Home » බැඳීම් එක්ක යනවට වඩා මේ ගමන තනියම යන එක හොඳයි කියලා හිතුවා

බැඳීම් එක්ක යනවට වඩා මේ ගමන තනියම යන එක හොඳයි කියලා හිතුවා

ශමාලී රන්ගම

by Mahesh Lakehouse
August 24, 2024 12:30 am 0 comment

– අයින්ගරන් මීඩියා සොලූෂන්හි ප්‍රඩක්ෂන් කටයුතු වගේම නළු නිළියන් සම්බන්ධීකරණය කරන්නෙත් මම
– මගේ ඉලක්කය අධ්‍යක්ෂවරියක් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉහළට යෑම

ඇය කලාවට පිවිසෙන්නේ රංගනය හරහාය. මේ වන විට ඇය සහාය අධ්‍යක්ෂවරියක් ලෙස ද සේවය කරන්නීය. වෘත්තිය ලෙස ඇය අයින්ගරන් මීඩියා සොලූෂන්හි සේවය කරන්නීය. ලංකාවේ සිදු වන ඉන්දීය නිර්මාණ රූගත කිරීම් බොහෝදුරට සිදුවන්නේ අයින්ගරන් මිඩියා සොලූෂන් හරහාය. කාර්තික් නඩරාජාගේ සභාපතීත්වයෙන් පවත්වාගෙන යනු ලබන අයින්ගරන්හි ප්‍රඩක්ෂන් ලයින් එක භාරව කටයුතු කිරීම මෙන්ම කලාකරුවන් සම්බන්ධීකරණය කිරීම ඇගේ වගකීමයි. ඉන්දීය සිනමාපට ලංකාවේ රූගත කෙරෙන්නේ ඇයගේ සම්බන්ධීකරණයෙනි. ශ්‍රී ලංකා සිනමා නිර්මාණවලට ද සහාය අධ්‍යක්ෂණයෙන් දායක වන ඇය ශමාලී රන්ගමය.

ශමාලී රන්ගම කියන්නේ අංශ කිහිපයකින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන කෙනෙක් නේද?

ඔව්. මං ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පිනිය කියන භූමිකාවෙන්. ඒත් මේ වෙද්දි සහාය අධ්‍යක්ෂවරියක් විදිහටත් කටයුතු කරනවා. ඊට අමතරව වෘත්තීය වශයෙන් සේවය කරන්නේ අයින්ගරන් මීඩියා සෝලූෂන් ආයතනයේ. ඒක ඉන්දියන් ප්‍රඩක්ෂන් කරන ආයතනයක්. සමහර ඉන්දියන් ප්‍රඩක්ෂන් ලංකාවේ රූගත කෙරෙන අවස්ථා සඳහා සම්බන්ධීකරණය කරන්නේ එම ආයතනය හරහා. එහි ප්‍රඩක්ෂන් කටයුතු වගේම නළු නිළියන් සම්බන්ධීකරණය කරන්නේ මම. ඉන්දීය ප්‍රඩක්ෂන් සඳහා ශ්‍රී ලාංකේය ශිල්පීන් සම්බන්ධ වෙන්නෙත් මං හරහා. ප්‍රභූදේවා රංගනයෙන් දායක වුණු Musasi, තලපති විජේ රංගනයෙන් දායක වුණු Goat, විජය දේවර්කොන්ඩා රංගනයෙන් දායක වුණු VD 12 වගේම වෙන්කටේෂ් රංගනයෙන් දායක වුණු Saindhaw සිනමා නිර්මාණවල ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සම්බන්ධීකරණය කළේ මං.  

ඔබේ රංගන භූමිකාව ගැන කතා කළොත්?

මං ක්ෂේත්‍රයට එන්නේ වේදිකාව හරහා අවුරුදු 14දී. ඊටත් පුංචි වයසෙදි මගේ නැන්දා හරහා මං ඉන්දීය සිනමාපටවලට රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ ඇති වුණු කැමැත්ත තමයි මාව රංගන ශිල්පිනියක් කළේ. පාසල් කාලය ඉවර වෙනවත් එක්කම ටිකිරි රත්නායකගේ සිහින සිත්තරාවී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ මුල්ම ටෙලි අත්දැකීම. ඊට පස්සේ ඔහුගේම ස්වර්ණපාලී ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ඊට අමතරව පෝය ටෙලි චිත්‍රපට ගණනාවක් කළා. ටික කාලයක් මං රංගනයෙන් ඈත් වෙලා ජපානෙට ගියේ අධ්‍යාපන කටයුතු නිසා. නැවත ලංකාවට ඇවිත් ජනසන්නිවේදනය පාඨමාලාව හදාරලා නැවතත් රංගනයට අවතීර්ණ වුණා. ඒ අතරේ රැකියාවත් කළා. පස්සේ රැකියාවෙන් ඉවත් වෙලා අයින්ගරන් ආයතනයත් එක්ක එක්ව පූර්ණකාලීනව කලා කටයුතුවල නියැළෙන්න ගත්තා.

මේ වෙද්දි ඔබ සහාය අධ්‍යක්ෂ කියන භූමිකාවත් රඟදක්වනවා?

ඔව්. මේ වෙද්දි මං රංගනය කියන භූමිකාවෙන් ටිකක් ඈත්වෙලා අධ්‍යක්ෂණය පැත්තට අතගහලා ඉන්නේ. මුලින්ම ගාමිණී හේවාවිතාරණගේ වර්ණ සිනමාපටයට සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වුණා. ඊට පස්සේ වී සිවදාසන්, හම්ප්‍රි වගේ අධ්‍යක්ෂවරුත් එක්කත් වැඩ කළා. භ්‍රමණය, රුවන් තාරකා, අමුතු දවසක්, සිහිනයකි ආදරේ, යකඩ දියණියෝ වගේ සිනමාපටවල සහාය අධ්‍යක්ෂවරිය විදිහට වැඩ කළා. මේ දවස්වල ගාමිණී හේවාවිතාරණ එක්ක ඔහුගේ අලුත්ම සිනමාපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. ලබන මාසේ රූගත කිරීම් ආරම්භ කරනවා. අනෙක් විශේෂත්වය තමයි ඒකෙ තිර පිටපත ලියන්නෙත් අපි දෙන්නමයි. ඔහු මට ගොඩක් උදවු කරනවා. ඉදිරියේදී නිර්මාණ 3ක් භාරගෙන තියෙනවා. 6ක් විතර මේ වෙද්දි කරලත් තියෙනවා. ඉදිරියේදී දැවැන්ත ඉන්දීය ප්‍රඩක්ෂන් එකක් එක්කත් එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ දායක වුණු නිර්මාණ තුළ අමතක නොවන සිදුවීම් ඇති?

ටිකිරි රත්නායකගේ ස්වර්ණපාලී ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වුණු අවස්ථාවේ අපිට එකම දවසේ සිදුවීම් තුනකට මුහුණ දෙන්න වුණා. එක සීන් එකක් දවස් 12ට විතර රූගත කෙරුණේ. ශෂිරංග විජේසේකරගේ සීන් එකේදී තියෙන්නේ කිණිස්සක් වගේ සවිකරපු තුවක්කුවකින් එයාගෙ ඇහැට අනින සීන් එකක්. රිහර්සල්වලදි හරියටම කළා. ඒත් ෂූට් එකේදි එහෙ මෙහේ වෙලා එයාගෙ මූණටම කිඳා බැස්සා. ඉක්මනින් ඔහු රෝහලට අරන් ගියා. එදාම හිමාලි සයුරංගි අශ්වයා පිටින් වැටුණා. තව මාත් එක්ක රඟපෑ පුංචි ළමයෙකුගේ කකුල කැපුණා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

ඔබේ සාමාජිකත්වයෙන් සිදුවන සරසවි පෙරමුණ සංවිධානයෙන් මොකක්ද කෙරෙන්නේ? 

සරසවි පෙරමුණ කියන්නේ කලාකරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා උදෙසා සංවිධානය වුණු එකමුතුවක්. ඒකෙන් කෙරෙන්නේ කලාකරුවන්ගේ දුක සැප හොයා බලන අතරේම ඔවුන්ගේ සුබසාධනය සඳහා කටයුතු කිරීම. ඔවුන් සඳහා අරමුදලක් පිහිටුවීම තමයි අපේ ලොකුම බලාපොරොත්තුව. ප්‍රධාන උපදේශක ක්ලීටස්ර් මෙන්ඩිස්, සභාපති ඉන්දික විජේරත්න, ලේකම් මුදියන්සේ දිසානායක, ජාතික සංවිධායක සරත් දික්කුඹුර, මාධ්‍ය සම්බන්ධීකරණ විදිහට දීප්ති ලියනගේ කටයුතු කරනවා. ඒ හරහා අපි වේදිකා නාට්‍යත් සංවිධානය කරනවා. සැප්තැම්බර් 8 වැනිදා නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී සරත් දික්කුඹුරගේ කතරගම ප්‍රේමා වේදිකාගත වෙන්නේ සවස 3.30ට සහ 6.45ට. එය සංවිධානය කරන්නේ මාත් එක්ක දීප්ති ලියනගේ.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමු?

මගේ ගම නුවර. මට ඉන්නේ අම්මයි මල්ලිලා තුන්දෙනයි නංගියි. මං අධ්‍යාපනය හැදැරුවේ මාවිල්මඩ මහා විද්‍යාලයෙන් සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන්.

ආදරය ගැන ඔබේ අදහස ගැන දැනගන්නත් කැමැතියි?

මේ වෙද්දි නම් ආදරවන්තියක් නෙවෙයි. මටත් ආදරණීය අත්දැකීම් තිබුණා. මගේ ඉලක්කය අධ්‍යක්ෂවරියක් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉහළට යෑම. ඒ සඳහා අවස්ථා ලැබුණත් මට හිතුණා තාමත් මං ඒ සඳහා සූදානම් නෑ කියලා. ඉදිරියේදී මගේම අධ්‍යක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බැඳීම් එක්ක මේ ගමන යන්න අමාරුයි. ඒ නිසා බැඳීම් එක්ක යනවට වඩා තනියම යන එක හොඳයි කියලා හිතුවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division