Home » උපාධිධාරිනියගේ අත්බෑගය කොල්ලකෑ මත්ලෝලීන් දෙදෙනා අල්ලන්න එස්.අයිට ලැබුණු ඔත්තුව

උපාධිධාරිනියගේ අත්බෑගය කොල්ලකෑ මත්ලෝලීන් දෙදෙනා අල්ලන්න එස්.අයිට ලැබුණු ඔත්තුව

by thanushika
August 31, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

අපරාධකාරයන් විවිධ චර්යා ඇත්තවුන් බව මීට පෙරද මම සඳහන් කෙළෙමි. ඇතැම් අපරාධකාරයෝ ඔවුන්ටම ආවේණික ක්‍රම අපරාධවලට යොදා ගන්නා නිසා දක්ෂ විමර්ශන නිලධාරියාට ඔවුන් අල්ලා ගැනීම පහසුය. අවශ්‍ය වන්නේ අපරාධකාරයන්ගේ චර්යා නිරීක්ෂණය පමණි. එලෙස අල්ලා ගන්නා ලද අපරාධකරුවන්ගේ සංඛ්‍යාවද අතිමහත්ය.

මෝටර් බයිසිකල්වලින් ගොස් මහමඟ යනඑන කතුන්ගේ ගෙල බැඳි රන්මාල කඩාගෙන පලා යන කොල්ලකරුවන් බොහෝ විට කුලී ඝාතකයන් හෝ සංවිධානාත්මක අපරාධකාරයන්ද නොවනවා සේම ඉතාම සැලසුම් සහගතව කුලී ඝාතන, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාදාමයන්ට සම්බන්ධ අපරාධකරුවෝ මහමඟ යනෙන කතුන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගෙන පලාගොස් හසුවූ අවස්ථාද විරලය. ඒ කිසියම් අපරාධ චර්යාවන් ඇත්තන් තමන්ටම ආවේණික වූ අපරාධ පමණක් බොහෝ දුරට සිදු කරන නිසාය.

මහමඟ ගමන් කරන කතුන්ගේ රන්මාල කඩාගෙන පලා යන කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන් බොහෝ දෙනෙකු මත්ලෝලින් බවට හඳුනාගෙන තිබේ. ඔවුන්ගේ එකම අරමුණ ඒ සඳහා ‘එදා වේල’ කොල්ලකෑම්වල නිරත වීමයි.

මහරගම පැත්තේදී පසුගිය දිනෙක අල්ලාගත් කල්ලියක් සිදුකර තිබුණේ මහමඟ ගමන් කරන කතුන්ගේ අත්බෑග් කොල්ලකෑම පමණි. එක් කතකගේ හැන්ඩ් බෑගයක් ඇතුළේ ජී.පී.එස්. ක්‍රියාත්මක කර තිබූ ජංගම දුරකතනයක් තිබූ නිසා මේ කල්ලිය පොලිස් දැලට හසු විය.

ඒ වගේම අලුයම් කාලයේ සේවය නිමවී නිවසට යන අයව ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වූ කොල්ල කල්ලි ගැන ද පසුගියදා අසන්නට ලැබිණි. ඒ ඒ අයගේ අපරාධ චර්යාවයි. අලුයම් කාලයේ සේවය නිම වී නිවසට යන පුද්ගලයන්ගේ මුදල් රන් ආභරණ, ජංගම දුරකතන කොල්ලකා පලායන පුද්ගලයෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අල්ලාගෙන තිබුණි. එවැනිම චර්යාවක් ඇති දෙදෙනෙක් වැල්ලම්පිටිය පොලිසියට ද කොටුවී තිබුණේ තරුණියකගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාය. අලුයම බසයකට පැමිණි මේ තරුණියගේ අලුත්ම ජංගම දුරකතනය කොල්ලකරුවන් දෙදෙනෙක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර තරුණිය ඒ සැණින් ඒ බව පොලිසියට දන්වා කොල්ලකරුවන්ට කතා කළ අවස්ථාවේ කොල්ලකරුවන් දෙදෙනා තරුණියට කියා ඇත්තේ ජංගම දුරකතනය දෙන්න නම් මුදලක් අවශ්‍ය බවකි. තරුණිය ඊට කැමති වු විට කොල්ලකරුවන් දෙදෙනා මුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නැවත දුරකතනයද රැගෙන තරුණිය ළඟට ආ අවස්ථාවේදී පොලිසියට කොටු විය.

මෙවැනිම සරල අපරාධ රටාවක් සහිත පුද්ගලයන් දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගන්නේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවය.

මේ කතාවේ මුල මැද අග සටහන් වන්නේ මෙසේය.

තරුණියක ගමන් කළ ත්‍රිරෝද රථයක් පසුපස මෝටර් බයිසිකලයකින් හඹා ගිය කොල්ලකරුවන් දෙදෙනෙක් කුරුඳුවත්ත තර්ස්ටන් විද්‍යාල මාවතේදී ත්‍රිරෝද රථයේ ගමනට බාධා කර එහි ගිය උපාධිධාරිනිය සතු අත්බෑගය කොල්ලකා පලා යන්නේ පසුගියදාය.

උපාධිධාරිනියට අයත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුළු ජංගම දුරකතන දෙකක් බැංකු කාඩ්පත් කීපයක් අනන්‍යතා සහතික සහ මුදල් එහි තිබිණි. උපාධිධාරිනිය මේ ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළාය. විමර්ශන ආරම්භ විය. පැති කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වූයේ සී.සී.ටී.වී. දර්ශනද පරීක්ෂාවට ලක් කරමිනි.

මේ පරීක්ෂණ එසේ ක්‍රියාත්මක වන අතරතුරදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් පරිදි තවත් විමර්ශනයක් ආරම්භ කෙරුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනි. ඊට අනුයුක්ත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උප පරීක්ෂක ෂෙහාන් ආනන්දට වැදගත් තොරතුරක් ලැබෙන්නේ මේ අතරය. ඒ උපාධිධාරිනියගේ අත්බෑගය කොල්ලකා පලා ගිය පුද්ගලයන් දෙදෙනා පිළිබඳවය.

එම තොරතුරු අනුව විමර්ශනවල නිරත වූ උප පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ බොරැල්ල ප්‍රදේශයේදීය. ඔහුගෙන් ලද තොරතුරු මත තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එලෙස දෙවැනුව අල්ලා ගන්නා ලද පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී උපාධිධාරිනියගේ අත්බෑගය කොල්ලකෑම සඳහා ත්‍රිරෝද රථය පසුපස හඹා යෑමට මේ දෙදෙනා යොදාගත් ස්කූටි මෝටර් බයිසිකලය සොයා ගැනිණි.

උප පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා උපාධිධාරීනිය සතු අත්බෑගය කොල්ලකෑමේ සිද්ධිය මුළුමනින්ම හෙළි විය. ඇගේ අත් බෑගයේ තිබුණු රුපියල් 1,40,000 ක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනය රුපියල් දසදහසකට විකුණා තිබියදී සොයා ගැනුණු අතර තවත් ජංගම දුරකතනයක් රුපියල් හත්දහසක් සහ අනන්‍යතා ලියවිලි කීපයක් ද සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්නකර සොයා ගන්නා ලදි. මේ සැකකරුවන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින අය වන අතර ඔවුන් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස කොල්ලකෑම් සිදු කරන බව විමර්ශනවලදී හෙළි විය.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ඒ.පී.වයි.එස්. කීර්තිසිංහගේ අධීක්ෂණයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාරගේ මෙහෙයවීමෙන් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක ෂෙහාන් ආනන්ද, කොස්තාපල්වරුන් වන (89241) ජගත්, (91643) මනෝජ්, (103171) ගම්ලත්, (36597) මධුශංක, (26024) කුමාර, (92340) ඉෂාර යන නිලධාරීන් වැටලීම සිදු කරන ලදි.

ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division