Home » මිනිබිරිගේ ලස්සන දවසක සීයා සමුගත්තා එක් මොහොතක

මිනිබිරිගේ ලස්සන දවසක සීයා සමුගත්තා එක් මොහොතක

by sachintha
August 31, 2024 12:30 am 0 comment

හෝටලේ ආරවුලෙන් පසු බාස්ගේ පුතා පොලිසියට ගෙනිහින්

නවගමුව පොලිසියෙන් ඇසුණු කඳුළු කතාවක්

මිනිපිරියගේ වැඩිවිය උත්සවයේ ආරවුලකට පසු සීයාට ලේළිලා පහර දීලා

‘නිමල් බාස්’ ඝාතනය වන විට 53 හැවිරිදි වියේ පසු වුණා

බීමත්කම බොහෝ විපත් කැන්දන ‘හෙනහුරු අපලයක්’ බව දන්නෝ දනිතත් නොදන්නා ලෙස හැසිරෙන සමහර පුද්ගලයින් සිටින බවද නොරහසකි. සාදයකදී නැතුවම බැරි අංගයක් බවට පත් වී තිබෙන මත්පැන් නිසා සිදුවූ විපතක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ නවගමුව පොලිස් බලප්‍රදේශයෙනි.

වඩිවේලු නිමල් පදිංචිව සිටියේ කඩුවෙල, බෝමිරිය, ඉහළ බෝමිරිය ප්‍රදේශයේය. ඒ අන් අයෙකුට අයත් වත්තකය. නිමල් සමඟ ඔහුගේ බිරිය ලෙච්චමි, ඔහුගේ විවාහක පුතා ලේළිය සහ දියණිය ද ජීවත් වූයේ එකම නිවසේය. ඒ එම වත්තේ ඉදිකර තිබූ කුඩා නිවෙසකය. එම වත්ත රැකබලාගෙන සිටි නිමල් ගල් වළවල බෝර දැමීමේ කටයුතුද සිදු කළේය. මේ නිසා එම ප්‍රදේශයේ කොයි කවුරුත් ඔහු හැඳින්වූයේ ‘නිමල් බාස්’ යනුවෙනි. දහවල් කාලයේ ගිනි අව්වේ කර වෙමින් කළුගලේ හැපෙන නිමල් බාස් හැන්දෑවට හීන් අඩියකින් ඇඟ රත්කර ගැනීමද පුරුද්දක් කරගෙන සිටියේය.

‘නිමල් බාස්ගේ’ පුතාද රැකියාව ලෙස සිදු කළේ කුලී වැඩය. ඔහුද පියා මෙන්ම ‘කන බොන’ පුද්ගලයෙකු වූයේ පිය උරුමයෙන් ලද දායාදයක් වශයෙනි. මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ ඔහුගේ බිරිය රැකියාව කළේ නවගමුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකය. ඔවුන්ට සිටියේ දියණියක් පමණි. පසුගියදා මෙම දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය පැවැත්වීමට සියල්ල සූදානම් කෙරුණේ කොරතොට ප්‍රදේශයේ උත්සව ශාලාවකය. ඒ ඔවුන් පදිංචි නිවෙස ඔවුන්ට හැරෙන්නටවත් ඉඩකඩ මදි බැවිනි. මෙම උත්සවයට නිමල්ගේ ලේළියගේ නෑදෑයින්ටද ආරාධනා කර තිබුණේ ජයටම උත්සවය සූදානම් කර තිබූ බැවිනි. මොනරාගල සිටින ලේළියගේ නැඟණිය එම නිවෙසට පැමිණ නතර වූයේ දින කිහිපයකට පෙරය.

කොරතොට හෝටලයේ තිබූ උත්සවයට සියලු දෙනාම එක්රොක් වූයේ ඉතා සතුටිනි. යටපත්ව තිබූ නෑදෑකම් පවා අලුත් වෙමින් තිබූ සාදයේදී එකවරම සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ නිමල්ගේ පුත්‍රයා බීමත්ව කලහකාරී ලෙස එම ස්ථානයේ හැසිරීමයි.

මේ නිසා සිදුවන හිරිහැරය ලජ්ජාව ගැන කල්පනා කළ නිමල්ගේ ලේළිය මේ බව පොලිසියට දැනුම් දුන්නේ තම සැමියාට පාඩමක් ඉගැන්වීම සඳහාය. පොලිසිය පැමිණ ඔහු රැගෙන ගිය අතර සාදයට සහභාගි වූ පිරිස විසිර ගියේ සිදුවූ අකරතැබ්බ ගැන කනස්සල්ලෙනි.

වඩුවේලු නිමල් රාත්‍රීයේම පුතා බැලීමට පොලිසියට ගිය අතර දැනගැනීමට ලැබුණේ ලේළිය විසින් ඔහු අල්ලා දී ඇති බවය. මේ නිසා ඔහු නිවෙසට පැමිණියේ කෝපයෙනි.

“තෝ තමයි මගේ කොල්ලව පොලිසියට අල්ලලා දීලා තියෙන්නෙ…”

බීමතින් පසු වූ නිමල් නිවසට ගොඩ වූයේ ලේළියට බැණ වදිමිනි. ‘මට තාත්තා ඕනෑ…‘ යැයි පවසමින් දියණියද කෑමොර දෙන්නට පටන්ගත් බැවින් ලේළියගේ නැඟණිය එම දැරියට පහර දෙන්නට වූයේ ඇගේ කට නතර කිරීමටය. මිනිබිරියට පහර දීම ඉවසනු නොහැකිව නිමල්ගේ බිරිය ලෙච්චමි ඇය සමඟ රණ්ඩුවට පැටලීම නිසා තම මව වැනි ඇයටද ලේළිය විසින් පහර දුන්නේ කිසිම ගරුසරුවක් නොකරමිනි.

“ඒ ගමන තොපි මගේ ගෑනිටත් ගහන්න පටන් ගත්තද…“

නිමල්ද බිරිය බේරාගැනීමට මැදට පැන්නේය. එම නිවෙස එකම කාල ගෝට්ටියක් බවට පත් කරමිනි. ළඟපාතක ගෙවල් දොරවල් නොතිබුණු බැවින් මෙම නිවෙසේ සිදුවන කිසිවක් ගැන අවධානය යොමු කිරීමට කිසිවෙකුත් සිටීයේ නැත.

ලේළිය සහ ලේළියගේ නැඟණිය විසින් කිරියා හැඳි ගාන ලී පත්තක් ගෙන ‘නිමල් බාස්ට’ පහර දෙන්නට වූයේ එම කුඩා නිවෙස එකම යුද පිටියක් බවට පත් කරමිනි.

සාදයේ නිමාව එලෙස සටහන් වූ අතර පසුදින උදෑසන ලෙච්චමී දුටුවේ තම සැමියා වන නිමල් බාස් තුවාල ලබා පිල උඩ වැටී සිටින බවය.

ඉන්පසු ඇය නැඟෙනහිර කොළඹ රෝහලට සැමියා ඇතුළත් කළ අතර නිමල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අටේ වාට්ටුවට මාරුකර තිබිණි. දියර ආහාර මත යැපුණු නිමල් බාස් ලෙච්චමිගෙන් බත් කටවල් හතරක් පමණ කවාගෙන සදහටම දෙනෙත් පියා ගත්තේ ලේළිලාගේ හපන්කම් ලොවටම කියාපාමිනි.

ලෙච්චමි විසින් ලේළිය සහ ලේළියගේ නැඟණිය විසින් සැමියාට පහර දෙන අයුරු දුටු බවට සාක්ෂි ලබා දුන් අතර සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදු කරන ලදි.

මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලුවිස්හේවා මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළාය. නිමල්ගේ ඉළ ඇට හතරක් බිඳී අභ්‍යන්තර රුධිර වහනය වීමකින් මරණය සිදුවී ඇති බවත් පාදයේ අස්ථි බිඳීමක් ද සිදුවී ඇති බවත් මෙහිදී නිගමනය කර තිබේ.

53 හැවිරිදි වඩිවේලු නිමල් විශාල සතුටකින් නෑදෑයන් පිරිවරා සැමරූ මිනිබිරියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය කඳුළකින් නිමා කරමින් එම නෑදෑයන්ගේ කර මතින්ම අවසන් ගමන් යෑමට සූදානම් වූයේ මත්පැන් පානයේ තවත් එක් ප්‍රති විපාකයක ප්‍රතිඑලයක් වශයෙන් නොවන්නේද?

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී.එස්. ජයමහගේ නියෝග සහ අධීක්ෂණය මත නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනානායකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. අලහකෝන්, උප පොලිස් පරීක්ෂක රත්නායක, සැරයන් 56992 රෝහිත තලගල, කොස්තාපල් 93827 බණ්ඩාර යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ

– හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division