– ජනතාව ඉල්ලුවත් නැතත් අවශ්‍ය දේ ලබාදුන් නායකයෙක්
– ගෑස් සිලින්ඩරය තමයි මේ අවස්ථාවේ තිබෙන බලසම්පන්න සලකුණ
– සජිත් රඟපාන්නේ ගෝඨාභය දෙවැනි ජවනිකාවට වඩා භයානක එකක්
– ජනාධිපතිවරයා නොකියා වැටුප් වැඩි කරන කෙනෙක්
ජනාධිපතිවරණ සටනේ වත්මන් ජනාධිපතිතුමාට ගැලපිය හැකි කිසිදු නායකයකු නැති බව ඔබ පවසනවා…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගැළපිය හැකි කිසිදු අපේක්ෂකයෙක් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැහැ. මෙය ජාතියකට, ආගමකට, කුලයකට නායකයකු සොයන ගමනක් නොවෙයි. අපි සොයන්නේ රටකට නායකයෙක්. ශ්‍රී ලංකික අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා නායකත්වයක් අවශ්‍යයි. වසර ගණනාවක පාර්ලිමේන්තු, වසර දෙකක ජනාධිපති ධූර අත්දැකීම් ඇති අයකු ලෙස ඔහුට සම කළ හැකි කිසිවෙක් නැහැ. ලාංකේය මහ ජනතාව මෙය තේරුම් ගත යුතුයි. කල්පනාවෙන් වැඩ කළ යුතුයි. අනාගත පරම්පරාව ගැන සිතා කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව ලෝකයේ ඔසවා තැබීමට වගබලා ගත යුතුයි.
ඔබ පවසන්නේ එතුමා කළ කාර්යභාරය ඉදිරියටත් කරන්නට මේ කිසිදු අපේක්ෂකයකුට නොහැකි බවද?
පැහැදිලිවම. ශ්‍රී ලංකා මාතාව සිටියේ දැඩි සත්කාර ඒකකයේ. රෝගියා කාමරයේ සිටියදී වෛද්‍යවරයා මාරු කළොත් මොකද වෙන්නේ. එවිට රෝගියා අසාධ්‍ය වෙනවා. අපේ රටටත් නායකත්වය මාරු වුණොත් බරපතළ හානි වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා මාතාව බරපතළ පීඩාවන්ට ලක්වේවි.
වත්මන් ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ ආර්ථිකය ගොඩනැඟෙමින් තිබියදී පවා රාජ්‍ය සේවකයන් ඇතුළු විශාල පිරිසකට වැටුප් වැඩි කිරීමට හා දීමනා ලබා දීමට ජනාධිපතිවරයා සැලසුම් කරනවා?
මෙය ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ වැටුප් වැඩි කිරීම් එතුමා සිදු කරන්නේ ජාත්‍යන්තරව අපිට ආධාර දෙන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු පද්ධතිය ඔස්සේයි. එතුමා මහජනතාව ඉල්ලුවේ නැතත්, ජනතා පීඩනය පිළිබඳ තිබෙන අවබෝධය නිසා අවශ්‍ය දේ ලබාදුන් නායකයෙක්. එතුමා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින පවුල් ලක්ෂ 25 කට රුපියල් 15,000 බැඟින් ගිණුමට එකතු කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය යන්ත්රණයේ නියැළි ලක්ෂ 15 ක කණ්ඩායමෙන් විධායක ශ්‍රේණියේ 20,000 කට රුපියල් 25,000 බැඟින් වැටුප් වැඩිකර තියෙනවා. ඉතුරු දහ හතර ලක්ෂ අසූ දාහකට වැටුප් වැඩි කිරීම් සිදු වී නැහැ. මේ පිරිස දුර්වල වුණොත් ආර්ථික පරිවර්තන පනතේ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 65 ක පමණ පිරිසට ඊ.ටී.ෆ්, ඊ.පී.ෆ්. ඔස්සේ හා කාර්යක්ෂමතාව මත පඩි වැඩිවීම් වෙනවා. වාසනාවන්තම කණ්ඩායම වන්නේ කිසිම දෙයකට බැඳීමක් නැති මේසන් වැඩ, පොල් කඩන අය වැනි ස්වයං රැකියා කරන පිරිස. ඔහු රජයේ සේවකයකුගේ ගෙදරටම දිනක සේවයට ආ පසු දිනක වැටුප ගෙවීමට රජයේ සේවකයාට අතේ මුදලක් නැහැ. ඒ නිසා මේ අසමතුලිතතාව සමතුලිත විය යුතුයි. වැඩියෙන්ම පීඩනයට පත්ව සිටින්නේ රාජ්‍ය යන්ත්රණයේ ලක්ෂ 15 ක පිරිස. ජනාධිපතිවරයා නොකියා වැටුප් වැඩි කරන කෙනෙක්. රුපියල් 25,000කින් වැටුප් වැඩි කිරීම හා රාජ්‍ය යන්ත්රණයේ වැටුප් අසමතුලිතතාවන් වෙනස් කිරීමට වෙනමම කමිටුවක් පත් කර තියෙනවා. මේ අවස්ථාවේ වැඩිම පීඩනයකට ලක් ව සිටින පිරිසට ජනවාරි මස සිට රුපියල් 25,000 කින් වැටුප් වැඩි කළ යුතුයි. සමහරු කියනවා, එතුමා පින් ජනාධිපති බව. ඔහු ශ්‍රී ලංකාවේ පහළ වූ වඩාත් පුණ්‍යවන්ත ජනාධිපතිවරයායි.
රාජපක්ෂවරුන්ගේ ඉවත් වීම මැතිවරණ සටනට බලපා ඇත්තේ කොයි ආකාරයෙන්ද?
මේ ගැන මට කිසිවක් කියන්න බැහැ. ඒ අය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට භාර දුන්නේ. ඒ කවුරුවත් රට භාර නොගත්, වගකීම් පැහැර හරින අවස්ථාවක.
රාජපක්ෂවරුන්ගේ ඉවත් වීමත් සමඟ මහ ගෙදර හැර ගිය පිරිස් නැවතත් එකතු වෙමින් තියෙනවා. ඉදිරියට මේ තත්ත්වයේ ප්‍රගතියක් දැකිය හැකිද?
රාජපක්ෂවරු සිටීම හෝ නොසිටීම වැදගත් සාධකයක් ලෙස දකින්නේ නැහැ. රාජපක්ෂවරු නැතිවත් 2015 මේ රටේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ රාජපක්ෂවරු පරාජය කරමින්. සමගි ජන බලවේගයෙන් මේ වන විට ප්‍රධානීන් 16 දෙනෙක් අපත් සමඟ එක්වුණා. තවත් එයි. සම්පූර්ණයෙන් මහ ජන ගඟකින් මේ ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා.
ඉදිරියට සජබයෙන් තවත් පිරිසක් එකතු වීමේ සූදානමක් පවතීද?
අනිවාර්යයෙන්. මැද මට්ටමේ, ගම් මට්ටමේ හා ඉහළ මට්ටමේ විශාල පිරිසක් අපිත් සමඟ එකතු වීමේ සූදානමින් ඉන්නවා.
වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා වටා ඒකරාශී වෙලා ඉන්නේ එජාපයට වඩා පොදු ජන පෙරමුණේ පිරිසක්. ඒ අය සමඟ ඉදිරි මැතිවරණ සැලසුම කොහොමද?
එය වැරදියි. උදාහරණයක් ලෙස 2022 මැයි මස 12 වැනිදා අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගනිද්දි ප්‍රකාශයක් කළා. ‘අපි බෙදුණා ඇති. මේ ප්රශ්නය මම විසඳා දෙන්නම්. සියලුදෙනාගේ සහයෝගය මට ඕන“ කියලා. පාර්ලිමේන්තුවේ වූ සියලු දේශපාලන පක්ෂවල ඡන්ද 134 ක් ලබා දෙමින් එකඟතාවයකට පැමිණියා. ඒ එකඟතාවය වන්නේ ජාතික රාමුවක් තුළ ශ්‍රී ලංකාව
ගොඩනැඟීම සඳහා එකමුතුව වැඩ කිරීමයි. එකමුතුකම නිසා එදා අපි නිදහස ලබා ගත්තා. සියලු දෙනාට එකට වැඩ කරන්න කිසිම බාධාවක් නැහැ. ඉතිහාසයේ ඒ සඳහා පූර්වාදර්ශ පෙන්නුම් කර තියෙනවා.
දේශපාලන පිල් මාරුවෙන් ජනතාව, පාක්ෂිකයෝ අතරමං වෙලා කියලා ඔබ හිතන්නේ නැද්ද?
මේ තත්ත්වය ඇති කළේ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය සමයේ සිටි අගවිනිසුරුවරයා දුන් තීන්දු මත. ඒවා වෙනස් විය යුතුයි. මේවාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් අවශ්‍යයයි. ඉදිරියේදි යම් යම් වෙනස් වීම් සිදු කළ යුතුමයි. මගේ මතකයේ හැටියට ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකසිය තිස් වතාවක් පමණ මාරු කර තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෙනස්වීම් සිදුවිය යුතුයි.
එතුමා තෝරාගත් ඡන්ද සලකුණ පිළිබඳවත් විවිධ අදහස් මතු වෙනවා. ඇයි එවැනි සලකුණක් තෝරා ගත්තේ..?
ඊට පදනමක් තියෙනවා. දේශපාලන පක්ෂවල ලාංඡන මහජනතාවට මතකයි. දේශපාලන පක්ෂවල ලාංඡනවලට වඩා මහ ජනතාව තමන් පීඩාවට පත්වී සොයාගෙන ගිය ගෑස් සිලින්ඩරය හොඳින්ම මතකයි. එය තමයි මේ අවස්ථාවේ තිබෙන බලසම්පන්න සලකුණ. මහජනතාවගේ හදවතේ ඇති සලකුණ. ජනතාව මෙය කර තබාගෙන මහ පාරේ මිය ගිය අවස්ථා තිබෙනවා. සෑම ගමකම නගරයකම ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී සිටියා. ඒ ලකුණ තවත් මාර්කට් කරන්න අවශ්‍ය නැහැ. ජනතාවගේ හදවත් තුළ ගෑස් සිලින්ඩරය තිබෙනවා.
තලතා මන්ත්‍රීතුමිය පසුගියදා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස විසින් දෙකට කැඩූ බවත්, ජනාධිපතිවරයා සමඟ එකතු වී ජනාධිපතිවරණයට තරග කිරීම මේ අවස්ථාවේ කළ යුතු එකම දේ බවත්…
එතුමිය පවසන කරුණ හරියට හරි. යම්කිසි අවස්ථාවක ඇතිවන තත්ත්වයන් සමඟ සියලු දෙනාගේ සිතුවිලි සමාන නැති නිසා යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකියි. එතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බොළඳ කතාවක් කිව්වා. ජනාධිපති ධුරය අහෝසි කරන බව කිව්වා. පක්ෂය බෙදීමට යන අවස්ථාවේ ජනාධිපති ධුරය අහෝසි කරන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කැබිනට් පත්‍රිකාවක් අරගෙන ආවා. ඒ ගෙනාවේ මේ බෙදීම නැති කරන්න හිතාගෙන. එදා මේ විපක්ෂ නායකවරයා කැබිනට් මණ්ඩලයේ හැසිරුණ ආකාරය මතකද? එදා විහිළු සැපයීම කණගාටුදායකයි. එදා එය ගෙනාවා නම් ජනාධිපතිවරණයක් නැහැ. ජනමත විචාරණයක් පමණයි ඇත්තේ. කෙසේ හෝ දැන් ඒ සිදුවීම් මාලාව දෙස බලා තලතා අතුකෝරාල මැතිනිය පැවැසුවේ වෙන දෙයක් ගැන නෙමෙයි. එතුමිය කිව්වේ අපි වෙන්වුණේ රනිල් වික්‍රමසිංහ මහතා සිටින තුරු ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට හදා ගැනීමට බැහැ කියන හේතුව මත කියලා. දැන් එක්සත් ජාතික පක්ෂ නායකයා 8 වැනි විධායක ජනාධිපති. දැන් පක්ෂය වැළඳ නොගැනීමට හේතුවක් නැහැ.
පසුගියදා කියැවුණාක් මෙන් සජබ නායකයාට ඇත්තේ කෙසේ හෝ ඉක්මනින් ජනාධිපති වීමේ ආසාවද?
ඊර්ෂ්‍යාව, කුහකකම, ක්‍රෝධය වෛරය සිත තුළ පැසවීම වැනි සිතුවිලි ඇති කෙනෙකුට රටක් පාලනය කරන්න බැහැ.
පසුගියදා ඇය පැවැසුවා , සජිත් ප්‍රේමදාස සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජවනිකාවේ දෙවැනි කොටස රඟ දක්වන්නට බව…?
දෙවැනි ජවනිකාවට වඩා භයානක එකක් රඟපාන්නේ. ඔහු මේ රඟපාන රඟපෑම අවසන් වන්නේ දේශපාලඥයින් සිය දහස් ගණනින් කනත්තට ගිහින්. එයින් අපි නිදහස් විය යුතුයි. ඒ කවුද යන්න මහ ජනතාව හදුනාගත යුතුයි. ඒ සඳහා නීති , අණ පනත් සම්පාදනය කර තියෙනවා. ඒවා ගැන අනවබෝධයෙන් හැමෝම ‘මම ජනාධිපති, ‘මම ජනාධිපති‘ කිව්වොත් වෙන්නේ රට භයානක තැනකට තල්ලු වීමයි.
එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේදී පසුබෑමකට ලක්වුණා. පාක්ෂිකයන් ඒකරාශි කරගන්න මෙවර පක්ෂ සමුළුව හරහා යම් බලපෑමක් වේද?
සැප්තැම්බර් මස 6 වැනිදාට එක්සත් ජාතික පක්ෂයට වසර 78 ක් පිරෙනවා. නමුත් මැතිවරණ රාජකාරි නිසා එය සැමරීම 25 වැනිදා ආණ්ඩු නියෝජනය කරන දේශපාලන පක්ෂ හා අනිකුත් පක්ෂවලට ආරාධනය කරමින් දස දහස් ගණනක සහභාගිත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. එදිනට ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා අපේ පක්ෂයේ දායකත්වය පිළිබඳ යෝජනා කිහිපයක් සම්මත කර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරන බවට සහතික වීමේ යෝජනාවක් සම්මත කරනවා.