අසූව දශකයේදී අතිශය ජනප්‍රියත්වයට පත් ‘ඉන්ඩියානා ජෝන්ස්‘ චිත්‍රපටමාලාවේ දෙවැන්න වූ ‘ටෙම්පල් ඔෆ් ඩූම්‘ චිත්‍රපටයේදී හැරිසන් ෆෝර්ඩ් පැලඳ සිටි දුඹුරු පැහැති අපූරු ගොපලු හිස් වැස්ම ලොස් ඇන්ජලීස් නුවර වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් හයලක්ෂ තිස්දහසකට අලෙවි වූයේ දශක 4කට පෙර තිරගත වූ මේ අපූරු චිත්‍රපටය අදටත් සිනමාලෝලීන් අතර නොමැකෙන මතක සටහනක් වී ඇති බව කියාපාමිනි. ලෝක ප්‍රකට නිර්මාණකරු ස්ටීවන් ස්පීල්බර්ග් අතින් නිර්මාණය වූ බැවින් ඒ ගැන අමුතුවෙන් කිව යුතු ද නැත.
එම චිත්‍රපටයේ කතා නායකයා වන්නේ ක්‍රියාන්විත සඳහා ඇබ්බැහි වූ පුරාවිද්‍යාඥයකු වන ඉන්ඩියානා ජෝන්ස් ය. එවකට නොම්මර එකේ නළුවකු වූ හැරිසන් ෆෝර්ඩ් මේ චරිතයට පණ පෙවීම නිසා චිත්‍රපටයේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වී තිබිණි. අවුරුදු 40ක් පැරණි වුවත් ඔහු පැලඳි හිස්වැස්මට මෙතරම් වටිනාකමක් ලැබී ඇත්තේ එනිසාය. එතරම් විශාල මුදලකට සිය හිස්වැස්ම අලෙවි වනු ඇතැයි අද වන විට අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ සිය මන්දිරයට වී විවේක සුවයෙන් පසුවන 82 හැවිරිදි හැරිසන් ෆෝර්ඩ් පවා නොසිතන්නට ඇත.
ඉන්ඩියානා ජෝන්ස් තිර රචනය කරනු ලැබුවේ එවකට ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව තිර රචනය කරමින් විශිෂ්ට තිර රචකයකු ලෙස හොලිවුඩ් පුරවරයේ ආධිපත්‍යය පතුරවමින් සිටි ජෝර්ජ් ලූකාස් විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 28ක් වැය කරමින් තැනූ ‘ටෙම්පල් ඔෆ් ඩූම්‘ තිරගත වීම ආරම්භ කළේ 1984 මැයි 8 වැනිදාය. බොක්ස් ඔෆීස් වාර්තා තබමින් උපයා ගත් මුදල එය ඩොලර් මිලියන 333කටත් වැඩි ය.
හැරිසන් ෆෝර්ඩ්ගේ හිස්වැස්ම ඩොලර් ලක්ෂ ගණනාවකට අලෙවි වීම අමෙරිකාවේ පමණක් නොව මෙරට සිනමාලෝලීන් අතරත් වැඩි අවධානයට ලක්වූ පුවතක් බවට පත්වී ඇත්තේ එම චිත්‍රපටයට ශ්‍රී ලංකාවේ ද සම්බන්ධතාවක් ඇති බැවිනි. එහි රූගත කිරීම් රැසක්ම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේදීය.
ඉන්දියාවේ දේව විශ්වාස හා පැරැණි ගෝත්‍රික ඇදහිලි තේමාව කරගත් එම චිත්‍රපටයේ රූගත කිරීම් මුලින්ම සිදු කිරීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ ය. එහෙත් ඉන්දියාවේ ගෝත්‍රික ගම්මානයක් සහ හින්දු බැතිමතුන්ගේ පූජනීය වස්තුවක් වන ශිවලිංග මූර්තියක් පාදක කරගත් කතා පුවතක් බැවින් ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටයේ රූගත කිරීම්වලට ඉන්දියාවෙන් අවසර ලැබුණේ නැත. තිර කතාව වෙනස් කරන ලෙස ඉල්ලා සිටියත් ස්පීල්බර්ග් ඊට කැමැති වුයේ ද නැත. ශ්‍රී ලංකාව තෝරාගත්තේ ඉන් පසුවය. එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිදු කළා පමණක් නොව ස්පීල්බර්ග්ලා සිය නිර්මාණයට මෙරට නළු නිළියන් දායක කරගැනීමට ද අමතක නොකළේය. එවකට සිංහල සිනමාවේ විශිෂ්ට ගණයේ රංගන ශිල්පීන් වූ ඩී. ආර්. නානායක්කාර, අයිරාංගනී සේරසිංහ, රූබී ද මෙල් හා දෙනවක හාමිනේ ඇතුළු නළු නිළියෝ රැසක්ම මේ විශිෂ්ට අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට දායක වීමට වාසනාව අත්කරගත්හ.
ඉන්ඩියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම් මෙරට රූගත කිරීම් සියල්ල සිදුවූයේ මහනුවර කේන්ද්‍ර කරගනිමිනි. ඉන්දියාවේ මායාපූර් ගෝත්‍රික ගම්මානය නිර්මාණය වූයේ මහනුවර පිහිටි හන්තාන තේ වත්තේය. එය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වී ඇත්තේ ලොව ප්‍රථම තේ කෞතුකාගාරය පිහිටුවීම නිසාය. මීට අමතරව වික්ටෝරියා වේල්ලේ සිට ගංගාව හරහා කඹ පාලමක් ද චිත්‍රපටය වෙනුවෙන් තැනූ අතර, ඒ වනවිටත් වේල්ලේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් පැවැති බැවින් ඉංජිනේරුවන්ගේ සහාය ලබාගැනීමටත් ස්පීල්බර්ග් ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට සිදුවී තිබිණි.
කතාවේ හැටියට මායාපූර් ගෝත්‍රික ගම්මානයේ දරුවන් හා ඔවුන්ගේ උතුම් වස්තුව වන ශිවලිංගය ඒ ආසන්නයේ පිහිටි පන්කොට් මාලිගාවට බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබිණි. නායකයා ඇතුළු ගෝත්‍රික ප්‍රජාව ඉන්ඩියානා ජෝන්ස්ගෙන් ඉල්ලා සිටියේ මාලිගාවේ සිර කර සිටින තම දරුවන් හා ශිවලිංගය නැවත ලබා දෙන ලෙසටය. ගෝත්‍රික නායකයාට රඟපෑවේ එවකට සිංහල සිනමාවේ අතිදක්ෂ නළුවකු වූ ඩී. ආර්. නානායක්කාරය. දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ හා රූබී ද මෙල් රඟපෑවේ ගෝත්‍රික කාන්තාවන් ලෙසටය. ගෝත්‍රික නායකයාගේ ඉල්ලීමට ඉන්ඩියානා ජෝන්ස් ඔහු කැමැති වන අතර, පන්කොට් මාලිගාව බලා යන ගමනට එක් වන්නේ ඔහු විසින් හදාවඩාගත් චීන දරුවකු හා රාත්‍රී සමාජශාලාවක ගායිකාවකි. මේ දෙදෙනාම ඉන්ඩියානා ජෝන්ස්ට මුණ ගැසුණේ චීනයේ ෂැංහායි නුවරදීය.
අමෙරිකානු පුරා විද්‍යාඥයකු වන ඉන්ඩියානා ජෝන්ස් ෂැංහායි නුවරට ගියේ එහි සිටි අපරාධ කල්ලි නායකයකුට මිල කළ නොහැකි පැරැණි චීන අධිරාජ්‍යයට අයත් මිල කළ නොහැකි වස්තු සම්භාරයක් ගොඩ ගෙන දීමටය. එහෙත් අපරාධ කල්ලි නායකයා ඔහු ඝාතනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ ඔහු රටින් පලා යන අතර, ෂැංහායි නුවරදී ඔහු විසින් හදාවඩාගනු ලැබූ චීන දරුවා හා සමීපව ඇසුරු කළ රාත්‍රී සමාජශාලාවක ගායිකාවත් ගමනට එක්වෙති. එහෙත් ඔහු ඒ සඳහා යොදා ගත් අපරාධ කල්ලි නායකයාටම අයත් කුඩා ගුවන් යානයේ ඉන්ධන හා පැරෂූට් එහි නියමුවා ඊට පෙර ඉවත් කර තිබූ බැවින් ඉහළ අහසේදී යානය අක්‍රිය වෙයි. ඔවුන්ට සිදුවන්නේ ගුවන් යානය කන්දක ගැටීමට පෙර ඉන් පැන ගැනීමටය. වාසනාවකට එහි හදිසි අවස්ථාවක පාවිච්චි කළ හැකි සුළං පුරවනු ලැබූ කුඩා පහුරක් විය. ඒ මත නැඟ ඔවුන් බිමට පනින අතර, එය හිමාල කඳුවැටියේ හිම මත පතිත වී වේගයෙන් ලිස්සා ගොස් අඩි ගණනාවක් පහළින් තිබුණු ගංගාවකට ඇද වැටෙයි. ජීවිත බේරාගත් ඉන්ඩියානා ජෝන්ස් ඇතුළු තිදෙනා අනතුරුව ගංගාවෙන් ගොඩ වන්නේ මායාපූර් ගෝත්‍රික ගම්මානයටය. කතාව හරියටම ඇරඹෙන්නේ එතැන් සිටය.
ඉන්ඩියානා ජෝන්ස් ඇතුළු පිරිස පන්කොට් මාලිගාව බලා පිටත් වන්නේ ඇතකු පිටය. මේ සඳහා යොදා ගනු ලැබුවේ එවකට හෙයියන්තුඩුව පළාතේ පදිංචිව සිටි විලියම් ගුණසේකර රාලහාමි විසින් වෙන්දේසියකින් මිලට ගත් ඇත් පැටවකුය. චිත්‍රපටයට එක්වෙද්දී ඇතා දිගු දළ සහිත හස්ති රාජයෙකි. පසුකාලීනව අනූව දශකයේ මුල් භාගයේ සිට 2000 වසර මුල් භාගය දක්වා ශ්‍රී දළදා මාලිගාවේ ධාතු කරඬුව වඩම්මනු ලැබුවේ හෙයියන්තුඩුවේ රාජා නමින් ප්‍රචලිත වූ මේ හස්තිරාජයා මතිනි. මීට අමතරව පින්නවල අලි අනාථාගාරයේ සිටි ඇතුන් කිහිපදෙනකු ද රංගනයට අවස්ථාවක් ලැබී තිබිණි.
පසුකාලෙක ගුණසේකර නිවෙසේදීම අවසන් ගමන් ගිය හෙයියන්තුඩුවේ රාජාගේ දළ යුගල මෙරට දිගම ඇත්දළවලට ද හිමිකම් කීවේය. එහි ඓතිහාසික වටිනාකම හේතුවෙන් පසුකාලීනව ජපාන සමාගමක් ඩොලර් 1,20,000කට එය මිලදී ගැනීමට ඉදිරිපත් වූවද, ගුණසේකර පවුල රාජාගේ ඇටසැකිල්ල ජාතියේ උරුමයක් ලෙස අගය කිරීම සඳහා රජයට පරිත්‍යාග කළ අතර, අදටත් එය කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයට වඩා කීර්තියට හා ගෞරවයට පාත්‍රවෙමිනි.
ෆවුස් මොහොමඩ්