Home » අනියම් පෙම නිසා ගින්නට බිලි වූ සුසිලා

අනියම් පෙම නිසා ගින්නට බිලි වූ සුසිලා

-37 හැවිරිදි තංගවේල් සුසිලාගේ ඝාතනයට සැක සැමියා අත්අඩංගුවට

by sachintha
August 31, 2024 12:44 am 0 comment

බිරියගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබුවා යැයි සැකයක්

‘අනාචාරය’ මෙරට අපරාධමය වරදක් නොවූවද අනාචාරයේ හැසිරීම සමාජය පිළිකුල් කරයි. අනුමත නොකරයි. පවුල් ජීවිතවල විවිධ අදහස් තිබෙන, විවිධ ආකල්ප තිබෙන, විවිධ රුචිඅරුචිකම් තිබෙන, විවිධ අධ්‍යාපන මට්ටම්වලින් යුක්ත අය සිටිති.

පසුගියදා වෙන්නප්පුව පොලිස් වසමේ බෝලවත්ත සින්දාත්‍රිය නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ අනූවේදනීය සිද්ධිය ද පෙන්වා දෙන්නේ ද අනියම් පෙමේ ඇති බියකරු බවයි.

පවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් සැමියා බිරියට පෙට්‍රල් දමා ගිනි තැබූ අතර බිරිය දින දෙකක් රෝහලේ ප්‍රතිකාර ලබා තෙවන දින මිය ගියාය.

මෙසේ මිය යන්නේ බෝලවත්ත සින්දාත්‍රිය ප්‍රදේශයේ පදිංචිව සිටි තංගවේල් සුසිලාය. ඇය 37 වියේ පසුවූ සිවු දරු මවකි. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

‘තංගවේල් සුසිලා’ රූමත්ය. ඇය දෙස බැලූ කෙනෙකු තවත් වරක් බැලීමට හිතක් පහළ වන තරමටම ඈ රූ සපුවෙන් පිරිපුන්ය. ඇය ගමේ කා අතරත් හොඳහිත දිනා ගත් අව්‍යාජ සිනහවකින් යුත් තැනැත්තියකි. ආර්ථික මට්ටමින් ඉතාම පහළ ස්ථරයක සිටිනා පවුල්වල දූ දරුවන් සේම ඇයද අධ්‍යාපනයට අතරමඟ තිත තබන්නේ හිතාමතා නොව මව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් නොවීමෙන් නොදැනුවත්වම පාසල් දිවියේ හැර යාමට සිදුවීම නිසාය. කාලය ගෙවී ගියේය. ඇයට එම ප්‍රදේශයේම පදිංචි දේවසගායම් ප්‍රැන්සිස් නමැති තරුණයා මුණගැසෙන්නේ මීට වසර 25කට පමණ පෙරය. දේවසගායම් ප්‍රැන්සිස් බැලූ බැල්මට කඩවසම්ය. උසේ තරමට හැඩකාර සිරුරකට හිමිකම් කියන දේවසගායම් ප්‍රැන්සිස් පොල් කඩන්නෙකු ලෙස ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකි.

මෙවන් පසුබිමක් යටතේ ඔවුනගේ තරුණ කාලයේ දෙදෙනා අතර ඇති වූ දැන හඳුනාගැනීමෙන් පසු යුවළ එක වහලක් යටට ඒමට කටයුතු කරන්නේ එකිනෙකා දැන හැඳිනගෙන වැඩිකල් නොයාය. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ පවුලට දූ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් දරු පවුලක් බවට පත්විය.

මෙසේ කාලය ගත විය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නිවසේ ඇති අගහිඟකම් පිරිමහ ගැනී‍මට තම සැමියාගේ රැකියාවෙන් ඊට ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමට නොහැකි වීම වටහා ගන්නා සුසිලා මැදපෙරදිග රැකියාවක් සඳහා පිටත්ව යාමට තීරණය කළාය. සුසිලා, ප්‍රැන්සිස්ට වඩා වයසින් බාල වීමත්, ගැහැනියකට නොඅඩුව ඇති රූ සපුව පැවතීමත් හේතුවෙන් ඇගේ සිත තවත් කෙනෙකු සොරා ගනීවියැයි දැඩි සැකයෙන් සහ බියකින් පසුවූ සැමියාගෙන් ඊට අවසරයක් ලැබෙන්නේ පවුලේ තිබෙන අගහිඟකම් මැද කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටීම හේතුවෙනි. ඇය මැද පෙරදිග රැකියාවකට ගොස් ඒ අතරතුර කීප අවස්ථාවකම මෙරටට පැමිණ නැවත යන අතරතුර නැවත අවසන් වරට මෙරටට පැමිණෙන්නේ මීට මාස තුනකට පමණ පෙරය.

මේ අතරතුර පිටරට සේවය කරන අතරතුරදී දැන හැඳිනගත් අයෙක් සමඟ කාලයක් තිස්සේ ඇය සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට කටයුතු කළාය. ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙරටට පැමිණි පසුවද ඇය ලද සෑම අවස්ථාවකම ඔහු හමුවීමට කටයුතු කළාය. බිරියගේ අනියම් මෙම ඇසුරේ ඉව දැනුණේ මෙරටට පැමිණීමටත් පෙරය. ඒ නිසා අවසන් වරට බිරිය මෙටට පැමිණි අවස්ථාවේ දී මෙම වැරදි සම්බන්ධතාව නවත්වන මෙන් සැමියා ඇගෙන් අයැද සිටියේය. ඊට විවිධ වූ හේතූන් ගෙනහැර දක්වමින් සුසිලා සැමියා අතර පවතින වචන හුවමාරුවලදී පෙරමුණ ගැනීමට උත්සාහ කළාය. ඇතැම් අවස්ථාවලදී ඇය ඔහුට එරෙහිව එල්ල කළ චෝදනාවලදී සැමියාට සිදු වූයේ නිරුත්තර වීමය. මෙසේ දෙදෙනා අතර නිරන්තර අඩදබර ඇති වීමෙන් ඇතැම් අවස්ථාවල ඇය දින ගණන් ඔහු සමඟ උරණ වී ගෙදරින් පිටව ගිය අවස්ථාද නැත්තේම නොවේ. ඒ පිටත්ව යාම නතර වන්නේ කොච්චිකඩෙන් බව සැමියා හොඳාකාරව දැන සිටියත් කිසිත් නොදන්නා සේ නිහඬව සිටීමට සිදු විය. මේ නිසාම ඔහු දැඩි කලකිරීමෙන් පසු විය.

මේ අතර ඇයට නැවත රට නොයන ලෙසත් අනියම් සම්බන්ධය නැවතීමට කටයුතු කරන ලෙසත් සැමියා ඉල්ලා සිටියද ඇය එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළේය. සැමියා නිරන්තරයෙන් සුසිලා හමුවේ කියා සිටියේ පසුගිය වැරදි අමතක කර දමා ‘යළිත් පෙර සේ ජීවිතය ගෙන යමු‘යි කියාය. එහෙත් සුසිලා ඔහුගේ ඉල්ලීම් තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත. ඕ තමනට අවශ්‍ය දේ කිරීමට කටයුතු කළාය. මේ හේතුවෙන් සැමියා දැඩි කනස්සල්ලෙන් සිටි අතර ඉකුත් 13 වැනි දින අවුරුදු 14ක් වූ ඔවුනගේ පවුලේ එකම පිරිමි දරුවාගේ උපන් දිනය සැමරීමට කටයුතු කළේ සුසිලා පුතුට දැඩි සේ ආදරය කළ නිසාය.

එදින සවස් වරුවේ කේක් කපා උපන් දිනය සැමරූ පසු සතුටින් පසුවන සුසිලා නැවත වරක් සැමියා විසින් නිතර සිදුකරන ඉල්ලීම් ගැන සිහිපත් කළේ එදිනද යහපත් පිළිතුරක් අපේක්ෂාවෙනි. එහෙත් ඉන් පළක් නොවීමෙන් ඔහු ඇය කෙරෙහි දැඩි කේන්තියෙන් පසුවිය. එසේ සිටින අවස්ථවේ පසුදා උදෑසන 5.00 ට පමණ ඇය ඇඳුම් පැලඳුම් බෑගයකට දැමීමට කටයුතු කරන අයුරු දැක ඇය නිවසින් පිටව යන බවට සැමියාට සැක සිතී තණකොළ කැපීමේ යන්ත්‍රයට යොදා ගැනීමට රැගෙන ආ පෙට්‍රල් බෝතලය ගෙන බිරියගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමට කටයුතු කළේය. ඇය වේදනාවෙන් කෑ ගැසුවාය. ඒ සමඟම සිරුර පුරා පවතින ගින්න නිවා ගැනීමට නිවස ඉදිරිපිට තණකොළ සහිත ස්ථානයකට දිව ගියාය. එහි වැතිරී ගින්න නිවා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ සිද්ධිය දැක ඇගේ බාල පුතා පැමිණ ගින්න නිවීමට උත්සාහ කළේය. එහෙත් එය ඔහුට තනිව සිදු කිරීමට නොහැකි වූයේ සිරුර පුරා ගින්න පැතිරී ගොස් තිබීමය. ඒ සමඟම නිවසේ ඉදිරිපිට පාරේ උදෑසන ව්‍යායාම කිරීමට ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පැමිණ සහය දෙමින් 1990 ගිලන් රථයට දන්වා ඇය කඩිනමින් මීගමුව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. ගින්නෙන් ඇගේ සිරුරට බරපතළ ලෙස හානි සිදු වී තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සුසිලා දින තුනක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියාය.

සිද්ධිය වූ දින සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ‍ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර මරණය සිදුවූ දින යළිත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංගගේ උපදෙස් මත වෙන්නප්පුව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්තගේ අධීක්ෂණය යටතේ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මඟ පෙන්වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන, සැරයන්වරුන් වන 27583 බණ්ඩාර , 54923 ශාන්ත, කොස්තාපල්වරුන් වන 88553 ඉඳුනිල්, 85186 පුෂ්පකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් 12908 යසිනි යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.

මිහිර විජේසේකර-මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division