Home » ජපන් යුවළගේ බඩු ඉස්සූ කුඩ්ඩා අල්ලන්න ඇල්ල පොලිසිය දාපු දැල

ජපන් යුවළගේ බඩු ඉස්සූ කුඩ්ඩා අල්ලන්න ඇල්ල පොලිසිය දාපු දැල

by thanushika
August 31, 2024 12:30 am 0 comment

ජපානයේ ටෝකියෝ නුවර සිට මෙරට සුන්දරත්වය අත්විඳින්නට පැමිණි ජපන් ජාතික සංචාරක යුවළක් බදුල්ල ඇල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී ඔවුන් නවාතැන්ගෙන සිටි සංචාරක හෝටලයේ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා දේපළ සොරකම් කර කොළඹට පලාගොස් බොරලැස්ගමුව ප්‍රදේශයේ නැඟණියකගේ නිවසක සැඟවී සිටියදී ඇල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සූක්ෂ්ම මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගන්නා ලදි.

හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි මේ සැකකරු නුවරඑළිය, හාවාඑළිය, ලේඩි මැකලම් පාරේ පදිංචි 43 හැවිරිදි අයෙකි. ඔහු රටපුරා පොලිස් ස්ථානවලින් විවිධ වැරදි සම්බන්ධයෙන් තිස් වතාවක් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුට එරෙහිව අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු හතක් තිබිණැයි පොලිසිය පවසයි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික රෝහලක සේවය කරන මෙම සැකකරුගේ නැඟණිය විවාහකය. ඇගේ සැමියා යුද හමුදා පොලිසියේ රාජකාරියේ නිරතව සිටි. සැකකරු සිය නැඟණියගේ නිවසේ තාවකාලිකව නතර වී සිට ගැබිනියක වූ නැඟණියට ආවතේව කටයුතු සිදු කරමින් නිවසේ සිටියදී මෙසේ විවිධ ප්‍රදේශවලට ගොස් සොරකම් රැසක් කරගෙන ගොස් ඇත්තේ මිතුරන් සමඟ එක්වී හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට අවශ්‍ය මුදල් සෙවීමටය. මොහුගේ සහෝදරයකු නානුඔය රෝහලේ කම්කරු රැකියාවක නිරතව සිටින අතර සැකකරු සිය සහෝදරයාගේ ජාතික හැඳුනුම්පත ද නීති විරෝධී කටයුතු සඳහා භාවිත කරමින් රටේ විවිධ ප්‍රදේශවල සොරකම් සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු සොයාගෙන ඇත.

ජපානයේ ටෝකියෝහී පදිංචි 39 හැවිරිදි ඇනී ඔයිකින්ග් සිය සැමියා සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණ සුන්දර ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා ජූලි 21 වන දින පැමිණ එහි සංචාරක හෝටලයක නවාතැන් ගන්නා අතර යුවළ සිය වටිනා දේපළ හෝටල් කාමරයේ තබා වැල්ලවාය, යාල ප්‍රදේශයේ සංචාරය කිරිමට යන්නේ ඉන් අනතුරුවය.

මේ අතරතුරේ බොරලැස්ගමුව සිට කොළඹට පැමිණ ඇති සැකකරු කොළඹ සිට බදුල්ල බස්රථයක නැඟ කුඹල්වෙල හංදියට පැමිණ තිබිණි. අනතුරුව කුඹල්වෙල සිට පා ගමනින් ඇල්ල නගරයේ බිංගෙය අසලට පැමිණි ඔහු දුම්රිය මාර්ගය ඔස්සේ කිතල්ඇල්ල දෙසට පා ගමනින් ගොස් පසුව ඒ අසල ළඳු කැලෑවක සැඟවී සිට අලුයම මෙම සංචාරක හෝටලයට ඇතුළු වී අනාරක්ෂිත ලෙස පිහිටි ස්ථානවලින් සංචාරක හෝටලයේ කාමර ඇති ස්ථානයට ගොස් එහි දොරගුළු නොදමා තිබූ කාමරයකට ඇතුළුවී තිබිණි. එහිදී සංචාරක යුවලකගේ රුපියල් දහතුන් ලක්ෂයක පමණ වටිනා උපැස් යුවළක්, මුදල්, මැණික් ගල් ඔබ්බවන ලද පෙන්ඩනයක්, කැමරාවක් ඇතුළු දේපළ සොරාගෙන යළි ඇල්ල සිට කුඹල්වෙලට පැමිණ පිළියන්දලට ගොස් ඇත.

සංචාරක යුවළ සංචාරය නිමා කර නැවත සංචාරක හෝටලයට පැමිණ කාමරයට එද්දී එහි තිබූ දේපළ කිසිවෙකු සොරාගෙන ඇති බව දැක මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසියට පැමිණිලි කරන්නේ මේ අතරතුරේය.

විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම පැමිණිල්ල ලැබුණු විගස විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි.

ඒ අතර සංචාරක හෝට‍ෙල් ආරක්ෂිත කැමරා පද්ධතිය ද පරික්ෂා කරමින් විමර්ශන කටයුතුවලට සහාය ලබා ගන්නා පොලිස් නිලධාරීන් අන්තර්ජාල සිතියම් ඇතුළු නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කර පරීක්ෂණ කටයුතු සිදු කරමින් සැකකරු සිටින බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවස සොයා ගන්නේ මේ අතරතුරේ ය.

පොලිස් නිලධාරීන් කණ්ඩායම බොරලැස්ගමුව ප්‍රදේශයේ සැකකරුගේ නිවසට ගොස් එහි සිටි කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සැකකරුගේ ජංගම දුරකතන අංකයට ඇමතුම් ගත්තද ඔහු දිගින් දිගටම ඇමතුම් මඟහරිමින් කට්ටි පනින්නේ පොලිසියට හසු නොවීම සඳහාය.

පොලිස් නිලධාරීන්ට මොහු කෙරෙහි දිගින් දිගටම සැක පහළ වූ හෙයින් අධිකරණ නියෝගයක් ලබාගත්තේ අලුයම් කාලයේ මෙම නිවසට ඇතුළු වී සැකකරු අත්අඩංගුවට ගැනිමටය.

මේ අතර ඇල්ල පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී දිගින් දිගටම බොරලැස්ගමුව ප්‍රදේශයේ සැකකරුගේ නිවස අවට ගැවසෙමින් රැකවලෙහි නිරතව සිටි අතර, එසේ සිටියදී අලුයම කිසිවෙකු ත්‍රිරෝද රථයකින් අදාළ නිවසට ඇතුළු වන අයුරු දුටු පොලිස් නිලධාරීන් වහා එම නි‍ෙවසට ඇතුළු වී අදාළ පුද්ගලයා අත්අඩංගුවටගෙන විමර්ශනය කිරිමේදී පොලිස් නිලධාරීන්ට ඇල්ල සංචාරක හෝටලයේ මෙම සොරකම පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය.

ඒ අනුව එම සොරකමේ ප්‍රධාන සැකකරු ඇල්ල පොලිසියේ නිලධාරීන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු විසින් සොරාගත් ජපන් සංචාරක යුවළගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා කැමරාව මොහු රුපියල් 60,000ක පමණ මුදලට විකුණා මිතුරන් සමඟ එක්වී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගන්නා ලදි.

පසුව කැමරාව මිලදී ගත් පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු එම කැමරාව රුපියල් 1,15000ක පමණ මුදලට මහරගම, නාවින්න ප්‍රදේශයේ ජායාරූප ශිල්පියකුට විකුණා තිබියදී සොයා ගන්නා ලදි. මෙම විදේශීය සංචාරක යුවළගෙන් සොරකම් කළ සෙසු දේපළ සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනිමට ඇල්ල පොලිසිය කටයුතු සිදු කරයි.

සැකකරු තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු වන අතර, මිතුරන් සමඟ එක්වී සොරාගන්නා ලද දේපළ තුට්ටු දෙකට විකුණා මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දුගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. කේ. යූ. ඩබ්ලිව්. අබේගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .පී .පාලිත, උප පොලිස් පරික්ෂක චන්දන, සැරයන් 75637 රත්නායක, 76826 ඇහැලියගොඩ, 34548 සරත්, 80414 ගජනායක,15566 රණතුංග නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළහ.

සී. ගමගේ - සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division