Home » පෙම්වතියට බෝඩිම අහිමි කළැයි ගුරුවරියගෙන් පළිගන්න පෙම්වතා ගහපු ගේම

පෙම්වතියට බෝඩිම අහිමි කළැයි ගුරුවරියගෙන් පළිගන්න පෙම්වතා ගහපු ගේම

by thanushika
August 24, 2024 12:30 am 0 comment

මුහුණුපොත නිසා ඇතැම් තරුණ කාන්තාවන්, යුවතියන් සහ ළමයින්ට විඳීමට සිදුවී ඇති නින්දා අපහාස උපහාස සහ හිංසන මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. විශේෂයෙන් ප්‍රේම සබඳතා මුල්කරගෙන කාන්තාවන්, පිරිමින් අතර ඇතිවන ආරවුල් බොහෝ ප්‍රමාණයක් අන්තිමට නවතින්නේ මුහුණුපොතේය. ඒ ඇතැමුන්ගේ ලිංගික චර්යා සහ ඡායාරූප මුහුණුපොතට එක්කරමිනි. මෙය ඉතා භයානක මෙන්ම නීති විරෝධී කාර්යයන් කටයුත්තක් වුවත් ඇතැම් පුද්ගලයන් ඒවා තුට්ටුවකටවත් මායිම් නොකර තම කාර්ය කටයුතු එලෙසම නිරුපද්‍රිතව සිදු කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත.

කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ ලිංගික ඉරියව් සහිත වීඩියෝ සහ ඡායාරූප මුහුණුපොතට එකතු කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය විමර්ශන රැසක් මේ වන විට සිදු කරගෙන යන අතර, පුද්ගලයන් ගණනාවකට විරුද්ධව නඩු පවරා ඇති බවද දැනගැනීමට ඇත. ෆේස්බුක් සම්බන්ධ ආසන්නම සිදුවීම ගැන වාර්තා වන්නේ ද රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පසුගියදා සිදු කරන ලද විමර්ශනයේදීය.

ජාත්‍යන්තර පාසලක සේවය කරන 41 හැවිරිදි රූමත් ගුරුවරියක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මේ ගැන විමර්ශන ආරම්භ කර තිබිණි.

අදාළ ගුරුවරිය මුහුණපොත පරිශීලනය කළාය. ඇයට ද මුහුණුපොතේ ගිණුමක් තිබිණි. මිතුරු මිතුරියන් රැසක් ඇය ඇසුරු කළාය. මෙසේ කාලය ගත වන අතරේ පසුගිය මැයි මාසයේ පටන් ඉතා සංවිධානාත්මකව කිසියම් පිරිසක් තමන්ට අයුතු යෝජනා සිදු කරන බව ගුරුවරිය නිරීක්ෂණය කළාය. ඇගේ ජංගම දුරකතනයට නිතර ඇමතුම් දුන් කිසියම් පුද්ගලයන් පිරිසක් ඇය අභිසරුලියක්දැයි විමසා ඇය සමඟ පැයක් දෙකක් ගත කිරීම සඳහා ඇගෙන් මිල ගණන් විමසුවාය.

කිසියම් පුද්ගලයකු තමාගේ චරිතයට කැළලක් ඇති කිරීමේ අරමුණෙන් මේ ක්‍රියාව සිදු කර ඇති බව ඇය වටහා ගත්තාය. තවදුරටත් ප්‍රමාද නොවූ ඇය මේ ගැන වහාම පැමිණිලි කරන්නේ රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයටය. ගුරුවරිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුවය. සී අයි ඩී නිලධරයෝ දීර්ඝ විමර්ශනයක් කරන්නේ මේ ගැන මුළුමනින්ම සොයා බැලීම සඳහාය.

රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායක ඇතුළු කණ්ඩායම දින කීපයක් තිස්සේ මේ ගැන සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී සැක කටයුතු පුද්ගලයකු පිළිබඳ තොරතුරු හෙළි කර ගැනිණි. එම තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන කළ සී අයි ඩී නිලධරයන් හෙළි කර ගන්නේ එම සැකකාර පුද්ගලයා දෙමටගොඩ ආරාමය පෙදෙසේ පදිංචිකරුවකු බවය. මුද්‍රණ ශිල්පියකු ලෙස කටයුතු කරන ඔහු 19 හැවිරිදි අයකු බවද විමර්ශනවලදී හෙළි කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවිය.

සැකකාර 19 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ එම විමර්ශනවලින් අනතුරුවය. ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ මෙවැනි කතාවකි.

සැකකාර 19 හැවිරිදි පුද්ගලයා පෙම්වතියක ඇසුරු කළේය. එම පෙම්වතිය නවාතැන් ගෙන සිට ඇත්තේ අදාළ ජාත්‍යන්තර පාසල් ගුරුවරියට අයත් නේවාසිකාගාරයකය. එම නේවාසිකාගාරයට පෙම්වතිය විසින් ගෙවීමට ඇති කුලී ගාස්තුව සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවී තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙම්වතියට අදාළ නේවාසිකාගාරය හැර යාමට සිදුවිය. මේ ප්‍රශ්නය නිසා පෙම්වතා ගුරුවරිය සමඟ පසුවූයේ නොමනාපයෙනි.

ඉන් අනතුරුව 19 හැවිරිදි සැකකරු සිදුකරන්නේ ඇය විසින් නිර්මාණය කරන ලෙස හඟවා ඇගේ ඡායාරූප යොදා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සෑදීමයි. එහිදී ඇය හඳුන්වා දී ඇත්තේ අභිසරුලියක ලෙසය. ඉන් අනතුරුව ඇයට විවිධ පුද්ගලයන් දුරකතන ඇමතුම් ලබාදී ඇගෙන් මිල ගණන් විමසා ඇති බවද විමර්ශනවලදී හෙළිවිය. එම ව්‍යාජ ෆේස්බුක් ගිණුම අපරාධ පරීක්ෂක නිලධාරින්ගේ පරික්ෂාවට ලක්වන විට එහි පරිශීලකයන් තුන්දහසක් පමණ සිටි බවද හෙළිවී තිබේ.

එම ගිණුම වැඩිදුරටත් පරීක්ෂා කළ සී අයි ඩී නිලධාරින් සොයාගන්නේ ගුරුවරියගේ ඡායාරූපවලට අමතරව තවත් රූමත් කාන්තාවන් ගණනාවකගේ ද ඡායාරූප එහි පලකර ඇති බවය. මේ සියලු කාන්තාවන් හඳුන්වා දී ඇත්තේ ලිංගික සේවා ලබාදීමට සූදානමින් පසුවන අය ලෙසය.

මෙලෙස පල කරන එම දැන්වීම් මාර්ගයෙන් සැකකරු පුද්ගලයන් රැසක් රවටා මුදල් ඉපයීමේ ජාවාරමක් ද සිදු කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි විය.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සම්බන්ධව දීර්ඝ ලෙස සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර එහිදී රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නදීකා දිසානායකගේ උපදෙස් මත උප පරීක්ෂක ඉසුරු ගුණතිලක ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division