතකම් කරනවා.”
නැන්දණිය ඉස්සර වූවාය.
අප දෙදෙනාද ඔවුනගේ පිටුපසින් මීරිගම දුම්රිය පොළ බලා වේගවත් ගමනක් ඇරඹිමු.
මගේ ඥාතියා සේවය කළ ආයතනයේ ත්‍රෛමාසික සඟරාවක් තිබුණේය. ඒ සඟරාවේ මියගිය දියණිය පිළිබඳ විස්තර ඇතුළත් විය. එහි මැද නම වැරදිලාය. වයස සඳහන් වූයේ අවුරුදු හතර හමාරක් වශයෙනි.
ඒවා මුද්‍රණ දෝෂය.
භූතාත්ම විසින් අප්ලෝඩ් කරගෙන තිබුණේ මුද්‍රණ දෝෂ සහිත දත්තය.