ඉන්දියාවේ සිට යාපනයට රැගෙන එන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 160ක් මන්නාරම් පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවන්නේ පසුගියදාය.
ඒ ඔත්තුකරුවකු විසින් පොලිසියට ලබා දෙන ලද හෝඩුවාවක් නිසාය. රුපියල් මිලියන 45ක් පමණ වටිනා මේ කේරළ ගංජා තොගය මන්නාරම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් ඒවා සඟවා තබා ඇත්තේ යාපනයේ අරියාලේ ප්‍රදේශයේ නිවෙසකය. කිළිනොච්චියේ සිට මන්නාරම නගරයට පැමිණ සිටින තරුණයකු කේරළ ගංජා අලෙවි කරන බවට පොලිසියට මුලින්ම තොරතුරක් ලැබෙන්නේය. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වාගෙන යන විට පොලිස් නිලධාරීන්ට දැනගන්නට ලැබෙන්නේ ඔහු තනිවම නොව තවත් අයකු සමඟ මේ කේරළ ගංජා ජාවාරම මන්නාරම ප්‍රදේශයේ ජයටම සිදු කරගෙන යන බවයි.
පොලිසිය කල් යල් බලා එක් තරුණයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවය. පොලිසියට මුලින්ම ලැබී තිබුණු හෝඩුවාව ඇත්තක් බව වැටහී යන්නේ අත්අඩංගුවට පත් තරුණයාගේ සහායට තවත් අයකු සිටින බව සැකකරු විසින්ම පොලිසියට පාපෝච්චාරණය කළ නිසාවෙන්මය.
පොලිසිය ඔහු ද අත්අඩංගුවට ගන්නේය. මේ තරුණයින් දෙදෙනාගේ වයස පිළිවෙළින් අවුරුදු 39ක් හා 44ක් විය. අවුරුදු හතළිස් හතරක පුද්ගලයා මේ කේරළ ගංජා ජාවාරමේ මහා පරිමාණ මෙහෙයුම්කරුය. ඔහු මන්නාරමට පමණක් නොව යාපනය, කිළිනොච්චිය, මුලතිව් හා වවුනියාව යන පළාත්වලට ද මේ කේරළ ගංජා තොග බෙදාහරිනු ලබන අයකු බව ද හෙළි විය.
පොලිස් අත්අඩංගුවේ පසුවන දෙදෙනා තැන් දෙකක තබා පොලිසිය ප්‍රශ්න කරද්දී තරුණයින් කියා සිටියේ තමන්ට මේ කේරළ ගංජා ලැබෙන්නේ ඉන්දියාවේ සිට උතුරට පැමිණෙන ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටු හරහා බවයි. රාත්‍රී කාලයට ඉන්දීය ධීවරයන් විසින් බෝට්ටුවල සඟවා රැගෙන එනු ලබන කේරළ ගංජා තොග කළුවරේම උතුරේ ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවලට හුවමාරු කරගන්නේ ඉතා සූක්ෂ්මවය.
මෙසේ රැගෙන එන ලද කේරළ ගංජා තොගයක් යාපනයේ නිවෙසක සඟවා තිබෙන බවත් මන්නාරමේ තොග අවසන් වන විට යාපනයට ගොස් එතැනින් කේරළ ගංජා යළි රැගෙනවිත් ජාවාරම් කිරීම ඔවුන්ගේ ක්‍රියාදාමය බව අත්අඩංගුවේ සිටි දෙදෙනාම පොලිසියට පවසන්නේ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් මන්නාරමේ සිට යාපනයේ අරියාලේ ප්‍රදේශයට ගොස් ඔවුන් කී නිවෙස පරීක්ෂා කළ විට මේ කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට හැකි වී තිබේ. මන්නාරමේ පොලිස් නිලධාරියකු කියා සිටියේ ඉන්දියාවේ සිට මේ තහනම් භාණ්ඩ හා මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැඩි වශයෙන්ම සිදුවන්නේ මන්නාරම පේසාලේ සහ තලෙයිමන්නාරම යන පළාත්වල වෙරළ උපයෝගි කරගෙන බවයි.
“ඉන්දියාවේ ධීවරයන් ධීවර කර්මාන්තයට අමතරව විවිධ හොර ජාවාරම් සිදු කරනු ලබයි. මේ ජාවාරමේ ඉතාම වැඩි ඉල්ලුමක් ඇත්තේ කේරළ ගංජාවලටය. මේ ගංජා ඉන්දියාවේම වගාකර පදම් කර සකසන නිසා ඉතාම ඉක්මනින් ඉන්දියාවේ සිට මන්නාරම් මුහුදු කලාපයෙන් ගොඩබිමකට සේන්දු වීමට හැකි නිසාත් මේ ජාවාරම දිගටම කෙරීගෙන යයි. මේ අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට ලැබී තිබෙන පහසුකම් ඉතාම අඩුය. එහෙත් මත්ද්‍රව්‍ය ළඟා වන බවට තොරතුරක් ලැබුණු විට පොලිසිය නාවික හමුදාව දැනුම්වත් කර එසේ එකතු වී මෙහෙයුමක් සිදුකර මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බව පොලිස් නිලධරයෝ සඳහන් කරති.
“සතියකට මන්නාරම් පළතෙන් මත්ද්‍රව්‍ය කිලෝ සීයක් කවුරුහරි අල්ලනවා කියන්නේ තවත් මත්ද්‍රව්‍ය කිලෝ හාරසීයකට වඩා වැඩි ප්‍රමාණයක් කාටවත් අසු නොවී රැගෙනවිත් ඇති බවයි. ඒ කියන්නේ ආරක්ෂක අංශවලට පහසුකම් මදි නිසා ඉන්දියාවෙන් එන සියලුම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නෑ. කොහොම හරි මත්ද්‍රව්‍ය මේ පළාතෙන් අත්අඩංගුවට ගැනෙන්නෙත් ඉතා විශාල ප්‍රමාණවලිනුයි. මේ සංඛ්‍යාලේඛන හා සිදුවීම් දිහා බලනකොට තේරුම් යන්නේ මුළු ලංකාවටම ඕනේ කරන කේරළ ගංජා තොග ඉන්දියාවේ ඉඳලා ගේන්නේ මන්නාරම ඇතුළු මේ උතුරේ වෙරළවල්වලටයි. හැබැයි කේරළ ගංජා, බීඩි කොළ හැරුණම අනිත් මත්ද්‍රව්‍ය තොග ඉන්දියාවෙන් උතුරට එන්නේ ඉතාම කලාතුරකිනුයි. ” යැයි උසස් පොලිස් නිලධරයෙක් සඳහන් කළේය.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවේ උතුරු පළාතත් අතර හොර ජාවාරම් ආරම්භ වූයේ අද ඊයේක සිට නොවේ. නමුත් මුල් කාලයේදී මේ රටවල් දෙක අතර හොර වෙළෙඳ ගනුදෙනුවලට අයත් වූයේ ඉන්දියාවේ සාරි, සරොම් ඇතුළු බොහෝ වටිනා රෙදිපිළිය. මෑත කාලයේදී ඉන්දියාව සහ උතුර අතර ජාවාරම් සිදු වන්නේ කේරළ ගංජාය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නිපදවෙන නිසාම ඒවාට කේරළ ගංජා යැයි කියනු ලැබූවද අතීතයේදී සාමාන්‍ය ගංජා, අබිං, මර්ජුවානා, හෂීස් වැනි මත්ද්‍රව්‍ය ද ඉන්දියාවේ සිට උතුරට ළඟා වී ඇති බවද දැනගන්නට ඇත.
යාපනයේ කච්චතිව් දූපත එදා ඉන්දියාවට අයත්ව තිබූ කාලවකවානුවේදී මේ හොර ජාවාරම් කටයුතු වැඩි වශයෙන්ම සිදු වූයේ දෙරටේ ජාවාරම්කරුවන්ට බෝට්ටුවෙන් තවත් බෝට්ටුවකට එම තහනම් ද්‍රව්‍ය හුවමාරු කරගැනීමට කච්චතිව් දූපත හොඳම ස්ථානයක් වූ බැවිනි.
මේ දූපත හරහා සිදුවන ජාවාරම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම දූපත 1974 වසරේදී ඉන්දීය රජය විසින් සිරිමා- ශාස්ත්‍රී ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට පවරා දෙන ලද්දේ ඒ කච්චතිව් දූපත ඉන්දියවට විශාල දුරකින් පිහිටි නිසා පරිපාලනය කිරීමට ඇති අපහසුකම නිසාවෙන්මය.
රසුල දිල්හාර ගමගේ