2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 24% සිට 50% ඉක්මවන ප්‍රතිශතයකින් වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කෙරෙන බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න පවසයි.
ඒ අනුව මේ දක්වා රාජ්‍ය සේවයේ පවතින අවම වැටුප වන රුපියල් 24250.00ක මුදල 24%කින් ඉහළ යන අතර සියලු දීමනා සමඟින් අවම වැටුප රුපියල් 55000ක් දක්වා වැඩි වන බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම දැනට ගෙවනු ලබන රුපියල් 17800ක් වන ජීවන වියදම් දීමනාව සියලු සේවකයන්ට පොදුවේ රුපියල් 25000ක් දක්වා වැඩි කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ රජය ගැන නොව මෙම ගැටලුව විසඳීම බව යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. වසර ගණනාවක් පුරා වරින් වර ඉස්මතු වන වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ස්ථිර විසඳුමක් ලබාදීම මේ හරහා සිදු කරනු ලබන බවද ඔහු කීවේය.
වර්තමානයේ රාජ්‍ය සේවයේ පවතින සියලුම අභියෝග ජය ගැනීම සඳහා සිදුකළ යුතු ප්‍රතිනිර්මාණකරණයන් සඳහා ප්රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර, රාජ්‍ය සේවකයින් සඳහා තෘප්තිමත් රැකියා පරිසරයක් ද, ජනතාවට විශිෂ්ට සේවයක් ද, ආර්ථික සංවර්ධනය සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම උදෙසා රාජ්‍ය සේවය වෙනුවෙන් පුළුල් වූ වැඩසටහනක් ද වැටුප් විෂමතා සම්බන්ධ මෙම ජනාධිපති විශේෂ කමිටුව ඉදිරිපත් කර ඇත.
මේ වන විට රාජ්‍ය සේවයේ දැනට ඇති වැටුප් කාණ්ඩ තිස් ගණනක් වූ සංඛ්‍යාව කාණ්ඩ 4ක් දක්වා අඩු කිරීම සිදු කෙරේ. ඒ හරහා වැටුප් විෂමතා දුරුවන ආකාරය කමිටුව විසින් නිර්දේශ කර ඉදිරිපත් කරන ලදී.
මෙම කමිටුවේ ලේකම් ධුරය ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්, වර්ණන් පෙරේරා මහතා විසින් හොබවන ලද අතර එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද්දේ ජූඩ් නිලුක්ෂාන් (අධ්යක්ෂ ජනරාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුව) , හිරන්සා කලුතන්ත්‍රි (අධ්යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව), එස්. ආලෝක බණ්ඩාර (ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්), එච්. ඒ. චන්දන කුමාරසිංහ (ආයතන අධ්යක්ෂ ජනරාල්), වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා (විශ්‍රාමික නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය), දුමින්ද හුලංගමුව (සභාපති, ලංකා වාණිජ මණ්ඩලය), චන්දි එච්. ධර්මරත්න (ප්‍රධාන මහජන නිලධාරි (Chief people officer) BCS ජාත්‍යන්තර තාක්ෂණ පුද්ගලික සමාගම BCS International Technology PTY LTD) හා ඉසුරු තිලකවර්ධන (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) කොමර්ෂල් බැංකුව) යන මහත්වරුන්ය.
එසේම විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක්ද ගෙවනා ලබන බව ඔහු පෙන්වා දුන්නේය. ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු එම කාණ්ඩයට අයත් නොවේ. එම කාණ්ඩයන් හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
තාරක වික්‍රමසේකර