Home » දැන් මං විවාහයෙන් වෙන් වෙලා තනිකඩව ඉන්නේ

දැන් මං විවාහයෙන් වෙන් වෙලා තනිකඩව ඉන්නේ

දුලානි අනුරාධා

by Mahesh Lakehouse
August 24, 2024 12:32 am 0 comment

– පළමුවැනි නිර්මාණයෙන්ම හොඳම නිළිය වෙනව කියන එක මට හිතාගන්නවත් බැරි අත්දැකීමක්
– ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්

තම කුලුඳුල් රංගන අත්දැකීම හොඳම කැටගරිය යටතේ සම්මානිත වනවා කියන්නේම කෙනකුගේ වාසනාවට සිදු වන්නකි. ඇය ද එවන් වාසනාවන්තියකි. ජැක්සන් ඇන්තනීගේ අබා සිනමාපටයෙන් හා හා පුරා කියා රංගනයට පිවිසෙන ඇය සිනමා උලෙළ ද්විත්වයකම හොඳම නිළිය ලෙස සම්මානිත වූවාය. එතකින් නොනැවතුණු ඇය සුමිත්‍රා රාහුබද්ධගේ පිනිබර යාමය ටෙලි නිර්මාණයට දායක වෙමින් නැඟී එන නිළිය ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබුවාය. කුලුඳුල් රංගන අත්දැකීම් ද්විත්වයම සම්මානයට පාත්‍ර වනවා කියන්නේම දුලබ සිදුවීමකි. ඇය ද එවන් සුවිශේෂී රංගන ශිල්පිනියකි. මේ දිනවල තිරගත වන ‘හොරා අංකල්‘ සිනමාපටය ඔස්සේ දිගු කලකට පසු ඔබ හමුවට එන ඇය දුලානි අනුරාධාය.

මේ දිනවල තිරගත වන ‘හොරා අංකල්‘ සිනමාපටයේ ඔබෙන් දකින්නෙ මෙතෙක් නොදුටු රංගන පැතිකඩක්. කොහොමද අවස්ථාව ලැබෙන්නේ?

හොරා අංකල් කියන්නේ මං මෙතෙක් නොකළ වෙනස්ම චරිතයක්. බොහෝ විට මට ලැබුණෙම ඓතිහාසික සිනමා නිර්මාණ. සමහර විට ඒ මට පිරිපුන් පෙනුමක් තියෙන නිසා වෙන්න ඇති. මගේ කුලුඳුල් රංගන අත්දැකීම ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අබා හරහා. ඊට පස්සේ විජය කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි වගේ නිර්මාණවලට දායක වෙනවා. හර්ෂණ වික්‍රමසිංහගේ හොරා අංකල් සිනමා නිර්මාණය කළේ මීට අවුරුදු හය හතකට කලින්. මේක හර්ෂණගේ පළමු අධ්‍යක්ෂණය. ඔහුමයි මට ආරාධනා කළේ. හර්ෂණ පටාචාරා ඇසිස්ටන් ඩිරෙක්ටර් විදිහට වැඩ කරද්දි මං ඔහුත් එක්ක වැඩ කළා. මේ චරිතයට ඔහුට මාවම ඕන වෙලා තිබුණා. මාත් හරිම කැමැත්තෙන් භාරගත්තා. ජනක කුඹුකගේ, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා, උමයංගනා වගේ ප්‍රවීණ නළු නිළි පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක්. අගෝස්තු 8 වැනිදා තිරගත වීම ඇරැඹුණා. මගේ පළමු සිනමා අත්දැකීම අබා තිරගත වීම සිදුවුණෙත් මේ වගේම දවසක වීමත් මට විශේෂයි.

‘හොරා අංකල්‘ කියන්නෙ ළමා චිත්‍රපටයක්. ඒ ගැන මොකද හිතන්නේ?

මේක දුප්පත් පවුලක් සහ ධනවත් පවුලක් අතර කතාවක්. මවුපියන් දරුවන්ට කොතරම් ආදරේද? දරුවන් වෙනුවෙන් මවුපියන් නොකරන්නෙ මොනවද? කියන එක වගේම දරුවන්ගේ හිත් කොයිතරම් පිරිසිදු ද ඔවුන්ට ආදරය දයාව කරුණාව කොතරම් නම් දැනෙනව ද කියන එක හරි අපූරුවට ලියවිලා තිබුණා. පිටපත දැක්කම කොහෙත්ම අත්හරින්න බැරි වුණා. පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් ලස්සන නිර්මාණයක්.

දැන් දැන් ඔබට ආරාධනා ලැබෙන්නෙම මවගේ චරිතයට. පෙම්වතියගේ චරිතයට බලපෑමක් වෙයිද?

මං හිතන්නෑ එහෙම වෙයි කියලා. පහුගිය කාලේ මට ගොඩක් දුරට ලැබුණෙ මවගේ චරිතය. කොහොමත් දැන් මට අවුරුදු දාසයේ විස්සේ තරුණියකගේ චරිතයක් කරන්න බෑනේ. අවුරුදු හතළිහ., පනහ වුණත් පෙම්වතියක් වෙන්න බැරි කමක් නෑනේ. එහෙම එකකට කතා කළොත් මං ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

ඔබ කුලුඳුල් රංගනයෙන්ම හොඳම නිළියට සම්මානිත වුණු කෙනෙක්. ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

මුලින්ම මං සම්බන්ධ වෙන්නේ ජැක්සන් ඇන්තනීගේ අබා සිනමාපටයට. ඒක මගේ කුලුඳුල් රංගන අත්දැකීම වගේම ජීවිතේ කිසිමදාක අමතක නොවන අත්දැකීම. මේක නිර්මාණය වෙන්නෙත් සිනමා කර්මාන්තය බිඳවැටිල තිබුණු මොහොතක. රූගත කරද්දි වුණත් ලොකු පිරිසක් බලන්න ආවා. එහි ගුම්බක භූතාගේ චරිතයෙන් මං සරසවිය, සිග්නීස් සම්මාන උලෙළවල හොඳම නිළිය විදිහට සම්මාන ලැබූවා. පළමුවැනි නිර්මාණයෙන්ම හොඳම නිළිය වෙනව කියන එක මට හිතාගන්නවත් බැරි අත්දැකීමක්. ගොඩක් කල් ක්ෂේත්‍රයේ රැඳිල හිටියත් හැමෝටම නොලැබෙන අවස්ථාවක්. අබාත් එක්ක ඓතිහාසික සිනමා රැල්ලක්ම ආවා. විජය කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි වගේ නිර්මාණ හැදුණා. සංගිලි, පරාවර්තන වගේ නිර්මාණ ඊට වෙනස්. අබා එකෙන් පස්සේ තමයි මගේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීම සිදුවුණේ. සුමිත්‍රා රාහුබද්ධගේ පිනිබර යාමයේ උදතාරීගේ චරිතයෙන් මං නැඟී එන නිළිය විදිහට සුමති සම්මානය ලැබුවා. ඒකත් මට කුලුඳුලේම ලැබුණු සම්මානයක්. ඊට පස්සේ වහින්න මුතු වැස්සක්, චක්‍ර, මහ පොළොව අපේ නෙවෙයි වගේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණා. මෑතකදී හැපී මිනිට් කියලා නිර්මාණයට සම්බන්ධ වුණා. ආරාධනා නම් ගොඩක් ලැබුණා. අම්මයි තාත්තයි බලාගන්න ඕනෙ නිසා දුර බැහැර ඒවට සම්බන්ධ වුණේ නැහැ.

දුලානි කියන්නේ වෘත්තියෙන් ගුරුවරියක්?

ඔව්. මං නර්තන ගුරුවරියක්. ඒක මං පුංචි කාලෙ ඉඳන්ම දැක්ක හීනයක්. මුල්ම පත්වීම ලැබෙන්නේ පානදුර සුමංගල බාලිකා විද්‍යාලයට. දැන් සේවය කරන්නේ කළුතර බාලිකා විද්‍යාලයේ. මේ වෙද්දි මගේ ගුරු වෘත්තියට අවුරුදු 14ක්. මං හිතනවා මට ඉගැන්වීමේ දක්ෂතාව තියෙනවා කියලා.

ආදරය, විවාහය ගැන කතා කරනවා නම්?

මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා. ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division