Home » ලේ කිරිකර දුන් අම්මේ ඇයි මෙතරම් සැහැසි වුණේ

ලේ කිරිකර දුන් අම්මේ ඇයි මෙතරම් සැහැසි වුණේ

by sachintha
August 31, 2024 12:52 am 0 comment

දින 43 ක් වයසැති බිලිඳාට පහරදී ඝාතනය කළැයි මව සැකපිට අත්අඩංගුවට

මේ කතාවේ කතා නායිකාව වන්නේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකාර වයස 33 හැවිරිදි ශෂි රූබන් සෝබනාය. ඇය දෙදරු මවකි. පළමු දරුවාට වයස අවුරුද්දයි මාස දෙකහමාරකි. පළමු දරුවා ලැබීමත් සමඟ සෝබනාගේ කන්කරච්චලය ඉවසාගත නොහැකි තැන ඇගේ සැමියා වෙනත් පළාතක රැකියාවක් සඳහා පිටත්ව යන්නේ මීට වසරක පමණ කාලයක සිටය. ගෙදර ආර්ථික ප්‍රශ්න හමුවේ දිවා රෑ වෙහෙසුන සිය සැමියා කෙටි කලකින් එම ප්‍රශ්න සියල්ලටම විසඳුමක් ලෙස කාසි පණම් සොයන්නට විය. එසේ කාලයාගේ අවෑමෙන් සෝබනාට සිය සැමියා විසින් අලුත් බලාපොරොත්තුවකට යෝජනාවක් ගෙනෙන්නේ ඇයව පුදුම කරවමිනි. ඇයද එකහෙළා සැමියාගේ යෝජනාවට කැමති වන්නේ ඇයගේ සිතේද එම බලාපොරොත්තුවක් ඇති වී තිබූ නිසාවෙනි.

ඒ වෙන කිසිවක් නොව සිය කුරුලු කැදැල්ලට තවත් කිරිල්ලියක් හෝ කුරුල්ලකු කැන්දාගෙන ඒමටය. නොබෝ දිනක් යද්දී සෝබනාගේ දරු ගැබ එන්න එන්නම මෝරන්නට විය. දින සති මාස ගත වෙද්දී දරුවා මෙලොව එළිය දකින්නේ වාසනාවන්ත පිරිමි දරුවකු විලසිනි.

ටික කලකදී දරුවාද කෙමෙන් ලොකු මහත් වී කෑකොස්සන් ගහන හඬට සෝබනාගේ සැමියාට නුහුරු නොවුණත් සෝබනාට නම් කන්කරච්චලයක් වන්නට විය. වරෙක ආවේශයෙන් ඇය කිරි කැටියාට බැණ වැදුණාය. තවත් වරෙක අමානුෂික ලෙස පහර දුන්නාය. කිරි පොවමින් සිටි ඇය දරුවාට වැරෙන් පහර කිහිපයක් එල්ල කරන්නේ ඔය අතරය. එසේ පහරක් වැදීමෙන් දරුවාගේ වම් පාදයේ වළලුකර සහ දණහිස ප්‍රදේශය අතර කොටස ඉදිමී තුවාල විය. පසුදා දරුවා ඉපිද දින 40ක් ගතවූ පසුව දරුවාව සායනය වෙත රැගෙන ගොස් එහි සිටි වෛද්‍යවරයකු දරුවා නිරීක්ෂණය කිරීමේදී දරුවාගේ පාදයේ තුවාලය දැක කඩිනමින් රෝහල්ගත කර ප්‍රතිකාර කරවන මෙන් උපදෙස් දී තිබුණද සෝබනා ඒ වචනය තුට්ටුවකටවත් මායිම් නොකර ආපසු සුපුරුදු පරිදි නිවසට පැමිණ නැවත මේ කිරි කැටියා සමඟ ජල්ලි අල්ලන්ට පටන්ගෙන තිබුණේ ඒ අතරේය.

‘බීපිය කිරි මගෙන් නොකා‘ යනුවෙන් ඇය බැණ වදමින් දරුවාගේ හිස ප්‍රදේශයට පහර කිහිපයක් එල්ල කරනවාත් සමඟම වැරෙන් එල්ලවූ පහරක් මෙලෝ සසරක් නොදන්න අසරණ කිරි කැටියාට අවාසනාවන්ත ලෙස සදහටම සෝබනා‍ගෙන් සමුගෙන යාමට සිදුවන්නේ ඔය අතරය. සිහිමුර්ජා වූ කිරි කැටියා දෙස බැලූ සෝබනා දරුවාගේ වම්පස අත අඹරවමින් කරකවමින් මිරිකමින් නොයෙකුත් වධ හිංසා දෙමින් ක්‍රෑරත්වයට පත්කර ඇය සිතා ගත්තේ දරුවා බියවී ඇගෙන් පාඩමක් ඉගෙන ‍ගෙන නිහඬව සිටින බවය.

නමුත් ඒ වන විටත් සෝබනාගේ රුදුරු මාරයා විසින් මේ අසරණ මල් කැකුළ මිලින කර හමාර බව ඇය හාන්කවිසියක්වත් නොදැන සිටින්නට විය. සෝබනා දරුවාව කරපින්නා ගෙන හැඬූ කඳුළින් රෝහලට දිව යමින්ම කියා සිටියේ කඩිනමින් දරුවාට ප්‍රතිකාර කර සිය දරුවාගේ ජීවිතය බේරා දෙන ලෙස ඇය වෛද්‍යවරුන්ගෙන් ආයාචනා කරන්නට විය. ඒත් සමඟම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කරන්නට විය. නමුත් ඒ සියල්ලම උඩු යටිකුරු කරමින් ඒ වන විටත් දරුවා මිය ගොස් ඇතැයි වැටහුණු වෛද්‍යවරු රෝහල් පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුව රෝහල් පොලිස් නිලධරින් කඩිනමින් තෙලිප්පලේ පොලිස් ස්ථානයට සිද්ධිය වාර්තා කරන්නට විය.

සිද්ධිය සැලවීමත් සමඟම තෙලිප්පලේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කරන්නට වන්නේ තෙලිප්පලය ප්‍රාදේශීය රෝහලට යමිනි. එහිදී පොලිස් නිලධාරින්ගේ ඇස ගැටුණ දේ සෝබනාගේ හැසීරීම් රටාව පොලිස් නිලධරයන්ගේ සැකය දෙගුණ තෙගුණ කරන්නට විය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලිස් නිලධාරින් දරුවාගේ මෘතදේහය හොඳින් නිරීක්ෂණය කරන්නට විය. පසුව දරුවාගේ සිරුරේ ස්ථාන කිහිපයක තිබූ විවිධ තුවාල හා තැළීම් ඉදිමීම් පොලිස් නිලධාරින්ට හසු විය. අනතුරුව තෙලිප්පලේ පොලිසියේ නිලධාරීන් විසින් දරුවාගේ දේහය එක්ස් කිරණ පරීක්ෂාවකට භාජන කරන මෙන් වෛද්‍යවරුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව කළ පරීක්ෂාවකින් අනතුරුව තවත් සාක්ෂි රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබූණි.

එසේ විවිධ පරීක්ෂණ ඔස්සේ දරුවාගේ මරණයට හේතුව පිළිබඳව කරුණු අනාවරණය කර ගත් තෙලිප්පලේ පොලිස් නිලධාරින් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෘත දේහය යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබිණි. ඒ වන විටත් කිසිවක් නොදන්නා අයකු මෙන් හැසිරුණ සෝබනාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇගෙන් ප්‍රශ්න කරන ලදි. පසුව ඇය පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ දරුවාට කිරි පොවමින් සිටියදී දරුවා අධික ලෙස කෑ ගසමින් හඬා වැලපෙන බවත්, ඇයට එම කෑගැසිල්ල මහත් හිසරදයක් වූ නිසා දරුවාට තමන් බරපතළ ලෙස පහර කිහිපයක් එල්ල කළ බවත්, එයින් හිස ප්‍රදේශයට අතමිට මොළවමින් වැරෙන් එල්ල කළ පහරකින් අනතුරුව දරුවා සිහිමුර්ජා වී බලාගත් අත බලා සිටි බවයි. පසුව තමන් දරුවාව ඔසවාගෙන හොඳින් සොලවා ආදරයෙන් ආමන්ත්‍රණය කර බැලුවද දරුවා නිසොල්මනේ සිටි නිසා කඩිනමින් රෝහල්ගත කළ බවයි.

යාපනය තෙලිප්පලෙයි පොලිස් බලප්‍රදේශයට අයත් මුරුගේකුලම්, අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේදී දින හතළිස් තුනක් වයසැති බිලිඳෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියයාම සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය.

එහිදී දරුවාගේ මෘතදේහය පරීක්ෂා කිරීමේදී පොලිසියට සැකයක් මතුවීමෙන් මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා භාජන කිරීමට කටයුතු කෙරිණි. එහිදී මෙම බිලිඳාගේ මෘතදේහය සී.ටී. ස්කෑන් එකක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව බිලිඳාගේ වම් අත කරකවා අඹරා ඇති බවත්, වම් පාදයේ වළලුකර ප්‍රදේශයේ සිට දණහිස අතර අධික ලෙස කළුපැහැ ගැන්වී ඉදිමී වම්පස නළල ප්‍රදේශයේ සියුම් තුවාලයක් ඇති අයුරුද නිරීක්ෂණය වී ඇතැයි ලබාදුන් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.

අනතුරුව මෘත ශරීරය යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ බිලිඳාගේ හිසට එල්ල වූ පහරදීමක් හේතුවෙන් අභ්‍යන්තරයේ සිදුවූ රුධිරය වහනය වීමකින් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙසේ මව විසින් පහර දීමෙන් මරණයට පත්ව ඇත්තේ ‘සසිරූබන් නිකාස්’ නැමැති එකහමාරක බිලිඳකු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි බිලිඳාගේ මව තෙලිප්පලය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කර වහා වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මල්ලාකම් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

යාපනය දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ කන්කසන්තුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගමගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අසිත ද සිල්වාගේ අධීක්ෂණයෙන් තෙලිප්පලෙයි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. උදයපාලගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශගේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඩී.ටී. උදයංග පුෂ්පකුමාර, සැරයන් (57273) තෙන්නකොන්, කොස්තාපල්වරුන් වන (43694) සම්පත්, (88983) සයන්තන්, (91846) ප්‍රසාන්තන්, (10871) අභිලාෂ්, කාන්තා පොලිස් කොස්තාපල් (11568) සඳරුණී යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

කේ. ප්‍රියංකර කළුපහන -වනාතවිල්ලුව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division