අවුරුදු 209ක දීර්ඝ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා තැපෑල මෙරට පවතින පැරණිම දෙපාර්තමේන්තුවලින් එකකි. 1798 දී ලන්දේසීන් තම පාලන කාලය තුළ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පහ පිහිටුවීමත් 1799දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ තැපැල් ගාස්තු නියම කිරීමත් සමඟ ආරම්භ වූ ශ්‍රී ලංකා තැපෑල මෙරට උරුමය සහ ඉතිහාසය පිළිබඳ ආඩම්බර විය හැකි සලකුණු සනිටුහන් කර ඇත. ඒ ජයග්‍රාහී ගමන් මඟට පසුගියදා තවත් අභිමානවත් සැමරුමක් එක් විය.
ඒ, ශ්‍රී ලංකා තැපෑල විසින් ලෝකයේ දිගම මුද්දරය නිකුත් කරමිනි. ඉකුත් 20 වැනි අඟහරුවාදා සවස 6.30ට මහනුවර මහා පෙරහර මංගල්‍යය අවසන් කරමින් පැවැති සම්ප්‍රදායික උත්සවයේදී ලෝකයේ දිගම මුද්දරය නිකුත් කෙරිණි. මුද්දරයට තේමා වූ නිමිත්ත ශ්‍රී දළදා පෙරහර ය. මුද්දරය දිගින් මිලිමීටර 205කි. එහි වටිනාකම රුපියල් 500කි.
දියවඩන නිලමේතුමා, රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා, සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල බස්නායක නිලමේවරු, දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් මධ්‍යයේ ප්‍රථම මුද්දරය හා මුල්දින කවරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ විසින් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට පිළිගැන්වීය. ඉන් පසු ඇමැතිවරයා එය ජනාධිපතිවරයාට හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට භාර දුන්නේය.
මේ ඉතිහාසගත වූ කටයුත්තේ ප්‍රමුඛයා තැපැල්පතිවරයා වෙනුවෙන් මෙහෙයුම් අංශය භාරව සිටිනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහය. ලෝකයේ දිගම මුද්දරයේ අන්දරය අපි ඔහුගෙන් විමසුවෙමු. ඔහු අපට දීර්ඝ කතාවක් කීවේය.
“අප ලෝකයේ දිගම මුද්දරය නිකුත් කළා. මුද්දරය දිගින් මිලි මීටර 205යි. රුවන් උපසේන සහ ඉසුරු චතුරංග යන චිත්‍ර ශිල්පීන් විසින් තමයි මුද්දරය සකස් කර තිබුණේ. මේ මුද්දරයෙන් අප ලක්ෂ තුනක ප්‍රමාණයක් මුද්‍රණය කරනවා. මෙය සමරු මුද්දරයක් නිසා නැවත මේ මුද්දරය අප මුද්‍රණය කරන්නේ නෑ. සමරු මුද්දර කියන්නෙ නැවත නිකුත් නොකරන මුද්දර. ලොව දිගම මුද්දරයේ වටිනාකම රුපියල් පන්සියයි. මීට අමතරව අපි මුල්දින කවර පන්දාහක් නිකුත් කර තිබෙනවා. විචිත්‍රවත් විදිහට කවරය සකස් කර තිබෙනවා. එහි මිල රුපියල් 800යි.”
රටේ මුද්දර නිකුත් කරන්නේ යම් විධිමත් ක්‍රමයකට ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා අපට ඒ කතාව පැහැදිලි කළේය.
“රටට මුද්දර උපදේශක කමිටුවක් තිබෙනවා. ඒ මඟින් වාර්ෂිකව මුද්දර 36ක් අප නිකුත් කරනවා. ඒ සඳහා පුවත්පත් දැන්වීම් පළ කර යෝජනා ගෙන්නා ගන්නවා. ඒ යෝජනාවලට අනුකුලවයි අපි මුද්දර නිකුත් කිරීම කරන්නේ. එසේ අපට ලැබුණු යෝජනාවක් අනුව තමයි මේ දිගම මුද්දරය සකස් කරන්න අපේ මුද්දර උපදේශක සභාව මඟින් තීරණය කළේ.”
මුද්දර උපදේශක සභාව යනු තැපැල්පතිගේ නායකත්වයෙන් යුතුව බාහිර පාර්ශ්වයන් සම්බන්ධ වන කමිටුවකි. වාර්ෂික මුද්දර සැලැස්ම සකස් කරන්නේ එම කමිටුව මඟිනි. මෙම මුද්දරය සකස් කළේ ඒ වාර්ෂික මුද්දර සැලැස්මට අනුවය.
“ලෝකයේ දීර්ඝතම මුද්දර සකස් කිරීම සඳහා වූ විශේෂ නිමිත්තක් තිබෙනවාද?” යැයි අපි විමසුවෙමු. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා අපට ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.
“මීට කලින් අපි වයිස්රෝයි දුම්රිය ඇතුළත් දිග මුද්දරයක් නිකුත් කළා. ඒ මුද්දරයේ දිග මිලිමීටර 175යි. දළදා මාළිගාව පෙරහර මංගල්‍යය ලෝකයේ දිගම මුද්දරය නිකුත් කරන්න තෝරා ගත්තේ මේක අපේ පැරණිම හෙළ සංස්කෘතික උත්සවයක් නිසයි. මෙම උත්සවයේ සංස්කෘතිකාංග විවිධාංගීකරණය වෙලා සහ ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙන නිසා අපට ඒ සම්බන්ධයෙන් යෝජනාවලියක් ආවා මුද්දරයක් නිර්මාණය කරන්න. ඒ නිසා අපි මේ මුද්දරය නිර්මාණය කරන තීන්දුව ගත්තා. පෙරහරේ රූප රාමු ගෙන්වා ගත්තේ දළදා මාළිගාවෙන්මයි. ඒ රූපරාමු තමයි චිත්‍ර ශිල්පීන් දෙදෙනා විසින් සිතුවමට නැඟුවේ. ” ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ කීවේය.
මෙම ඉතිහාසගතවන නිර්මාණය කළ විශිෂ්ට ශිල්පීන් දෙදෙනා ඉසුරු චතුරංග සහ රුවන් උපසේන බව මුලින් කීවෙමු. මූලික සිතුවම ඇඳ තිබුණේ ඉසුරු චතුරංගය. නිර්මාණයේ අවසන් සූක්ෂ්ම නිමාව සිදුවන්නේ රුවන් උපසේන අතිනි.
මෙම නිර්මාණය සිදුකළ ආකාරය ගැන අපට කතා කරන්නේ ඉසුරු චතුරංගය. ඔහු මුද්දර කාර්යාංශයේ වසර 14ක් තිස්සේ රැකියාව කරන නිර්මාණ ශිල්පියෙකි. මේ ඔහු දායක වන්නේ ස්වකීය නිර්මාණ ජීවිතයේ 224 වැනි මුද්දරය නිර්මාණය කිරීම සඳහාය.
“මේ මුද්දරය අදින්න පළමුව අපි මේක අඳින්න ඕන කොහොමද කියලා විෂුවල් එකක් හදා ගත්තා. දළදා පෙරහර සම්ප්රදායේ වැදගත්ම අංග ප්‍රකට වන ආකාරයේ දර්ශන සහිත රූප රාමු දළදා මාලිගාවෙන් අරන් එක රූප තලයක් හදා ගත්තා. ඒ රූප තලය ආශ්රයෙන් දිය සායම් චිත්‍රයක් විදිහට තමයි සිතුවම ඇන්දේ. පසුව ඩිජිටල් ටච් එකක් දුන්නා. වර්ණවත් සම්ප්‍රදායික චිත්‍ර ශෛලිය තමයි නිර්මාණයට යොදා ගත්තේ.
මම නිතරම බලාපොරොත්තු වුණේ මුද්දර ලෝලින්ට එකතු කරන්න ආසා හිතන නිර්මාණයක් කරන්න. ලංකාවෙ නම ලෝකයට ගෙනියන්න පුලුවන් විදිහ නිර්මාණය කරන්න. ඉසුරු අපට කීවේය. රුවන් උපසේන සහ ඉසුරු චතුරංග රටේ අභිමානය ලෝකයට ගෙන යන ආකාරයේ වැඩක් කර තිබුණු බව පමණක් දකිමු.
දැන් ලෝකයේ දිගම තැපැල් මුද්දරය අපේය. අප ලෝකයේ දිගම තැපැල් මුද්දරය නිකුත් කිරීමට පෙර ලොව දිගම තැපැල් මුද්දරය නිකුත් කර තිබුණේ පිලිපීනය ය. 2024 ජූනි 12 වැනිදා පිලිපීන තැපැල් සංස්ථාව (PHLPost) පළමු පිලිපීන ජනරජයේ 125 වැනි සංවත්සරය සැමරීම සඳහා මිලි මීටර් 200 දිග මුද්දරයක් නිකුත් කර තිබිණි. එහි වටිනාකම පිලිපීන මුදල් ඒකකය වූ පෙසෝ 125කි. පිලිපීනය – ආසියාවේ ප්‍රථම ජන රජය ලෙස එම මුද්දරයේ සටහන් විය. 1898 ජූනි 12 වැනිදා පිලිපීනයේ නිදහස ප්‍රකාශ කිරීමෙන් ආරම්භ වී 1901 මාර්තු 23 වැනිදා ඇමරිකානු හමුදා විසින් Emilio Aguinaldo අල්ලා ගැනීමෙන් අවසන් වන පිලිපීන නිදහසේ වැදගත් සිදුවීම් මෙම නව මුද්දරය විදහා දක්වයි.
පිලිපීනය මාස දෙකකට පෙර පැවසුවේ ලෝකයේ දිගම මුද්දරය නිර්මාණය කර ලෝක වාර්තාවක් තැබූ බවය. ඊට මාස 2ක් සහ දවස් 08ක් ගිය තැන අපේ තැපැල් දෙපාර්තමේන්තුව පිලිපීනයේ ලෝක වාර්තාව බිඳ දැම්මේය.
පිලිපීනය මෙම මුද්දරය නිර්මාණය කිරීමට පෙර කිර්ගිස්තානයේ තැපැල් පරිපාලනය වන කිර්ගිස් එක්ස්ප්‍රස් පෝස්ට් විසින් නිර්මාණය කළ මුද්දරයක් ලොව දිගම මුද්දරය ලෙස සලකනු ලැබිණි. එහි දිග මිලි මීටර 184ක් හෙවත් අඟල් 7.2ක් විය. ඔවුන්ගේ මුදල් ඒකකය වන සොම් 250ක වටිනාකමින් යුතු මුද්දරයෙන් සිතුවම් වී තිබුණේ කිර්ගිස්තානයේ චාර්-ටෑෂ් කඳුවැටියේ පුළුල් පරාසයක් පෙන්වන දර්ශනයකි.
කිර්ගිස්ථානයේ භූමි ප්‍රමාණයෙන් සියයට 90ක් පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 4900කට වඩා උඩිනි. කිර්ගිස්ථාන රජයේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්ෂ 2022 ජාත්‍යන්තර කඳු සංවර්ධනය කිරීමේ වර්ෂය ලෙස නම් කළේය. 2023 ජනවාරි මස 30 වැනිදා කිර්ගිස්ථානය ලොව දිගම මුද්දරය නිකුත් කරන්නේ එම සැමරුම වෙනුවෙනි.
2017දී තායිලන්තය විසින් නිකුත් කරන ලද මිලිමීටර 170ක් හෙවත් අඟල් 6.7ක් දිග මුද්දරය ඊට කලින් ලොව දිගම මුද්දරය ලෙසින් ගෞරවයට පාත්‍ර විය. බාට් 9 ක මුද්දරය භූමිබෝල් අදුල්යාදේජ් රජු සිහසුනට පත්වීමේ 70 වැනි සංවත්සරය සිහිපත් කරමින් නිර්මාණය කර තිබිණි. මුද්දර පහකින් සමන්විත වාර්තාගත කට්ටලය තුළ, මහරජ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ පින්තූර 6ක් අඩංගු විය.
කෙසේ වෙතත් ලෝක අවධානයට ලක් නොවී ලෝකයේ දිගම මුද්දරයක් වර්ෂ 2011 සිට වර්ෂ 2023 දක්වා ලෝකයේ පැවතිණි. ඒ මිලි මීටර 175ක් දිග ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඉහත කී වයිස්රෝයි දුම්රියේ සිතුවමක් සහිත මුද්දරය ය.
දැන් යළිත් වරක් ලෝකයේ දිගම මුද්දරය අපේය. අපේ දළදා පෙරහරේ ප්‍රෞඪත්වය සංකේතවත් කරන එම මුද්දරය වඩාත් වැඩි ජවයකින් යුතුව අපේ පෙරහර මංගල්‍යය ලෝක අවධානයට ලක් කිරීමට සමත් වනු ඇති බව විශ්වාසය.
ටානියා මෝසස්