අපේ අම්මා මට තාම හිතාගන්න බැරි පුදුමයක්, ඇය විශ්ව කෝෂයක් ” ඉන්ද්‍රනීලා සිය මව ලීලාවතී ගැන සතුටු කඳුළු පිරි දෑසින් යුතුව එසේ පැවැසුවාය. මුළු රටම පුදුම කරවන ලීලාවතී අත්තම්මා ගැන ඇගේ දෙටු දියණිය පැවැසුවේ සත්‍යයකි. වයස කියන්නේ ඉලක්කමක් පමණක් බව ඇතැම් සිදුවීම් අපට කියාපාන්නේය. මේ, එවන් කතාවකි.
ඇය නමින් විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න ය. බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් අගෝස්තු 21 වැනිදා පැවැති කැලණිය විශ්වවිද්‍යාලයීය 143 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත මහ නාහිමිපාණන් වෙතින් බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා විට ඇය වයස අවුරුදු 97කුත් මාස 9කි. මෙම ශාස්ත්‍රපති උපාධිය ලීලාවතී ඇසිලින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් පමණක් නොව එම අවස්ථාව කැලණිය විශ්වවිද්‍යාලයීය උසස් අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.
වර්ෂ 1927 නොවැම්බර් මස 30 වැනිදා හොරණ මිල්ලෑව ගමේ උපන් විතානගේ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මිල්ලෑවේ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, 1946 වසරේ ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇත. ඉන් අනතුරුව ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක ලෙස පත්වීම් ලැබූ ඇය 1955 වසරේ රුග්ගහවිල මීවල මිශ්‍ර පාඨශාලාවේ ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස සේවය කර ඇති අතර, නොතාරිස්වරියක් ලෙස සේවය කිරීමට දක්වන ආශාව නිසාම, නොතාරිස් විභාගයට පෙනී සිට එම විභාගය සමත්වීමෙන් අනතුරුව ගුරු වෘත්තියෙන් සමු ගන්නීය. 1952 වර්ෂයේදී නොතාරිස්වරුන්ගේ සම්මේලනයේදී සමස්ත ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් ඇය එම වසරේදී විභාගය සමත් වූ එකම කාන්තාව වශයෙන් ද සම්මානයට පාත්‍ර වී ඇත.
මේ වන විට වයස අවුරුදු 98 ආසන්නයේ සිටින ඇයට ජීවිතයේ ඉදිරි කඩඉම් සොයා යෑමට දෛවය ලබාදී ඇති අවස්ථාව ඉතා භාග්‍ය සම්පන්නය. ඉගෙනීමට වයස බාධාවක් හෝ සීමාවක් නොවන බව යළි යළිත් තහවුරු කරමින් ලීලාවතී මාතාව තාරූණ්‍යයට අපූරු පූර්වාදර්ශයක් ද සපයන්නීය. මේ වන විට ඇය පිළිබඳ මුළු රටම කතා කරන්නේ ඒ නිසාවෙනි. අධ්‍යාපනයේ අගය මනාව වටහාගත් ඇයට කිසිවිටෙකත් වයස බාධාවක් නොවීය. ජීවන ගමනේ අත්විඳින්නට වූ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් කිසිවිටෙක නොසැලුණු ඇයට ඉදිරියට යෑමේ අපූර්ව පාඩම කියා දී ඇත්තේ ද ඒ අභියෝගමය.
ලීලාවතී මාතාව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගන්නේ 2023 වසරේදී වන අතර, එය එවකට 94 වැනි වියේ පසුවූ ඇය ලබාගත් ප්‍රථම උපාධියයි. ජීවිතයට ධෛර්ය සම්පන්නව මුහුණ දුන් ඇය ගෞරව සම්මානයක් සහිතව ත්‍රිපිටකය හා පාලි භාෂාව පිළිබඳ උපාධි විභාගය සමත් වූයේ 2021වසරේදීය.
වයෝවෘද්ධ භාවයට පත් බොහෝ පිරිස සිය ජීවිතයේ සැඳෑසමයට පිවිස ඇතැයි සිතමින් සිල් රකිමින් බණ දහම් පුරමින් පරලොව වෙනුවෙන් බොහෝ දේ කරති. මෙලොව පරලොව පිළිබඳ හොඳින් වටහාගෙන සිටින ලීලාවතී මාතාව සමාජයේ අතිශයින් දුර්ලභ සුවිශේෂී චරිතයකි.
නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ ජීවත්වන විතානගේ ඇස්ලින් ලීලාවතී 2021 වසරේ පෙබරවාරි 6 වැනිදා විද්‍යෝදය සහ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව එක්ව පැවැත් වූ ත්‍රිපිටක සහ පාලි භාෂා විභාගයට පෙනී සිටියාය. ඒ විභාගයේ ප්‍රතිඵල අනුව පාලි භාෂාව සම්බන්ධයෙන් වූ ප්‍රථම මධ්‍යම සහ අවසාන විභාගයෙන් ගෞරව සාමාර්ථ ලබා ගැනීමට සමත් විය. එවකට 94 වැනි වියෙහි පසුවන ලීලාවති මහත්මියගේ එදා ඉදිරි අපේක්ෂාව වූයේ පශ්චාත් උපාධිය සමත් වීමේ සිහිනය සැබෑ කර ගැනීමය.
“ පාලි සාහිත්‍ය සහ පාලි ඉතිහාසය හැදෑරීමට කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගේ අරමුණ අද ඉෂ්ට වී තිබෙනවා. මම පොඩි කාලේ සිටම බොහොම උනන්දුවෙන් පාලි භාෂාව ඉගෙන ගත්තා. ස්වාමින්වහන්සේ ළඟට ගිහින් අපේ හාමුදුරුවනේ මට පාලි ඉගෙන ගන්න අවශ්‍යයි කියලා කිව්වා. ඉන්පසුව උන්වහන්සේ මවුබස ඉගෙන ගෙන එන්න කියලා කිව්වා. ඉන්පසුව මම පාලි සහ සංස්කෘතත් හොඳින් ඉගෙන ගත්තා. ඒ අනුව (1) පාලි නිකාය ගත බෞද්ධ චින්තනය- විග්‍රහය හා විවරණය (2) බෞද්ධ කලා හා ගෘහ නිර්මාණය -ශ්‍රී ලංකාව (3) බෞද්ධ මනෝ චිකිත්සාව (4) බෞද්ධ ආර්ථික දර්ශනය (5) ථෙරවාදී සම්ප්‍රදාය -ඉතිහාසය හා ධර්ම කරුණු (6) බෞද්ධ ආචාර ධර්ම- සංකල්ප හා දාර්ශනික අර්ථකථනය (7) පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිත රචනය යන විෂයයන් යටතේ මේ පශ්චාත් උපාධිය හිමිකර ගත්තා.
මේ වෙලාවේ මම ඒ මගේ ගුරුවරු විශේෂයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ අය මට අවවාද අනුශාසනා කළා. ඒ කාලයේ මගේ උත්සාහයෙන් නොතාරිස් වෘත්තිය දක්වා ගියා. හැම පැත්තෙන්ම ප්‍රජාවගෙන් ගෞරවයක් ආදරයක් ලැබුණා. මට මවුබස සහ ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් හසුරුවන්නට හැකියි. දෙමළ බසත් යම් තරමකට පුළුවන්. පාලි භාෂාව ඉතා විශිෂ්ට ලෙස ප්‍රගුණ කරන්නයි මට එදා අවශ්‍ය වූණේ. ඒ දේ මම කළා. මම බොහොම සතුටින් තමයි ජීවිතය ගෙවන්නේ. මගේ සහජ හැකියාව තුළින් මම හැමදේම කළේ. මම කිසිදු දෙයක් බැහැ කියලා කියන්නේ නැහැ. ”
අධිෂ්ඨානය මල්පල දරමින් ඒ සිහිනය සැබෑ කර ගත් ඉකුත් දා හිමිකරගත් පශ්චාත් උපාධිය ගැන කතා කළේ සතුටිනි.
“මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්. මට තව සිහිනයක් තියෙනවා, ඒ තමයි ආචාර්ය උපාධියක් හිමිකර ගැනීම. බෞද්ධ මනෝ චිකිත්සාව කියන්නේ පුළුල් මාතෘකාවක්. ඊට අදාළ ආචාර්ය උපාධිය ලබා ගැනීම මගේ අරමුණ” යැයි සිනාමුසු මුහුණින් කීවාය. මෙවැනි සාර්ථක ගමනක් හිමිකර ගත් බොහෝ දෙනකුගේ සිනහව පිටුපස කඳුළු කතා ද ඇත්තා සේ ලීලාවතී මාතාවගේ සතුටු සිනාව පිටුපස ද එවැනි කතාවක් ඇත. ඇය තම කුසින් වැදූ දියණියන් සිවු දෙනාට මෙන්ම තවත් දියණියන් දෙදෙනෙකුට ද මවක් වෙමින් ඔවුන්ගේ නැණස ද පෑදුවාය. ඔවුන් සියලු දෙනා සමාජයේ ඉහළටම ඔසවා තැබීමට ඇයට හැකි වූයේ ඇය තුළ වන නොබසුබට වීර්යය නිසාය.
කුඩා කල සිට ලීලාවතී මාතාව ඉගෙනුමට දස්කම් පෑවා මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද ඇලුම් කළාය. පාසලේ මැහුම් ගෙතුම් අත්කම්වලින් සහ චිත්‍ර කලාවෙන් ද ඉදිරියට පැමිණියාය. එවකට පැවති ආකාරයට සිංහල, ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ඇය අධ්‍යාපනය හදාරා ඇත.
සුන්දර ළමා කාලයක් හිමි ලීලාවතී මාතාවට දෙවැනි ලෝක යුද සමය පිළිබඳ මතක බොහෝය. ළමුන් යුද සමයේ පාසලට නොපැමිණියද ඇය අකුරු කරන්නට දිනපතා පාසලට ගියාය. ඒ කාලයේ ලැබූ අත්දැකීම් ඇය අදත් සිහිපත් කරන්නේ ආශාවෙනි.
“මට දෙවැනි ලෝක යුද්ධය මතකයි. මැලේරියා වසංගතය, බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය හොඳට මතකයි. රටට නිදහස ලැබීම, ඩී. එස්. සේනානායක අභාවය, 71 කැරැල්ල වැනි සිද්ධි මම මුනුබුරන්ට කියලා දෙනවා. ඒ වගේම 1955 වර්ෂයේ සිදුවූ සූර්ය ග්‍රහණය ගැනත් මට මතක ගොඩක් තියෙනවා. එදා සූර්ය ග්‍රහණය වෙලාවේදී වදකහ බිව්වොත් ලස්සන වෙනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඉතින් නංගියි මමයි ඒ වෙලාවට බොන්න කියලා වදකහ කෑල්ලක් හොරෙන් ගෙනත් කොට්ටෙ යට හංගාගෙන හිටියා. ඒත් අම්මා ඒක දැනගෙන වදකහ කෑල්ල විසි කළා. ඒ නිසා අපට ඒවා බොන්න වුණේ නෑ. ඒත් අපේ පැත්තේ ගැහැනු ළමයි වදකහ බීලා හොඳටම වමනෙ දැම්මා කියලා අපට දැනගන්න ලැබුණා” ඇය ඒ අතීතය සිහිපත් කරමින් සිනාසෙන්නීය.
වර්ෂ 1952දී නොතාරිස් විභාගයට පෙනී සිට වසර පහක පුහුණුවකින් පසු ගාල්ල බද්දේගම නොතාරිස්වරිය ලෙස පත්වීම් ලැබූ ලීලාවතී, එහි මනා සේවයකින් පසු වලපනේ ප්‍රදේශයට සේවා මාරුවක් ලැබීය. එම කාලය ඇයගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ජීවන සහකරු මුණගස්වමිනි. ඔහු චිත්‍රසෝම ජයලත් වන අතර ඔහු ද නොතාරිස්වරයෙකි. ඒ හමුවීම කිසිදු දිනක අමතක නොවන බව ඇය පැවසුවාය. ඒ ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශ්වයේම ආශීර්වාදය හිමි වීමෙන් පසු 1962 වසරේදී ඔවුහු විවාහ වූහ. පසුව ගම්පොළ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචියට පැමිණි ඔවුහු සුන්දර පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද ඒ ගමන අතරමැද නතර කරන්නට දෛවය කුරිරු විය ඒ විවාහ වී වසර 7ක් ගතවද්දී ස්වාමි පුරුෂයා නොසිතූ ලෙස මෙලොව හැර ගිය අතර, එතැන් සිට කුඩා දියණියන් සිව් දෙනෙකුගේ සහ තවත් දියණියන් දෙදෙනෙකුගේ බර ලීලාවතීගේ හිස මත පැටවිණි. එහෙත් ඒ අභියෝගයට ඇය නොබියව මුහුණ දුන්නාය.
“ටිකක් නොවෙයි ලොකු බරක් මගේ කර පිට තිබුණා. එයා හොඳ සැමියෙක්. මම මහත්තයා නැති වුණා කියලා ජීවිතේ අතහැරියේ නැහැ. මුහුණ දුන්නා. බය වුණෙත් නැහැ. ඉගෙනීමට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් වෙන්නෙ නැහැ. දැනුම අවබෝධය ඇති කරගන්න. හිතේ තියෙන අධිෂ්ඨානය පමණයි හැම විටම හැමෝටම හැමදේටම වැදගත් වෙන්නේ. කාලය නිකරුණේ ගත නොකර කැමැති විෂයයක් තෝරාගෙන විභාගවලට පෙනී සිටියත් නැති වුණත් අධ්‍යාපනයෙන් තමන්ගේ ජීවිතයට ලබාගන්න පුළුවන්. එයින් ලැබෙන සතුට ජීවිතයට ඉතා වැදගත්.”
දියණියන් සය දෙනෙකුගේ දයාබර මවක් වන ලීලාවතී මහත්මිය ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් තම අපේක්ෂා සඟවාගෙන ඇගේ සියලු බලාපොරොත්තු එදා ඒ වෙනුවෙන් කැප කරන්නට ඇත. සියලු දුක් උහුලා දියණියන් රැජිනියන් කරවීම ඇගේ එකම බලාපොරොත්තුව වන්නට ඇත. එහෙත් ඉසුඹුවක් ලද සැණින් ඇය නැවත දැනුම සොයා යන ගමන ආරම්භ කළාය. ඒ සඳහා ඇය සිය වයස හෝ අන් කිසිවක් බාධාවක් කර ගත්තේ නැත. දැනුම සොයා යන ඒ ගමන නිම කරන අදහසක් තවමත් ඒ දිරිය සිතේ නැත. සිය දියණියන් සය දෙනාගේ ද නැණස පාදමින් ඔවුන් රටේ ඉහළටම ඔසවා තැබූ අතර ඒ දියණියෝ සය දෙනාම අද උපාධිධාරිනියෝය. වැඩිමහල් දියණිය දම්මිකා ජයලත් වෛද්‍යවරියකි. ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරියයි. දෙවැනි දියණිය සමුද්‍රා ජයලත් ඉංජිනේරු උපාධිධාරිනියක් වන අතර ඇය මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියකි. ඇය සිය දැනුම රටවල් රැසක දුවා දරුවන්ට බෙදා හදා දෙන්නීය. තෙවැනියා ඉන්දුනීලා ජයලත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරූ පීඨයේ උපාධිධාරිනියකි. සිව්වැන්නා නිතීඥවරියකි. ඇය නමින් මනෝහාරි ජයලත් ය. අනෙක් දියණිය නයෝමි මනෝමංජරී හෙදියකි. ඉහේෂා දිල්රුක්ෂි ජයලත් ඇය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන්නීය.
“අම්මා ගැන අපිට කියලා ඉවර කරන්න බැහැ. අම්මා අපිට හරි පුදුමයක්. මුල ඉඳලා අපේ ජිවිතය ගොඩනැඟුවේ අම්මාගේ ජීවිතයෙන් ආදර්ශයක් දීලායි. අම්මා විශ්වකර්ම කෙනෙක්. අපිට ඉගැන්නුවා පමණක් නොවෙයි. ශක්ති සම්පන්නව ජිවිතයට මුහුණ දෙන්නත් කියලා දුන්නා. ගැහැනු ළමයි වුණත් දෙපයින් නැඟී සිටින්නට හැකි වන ලෙස අපිව හැදුවා. අවවාදවලට වඩා අම්මා නිතරම අපිට දුන්නේ ආදර්ශයක්.” ඒ ඇගේ දෙටු දියණිය සමුද්‍රාය.
අනේකවිධ ජීවන අභියෝගවලට නොසැලී මුහුණ දුන් ලීලාවතී මාතාව අදටත් දරු මුනුබුරන් ඇගේ දැනුමින් පෝෂණය කරන්නීය. කිසිවකට ඇලුම් නොකළද දැනුම සොයා යාමට පමණක් ඇය අදටත් නොසංසිඳුණු ආශාවකින් පසුවන්නීය.
ඇයගේ ඒ උත්සාහය දහම අවබෝධය පිණිස ද උපකාරී වේ. මනා කල්පනා ශක්තියත් දෑසේ පෙනීමත් විටෙක ඇයගේ වයස අභියෝගයට ලක් කිරීමක් බඳුය. චිත්‍ර කලාවට හා මැහුම් ගෙතුම් ආදියට ද දක්ෂ ඇය පතපොත පාඩම් කිරීම අදටත් සිදු කරන්නේ උපැස් යුවළක් නොමැතිවය.
ලීලාවතී මාතාවගේ එකම අරමුණ වී ඇත්තේ අධ්‍යපනය තුළින් අධ්‍යාත්මයක් ලබා ගැනීමය. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධිය හිමිකර ගත්තේ එම විශ්වවිද්‍යාලයේ වයස්ගතම ශිෂ්‍යාව ලෙස ද ඉතිහාසයට එකතු වෙමිනි. ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් වීමේදී ඇය ශාස්ත්‍රපති උපාධිය සමත්ව තිබුණේ මෙරට වයස්ගතම කාන්තාව ලැබූ ශාස්ත්‍රපති උපාධිධාරිනිය බවට පත්වෙමිනි. “මම පරම්පරා හයක් දැකලා තියෙනවා. මගේ ආච්චි අම්මා, ඊට පස්සේ අම්මා, ඊට පස්සේ මම, මගේ දුවලා, දුවලගේ දරුවෝ, ඒ දරුවන්ගෙ දරුවො, දැන් මේ මුනුබුරන්ගේ නිවුන් දරුවෝ දකින්න මට වාසනාව තිබුණා. දරුවෝ දකිනවා කියනවට වඩා සන්තෝසයක් මට තවත් නෑ“.
නැවතත් ඇය ජීවිතයේ අලුත් පරිච්ඡේදයකට මුල පුරා ඇත. ජීවිතයෙන් උගත් අත්දැකීම් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිය ජීවිතය ඇයම ලියමින් සිටින්නීය. “මම නවකතාවක් ලියනවා. ජිවිතේ අපිට සුන්දරම මතක අඩුයි. මේ ගමන හරි දුෂ්කරයි. ඒත් ඒ අත්දැකීම් ජීවිතයේ දුෂ්කර යථාර්ථය පිළිබඳ අපිට කියා දෙනවා.”
ඇයගේ අත්දැකීම් ඇතුළත් එම නවකතාව මුද්‍රණයට සූදානමින් ඇත. ඒ නවකතාව රටටම ආදර්ශමත් කතාවක් වනු ඇත. “සමහර දේවල් ඉගෙන ගන්නේ මෙලොවට පමණක් නොවෙයි සංසාරයටමයි.” ලීලාවති මාතාව පවසන්නීය. දැනුම සොයා යන ගමන ද සාංසාරිකව ඇයට උරුම වූවක් විය හැකිය. ජීවිතය ගැන අපූර්ව වෙනස් වියමනක් ඇය අප වෙනුවෙන් ලියා තබනු ඇත.
– විශේෂ ස්තූතිය කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයට
සුභද්‍රා දේශප්‍රිය