Home » කලින් ඔත්තු බලා පස්සේ සුද්දෙ දෙන වැල්ලම්පිටියේ සාප්පු බඩු හොරු

කලින් ඔත්තු බලා පස්සේ සුද්දෙ දෙන වැල්ලම්පිටියේ සාප්පු බඩු හොරු

by thanushika
August 31, 2024 12:30 am 0 comment
මුල්ලේරියාව සිරිසේන ගමගේ

දෙමටගොඩ, මහවෙල පාරේ පදිංචි මත්ලෝලී පුද්ගලයන් තිදෙනෙකු රාත්‍රි 12ට පමණ දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් පැමිණ ඇත්තේ වැල්ලම්පිටියේ, වෙලේවත්ත ප්‍රදේශය වෙතය. ඒ කලින් ඔත්තු බලා සැලසුම් කරන ලද සොරකමක් සඳහාය.

වෙලේවත්තේ තරමක පාළු මාර්ගයක් ඔස්සේ ඇවිදගෙන ගිය තිදෙනා නතර වූයේ තම ඉලක්කය වූ වෙළෙඳසැලක පිටුපස දොර අසලය. රාත්‍රි 12ද පසුවී අලුයම 1ට ආසන්නව තිබූ එම අවස්ථාවේ අහල පහල කිසිවකු හෝ නොමැති බව සහසුද්දෙන්ම දැනගත් සොර කල්ලිය වෙළෙඳසලේ පිටුපස දොර කඩා ඊට ඇතුළු වී තිබුණි. එහි ඇතුළු වූ ඔවුන් එහි තිබූ වටිනා බඩුමුට්ටු සොරාගෙන ඒවා මලුවල අසුරා ගැට ගසා වෙළෙඳසැල පිටුපසින් තබා ඇත. කිසිවකු හෝ එනවාද කියා පාර දෙපස සෝදිසි කිරීමෙන් අනතුරුව නැවත පා ගමනින් ගොස් දුම්රිය මාර්ගය දිගේ ඇවිදගෙන බොහෝ දුරක් ගෙවාගෙන ඔරුගොඩවත්ත ‘කලර් ලයිට්‘ මංසන්ධිය පසුකොට ස්ටේස් පාරට අවතිර්ණ වන විට අලුයම එළැඹ තිබිණි.

මීළඟට ඔවුන්ගේ සැලසුම වුණේ මලුවල අසුරා වෙළෙඳසැල පිටුපස සුරක්ෂිතව සඟවා තබා ආ සොර බඩු ටික දෙමටගොඩ, මහවෙල පාරේ තම ‘අඩවිය‘ වෙත ප්‍රවාහනය කර ගැනීමය.

ඒ සඳහා මාර්ගයේ ‘හයර්‘ දුවන ත්‍රිරෝද රථයක් නවතාගත යුතුය. තිදෙනාම ගොසින් බඩු පටවාගෙන ඒම අසීරු කාර්යක් බැවින් ඒ සඳහා කල්ලියේ ප්‍රධානියා සමඟ තවත් අයෙකු සූදානම් විය.

ත්‍රිරෝද රථයක් නතර කර ගනු ලැබීය. එහිදී කලින් කතා කරගත් පරිදි රියදුරු ඉදිරියේ දෙදෙනා රඟපෑමක නිරත වූහ. එක් අයෙකු මාර්ගය අයිනේ සිටින අතර අනෙකා රියදුරා හා කතා කරන්නට විය.

“අයියේ අපිට වෙලේවත්තට යන්න ඕනෑ… අර සර්ගෙ කඩේ තියෙන බඩු වගයක් පටවගෙන එන්න තියෙනවා. කීයද ගාණ…”

“850ක් දෙන්නකො” රියදුරු කීය.

“සර් ත්‍රීවීල් හයර් එක 850ක් ඉල්ලනවා… මොකද කියන්නෙ…”

“කමක් නැහැ. රෑ හින්ද වෙන්න ඇති. ගාණ වැඩි. කමක් නැහැ… යමුකො එහෙනම්.”

එසේ කතිකා කරගත් දෙදෙනාම ත්‍රිරෝද රථයට ගොඩවී වෙලේවත්ත වෙළෙඳසැල වෙත ගොස් බඩු ටික පටවාගෙන දෙමටගොඩ, මහවෙල මාර්ගයේ මඳ දුරක් ගොස් රථය නවතා බඩු මලු බාමින් වරින්වර නිවෙසක් වෙත රැගෙන යන්නට වූහ.

සිද්ධිය එතැනින් නිමා වීමට නියමිතව තිබුණද අහම්බයක් පරිදි බලාපොරොත්තු නොවූ ‘චරිතයක්‘ මේ කතාවට එක්වන්නේ මෙතැනදීය.

මහවෙල මාර්ගයේ එක්තරා නිවෙසක උඩු මහලේ කාමරයක පැදුරක් එළා එහි හාන්සි වී නිදි වරාගෙන තම නිවසේ තැන තැන සවිකර තිබෙන CCTV කැමරා දර්ශන නරඹමින් සිටින තරුණයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින ඔහුගේ පියා විසින් නිතර නිවසේ ඇති වටිනා බඩුමුට්ටු රාත්‍රීකාලයේදී හොරෙන් පන්නාගෙන යන බව දන්නා ඔහුගේ පුතා මෙලෙස රාත්‍රී කාලයේදී කැමරා දර්ශනවලට ඇස ගසාගෙන සිටිනුයේ සොරකම් කරන තාත්තාව අල්ලා ගැනීමටය.

මෙලෙස සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් සිටි තරුණයාගේ නෙතට එක්වරම හසුවුණේ තම අසල්වැසි නිවෙස්වල වෙසෙන පුද්ගලයන් තිදෙනෙකු පාන්දර හතරට පමණ බඩුමලු වගයක් එහා මෙහා ගෙනයන අයුරුය. එකත් එකටම ඒවා හොර බඩු වගයක් බව ඉවෙන් මෙන් දැනගත් තරුණයා වහා උඩු මහලින් පහළට බැස්සේය.

“මම ඔක්කොම බලාගෙනයි හිටියේ. මොකද පොලිසියට කෝල් එකක් දෙන්නද එපාද ” යනුවෙන් ඔහු පිරිසගෙන් විමසුවේ තර්ජනාත්මකවය.

“එහෙම කරන්න එපා යාළුවා… දන්නැද්ද ඉතින් අපිත් පොඩි සම්තිං එකක් හොයාගන්න එපැයි” සොරු තිදෙනා තරුණයාට පවසන්නේ තරුණයා ෂේප් කරගැනීමටය.

කෙසේ හෝ සොරුන් සමඟ එකඟතාවකින් පසු “හරි එහෙනම් ඇස් කුලී විදිහට මට බඩුවලින් සීයට විසිපහක්වත් ඕනෑ” යනුවෙන් පැවසූ තරුණයා වටිනා බඩුමුට්ටු තොගයක්ද ලබා ගත්තේය.

පසුදා වෙලේවත්තේ කඩ හිමියා පොලිසියට ආවේ තම වෙළෙඳසැල බිඳ ඔර්ලෝසු, සුවඳ විලවුන්, විදුලි භාණ්ඩ ඇතුළු ලක්ෂ 15ක පමණ බඩු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි කිරීමටය.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉසුරු ශාමික ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිද්ධියට සම්බන්ධ ප්‍රධානියාද ඇස් කුලියට කප්පම් ලබාගත් තරුණයා ද අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය ද සන්තකයේ තබාගෙන සිටියදීය. සොරා ගන්නා ලද වටිනා භාණ්ඩවලින් කොටසක් ද සොයා ගැනිණි.

කල්ලියේ ප්‍රධානියා විසින් මෙම සොර බඩු ස්ටේස් පාරේ පදික වේදිකාවේ තබාගෙන විකුණා ඇත්තේ කුණුකොල්ලයටය. රුපියල් 4500ක් වටිනා හෑන්ඩ් බෑග් රුපියල් 300 බැගින් විකුණා ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් කල්ලියේ ප්‍රධානියා මීට කලකට පෙර වෙලේවත්ත වෙළෙඳසැලට නුදුරින් මාර්ගය අයිනේ පළතුරු ලෑල්ලක වෙළෙඳාම් කළ අයෙකු බව අනාවරණය වී තිබේ. එහිගත කළ කාලයේදී ඔහු නිතර මෙම වෙළෙඳසැළ තුළට පැමිණෙමින් වයස්ගත මුදලාලි සහ ඔහුගේ තරුණ පුතා සමඟ සුහදව කතාබහ කරමින් සිටීමට පුරුදුව සිට ඇත.

මෙම පුත්‍රයා ඉතා නිහඬ චරිතයකි. එලෙස පැමිණි අවස්ථාවලදී අපරාධකරු වෙළෙඳසැල තුළ ඇති විදුලි භාණ්ඩ, උණු වතුර බෝතල්, ටේබල් ෆෑන්, තොරොම්බල් බඩු ආදිය දෙස ඇස ගසාගෙන සිට ඇත්තේ කෙදිනක හෝ මේවා තමා සතු කරගන්නා බව සිතමිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අනෙක් සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරගෙන යයි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම සැකකරු සන්තකයේ තිබී වෙළෙඳසැල්වලින් සොරා ගන්නා ලද වටිනා ඔරලෝසු පටි, ඔරලෝසු බැටරි ඇතුළු උපාංග තොගයක් ද සොයාගෙන ඇති බවය. පොලිසිය පවසන්නේ එම භාණ්ඩ මෙම වෙළෙඳසැලට සම්බන්ධයක් නොමැති බැවින් කාගේ හෝ වෙළෙඳ සැල්වලින් මෙවැනි භාණ්ඩ නැතිවී තිබේනම් වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ ඒවා හඳුනාගන්නා ලෙසය.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා කොස්තාපල්වරුන් වන රත්නායක (73326), අනුෂ්ක (93874), බණ්ඩාර (100636), සඳරුවන්(103419) යන නිලධාරීන් ⁣සහාය වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division