වැටලීම පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායෙන්
ඔත්තුව පාලවිය ගුවන් හමුදා බුද්ධි අංශයෙන්
මාවනැල්ලෙන් ගජමුතු අරන් පුත්තලමට ආ දෙදෙනායි ගැණුම්කරුයි අත්අඩංගුවට
රටේ දිනෙන් දින අපරාධ රැල්ල ඉහළ යද්දී ඒ අපරාධ රැල්ල මර්දනය කරන නිලධාරීන්ද දිවා රෑ නොමැතිව අපරාධකරුවන් පසුපස හඹා යන බව අපරාධකරුවන් මොහොතකටවත් නොසිතන්නට ඇත. පසුගිය කාලය පුරා සිදු වූ යුක්තිය මෙහෙයුම ඊට උදාහරණයකි. ගජමුතු ජාවාරම් පිළිබඳව එම විමර්ශන නිලධාරීන් ඉතා සෙවිල්ලේ පසුවන්නේ තවමත් මේ කූට ජාවාරම හොර රහසේ සිදු වෙමින් පවතින නිසාය.
මිතුරන් තිදෙනකු විසින් සිදු කරන ලද ගජමුතු ජාවාරමක සුලමුල පසුගියදා අනාවරණය විය. එය තවත් ගජමුතු ජාවාරමක් වුවද එය සිදුවන්නේ අමුතුම ආරකටය. තැරව්කරුවකු ද මේ ජාවාරමේ කොනක සිටී.
මාවනැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ස්වර්ණාභරණ වෙළෙඳසලක හිමිකරුවකුට දිනක් පුද්ගලයකු විසින් ගජමුතු තුනක් ලබා දී ඇත්තේ ඉතා සොච්චම් මුදලකටය. ඔහු එහි වටිනාකම නොදන්නා නිසා විය හැකිය. එසේත් නොමැතිනම් ඔහු සතුව ඇති දරිද්‍රතාව මුල් කරගෙන වන්නට පුළුවනි. නමුත් රන්කරුවා කුණු කොල්ලයට ගත් මෙම ගජමුතු ත්‍රිත්වයම විශාල මුදලකට අලෙවි කිරීම සඳහා බලාපොරොත්තුවෙන් පසු විය.
පසුව ඔහු තමන්ගේ ළඟම ඥාති දෙපළකට මේ බව පවසා හැකි ඉක්මණින් ඊට ලංසුවක් තබන ලෙස කියන්නේ ඔය අතරය. පසුව කැමැත්ත පළ කළ මොවුන්ද මෙම ගජමුතු විකිණීම භාරගෙන රටපුරා යන්නේ ගනුදෙනුකරුවන් සොයමිනි. ඔය අතරේ මේ ගැන යමක් දැනගත් ‘තැරව්කරුවකු’ ද ඔවුන්ට මුණ ගැසෙන්නේය. මේ තැරව්කරුවා කාලයක් පුරා විවිධ කෞතුක භාණ්ඩ අලෙවියේ හිණිපෙත්තටම පැමිණි අයෙකි. මොහු මේ තරුණයන් දෙදෙනාට පවසා ඇත්තේ මෙම ගනුදෙනුව ඉතා සූක්ෂමව කළ යුතු බවත්, ඒ සඳහා විශාල මුදලක් තමන්ට ද අවශ්‍ය බවය. තැරව්කරු මෙම ගජමුතු ත්‍රිත්වයේ ඡායාරූපයක් ගෙන එය ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු වෙත මුදාහැර ගජමුතු අලෙවි කිරීමට වෑයම් දරමින් සිටියේය. පසුව මේ පිළිබඳව පාලවිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නේ කිසිවකු ගජමුතු දෙකක් අලෙවි කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවටය.
ඒ පසුපස හඹා ගිය ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ව්‍යාපාරික වෙස්ගෙන තැරව්කරු මුණගැසී මේ පිළිබඳව අසන්නේ ගජමුතු මිලදී ගැනීමටය. එහිදී දෙවරක් නොසිතූ තැරව්කරු එකවරම පවසා සිටියේ “අයියෝ දෙන්නම් කෝ මහත්තයා මේවා සුපිරිම ගජමුතු”යැයි කියමිනි. පසුව ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප කීපයක් ගෙන බුද්ධි නිලධාරීන්ට පෙන්වන්නේ ඔය අතරය. පසුව ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහු සම්බන්ධ කර දෙන්නේ සෘජුවම පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් හටය.
දින කිහිපයක් ගතවීමත් සමඟම දිනක් තැරැව්කරුගේ දුරකතනය නාද විය.
“හලෝ… කවුද මේ කතා කරනනේ…?”
“මම කතා කරන්නෙ ‘මුදලාලි’ ඔයා ළඟ තියෙනවයි කියපු ගජමුතු තුන ගැන දැනගන්න”
“ආ… ආ.. හරි සර්… බඩු තියෙනවා. ඒත් අපේ ගාණට තවම සෙට් වුණෙ නැහැනෙ” තැරැව්කරු කීය.
“හරි වැඩේ කෙරෙනවනම් මුදලාලිගේ ගාණ කියන්න කෝ කෙළින්ම” මුදලාලි කීවේ එලෙසය.
“සුපිරිම බඩු තුනක් තියෙන්නෙ… තුනටම දෙන්න එක්කෝටි තිස්ලක්ෂයක්… හැබැයි රුපියලක්වත් අඩු කරන්න බෑ.” තැරැව්කරු කීවේය.
“හරි මුදලාලි බඩු දැන් ළඟ තියෙනවද? ” යැයි ඇසූ එස්.ටී.එෆ්. පොලිස් උපාය දූතයාට තැරව්කරු පවසා සිටියේ මෙවැන්නකි.
“නෑ… නෑ… මම ළඟ නෑ… මගෙ යාළුවො දෙන්නෙක් ළඟ තියෙන්නෙ… හෙට මම බඩු පුත්තලමට ගෙනල්ලා දෙන්නම්… කැමතිනම් හෙට බිස්නස් එක කරමු” යනුවෙනි. එයට එකහෙළා එකඟත්වය පළ කළ පොලිස් විශේෂ කාර්ය බළකා උපයා දූතයා ඔහුට කියා සිටියේ පසුදා මෙම ගජමුතු ජාවාරම සිදුවන බවත්, ඔවුන්ව පුත්තලම කලපු තීරයට කැඳවන ලෙසය.
දුරකතනය විසන්ධි වනවාත් සමඟම තැරව්කරු මාවනැල්ලේ සිටින ගජමුතු හිමිකරුවන් දෙදෙනාට ඇමතුමක් ගන්නේය.
“ඔයාලා කොහෙද? ඉන්නේ වැඩේ හරි… හෙට හවස් වෙද්දී පුත්තලම බීච් එකට බඩුත් අරන් වරෙල්ලා… මම බිස්නස් එක ලස්සනට ඇරේන්ජ් කෙරුවා” යනුවෙන් පැවසීය. එය ඇසූ ගජමුතු බිස්නස් එක බාර දෙදෙනාගේ සිත්වලට දරාගත නොහැකි සතුටක් ගෙන දෙන්නට විය. ඔවුන්ද එකහෙළා ‘වැඩේට’ අවතීර්ණය වන්නේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. පසුදාම කාරයක නැගී පුත්තලම බලා ඔවුන් පිටත්ව එන්නේ ගජමුතු තුනද රැගෙනය. තැරව්කරුද සවස පුත්තලම කලපු තීරයට පැමිණ දුරකතනය ඔබමින් වටපිට ඔබමොබ කරමින් සිටින්නේ ගැණුම්කරුවන් සහ අලෙවිකරුවන් යන දෙපාර්ශ්වයම පැමිණෙනතුරුය. ඔහු ඉදිරියට වේගයෙන් පැමිණි සුඛෝපභෝගී කාරය නවතාලන්නේ තැරව්කරුවාද අන්දමන්ද කරවමිනි. පසුව එම ස්ථානයට වහා දිවගිය තැරව්කරු කියා සිටියේ ‘මම බයේ හිටියේ… ඔයාලා එන්නේ නැති වෙයි‘ කියලා යැයි කීවේය. ‘නෑ‘ තැරව්කරු ක්ෂණිකයෙන් දුරකතනය ගෙන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ උපාය දූතයා අමතන්නේ ඔය අතරය.
“හලෝ මහත්තයා… ඔයා එන්නේ නැද්ද අපි රෙඩි… ‘බඩුත්’ ගෙනාවා… ඔයාගේ පරක්කුව තියෙන්නේ” යැයි කීවේය. වෙස්වළාගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත්ව යන්නේ ඒ අනුවය.
එසේ පැමිණි නිලධාරීන් තැරව්කරු අත තිබූ ගජමුතු පරීක්ෂා කරනවාත් සමඟම පසුපසින් ආ තවත් නිලධාරීන් පිරිසක් තිදෙනාවම අත්අඩංගුවට ගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. මේ සිද්ධියෙන් තක්කුමුක්කු වූ ඔවුන් කිසිවක් සිතාගත නොහැකිව ටික වේලාවක් නිසොල්මන්ව සිටින්නට විය. ඒ අනුව රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු තුනක් අලෙවි කිරීමට පැමිණි තිදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාවනැල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාර වයස අවුරුදු 28,31 සහ 65 හැවිරිදි වියේ පසුවූ අයයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ මූලික ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ සිය ඥාති සහෝදරයකු විසින් පවත්වාගෙන යනු ලබන ස්වරණාභරණ වෙළෙඳසල වෙත මෙම ගජමුතු අලෙවි කර දෙන ලෙස කිසියම් පුද්ගලයකු විසින් ලබා දී තිබූ ගජමුතු බවත්, ඒවා රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කිරීමට තමන් කටයුතු කරමින් සිටි බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. ඔවුන් පුත්තලම පොලිසිය මඟින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් සහ නියෝග මත මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු, කුරුණෑගල ප්‍රාදේශීය අණදෙන සහකාර පොලිස් අධිකාරි අබේරත්නගේ මඟපෙන්වීමෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් දෙවන කඳවුර අණ දෙන නිලධාරි පොලිස් පරික්ෂක එච්.කේ.එම්.ඒ. විජේරත්න, සැරයන්වරුන් වන (39898) කුමාර, (66552) රොෂාන්, කොස්තාපල්වරුන් වන (75936) ප්‍රනාන්දු, (90719) විජේසිරි, (3037) කුමාර යන නිලධාරින් වැටලීමට එක්ව තිබූ අතර, පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබිණි.
කේ. ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ