Home » මම ගත්තේ අමාරු තීරණයක් මුලින් මම එයින් ගොඩ ආ යුතුයි

මම ගත්තේ අමාරු තීරණයක් මුලින් මම එයින් ගොඩ ආ යුතුයි

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

– දැන් තමයි මම ගැන විශ්වාසයක් තබාගෙන සිටි අයව මුණ ගැසීමට යන්නේ
– මාව දැන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කරලා ඉවරයි. සමහරු කියන්නේ මම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කමට ගියා කියලා
– මට ඉල්ලා අස්වීමක් කරන්න තියෙනවා, වෙලාවක් ලබා දෙන්න කියලා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලීමක් කළ විට විනාඩි දෙක තුනක් දෙන්නම් කිව්වා.
– දේශපාලනය එපා කරවන තරමට පක්ෂයේ වැඩ කටයුතු සිදු වුණා
– මගේ මේ තීරණය ඉක්මන් කිරීමට බලපෑ හේතු කිහිපයක් මේ පක්ෂ සංවිධානය තුළ තිබුණා

පසුගිය කාලයේ ඔබ නිහඬ චරිතයක් බවට පත්ව සිටියා. වසර 20 ක දේශපාලන ජිවිතයේ මෙවැනි සංවේදී තීරණයකට පිවිසියේ ඇයි?

අපේ පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳ මම සිටියේ විශාල කනගාටුවකින්. මට මේ කනගාටුව ඇති වී තිබුණේ 2021 වසරේ සිටයි. නමුත් පක්ෂයෙන් පත් වූ කෙනෙක් ලෙස මට පැවැරී තිබූ රාජකාරි මෙන්ම මට පැවැරී තිබූ ආසනයේ සියලු වැඩ කටයුතු මේ වසර තුන තුළ ඉටු කළා. එදා මම පක්ෂය කැඩෙනවට කැමැති වුණේ නැහැ. පක්ෂය එකතු කරන්න මම උත්සාහ කළා. ඒ කිසිවකටවත් ඔවුන් කැමැති වුණේ නැහැ. සුළු ප්‍රතිලාභ වෙනුවෙන් පිරිසක් කටයුතු කළා. අද රටේ තත්ත්වය එදාට වඩා වෙනස්. ඒ නිසා මට සිතන්නට සිදුවුණා ඉදිරියට කුමන තත්ත්වයක් ඇතිවේද කියා. මම අඩියක් පස්සට ගෙන, කරගෙන යන අයට කරගෙන යාමට ඉඩ දී මම මගේ මතයේ හිටියා. එසේ සිටියත් පක්ෂ මාරු කළ යුතුය කියා කිසිදු බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ.

ඔබට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුර ලබා දෙන බවට වූ මතවාදයක් පැතිරෙනවා?

ඇත්තටම මාව දැන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කරලා ඉවරයි. සමහරු කියන්නේ මම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කමට ගියා කියලා. මම මහ ලේකම්කම තියා කිසිම දෙයක් ගැන කිසිවකුත් සමඟ කතා කරලා නැහැ. මෙය මම ස්වාධීනව, ගොඩාක් දුර කල්පනා කර ගත්තු තීරණයක්. එසේ නැතුව කවුරු හෝ පොලඹවන්න, යම් ඉල්ලීමක් කරන්න හෝ කාගේ හරි උවමනාවකට ගත්තු තීරණයක් නෙමෙයි. මට තිබුණු එකම බැඳීම වුණේ 2020 මට ඡන්දය දුන් ජනතාව. 2020 අපි කළේ ඉතා අසීරු ඡන්දයක්. හැට නම ලක්ෂයක ජන වරමක් එක්කයි අපි සටන් කළේ. මේ නිසා මගේ ජනතාවට නොකියා තමයි මම මේ තීරණය ගත්තේ. මොකද මට පස්සේ කියන්න බැහැ මිනිස්සු වහලය උඩ නැග්ගා කියලා. මම එ් ජනතාවට කියන්න හිටියා නම් මේ දේ මට කරන්න ලැබෙන්නේ නැහැ.

පක්ෂයෙන් ඉවත් වෙන තීරණය ඔබට ගන්න තිබුණේ මීට කලින්නේ. ඇයි ප්‍රමාද වුණේ?

අපි පාර්ලිමේන්තුවට පත්වන්නේ වසර 5කට. ඒ වන විට මම අලුත් පක්ෂයක ආසන සංවිධායකකම භාරගෙන තිබුණේ. මගේ පිටු පසින් පිරිසක් සිටිනවා. ඔවුන් ගැන බැඳීම මට තිබුණා. මම හිතුවා මම මේ තීරණය ගත යුත්තේ රටට යහපතක් කරන්න පුළුවන් අවස්ථාවක කියලා. මම මේ තීරණය ගත්තේ පත්වන ඕනෑම කෙනෙක්ට කරන්නට පෙර මෙය කළ හැකිද යන සිතුවිල්ල ලබාදීමටයි. මගේ මේ ඉවත්වීම මීට පෙර මාසයක සිදු කළා නම් වැඩක් වෙන් නැහැ. ගිය වසරේ ඉවත් වුණා නම් එයත් වැඩක් වෙන්නේ නැහැ. මම මේ තීරණය ගන්න සිටියේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුයි. නමුත් මගේ මේ තීරණය ඉක්මන් කිරීමට බලපෑ හේතු කිහිපයක් පක්ෂ සංවිධානය තුළ තිබුණා.

ඔබේ තීරණය ඉක්මන් කිරීමට බලපෑ ඒ හේතු මොනවාද?

2019 වසරේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටනේදි රත්නපුර සංවිධාන කටයුතු සිදු කළේ මම. පක්ෂ කාර්යාල දමා දිවා රෑ නොබලා සිදු කළා. අවුරුදු 25ක් මන්ත්‍රී කෙනෙක්, ආසන සංවිධායකවරු 13 දෙනෙක් අපේ පක්ෂයේ සිටි ආසනයක් භාරවයි මම කටයුතු කළේ. නමුත් විශ්වාසය ගොඩ නැඟීම අසීරු කරුණක්. මම සිටි ආසනයෙන් මාරු වී ගිය නිසා මට විශාල කැප කිරීමක් කරන්න සිදු වී තිබුණා. ඒ සියල්ල සිදු කළ පසු හදිසියේම පක්ෂයේ මහ ලේකම් විසින් පිට කෙනකුට මෙවර ජනාධිපතිවරණ මෙහෙයුම දියත් කිරීමට භාර දී තිබුණා. එපමණක් නොව ආසනවලටත් විවිධ අය පත්කර තිබුණා. මෙය මගේ ඉවත් වීම ඉක්මන් කිරීමට හේතුවක් වුණා. නැතිනම් සමහර විට මේ තීරණය මේ ආකාරයෙන් සිදු නොවන්නට තිබුණා. මම පණිවිඩ දෙකක් දිය යුතුයි. පළමුවැන්න පාර්ලිමේන්තුව තුළින් මේ රටේ මේ ප්‍රශ්නයට මුහුණ දිය හැකි අයෙකුට මේ පිළිබඳ වගකීම දිය යුතුයි. එය පක්ෂය තුළ සිට ලබා දීමට මට ඉඩ තිබුණා. එය ලබා දීමට නම් මට පාර්ලිමේන්තුවෙන් අයින් විය යුතු නැහැ. නමුත් මම පාර්ලිමේන්තුවෙන් අයින් වීමට ගත් තීරණය වෙන කිසිවක් නිසා නොව මට දේශපාලනය එපා කරවන තරමටම පක්ෂයේ වැඩ කටයුතු සිදු වුණා.

මේ එපාවීම පටන් ගත්තේ 2021 දී. ඒත් මම ඒ ගැන තකන්නේ නැතුව සිටියා. මාව පත්කළේ පක්ෂයේ නායකයා හෝ මහ ලේකම් නෙමෙයි, ජනතාව. ඒ නිසා ඔවුන් ගැන හිතලා තමයි මම මෙතෙක් වැඩ කළේ.

ඔබ පවසන්නේ සජබයෙන් ඔබට දේශපාලනය එපා කරවන තත්ත්වයකට පත් වූ බවද?

ඔව්. සමහර අය කියන්නේ මට දිස්ත්‍රික් නායකත්වයක් ලබා නොදුන් නිසා ඉවත් වුණා කියලා. මා ගැන දන්න අය දන්නවා, මම තනතුරු පසුපස ගිහින් නායකයන්ට ගොට්ට අල්ලන කෙනෙක් නෙමේ කියලා. මගේ අයියා කළ දේශපාලනය පමණයි මම දැක්කේ. වේදිකාවල කෑගහලා මොන මතයක් හදන්න හැදුවත් දන්න අය මා ගැන දන්නවා.

ඔබගේ අවසන් කතාව පවා පාර්ලිමේන්තුවේ සිදු කිරීමට පක්ෂයෙන් කාල වේලාවක් ලබා ‍ෙනාදුන් බවයි වාර්තා වන්නේ?

මට ඉල්ලා අස්වීමක් කරන්න තියෙනවා, වෙලාවක් ලබා දෙන්න කියලා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලීමක් කළ විට විනාඩි දෙක තුනක් දෙන්නම් කිව්වා. ඒ වෙලාවෙන් කොහොමද කතාවක් කරන්නේ. ඔවුන් ඒ ගැන දැනගෙන සිටියද කියලා දන්නේ නැහැ. මම අයින් වන මතය පසුගිය සතිය පුරාම තිබුණා. මම කථානායක හමුවී මේ ගැන කිව්වා. කථානායක කිව්වා ඔබතුමියට කරන්න තියෙන්නේ විශේෂ ප්‍රකාශයක් නිසා ඊට අවසරය දෙන්නම් කියලා.

සජබය තුළ යම් දෙදරීමක් පවතිනවා. විශාල පිරිසන් ඉන් ඉවත් වෙලා. ජනාධිපතිවරණ අවස්ථාවක ඔබතුමියගේ ඉවත් වීමත් අභියෝගයක්..?

මගේ ඉවත් වීම බලපෑමක් ලෙස මම හිතන්නේ නැහැ. බලපෑමක් තියෙනවා නම් මුල සිට මේ ගැන හිතන්න තිබුණා. අපි සජබයෙන් පත්වී පළමුවැනි රැස්වීමේදී පක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා කිව්වේ නායකත්වය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි, හැම කෙනෙක්ගේම අදහස් විමසනවා. මම තීරණ ගන්නේ අනිකුත් නායකයෝ වගේ නෙමෙයි කියලා. අන්තිමේදි ඔහුව හමුවෙන්න වෙලාවක් පවා ගන්න බැරි වුණා.

එදා ඔබතුමියගේ කතාවේ හරය වුණේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ සජිත් ප්‍රේමදාස බව. මේ ගැන පැහැදිලි කරන්න…

2011 වසරේ සිට එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විය යුතු තැන මමත් හිටියා. එදා වටේ සිටි පිරිස් හිටියේ නැහැ. යුද ජයග්‍රහණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශාල කලකිරිමක් ජනතාව තුළ තිබුණා. එවිට එක්සත් ජාතික පක්ෂය ඊළඟට භාර ගැනීමට සිටින නායකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ ආගමනය වැදගත් වනවා යැයි සිතූ නිසා තමයි අපි එක්ව කටයුතු කළේ. නමුත් 2019 ජනාධිපතිවරණයෙන් පසුව 2020 මහමැතිවරණයේදී අපට අගමැති අපේක්ෂකත්වය හා අලියා සලකුණ ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. එවිට පක්ෂය තුළින්ම විරෝධතා ආවා. මෙහි සිටි සියලු දෙනා එදා එළියට යන තත්ත්වයක් තිබුණේ. එදා මාවත් හංවඩු ගැහිලා හිටියේ සජිත් පිලේ කෙනෙක් ලෙස. අපිට විරෝධය දැක්වූ කොටසක් සමඟ මටත් සිර වෙන්න බැරි නිසා මමත් ඔවුන් සමඟ එළියට ආවා. නමුත් පක්ෂය ලියාපදිංචි කිරීමටවත් මම ගියේ නැහැ. ඒ තරම්ම මම කලකිරිලා හිටියේ. සමහරු කියන්නේ පක්ෂය කඩපු මම පක්ෂය එකතු කරන්නත් කතා කරනවලු. ඔය එහෙන් මෙහෙන් ආපු අයට දැනෙන්නෙ නැහැ. දැනෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාරම්පරිකව සිටි අපට පමණයි. මම එදා පක්ෂය කඩන්න දායක වුණෙත් නැහැ. එළියට ආවේ පක්ෂය කැඩුණු නිසා. මම 2020 සැප්තැම්බර් මස රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ ගැන ඉල්ලීම් කළා. නමුත් සජිත් ප්‍රේමදාසට කිසිම සාධනීය අදහසක් තිබුණෙ නැහැ.

ඔබතුමිය සිටි සජබය මේ වන විට බෙදීම්වලට ලක්වෙලා නේද?

මම ඒ ගැන දන්නේ නැහැ. මම කා සමඟත් කතා කර නැහැ. මගේ මේ තීරණය ස්වාධීනව ගත් එකක්. සමහරු කියනවා මම මහ ලේකම්කම ගන්න ආවා කියලා. මට මොළේ නැති අයට මොළේ දෙන්න බැහැ. තව අය වලව් කතා කියනවා. නමුත් අපි නම් සිංහල බෞද්ධ ගොවි කුලයේ මිනිස්සු.

ඔබේ කඳවුර එක්සත් ජාතික පක්ෂය. ඔබ නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා..?

දැන් තමයි මම ගැන විශ්වාසයක් තබාගෙන සිටි අයව මුණ ගැසීමට යන්නේ. ජනාධිපතිවරණයේදී මම කාටද සහයෝගය ලබා දෙන්නේ කියලා තවමත් තීරණයක් නැහැ. මම ගත්තේ බොහෝම අමාරු තීරණයක්. මුලින් මම එයින් ගොඩ ආ යුතුයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා හිටපු නියෝජ්‍ය නායකත්වය යන දෙදෛනා වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හෘදය සාක්ෂියට එකඟ නැති බව ඔබ පැවැසුවා. පසුගියදා පක්ෂයෙන් ඉවත් වූ රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා පැවැසුවේද රට වට්ටන පාප කර්මයට අත ගසන්න බැරි බවයි?

මෙය අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. 2013 මේ දෙන්නා අතර විශාල මත ගැටුමක් පවතින විට ඔවුන් සියල්ල එක වේදිකාවකට ගන්න පුළුවන්ද කියලා මම සෙයා බැලුවා. සමහර විට ළඟ බලා ගන්නා තීන්දු තීරණවලට මම කැමැති වුණේ නැහැ.

ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියට එකතු වන්නට ජනාධිපතිවරයා ඔවුන්ට කිහිප විටක්ම ආරාධනා කළා. මෙයින් පෙනෙන්නේ විපක්ෂ නායකවරයා තුළ ජනාධිපති සිහිනය දැකීමේ ආසාවද?

එයනේ තේරෙන්නේ. ආණ්ඩුවේ වගකීම් සමගි ජනබලවේගයට අරගෙන ඉදිරියට යාමේ ක්‍රමවේදයක් එකතු වී හදා ගන්න තිබුණා.

වත්මන් ජනාධිපතිවරයාගේ කාර්යභාරය විපක්ෂ නායකවරයාට ඉදිරියට ගෙන යාමට හැකි වේ යැයි විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම. ඒ ගැන මට සැකයක් තියෙනවා.

නමුත් එතුමාත් සමඟ හොඳ ශක්තිමත් කණ්ඩායමක් සිටින බව පවසනවා?

පුළුවන් ඇති. මම නම් ඒ ගැන දන්නේ නැහැ.

සජිත් ප්‍රේමදාසට ආණ්ඩුවට එක්වීමට තිබූ රාජපක්ෂ බාධාව ඉවත්ව තිබියදී හෝ ඔහු සිය වගකීම පැහැර හැරි බව ඔබ පැවැසුවා?

ඔවුන්ගේ මේ කිසිම සාකච්ඡාවකට මම සම්බන්ධ වුණේ නැහැ. අවසානයේ ඔවුන් අදහස්වලට ගරු කරන තත්ත්වයක්වත් මම දැක්කේ නැහැ.

වර්තමානයේ සජබයට දූෂිත පිරිස් එකතු වීමක් දකින්නට ලැබෙන බව ඔබ පවසනවා?

ඔව්. මම එසේ හිතනවා. නමුත් මම හිතන දේ ජනතාව හිතනවද කියලා මම දන්නේ නැහැ.

ඔබ මන්ත්‍රීකම අත් නොහැර මේ තීරණය ගත්තා නම් හොඳයි කියා අද හිතෙන්නේ නැද්ද?

සමගි ජන බලවේගයේ ජනවරමකින්නේ මම පාර්ලිමේන්තුවට ආවේ. එය පක්ෂයට අයත් දෙයක්. මෙතැනදි මම ස්වාධීන වෙලා වැඩක් නැහැ. බොහෝ දෙනා හිතාගෙන හිටියේ මම පක්ෂය මාරු කරනවා කියා. අන්තිම දවස් කිහිපයේ මම කාවවත් මුණ නොගැසී පැත්තකට වෙලා හිටියා.

අරගලයෙන් පසු අගමැතිකම භාර ගැනීමෙට යෝජනා කළ විට වත්මන් විපක්ෂ නායකවරයා එය පැහැර හැරියා. ඒ අවස්ථාවේ පක්ෂය තුළ සිදුවූ දේ මතකද?

ඒ අවස්ථාවේ අගමැතිකම භාර ගන්නවට මමත් විරුද්ධ වුණා. මම කැමැති වුණේ නැහැ රාජපක්ෂ කෙනෙක් යටතේ ඉන්න. ඒ වන විට පවතින තත්ත්වය අපි දැක්කා. ඔහු ‘චක්‍රලේඛය මගේ කට වචනය‘ කියූ ජනාධිපතිවරයෙක්. ඔහු යටතේ අගමැතිකම භාර ගන්නවට කැමැති වුණේ නැහැ. නමුත් ඔහු අපි කියන නිසා භාර නොගත්තා නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහතාට ඒ සඳහා වෙන කාරණා තියෙන්න ඇති.

ඔබ සිතනවාද වත්මන් ජනාධිපතිතුමා යටතේ ආර්ථික සංවර්ධනයක් අත් දුටු බව..?

මම ලොකු ආර්ථික විද්වතෙක් නෙමෙයි. නමුත් එකක් කිව හැකියි. මමත් සිමෙන්ති කොට්ටය රුපියල් 3250 ට ගත් අවස්ථා තිබුණා. කිරිපිටි ග්‍රෑම් 450 ලොකු මිලකට ගත්තා. දැන් එහි වෙනසක් ඇති නිසා තමයි අද රට යම් මට්ටමකට පත් වී ඇත්තේ. රටේ ප්‍රශ්නයක් තිබුණා. දැන් එය වෙනස්ව ඇති බව කියන්න පුළුවන්. නමුත් තවමත් අපි ණය ගෙවන්න පටන් ගෙන නැහැ. මේ සඳහා ක්‍රමවේදයක් කවුරු දිනුවත් සැකසිය යුතුයි. ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒ නිසා හොඳ දිසාවකට අප යා යුතුයි. නැතිනම් රට නැවතත් ආපස්සට ගමන් කරනවා.

මෙවර ජනාධිපතිවරණයේදි ජනතාවට ඇති වගකීම පැහැදිලි කළොත්?

ජනතාව පිළිබඳ වගකීම ඇත්තේ රටක නායකයෝ හා ආණ්ඩුව මතයි. ජනතාව හොඳින් ජීවත් වනවාද, කෑම බීම තියෙනවාද යන්න මේ හරහා තීරණය වෙනවා.

ඔබ දේශපාලනයෙන් සමු ගනීවිද?

නැහැ. තාම කල්පනා කරමින් ඉන්නවා. මොකද මගේ පිටුපසින් කණ්ඩායමක් ඉන්නවානේ. මම ඒ අයට වගකිව යුතුයි. මම කරන දේ ගැන තීරණයක් අනිවාර්යයෙන්ම ගන්නවා. මම දරන මතයක් තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. නමුත් මම ඉදිරියේදි කරන දේ ගැන දැන්ම කිසිවක් කියන්න බැහැ.

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසක් ඔබට තියෙනවාද?

එය දැන්ම කියන්න බැහැ. මැතිවරණයක් ආ පසු කියන්නම්.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division