ජාජබයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් විකෘති කර කාත්තන්කුඩි ප්‍රදේශයේ රැස්වීමකදී කතාවක් සිදුකිරීම මඟින් තම කීර්තිනාමයට සහ ප්‍රතිරූපයට කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් වෙත එන්තරවාසියක් යවා තිබේ.
එම එන්තර වාසිය මඟින් සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රකාශය සිදුකිරීම සම්බන්ධයෙන් රවුෆ් හකීම් මහතා ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යුතු බවය. එසේ සමාව ගැනීම සහ මුදල් වන්දිය ලබාදීම දින දාහතරක් ඇතුළත සිදු නොකරන්නේ නම් රවුෆ් හකීම්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම එන්තරවාසියෙහි සඳහන් වේ. සිය සේවාදායකයා ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික ජන බලවේගයේ නායකත්වය හොබවන අතර 2024 ජනාධිපතිවරණය අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බව එන්තරවාසිය සඳහන් වේ.
2019 මැයි මස 07 වැනිදා පාර්ලිමේන්තුවේදී කුමාර දිසානායක මහතා විසින් කරන ලද කතාවක් විකෘති කරමින් ඉකුත් අගෝස්තු මස 19 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී රවුෆ් හකීම් මහතා විසින් ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇති බව අදාළ එන්තරවාසියෙහි සඳහන් වේ .
එම ප්‍රකාශය 2024 අගෝස්තු මස විසිවැනිදා ටියුබ් නාලිකා ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ රූපවාහිනි නාළිකාවල විකාශය වූ බවද , ෆේස්බුක්, වට්ස්ඇප් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බවද එන්තරවාසියේ සඳහන් වේ. ත්‍රස්තවාදය වර්ධනය වීම සහ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් කර ඇති මෙම ප්‍රකාශය සිය සේවා දායකයා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් විකෘති කිරීමක් වන අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගතව කරන ලද ප්‍රකාශයක් බව නීතිඥ මංජුල බාලසූරිය සිය එන්තර වාසයේ සඳහන් කර තිබේ.