හියු ජැක්මන් හොලිවුඩ් සුපර් හීරෝ චිත්‍රපට නරඹන සිනමාලෝලීන් අතර ඉතා ජනප්‍රිය රංගන ශිල්පියකු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔහු මෙම ජනප්‍රියත්වය උරුම කරගත්තේ X- Men චිත්‍රපටවල එන වොල්වරීන් චරිතය නිරූපණය කිරීම තුළිනු යි. මේ දිනවලත් ජැක්මන් විශාල වශයෙන් අවධානයට ලක්වන කෙනෙක්. ඒ දැන් අති සාර්ථක අන්දමින් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇති Deadpool & Wolverine චිත්‍රපටයේත් ඔහු වොල්වරින් චරිතය නිරූපණය කරන නිසයි.
හියු ජැක්මන් මුලින්ම මෙම චරිතය රඟපෑවේ X-Men නමැති සිනමාපටයේයි. එය තිරගත වුණේ 2000 වසරේයි. මෙම සිනමාපටය අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර ජැක්මන් වෙත ද සුවිසල් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා දෙන්නට එයට හැකි වුණා. නමුත් සැබැවින්ම ජැක්මන්ට මෙම චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව හිමි වූයේ වෙනත් නළුවකු එය ප්‍රතික්ෂේප කිරීම නිසා බව ඔහුගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙකු නොදන්නා කතාවක් විය හැකියි.
X-Men චිත්‍රපටයේ වොල්වරින් චරිතය සඳහා මුලින් තෝරා ගෙන සිට ඇත්තේ තවත් ඉතා ජනප්‍රිය සහ දක්ෂ නළුවකු වන රසල් ක්‍රෝව්. නමුත් එහි රඟපෑම ඔහු ප්‍රතික්ෂේප කර තිබුණේ තවත් චිත්‍රපටයක් සඳහා ද ඒ වනවිට රසල්ව තෝරා ගෙන තිබූ නිස යි. ඒ Gladiator චිත්‍රපටය සඳහා යි. 2000 වසරේම ප්‍රේක්ෂකයන් හමුවට ආ Gladiator චිත්‍රපටයත් අතිශයින් ජනප්‍රිය වූ අතර රසල් එහි රඟපෑවේ මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස් නමැති චරිතයයි. මෙම චරිතය රසල් ඉතා අපූරුවට රඟ පෑ අතර ඒ තුළින් ඔහුත් විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.
කෙසේ හෝ වේවා, රසල්ම තමයි වොල්වරින් චරිතය සඳහා ජැක්මන්ව යෝජනා කර තිබුණේ. ඔවුන් දෙදෙනාම ඔස්ට්‍රේලියානු ජාතිකයන් වන අතර හොඳ මිතුරන් බවත් පැවසෙනවා. හොලිවුඩ් සිනමාව තුළ තමා ලැබූ සාර්ථකත්වය සහ ජනප්‍රියත්වය පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ රසල්ට බව හියු ජැක්මන් බොහෝ අවස්ථාවල පවසා තිබෙනවා. එමෙන්ම ඔහු පවසන්නේ රසල් තමාගේ වෘත්තීය ජීවිතයේ බොහෝ අවස්ථාවල තමාට උදව් කර ඇති බව යි.
වොල්වරින් චරිතය ප්‍රතික්ෂේප කිරීම ගැන තමා කිසි විටෙකත් පසුතැවිලි නොවන බව රසල් ද සඳහන් කර තිබෙනවා. X-Men චිත්‍රපටවල ජැක්මන් වොල්වරින් චරිතය නිරූපණය කළ ආකාරය බලා සිටි රසල් එය මහත් අගැයුමට ලක් කර තිබුණා. ඔහු වරක් සඳහන් කර තිබුණේ ජැක්මන් එම චරිතයට දුන් ජවය, ශක්තිය තමාට කිසි විටෙකත් ඊට ලබා දිය නොහැක්කක් බව යි. 2000 වසරේ X-Men චිත්‍රපටයෙන් පටන් ගෙන ඉන්පසු ජැක්මන් X2, X-Men: The Last Stand, X-Men: Days of Future Past, The Wolverine, X-Men: Apocalypse වැනි චිත්‍රපටවල ද වොල්වරින් චරිතය නිරූපණය කළා. Deadpool & Wolverine ඔහු එම චරිතය රඟපාන අලුත්ම සිනමාපටයයි.
මෙම චරිතය නිසා ජැක්මන්ට ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය මෙන්ම විශාල ආදායමක් ද උපයා ගන්නට ලැබුණා. මෑත කාලයේ වොල්වරින් චරිතය රඟපාන චිත්‍රපටයක් සඳහා ඔහුට ගෙවන මුදල අමරිකානු ඩොලර් මිලියන 20ක් බව පැවසෙනවා. එය ලංකා මුදලින් රුපියල් කෝටි 600කට ආසන්නයි. ඔහු රඟපෑම වෙනුවෙන් ඉහළම ගාස්තුවක් අය කරන නළුවන්ගෙන් කෙනෙකු හැටියටයි සැලකෙන්නේ. වොල්වරින් චරිතය රඟපෑමෙන් ජැක්මන් උපයා ඇති සමස්ත ආදායම අමරිකන් ඩොලර් මිලියන 100ක් (ලංකා රුපියල් කෝටි 3,000 ක්) පමණ වන බව සඳහන්. ජැක්මන් වඩාත් ජනප්‍රිය වූයේ වොල්වරින් චරිතයෙන් වුව ද ඔහු තවත් නිර්මාණවල බොහෝ දස්කම් දැක්වූ කෙනෙක්. සිනමාව තුළ පමණක් නොව වේදිකාවේ ද ජැක්මන් දස්කම් දක්වා ඇති අතර මේ සෑම ක්ෂේත්රයක් තුළම ඉහළම සම්මාන ද දිනාගෙන තිබෙනවා. එමී (Emmy) සම්මාන, ග්රැමි (Grammy) සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සහ ටෝනි සම්මාන ඒ අතර වෙනවා. වරක් ඔහු ඔස්කාර් සම්මානයක් සඳහා ද නිර්දේශ වූණා. ඒ 2012 වසරේ තිරගත වූ Les Miserables චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්.
හියූ ජැක්මන් සිය කලා දිවිය තුළ ඉතා සාර්ථක ගමනක නිරත වුවත් ඔහු ජීවිතයේ විවිධ දුක්කම්කටොලුවලටත් මුහුණ දී තිබෙනවා. කලක් ඔහු සමේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටියා. එම පිළිකාව ඇති වී තිබුණේ ඔහුගේ නාසයේ යි. තමාට පිළිකාවක් වැලඳී ඇති බව ජැක්මන් පළමු වරට ප්‍රකාශ කළේ 2013 වසරේ යි. මේ වනවිට එය සුව වී ඇති බව සඳහන් වෙනවා.
මේ වෙද්දී ජැක්මන් තනිකඩ දිවියක් ගත කරන බවත් පැවසෙනවා. 1996 වසරේ ඔහු ඩෙබොරා-ලී ෆර්නස් නමැති ඔස්ට්‍රේලියානු නිළිය සමඟ විවාහ වුණත් 2023 වසරේ ඔවුන් එකිනෙකාගෙන් දික්කසාද වුණා.
කසුන් අරවින්ද