දකුණු ආසියාවේ දිගුම ආර්ථික සැලසුම් අපට තියෙනවා
– ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න
ජාතික ජන බලවේගය බලයට පත්වුණොත් අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කරනවා කියනවා?
පළමු කාරණය මේ වෙද්දි ජනතාව මූලික ආහාරවත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලම තියෙනවා 2019 වඩා ආහාර මිල 89% කින් ඉහළ ගිහින් කියලා. සෞඛ්‍ය වියදම් 73% කින් ඉහළ ගිහින්. අධ්‍යාපනික වියදම් 58%කින් ඉහළ ගිහින්. විගණකාධිපති වාර්තාවලින් සහ ආදායම් බදු වාර්තාවලින් පෙන්වා දී තියෙනවා පසුගිය වසර පහ තුළ එකතු කරගත්තෙ නැති බදු ප්‍රමාණය රුපියල් බිලියන 1066ක් කියලා. බදු ගෙවපු නැති බොහෝ අය ඉන්නේ මේ පාලකයෝ වටේ.
අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මාසික දීමනාව රුපියල් 10,000 දක්වාත් ආබාධ සහිත පුද්ගලයන් සඳහා මාසික දීමනාව රුපියල් 10,000 දක්වාත් වැඩි කිරීමට අපේක්ෂා කරනවා නේද? මේවා කරන්නේ කොහොමද?
දුප්පත්ම පවුලක් ජීවත් කරන්න රුපියල් 350 සහ 750ක් දුන්නා. එය ප්‍රායෝගික නැහැනේ. ඒ සඳහා අවම මට්ටමකට එන්න අවශ්‍යයි. දිළිඳු පවුල්වලට දෙන සහනාධාරය රුපියල් 10,000ක් කියලා. නාස්තිය, දූෂණය, වංචාව නවත්වනවා නම් ඊළඟට මේ රටේ සැලසුම් කරන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය නැඟිටින්න පටන් ගත්තාම වැහිලා ගිය ආදායම් මාර්ග උත්පාදනය කරන්න පුළුවන්.
සංවර්ධන බැංකු හරහා තරුණ ව්‍යවසායකයන් 10,000 කට මූල්‍ය පහසුකම් සලසන්න කොහෙන්ද ප්‍රතිපාදන ලැබෙන්නේ?
මෙය අලුත් මැජික් එකක් නොවෙයි. ලෝකයේ දියුණු රටවල් ඒ රටවල කර්මාන්ත සහ කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍ර නඟා සිටුවන්න විවෘත කරන ලද බැංකුවක් තමයි මේ බැංකුව. සුළු මධ්‍යම පරිමාණ ක්ෂේත්‍ර ධීවර කර්මාන්ත ක්ෂේත්‍ර නැඟිටීමක් ඇති කරන්න අවශ්‍යයි. අපි ඒ අයට තියෙන ප්‍රශ්න අඳුනගෙන තියෙනවා. නමුත් ඒ දේවල් කරන්න අවශ්‍ය තාක්ෂණය, නවීන දැනුම නැහැ. වෙළෙඳපොළ තනියම හොයා ගන්න බැහැ. මේ ප්‍රශ්න ටිකට රජය විදිහට අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. දකුණු ආසියාවේ දිගම ආර්ථික සැලැස්ම අපිට තියනවා.
මාසික පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් 2000 000 දක්වා ඉහළට දැමීමෙන් බදු ආදායම අඩු වෙනවා නේද.?
පසුගිය කාලයේ බදු සීමාව ලක්ෂය දක්වා පහතට වැටුණා. ඒ සමඟම අපේ රටේ වෘත්තිකයන්ට, මහාචාර්ය, ආචාර්යවරුන්ට මේ බද්ද වැටුණා. ඒ නිසා ඇතැම් වෘත්තිකයන්ට මේ රට අතහැරලා යන්න සිදු වුණා. රටට වෘත්තිකයන් අවශ්‍යයි. ඒ නිසා අපි තීරණය කළා ඒ පීඩාකාරී බදු සීමා ඉවත් කිරීමට.
අපි කළ යුත්තේ මහපොළොවේ පැළවෙන දෙයක්
– පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
ජාජබ බලයට පත්වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කරන බව කියනවා. සජබ බලයට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද?
ඔවුන් කියන දේ සම්බන්ධයෙන් පැහැදිලි නැහැ. අනෙක් කාරණාව නම් බදු සම්බන්ධයෙන් ප්‍රශ්නය ආවට ගියාට හිතේ හෝදිසියට නොවෙයි විය යුත්තේ. බදු සම්බන්ධයෙන් අලුතින් හිතා බලන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් යම් පියවරයන් ගත යුතුයි.
අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මාසික දීමනාව රුපියල් 10,000ක් දක්වාත් අඩු ආදායම් ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයන් සඳහා මාසික දීමනාව රුපියල් 10000ක් දක්වාත් ඉහළ නංවන බව ජාතික ජනබලවේගය සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් සජබ ගන්නා පියවර කුමක්ද ?
මේ මොහොතේ රටේ ආර්ථිකය ඇතුළේ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා හිතලා බලලයි අපි තීරණ ගත යුත්තේ. සමාජ සුබසාධනය, සමාජ ආරක්ෂණය කියන්නේ කරුණු දෙකක්.
මාසික පුද්ගල බදු නිදහස් සීමාව රුපියල් 2000 000 දක්වා ඉහළට දැමීමට ජාජබ බලයට පත්වුවහොත් සිදු කරන බව සඳහන් කරනවා?
මේ පවතින ආර්ථීක වටපිටාවත් සමඟ මේ අවස්ථාවේ මේ දේවල් කරන්න පුළුවන් වෙයිද කියලා ගැටලුවක් තියෙනවා. විවිධ පක්ෂ සහ පාර්ශ්වයන් විවිධ ලෙස මේ සම්බන්ධයෙන් දකිනවා; අපේ රටේ වෘත්තිකයන්ට බදු ගහලා තියෙන විදිහ ගැන ඉතාමත් අසාධාරණයි. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ඉදිරියට එන අනෙක් පක්ෂ මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ.
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි සඳහා වසරකට ශිෂ්‍යත්ව 200ක් ලබා දෙන බව ඔවුන් සඳහන් කරනවා. එය මේ අවස්ථාවේ කළ හැකිද?
මේ මොහොතේ යථාර්ථවාදීව කල්පනා කරලා බැලුවොත් ඒවා කරන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. අපේ රටේ වෙනත් ආදායම් උත්පාදනය ගැන කතා කරන්නේ නැතුව ලැබෙන එක වියදම් කරන ක්‍රමවේදයක් පිළිබඳව පමණක් කතා කරලා වැඩක් නැහැ. දේශපාලනිකව තියෙන ප්‍රශ්නයක් තමයි මේ දේ. ආර්ථීක ස්ථාවරත්වයක් දේශපාලන ස්ථාවරත්වයක් රටට අවශ්‍යයි. එයින් අනතුරුව අපි ආදායම් විදෙස් මුදල් උපයන මාර්ග සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්න අවශ්‍යයි. ආදායම් උත්පාදනය කරන්නෙ කෙසේද කියන පුළුල් විමර්ශනයක් සමඟයි ආදායම් බෙදාහරින්නේ කෙසේද කියන දේ තීන්දු කළ යුත්තේ. මේ පර්යේෂණ නිබන්ධනවල තියෙන දේවල් නොවෙයි අපි කළ යුත්තේ. මහ පොළොවේ පැළ වෙන දෙයක්. මේ දේවල්වලට වඩා අවධානය යොමු කළ යුතු අංශ රැසක් රටේ මේ වන විට තියෙනවා. ඔවුන් ඒ දේවල් ගැන කතා කරලා තියෙනවා නම් අපි ඒ සියල්ල අධීක්ෂණය කරමිනුයි නිසි පිළිතුරක් දිය යුත්තේ.
ජවිපෙ වේදිකාවල කියන බොරු ජනතාව පිළිගන්නෙ නෑ
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ
අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ඉවත් කරනවා කියලා ජාජබ කියනවා. මේ වෙලාවේ එවැනි දෙයක් කරන්න පුළුවන්ද?
අපේ ආර්ථිකය බොහොම අමාරුවෙන් සමබර කරගෙන තියෙන්නේ. ණය ගෙවන්න පටන් ගත්තෙත් නෑ. මේ බදුවලින් තමයි දේශීය ණය ඇතුළු සියල්ල පාලනය කරන්නේ. බදු ඉවත් කරනවා නම් ඒකට තියෙන විකල්පය කියන්න ඕන. එහෙම නැතුව ජාජබ වේදිකාවේ ඇවිල්ල කියන කියන එක පිළිගන්න පුළුවන් කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
අඩු ආදායම්ලාභී පවුල්වලට මාසික දීමනාව රුපියල් 10,000ක් සහ අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත අය වෙනුවෙන් රුපියල් 10,000ක් ලබාදෙන බව කියනවා. ඔබේ පක්ෂයේ ආණ්ඩුවක් යටතේ අඩු ආදායම්ලාභීන්ට සහනාධාර දෙන්නේ කොහොමද?
අපට අයිඑම්එෆ් එකෙන් දීපු මුදල්වලිනුයි දැනට මේ සහනාධාර දෙන්නේ. ඒකත් කෙටිකාලීනයි. ආධාර ලැබෙනකම් සහනයක් ලෙස දෙනවා.
සංවර්ධන බැංකු හරහා තරුණ ව්‍යවසායකයන් 10,000 කට මූල්‍ය පහසුකම් දෙන බව සඳහන් කරනවා. පොජපෙ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් තරුණ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද?
ඒ අය කියන්නේ ඇප නැතුව දෙනවා කියලා. බැංකු ක්‍රමයේ එහෙම ඇප නැතුව දෙන්න පුළුවන්කමක් නැහැ. මිනිස්සුන්ව රවට්ටන්න කිව්වට කරන්න පුළුවන් ඒවා නෙමෙයි.
ජොජපෙ ආණ්ඩුවක් යටතේ මාසික පුද්ගල බදු ලක්ෂයක සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දාන බව කියනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස?
ඒක කරන්න පුළුවන්, හැබැයි රජයේ ආදායම ඉහළ දැමීමට වෙන ක්‍රමයක් අවශ්‍යයි. බදු ක්‍රමය වෙනස් කරන්න පුළුවන්; කිසි ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය මහත්තයත් ඒක කළා. එහෙම කළාට ලැබෙන ආදායම නැතුව රජය විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවා. ලබන අවුරුද්දේ ඉන් මේ විදේශ ණය ගෙවන්නත් ඕනේ. මේ ඔක්කොම කරන්න යම්කිසි විදිහකින් අපනයන වැඩි කර ඩොලර් ආදායම ලබන්න ක්‍රමයක් නැතුව මේ එකක්වත් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම විශාල සංවර්ධනයකට නොගිහින් උදේ ඉඳන් ලව්ඩ්ස්පීකර් එකෙන් කතා කළාට රට සංවර්ධන කරන්න බැහැ.
කෘෂි ව්‍යාපාරිකයන් පනස්දාහක් බිහි කරනවා කියනවා. කෘෂි ව්‍යවසායකයන්ට ඇප රහිත ණය දෙනවා කියනවා. කෘෂි අපනයන ගම්මාන දහසක් ඇති කරනවා කියනවා. මේවා ක්‍රියාත්මක කළ හැකි දේවල්ද?
චන්ද්‍රිකාගේ කාලයේ කෘෂිකර්ම ඇමැතිකම හම්බ වුණානේ ජේවීපී එකට. වැව් දාහක් හදනවා කියලා මොනවාද කළේ? ඔවුන් විශාල වියදමක් දරමින් කිසිම ප්‍රයෝජනයක් නැතිව සල්ලි අපතේ ඇරිය පිරිසක්.
ඇතැම් ජනාධිපති අපේක්ෂකයෝ අයි.එම්.එෆ්. එකේ කොන්දේසි වෙනස් කරන්න සාකච්ඡා කරනවා කියනවා. ඒ ගැන මොකද හිතන්නේ?
අපේ ආණ්ඩුවක් ආවත් කවුරු ආවත් අයි.එම්.එෆ්. එකත් එක්ක බොහොම ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕනෑ. මේ කොන්දේසි අපි දාහත් වරක් කඩලා තියෙනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් බොහොම ප්‍රවේශමෙන් අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ.