Home » කෘෂිකර්ම ඇමැති ලෙස අනුර කුමාර එදා කළ මෙහෙවර

කෘෂිකර්ම ඇමැති ලෙස අනුර කුමාර එදා කළ මෙහෙවර

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

ජාජබ නායකයා වන අනුර කුමාර 2004 වසරේදී කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ජනතාවට සිදු කළ මෙහෙවර කුමක්ද, රට හදන්න අනුර කුමාරට අත්දැකීම් තිබෙනවාද යන කාරණාව පිළිබඳව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් සිළුමිණට යොමු කරන ලද ලිපියක් මෙහි පළවේ.

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට තව ඇත්තේ සති හතරකටත් වඩා අඩු කාලයකි. මෙය මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළට නඟින කාලයකි. පෙර පැවති මැතිවරණ සමඟ සසඳා බලන කළ මෙවර ජනාධිපතිවරණයේ කැපී පෙනෙන වෙනසක් පවතී. එනම් රටේ පැවති ප්‍රධාන දේශපාලන පක්ෂවලට අභියෝගාත්මකව ජාතික ජන බලවේගය නම් සන්ධානය වේගවත්ව ඉදිරියට පැමිණීම යැයි ඇතැමුන්ගේ විශ්වාසයයි.

මෙම සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. 2004 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණයට තරග කර ජය ගෙන පිහිටු වූ ආණ්ඩුවේ මාස 14ක කාලයක් ඇමැති ධුර 04ක් දරමින් කටයුතු කිරීම හැරුණු කොට ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු පාලන බලයක අත්දැකීම් ඇත්තේ නැත. ඒ නිසා පාලන බලය ගත්තේ වී නමුදු ජාතික ජන බල වේගයට ආණ්ඩු බලය හෙබවූ අත්දැකීම් ඇති කණ්ඩායමක් ඔවුන් සතුව නොමැති නිසා ආණ්ඩුව නිසි මඟ ගෙන යා හැකිවේ දෝයි යන සැකය වෙනත් පාර්ශ්වයන් විසින් මතුකරනු දක්නට ලැබේ.

2004 සන්ධාන ආණ්ඩුවේ ඇමැති ධුර හතරක් දැරූ ජවිපෙ එම අමාත්‍යාංශ මෙහෙය වූ ආකාරය පිළිබඳ සොයා බැලීමෙන් මෙහි සත්‍යතාවය පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගත හැකිය. එසේම මෙම කාල වකවානුව යනු උතුරේ යුද්ධය වඩාත් ප්‍රබල ලෙස මතුව පැවති කාලයක් බවත්, එසේම ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වූයේ යුද්ධය අවසන් කිරීමේ මූලික වුවමනාවෙන් බවත් මෙහිදී සිහිපත් කිරීම වැදගත්ය. එනම් රට සංවර්ධනය කිරීමේ මූලික සැලැස්මක් සඳහා නොවන බවය. එම ආණ්ඩුවේ ජවිපෙ කටයුතු කළේ මාස 14ක් තරම් කෙටි කාලයක් වුවත් ඒ පිළිබඳ අතීත තොරතුරු වර්තමානයේ සාකච්ඡාවට බඳුන් නොවීම අතිශයින් කනගාටුදායකය. මෙවැනි කෙටි ලිපියකින් එම අමාත්‍යාංශ 04ක තොරතුරු සාකච්ඡා කළ නොහැකි නිසා අනුර කුමාර දිසානායක මහතාට පැවරුණු කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍යාංශයේ ඔහු විසින් ඉටු කරන ලද කාර්යයන් කිහිපයක් පිළිබඳව මෙහි දී ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කළෙමි.

අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ ද ඉතාම චාම් සහ සරළ ලෙසය, ඉන් පෙර අවස්ථාව, ඇම­ැතිවරු වැඩ භාරගැනීම යනු මහා සංදර්ශන වන අතර, විය පැහැදම් අධික නාස්තිකාර උත්සවයන්ය, එහෙත් ආරම්භයේ පටන්ම ඒවා වෙනුවට තිබෙන සම්පත්වලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩකිරීම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී ද මෙම වෙනස අනුර දිසානායක මහතා පැහැදිලිව පෙන්වූයේය. සාමාන්‍යයෙන් ඇමැතිවරු සිදුකරන්නේ තම දේශපාලන හිතවතුන්, ඥාතීන් ආයතනවල තනතුරු සඳහා පත්කර ගැනීමය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

බොහෝ ඇම­ැතිවරුන්ගේ කාර්ය මණ්ඩලයේ සිටින්නේ තම බිරිය ඇතුළු පවුලේ පිරිසය. එහෙත් මෙම තනතුරු සඳහා අනුර දිසානායක මහතා අදාළ ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති කාර්යක්ෂම නිලධාරීන් පත්කරනු ලැබුයේ ඔවුන්ගේ දේශපාලන මත කවරේදැයි නොසලකා හරිමිනි. පසුකලෙක අදහස් පළ කළ ඒ බොහෝ නිලධාරීන් ප්‍රකාශ කළේ තමන් ඊට පෙර අනුර දිසානායක මහතා හැඳින සිටියේවත් නැති බවය.

අමාත්‍යාංශ විෂය පථය සකස් කර ගැනීමේදී ද වඩා විද්‍යාත්මක පදනමක් සහිතව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් යන විෂයයන් ඒකාබද්ධතාවයකින් එකම අමාත්‍යාංශයක් යටතට ගැනීමට පියවර ගෙන තිබුණි. මෙයට මහවැලි අමාත්‍යාංශය ඇතුළත් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් ශ්‍රීලනිප බලධාරීන් සමඟ විශාල කේවල් කිරීමක් සිදුකරන ලද නමුත් එම පාර්ශ්වයෙන් ඒ සඳහා එකඟතාවයක් ලැබුණේ නැත. ලංකාවේ කෘෂිකර්මය සැලකීමේදී මහවැලි කලාප ගණනාවක හෙක්ටයාර දහස් ගණනක් වගා කෙරෙන නිසා මෙම ඉල්ලීම කෙතරම් සාධාරණ ද යන්න තේරුම් ගත හැකිය.

ලංකාවේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සලකා බැලීමේදී අනාදිමත් කලක පටන් පැවතෙන වාරි සංස්කෘතිය ප්‍රධාන සාධකයක් වන අතර මෙය කෘෂිකර්ම සංවර්ධන වැඩපිළවෙළේ කේන්ද්‍රස්ථානය ලෙස අනුර දිසානායක විසින් හඳුනාගත් බව පැහැදිළිය.

ඒ අනුව කලක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් රොන්මඩ පිරීමෙන් හා ඇළ වේලි විනාශ වීමෙන් වැව්වල ක්‍රියාකාරීත්වය දුර්වල වී කාර්යක්ෂමතාවය අවම වී නාස්තිය වැඩිවී තිබෙන බව හඳුනා ගන්නා ලද බව පෙනේ.

ඒ අනුව මෙම වැව් පිළිසකර කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහනක් සකස් විය. වැව් අමුණු දස දහසක් (10,000) ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වූ කලී එදා ඔහුගේ සංවර්ධන වැඩ සටහනේ මූලික අංගයක් වූයේ එබැවිනි.

මෙහි පළමු අදියර යටතේ වැව් 1015ක වැඩ ආරම්භ කළ අතර, 2005 ජුනි වන විට වැව් 927 ක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කර තිබුණි’ තවද මෙයින් පවුල් 53,125 කට ප්‍රතිලාභ ලැබුණ බවත් වගා බිම් අක්කර 45,310 කට ජල පහසුකම් සැලසුණ බව ද කියැවේ. එපමණක් නොව, පෞද්ගලික අනුග්‍රහ මත වැව් 26ක වැඩ අවසන් කළ බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම කාලසීමාව මෙරට ගොවීන්ට කෙතරම් බලපෑම් සහගත වූයේ ද යත් වසර ගණන් අතහැර දමා තිබූ පුරන් කුඹුරු අස්වැද්දීමට ගොවීන් යුහුසුලු වූයේ කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. එහි ප්‍රතිඵල ඉන් පසු කන්නයේ අස්වැන්න සමඟ වාර්තා වූයේ වාර්තා පිට වාර්තා තබමිනි.

එනම් 2004/2005 මහ කන්නයේ විශාලතම වී අස්වැන්න වාර්තා කිරීමය.

වැඩිම වී අස්වනු මිලයට ගැනීම ලෙස මෙ.ටො. 82,723ක් සේ වාර්තා වූයේ එහිදීය. ගමේ සියල්ල සිදු වූයේ මාස 14ක් තරම් කෙටි කලකදී බව නැවතත් සිහිපත් කළ යුතුය.

අනුර කුමාර දිසානායක නමැති පෙරළිකාර කෘෂිකර්ම ඇමැතිවරයාගේ කිරි ගොවීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ද මෙරට කිරි ගොවීන්ගේ ඉමහත් පැසසුමට ලක් වූ වැඩසටහනක් සේ වාර්තාගතවී ඇත. කෘෂිකර්මය සැලකීමේදී කිරි ගොවි ක්ෂේත්‍රය ඉතාම වැදගත්කමක් උසුලන්නේ ජනතාවගේ පෝෂණය සහ රටේ ආර්ථිකය කෙරෙහිවන සුවිශාල බලපෑම නිසාය.

එමෙන්ම රට තුළ පවතින ස්වභාවික පාරිසරික තත්ත්වයන් සහ ජන සංස්කෘතියෙන් ඊට ඇති වාසිදායක වටපිටාව නිසාය. මෙම තෝරා ගැනීම ද වාරි පද්ධතිය කෙරෙහි දැක්වූ අවධානය තරම් ම වැදගත් තෝරා ගැනීමක් බව නොකිවමනාය.

කිරි ගොවි ගම්මාන දහස (1000) ක්‍රියාත්මක කිරීම එහි එක් වැදගත් ක්‍රියාන්විතයකි. මේ යටතේ ගම්මාන 50ක් පිහිටු වන ලද අතර කිරි ගොවීන් 1000කට සහනාධාර සහ උපකරණ ලබා දී තිබීමත්, කිරි ගොවි ගම්මාන 150ක් සඳහා සහ කිරි අලෙවි මධ්‍යස්ථාන 50ක් සඳහා මුදල් වෙන්කර මූලික කටයුතු අරඹා තිබීමත් සැබවින් ම පැසසිය යුත්තකි.

මෙහිදී ඔහුගේ මාස 14ක සේවා කාලය තුළ නව කිරි ගොවි සමිති 302ක් පිහිටුවා ඇති අතර, පැවති සමිති 890ක් විධිමත් කිරීම ද සිදු කර තිබේ. එපමණක් නොව, සමිති 1200ක සාමාජිකයින් 31, 000ක් ඒකාබද්ධ කරමින් දිස්ත්‍රික් කිරි ගොවි සමිති පිහිටුවීම ද දැවැන්ත කාර්යභාරයකි. කිරි ගොවීන් සබැඳිව, ඔහු අතින් සිදු වූ විශිෂ්ට කාර්යයක් වූයේ, කිරි ගොවි ආරක්ෂණ අරමුදල් වශයෙන් රුපියල් මිලියන 05ක් ගොවීන් අතර බෙදාදීම ය. එ මතු නොව, දියර කිරි නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ යාමත් 1998න් පසු වැඩිම කිරි එකතු කිරීම 2005 මැයි මස ලීටර් 158, 175ක් ලෙස ගණනය වීමත්, ඔහුගේ කාර්යක්ෂම පාලනයේ තරම නිහඬව කියාපාන්නකි.

ආයතන පාලනය කිරීම සම්බන්ධයෙන් ද අනුර දිසානායක මහතා කෙතරම් ශූර ලෙස ක්‍රියා කරන්නෙක් ද යන්න පෙන්නුම් කරන්නේ අමාත්‍යාංශය යටතේ පැවති මිල්කෝ ආයතනයට ඔහු සිදු කළ මැදිහත්වීම මඟිනි. දිගින් දිගටම අලාභ ලබමින් පැවති ‘මිල්කෝ සමාගම’ ඒ වනවිට පැවතියේ විකුණා දමන තත්ත්වයේය.

එය පවත්වා ගෙන ගියේ රුපියල් මිලියන 50ක බැංකු අයිරාවක් ලබාගෙනය. එසේ පැවති මිල්කෝ ආයතනය මාස 14ක් තුළ රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් සහිත ආයතනයක් වීම කිසිවකුටත් විශ්වාස කළ හැකි කරුණක් නොවෙයි.

සැබවින්ම එය එසේ විස්මිත පරිවර්තනයකට ලක්කරන ලදී. ලංකාවේ පළමු වතාවට කිරි ගොවීන් හට ලාභ ප්‍රසාද ගෙවීම සිදු කරන ලදී. බෝනස් ලබා දෙන ලදී.

කිරි ලීටරයකට රුපියල් 2.75 බැඟින් පෙරළා ගොවීන්ට ලබාදීමට තරම් මේ කෘෂිකර්ම ඇම­ැතිවරයා පියවර ගත්තේය. මෙය මිල්කෝ ඉතිහාසයේ කිසිවකුටත් අමතක නොවන සංසිද්ධියක් බව ‘මිල්කෝ’සේවකයෝ අදත් පවසති. එවන් වැදගත් ආයතනයක් පසුව පැමිණි දේශපාලකයන් විසින් නැවත වනසා දමා අවසානයේ ඉන්දියානු සමාගමකට විකුණා දැමීමට තරම් මෙරට දේශපාලන පහත් මට්ටමකට වැටී පැවතීම අප රටේ ජනතාවගේ මහත් අභාග්‍යයක් ලෙස මම දකිමි.’

වෙහෙර, ජලාශය හා ඇළ මාර්ග ව්‍යාපෘතිය වැඩ ඇරඹීම, දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිව වැඩ ඇරඹීම, පුරන් කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය සැලසුම් කිරීම, තරුණ ගොවි ගම්මාන ව්‍යාපෘතිය සැලසුම් කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ නව රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ඇරඹීම ඉඩම් අහිමි ජනතාවට ඉඩම් කට්ටි ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන ඇරඹීම, තමන්කඩුව පොහොර සමාගම ලාභ ලබන තත්ත්ව යටපත් කිරීම මෙම මාස 14ක් වැනි සුළු කාලය තුළ සිදුරන ලද කටයුතු අතර පවතින තවත් වැඩ කටයුතුය.

මෙහිදී අමාත්‍ය ප්‍රතිපාදන ඉතිරි කිරීමෙන් සේවක සුබ සාධනය සඳහා බස් රථ දෙකක් මිලට ගැනීම ද ඉහත සඳහන් කරුණුවලට අමතරව 2004 සන්ධාන ආණ්ඩු සමයේ දී කෘෂිකර්ම වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් ඉටු කරන ලද ආදර්ශවත් කාර්යයකි.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් අදට ද සේවකයන් සඳහා ප්‍රවාහන සේවා සපයන සේවක සුබ සාධනය සඳහා මිලදී ගන්නා ලද බස් දෙක වෙනුවෙන් වැය කරන ලද මුදල වූ කලී, ඇමැතිවරයාට වෙන් වූ දීමනාවෙන් ඉතිරි කරගත් මුදල් බවය.

සැබැවින්ම තමා ද ආදර්ශවත් වී, වංචා දූෂණ නතර කර, සුදුසුකම් සහිත කාර්යක්ෂම නිලධාරීන් යොදවමින් වැඩ කරන්නේ නම් ඕනෑම ආයතනයක් කාර්යක්ෂම කළ හැකි බවත් සාර්ථක කළ හැකි බවත් තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය වන්නේ නැත. අනුර කුමාර දිසානායක මහතා මීට වසර 20කට පෙර ඉතාම තරුණ අමාත්‍යවරයකු ලෙස මාස 14ක් වැනි කෙටි කාලයක් තුළ පෙන්වූ මෙම විස්කම් පිළිබඳ තව බොහෝ විස්තර කළ හැකිය.

එදා අනුර කුමාර දිසානායක මහතාගේ සේවය අද්විතීය සේවයක් බව පසක් වන්නේ, ඒ මහතා එවකට තනිව ඉසිලූ අමාත්‍යාංශයේ ඒ වගකීම් සම්භාරය ඉසිලීමට වර්තමානයේ අමාත්‍යවරුන් දස දෙනෙක් පමණ යොදවා තිබෙන අයුරු සලකා බැලීමේ දී ය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ කොටස්කරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණට 2004 මහ මැතිවරණයේ දී ආසන 41 ලැබුණි.

සන්ධාන රජය පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ මහත් කැපවීමෙන් කටයුතු කළ බව නොරහසකි. එහෙත් අවාසනාව නම්, සන්ධාන රජයේ සිටි ඇතැම් අවස්ථාවලදී බලලෝභීන්ගේ කෙණහිලිකම් නිසා ද, සුනාමි සහන මණ්ඩලය නමින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අත්තනෝමතික ක්‍රියාමාර්ගයකට ආණ්ඩුවේ ශ්‍රීලනිප බලධාරීන් යාමට උත්සාහ කිරීම නිසා එයට විරෝධය පළ කරමින් ඉතා කෙටි කලෙකින් ම සන්ධාන රජයෙන් ඉවත්වීමට ජවිපෙට සිදු විය.

එයින් ජවිපෙට ලැබී තිබූ අමාත්‍යාංශ හතර තුළින් රටට ලබා ගැනීමට තිබූ වැදගත් සේවය ජනතාවට අහිමිවී ගියේය. එයට වගකිම යුත්තේ මේ රටේ පුරවැසියෝ නොව එවක පාලකයෝය.

ඒ බව ඔවුහු හොඳාකාරව දනිති. එනිසා ම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව ජාතික ජනබලවේගය වටා ශීඝ්‍රයෙන් පෙළ ගැසෙමින් සිටින බවත් ඒ අනුව ජාතික ජන බලවේගය ඉහළින් ම ජයග්‍රහණය කරනු ඇති බවට සියලු පාර්ශ්වයන්ට දැඩි විශ්වාසයක් ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division