ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ පිළිබඳව තොරතුරු මේ දිනවල මාධ්‍යයන්හි පළවී ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිය. ඒ අතරම, විවිධ අපේක්ෂකයන් විසින් තමන් ජනාධිපතිධුරයට පත් වුවහොත් ඉටුකිරීමට බලාපොරොත්තු වන පොරොන්දු පිළිබඳ තොරතුරු ද ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වේ. එම කරුණු දෙක තුළින්ම රටේ දේශපාලන පක්ෂ සහ ඒවායේ අපේක්ෂකයන් මෙම ජනාධිපතිවරණයෙන් පසු ක්‍රම වෙනසකට, එනම් අරගලය සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ සිස්ටම් චෙන්ජ් එකක් පිළිබඳව ඔවුහු සැබැවින්ම දරන ආකල්ප හඳුනා ගැනීමට ද අවස්ථාව සැලසේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ කියවීමට අවශ්‍යව ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබාගත හැකි වෙබ් අඩවි පිළිබඳව වංචා හා දුෂණ විමර්ශන කොමිසම විසින් තොරතුරු ප්‍රකාශයට පත්කර තිබුණි. ඒ අනුව, මාධ්‍යවේදීන් හා බොහෝ පුද්ගලයන් එම වෙබ් අඩවිවලට පිවිස එම තොරතුරු කියවා ඇති බව පෙනේ. ඇතැම් පුවත්පත් විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ මාසික ආදායම,ඔවුන් විසින් ලබාගෙන ඇති ණය, අතෙහි ඇති මුදල, ණයට දී ඇති මුදල ආදිය පිළිබඳව තොරතුරු ලබාගෙන ඒවා ප්‍රකාශයට පත්කර තිබුණි. අපේක්ෂකයන්ගේ කලාත්‍රයන්ගේ වත්කම් සහ රන්බඩු ආදිය පිළිබඳව ද විස්තර ප්‍රසිද්ධ කර තිබුණි.
මෑතකාලීන ජනාධිපතිවරණ සහ මැතිවරණ පිළිබඳ තොරතුරු පාඨකයන්ට මතක ඇතැයි සිතමි. පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේක්ෂකයන් බොහෝ දෙනෙකු වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබූ ආකාරය පිළිබඳ තොරතුරු ජනමාධ්‍යවල පළවී තිබුණි. එසේ නම් අද සියලුම අපේක්ෂකයන් තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන අතරම ඒවා ප්‍රසිද්ධියට පත්කරන තත්ත්වයක් ද ඇතිව තිබෙන්නේ කුමන හේතුවක් නිසාද?
අරගලකරුවන් විසින් සිස්ටම් චෙන්ජ් එකක් ඉල්ලා සිටි විට ඒ ආකාරයේ වෙනසක් හඳුන්වාදීම පිළිබඳව විවිධ සාකච්ඡා ඇති විය. ක්‍රම වෙනසක් යන්නෙන් සැබැවින්ම අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ද විවිධාකාරයේ මතවාද ඉදිරිපත් විය. මෙවර ජනාධිපතිවරණයේ බොහෝ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ක්‍රම වෙනස්කම් ඇතිකරන ආකාරය පිළිබඳව යෝජනා අන්තර්ගත වීමට ඉඩ තිබේ.
එසේ වුව ද ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර සමහර අංශවල ක්‍රම වෙනසකම් ඇතිව තිබෙන ආකාරය පිළිබඳව මෙම ජනාධිපතිවරණයේදී තොරතුරු හෙළි වන්නේ යැයි සිතමි. මේ දක්වා ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත්සභා මැතිවරණ සහ පළාත්පාලන මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ නියමයන් ප්‍රකාශයට පත්වී තිබුණ ද ඒවා අනිවාර්යෙන් ම ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබුණේ නැත. එයට හේතුව, ඒ සම්බන්ධව නීති රීතිවල පැවතී හිල් අතරින් රිංගා යාමට අපේක්ෂකයන්ට ඉඩසැලසී තිබීමයි. එහෙත්, මෙවර ජනාධිපතිවරණයේදී පූර්ණ වෙනසක් සිදුව ඇත. එනම් සියලු අපේක්ෂකයන් වත්කම් ප්‍රකාශ තම නාමයෝජනා සමඟම ඉදිරිපත් කර තිබුණි. වෙනදා ඒවා කවරවල බහා සීල් තබා ආරක්ෂා කර තිබුණි. මහජනතාවට ඒවා දැකගැනීමට අවස්ථාවක් සැලසී නොතිබුණි. එහෙත් දැන් ඒ සියල්ල මහජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.
ක්‍රම වෙනස්කම් හඳුන්වාදිය යුත්තේ ඒ ආකාරයටය. සමාජය තුළ දැඩිව කතාබහට ලක් වූ කරුණක් පිළිබඳව වෙනස්ම තත්ත්වයක් අද දැකගැනීමට හැකිවී තිබේ. එවැනි වෙනස්කමක් හඳුන්වා දෙනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසිනි. දූෂණ විරෝධි නව නිතී සම්මත කර ගැනීමට මෙම රජය විසින් කටයුතු කළ අතර වත්කම් ප්‍රකාශ පිළිබඳ නීති රීති සංශෝධනය කිරීමට ද කටයුතු කරන ලදී.
මීට පෙර දේශපාලඥයන් සහ රජයේ ඉහළ නිලතල දරන පිරිස් විසින් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබූ නමුදු එයට දඩුවම වූයේ රුපියල් පන්දහසකට අඩු දඩ මුදලකි. සමහර අය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට වඩා එම දඩ මුදල ගෙවීමට සුදානම් වූ බව පෙනේ. රජය විසින් දුෂණ විරෝධී පිළිවෙත ක්‍රියාත්මක කිරීම පිළිබඳව න්‍යාය පත්‍රයක් ද සකස් කර එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ. මේ ආකාරයට දුෂණ විරෝධී පිළිවෙතක් දැඩි ලෙස අනුගමනය කිරීම තුළින් රජය දුෂණයට ඉඩ නොලැබෙන නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. සිස්ටම් චේන්ජ් යනු එයයි. රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ද සමඟ අනෙකුත් අපේක්ෂකයන්ට තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන ක්‍රමයක් හඳුන්වාදී තිබේ. එම වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරන ක්‍රමවේදයක් ද හඳුන්වා දි තිබේ. මෙම පරිවර්තනය මෙතෙක් නොපැවති එකකි.
එසේ වුව ද මෙවර ජනාධිපතිවරණයේ වේදිකාවල ප්‍රකාශ වන කරුණු පිළිබඳව නිරීක්ෂණය කරන විට ක්‍රම වෙනසක් සඳහා රටේ ප්‍රධාන පෙලේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සුදානම් ද යන්න පිළිබඳ ව නිගමනයකට එළඹිමට ඔබට හැකිවනු ඇත. මහජනතාවට විවිධාකාරයේ පොරොන්දු ලබාදීම, අනෙකුත් අපේක්ෂකයන්ට ද්වේශ සහගත චෝදනා එල්ල කිරීම හෝ මඩ ගැසීම, නිතීවිරෝධි සංග්‍රහ හෝ අල්ලස් ආදිය මඟින් මැතිවරණ ව්‍යාපාරය සකස් වී ඇත. ක්‍රම වෙනසක් සඳහා මුලපුරනු ඇතැයි සිතු පක්ෂවලට පවා පැරණි හා සාම්ප්‍රදායික මැතිවරණ ක්‍රමයෙන් වෙනස්වීමට හෝ ක්‍රම වෙනසක් වෙත පිවිසීමට හැකියාවක් ලැබී ඇති බවක් හෝ නොපෙනේ. උදාහරණයක් ලෙස ක්‍රම වෙනසකට ඉඩ සැලසෙනු ඇතැයි රටේ යොවුන් පරපුරෙහි ආකර්ෂණය දිනාගෙන ඇති එක පක්ෂයක් දේශපාලන වේදකාවේදී ලබාදෙන පොරොන්දු පිළිබඳව සඳහන් කළ හැකිය. දුගී පිරිස්වලට රුපියල් පහළොස් දහසක් ලබාදීමට ද, ආහාරපාන සඳහා පනවා ඇති වැට් බදු අඩු කිරීමට ද, ඉන්ධන සහ විදුලි බිල්පත් අඩු කිරීමට ද එම පක්ෂය පොරොන්දු වී තිබේ.
ඇතැම් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන රජය විසින් නව රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු පත්කිරීම මෙන්ම විශේෂඥ කමිටුවක නිර්දේශ මත 2025 වර්ෂයේ ජනවාරි පළමුවන දින සිට රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට ගෙන ඇති තීරණය ද හඳුන්වා දී ඇත්තේ නිතී විරෝධි ක්‍රියා ලෙසය. මැතිවරණ කොමිසම විසින් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට වැඩි කරන ලද විශ්‍රාම දීමනාව නතර කර එය ඔක්තෝබර් මාසයේ සිට ගෙවීමට නියම කර ඇත. එවැනි ක්‍රියා මැතිවරණ වැරදි ලෙස සලකන්නේ නම් සියලුදෙනාටම රුපියල් පහළොස් දහසක් ලබාදීම සහ වැට් බදු ආදිය අඩු කිරීම සැලකිය හැක්කේ ද නිතීවිරෝධි කටයුත්තක් ලෙසය. ක්‍රම වෙනසක් ඇති කරනවා යැයි කියූ පිරිස් විසින් සාම්ප්‍රදායික ක්‍රමවේද මත එල්ලී සිටින ආකාරයත්, කිසිදු වෙනසක් ඇති කිරීමට ඔවුන්ට ඇති නොහැකියාවත් ඒ තුළින් ප්‍රදර්ශනය කර තිබේ.
මෙය එම ප්‍රකාශය කළ පක්ෂයට පමණක් සීමාවුවක් නොවේ. එසේ වුව ද එම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව මා කරුණු සඳහන් කළේ සැලකිය යුතු තරුණ පිරිසක් එම පක්ෂය විසින් ක්‍රම වෙනසකට මඟපාදනු ඇතැයි අපේක්ෂා කරනු බැවිනි. එසේ වුවද අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ ද මෙම තත්ත්වයෙන් අත්මිදීමට කෙසේවත් සුදානම් නොවන බව ද පෙනේ. තවත් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ජනාධිපතිරණය ජයග්‍රහණය කිරීමට සූදානම් වන්නේ පොරොන්දු ගොන්නක් මහජනතාවට අලෙවි කිරීමට සූදානම් වෙමින් බව පෙනේ. රැකියා, වැටුප් වැඩිවීම්, ඉඩම් ආදිය ලබාදෙන බව එම පක්ෂය ප්‍රකාශ කරන අතරම ඉන් ඔබ්බට යමින් ඒ ඒ පළාත්වලට ගොස් ඒ පළාත්වලට අදාළ වන ආකාරයේ පොරොන්දු ද ලබාදෙන බව පෙනේ. එහෙත්, ඉහත කී කවර පක්ෂයක් වුව ද රටේ ක්‍රම වෙනසක් ඇති කිරීම සඳහා කිසිදු සුදානමක් නැති බව පෙනේ.
ඒ අතරම ක්‍රම වෙනසක් සඳහා අප සමාජයේ සමහර පිරිසක් සටන් කළ ද ක්‍රම වෙනස පිළිබඳව සැබෑ අදහසක් ඔවුන්ට තිබේ ද යන්න පිළිබඳව ද ගැටලු සහගතය. රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකාර්මික නවීකරණය පිළිබඳව බොහෝ කලක සිට අදහස් දක්වන්නෙකි. කෘෂිකාර්මික නවීකරණයක් ඇති නොකර එම අංශය දියුණු කළ නොහැකි බව ඔහුගේ විශ්වාසය වේ. නවීකරණය තුළ ගොවීන්ගේ ජිවිතය වෙනස් වන ආකාරය පැහැදිලි කිරීම සඳහා ඔහු චුයින්ගම් සහ බේස්ලට් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. බොහෝ දෙනෙකුට එය වැටහුණේ නැත.
සමාජය ඔහුගේ කෘෂි නවීකරණය පිළිබඳ අදහස වටහා නොගත් අතර චුයින්ගම් සහ බේස්ලට් ඔහු උපහසායට ලක් කිරීම සඳහා යොදා ගත්තේය. ඔහු සන්නිවේදනය දුෂ්කරම ප්‍රදේශයකට වූව ද ගෙන යාම සඳහා වයිෆයි සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ද සමහරු එය ද ඔහු උපහාසයට ලක් කිරීම සඳහා යොදා ගනු ලැබීය.
ඔහු නවීකරණය සිය පරමාර්ථය බවට පත්කරගෙන තිබේ. එහෙත්, නවීකරණය නොවූ පුද්ගලයන්ට එය වටහා ගැනීම දුෂ්කරය. නවීකරණය නොවූ පක්ෂවලට ගෝත්‍රිකත්වයෙන් ඉවත්වීමට හැකියාවක් ලැබී නැත. සරසවි නවකවදය තුළින් දේශපාලනය කරන එක් පක්ෂයක් සරසවිවල අනෙකුත් පක්ෂ දේශපාලනය සම්පුර්ණයෙන් තහනම් කර තිබේ. සිස්ටම් චෙන්ජ් එසේ හඳුන්වා දීමේ අරමුණින් එවැනි ගෝත්‍රික පක්ෂ බලයට පත් කිරීමට ඇතැම් පිරිස් සූදානම් වන බව පෙනේ. ඔවුන් නවීකරණය සහ ගෝත්‍රිකත්වය අතර ඒ වෙනසවත් හඳුනා ගෙන නැත.
– ජනමිත්‍ර