ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඈත් නොවන චිත්‍රපටයක් තම කුලුඳුල් සිනමා නිර් මාණය ලෙස රිදී තිරයට ගෙන ආ සිනමාකරුවා නොබෝදා ජීවන කරළියෙන් සමුගත්තේ ය. පාසල් වේදිකාවෙන් කලාවට බට ඔහු දිවිසැරිය නිම කළේ සිනමාකරුවකු ලෙස ය. සුගතපාල සෙනරත් යාපා නම් වූ ඔහු ජීවිතයේ අටවන දශකය කෙළවර දී දැයෙන් සමුගන්නේ ඔහු නම ඉදිරියේ ලියැවුණු හන්තානේ කතාව (205 වන සිංහල චිත්‍රපටය), පෙම්බර මධූ (353) හා ඉන්දුට මල් මිටක් (479 චිත්‍රපටය) නම් වූ චිත්‍රපට ත්‍රිත්වයක හිමිකරුවා ලෙස ය. මෙම වෘතාන්ත චිත්‍රපට හැරුණ කල ඔහු විසින් නිර්මාණය කළ අන්තර් ජාතික සම්මානයෙන් පුදනු ලැබූ කෙටි චිත්‍රපටයක් ද වේ. 1969 අග භාගයේ දී සුගත්ගේ හන්තානේ කතාව චිත්‍රපටය හා තිරගත වූ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටය ඉන්දියාවේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළේ දී රජත මයුර සම්මානය දිනා ගැනීම ඔහුගේ සිනමා ජීවිතයේ කඩඉමක් වේ. මිර්නාල් සෙන් වැනි සිනමාකරුවන්ගේ නිර්මාණ සමඟ තරග කරමින් රජත මයුර සම්මානය දිනාගත් මිනිසා සහ කපුටා චිත්‍රපටය තෝරාගත් විනිශ්චයට සහභාගී වූ මණ්ඩලයේ සභාපතිත්වය සත්‍යජිත් රායි වැනි විශිෂ්ට සිනමාකරුවකු වීම මෙම සම්මානයෙහි අගය කියා පාන්නකි.
දකුණු පළාතේ උපත ලද සුගතපාල සෙනරත් යාපා හැදී වැඩුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ගම් පියසෙහි තම ඥාතිවරියක සෙවනෙහි ය. මූලික අධ්‍යාපනය ලැබූ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙහි සිටියදී ම කලාවට ලොල් වූ යාපා, තම දෙටු සිසුන් වූ රාජා ධර්මපාල, නිශ්ශංක දිද්දෙණිය ආදීන් සමඟ වේදිකා නාට්‍ය නිර්මාණයහි හා රඟපෑමෙහි නිරත ව සිටියේ ය. එවකට සිනමාවෙහි ජනප්‍රිය නළුවකු වූ එල්. එම්. පෙරේරා ඔහුගේ ඥාතියකු වීම ද ඔහුගේ කලා ජීවිතයට බලපෑමක් ඇති කළ බව කියැවේ. වෙන්නප්පුවේ ආරියමාලා සිනමා ශාලාවෙහි ටිකට් කවුන්ටරයේ කටයුතු කළ සුගත් කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය ඇරැඹීම ඔහුගේ කලා ජීවිතයෙහි දොරටු විවර වූ වැදගත් ම අවස්ථාව ලෙස සැලකිය හැකිය. කලා පෙළ සංස්කෘතික සංවිධානයෙහි නියමුවා වූ ජී. ඩී. එල්. පෙරේරා සමඟ එහි ලේකම් හා භාණ්ඩාගාරික වූ සුගතපාල සෙනරත් යාපා කලා පෙළ ප්‍රථම සිනමා නිර් මාණය වූ සාමා චිත්‍රපටය නිෂ්පාදන ක්‍රියාවලියට දායක වූයේය. සෙනරත් යාපා තරුණයා සාමාහි කුඩා චරිතයක් නිරූපණය කළා පමණක් නොව ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ ඉන්ද්‍රානි පෙරේරා නැඟණිය වූ මල්ලිකා පෙරේරා ගැයූ වනන්තරේ ගල් අරඹේ ගීතය ද රචනා කරමින් ගේය කාව්‍ය රචනයෙහි ඔහු තුළ සැඟවුණු කුසලතා ප්‍රකට කළේය.
පාසල් වේදිකාවෙන් ලද පුහුණුව මෙන්ම කලාපෙළ ජී. ඩී. එල්. පෙරේරා ගේ වේදිකා නාට්‍ය, සාමා, මෙහෙව් ලෝකෙක, අන්දරේ, ගටේ සහ මතේ ආදී නාට්‍ය කිහිපයකම රඟපෑමට එක් වූ යාපා ස්වෝත්සාහයෙන් ම සිනමාව පිළිබඳ අධ්‍යයනය කළේය. කලාපෙළ නාට්‍ය හා සාමා චිත්‍රපටය නිෂ්පාදනයට සම්බන්ධව ලද අත්දැකීම් සහිත ව යාපා හන්තානේ කතාව චිත්‍රපටය නිර්මාණ කාර්යයට අත් පොත් තැබුවේය. හන්තානේ කතාව චිත්‍රපටයට තේමා වන්නේ විශ්වවිද්‍යාල තරුණ තරුණියන් කිහිප දෙනෙකුගේ ආදරය, ශිෂ්‍ය සටන් ආදිය වූවත් එමඟින් සරසවි සිසුන්ගේ ජීවිතය හෝ ඔවුන්ගේ සැබෑ ගැටලු නිරූපණය නොවූ බවට පුවත්පත් ලිපි මඟින් චෝදනා නැඟූ බව ද අපට මතක ය. චිත්‍රපටයේ අත්දැකීම පිළිබඳ එවන් මතභේද පැන නැඟුණත් හන්තානේ කතාව එදා මෙන් ම අදත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් කෘතියක් ලෙස පවතින බවයි අපගේ විශ්වාසය.
හන්තානේ කතාව චිත්‍රපටයේ නළුවරණය (Casting) තිර රචනය, සංගීතය හා ගේය කාව්‍ය රචනා හා ගායනය, කැමරාකරණය, සංස්කරණය සහාය අධ්‍යක්ෂණය ආදී අංශ තුළ කැපී පෙනුණු ප්‍රවීණයන්ගේ දායකත්වය ද රැඩිකල් තරුණ පිරිසකගේ නිර්මාණශීලී සහභාගීත්වය ද චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැන්මෙහි රහස ලෙස සිතමි. කෝවිලගේ විජය ඇන්තනි කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග ප්‍රධාන චරිතයක් රඟ පෑ නළුවා ලෙස ප්‍රේක්ෂක මතකයට ගෙන ඒමට සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණය සමත් වෙයි. සත් සමුදුරින් පසු තම දෙවන චිත්‍රපටය ලෙස ස්වර්ණා මල්ලවාරච්චිගේ රංගන ශක්‍යතා ප්‍රේක්ෂකයන් දකින්නේ හන්තානේ කතාව තුළිනි. චිත්‍රපටයේ කතා සංකල්පය, දෙබස් රචනය හා සහාය අධ්‍යක්ෂණය යන අංශ තුළ විජය ධර්ම ශ්‍රී ගේ දායකත්වයත් ධර්මසේන පතිරාජ ඇතුළු බර්ටි ජයසේකර, දයා තෙන්නකෝන්, සමන්ති හා සෝමපාල ලැනරෝල් ආදී නව පරපුර ආගමනය හන්තානේ වර්ණවත් කළ බව නිසැක ය. කෙටි චිත්‍රපටයක පමණක් රඟ පා තිබු අමරසිරි කලංසූරිය වැනි ප්‍රතිභාපූර්ණ නළුවකු බිහිවන්නේ ද හන්තානේ කතාව චිත්‍රපටය හා සුගතපාල සෙනරත් යාපා නම් අධ්‍යක්ෂවරයා නිසා ය.
විශ්වවිද්‍යාල සිසුන් නොවූ එහෙත් තම රංගන කුසලතාවෙන් හා නිවැරදි අධ්‍යක්ෂණයෙන් එකී ආධුනික තරුණ නළු නිළියන් ‘ගේ‘ රංගන කුසලතා මතු කර ගන්නට අධ්‍යක්ෂණයට හැකි වූ බව හන්තානේ කතාවේ ප්‍රථම වරට රඟ පෑ තරුණ තරුණියෝ ඔප්පු කොට සිටියහ. රංගනයෙහි දී ටෝනි රණසිංහ වැනි ප්‍රවීණයකුගේ ද නිෂ්පාදන අංශ තුළ සුමිත්ත අමරසිංහ (කැමරාකරණය), ආචාර්ය කේමදාස (සංගීතය) ටයිටස් තොටවත්ත (සංස්කරණය) ගායනයෙහි දී අමරදේව,සනත් නන්දසිරි, වික්ටර් රත්නායක හා නන්දා මාලිනී ගේ ද ගේය කාව්‍ය රචනයෙන් මහගමසේකර, ධර්මසිරි ගමගේ, හා සුගතපාල සෙනරත් යාපා ආදී ප්‍රවීණ කලාකරුවන්ගේ දායකත්වය විශිෂ්ට වූ බව සටහන් කළ යුතුය. ගේය කාව්‍ය රචකයන් දෙදෙනකු එක් වී රචනා කළ යුග ගීතයක් (සරා සොඳුරු මල් පැටළී – ගායක ගායිකා වෙන් වෙන් ව) මෙහි තවත් විශේෂත්වයකි. හන්තානේ කතාව එදවස සරසවි සිසුන්ගේ ජීවන අරගලයෙහි යථාර්ථවාදී පිළිබිඹුවක් ප්‍රදර්ශනය නොකළ බවට නැඟෙන චෝදනාවට යටත් ව වුව එය සිංහල සිනමා වංශ කතාවේ කඩඉම් චිත්‍රපටයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. නිසැක වශයෙන් ම එය නව සිනමා පරිච්ඡේදයක ආරම්භය යැයි කීමෙහි කිසිදු දොසක් නොවේ.
සුගතපාල සෙනරත් යාපාගේ දෙවන හා තෙවන සිනමා නිර්මාණ වූ පෙම්බර මධු හා ඉන්දුට මල් මිටක් යන චිත්‍රපට සිනමාත්මක අගයෙන් හෝ කලාත්මක අගයෙන් පූර්ණ කෘති ලෙස විචාරකයන්ගේ අවධානයට ලක් නොවූවා පමණක් නොව හන්තානේ කතාව මෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපට ලෙස ද සටහන් වී නොමැත. පෙම්බර මධූ චිත්‍රපටය සිංහල සිනමාවේ පළමුවරට අවසාන දෙකක් සහිත චිත්‍රපටයක් වීය. කුමන හෝ හේතුවක් නිසා සුගතපාල සෙනරත් යාපාගේ වෘතාන්ත චිත්‍රපට මෙරට සිනමා උලෙළ සම්මානයකින් පිදුම් නොලැබූ බව පෙනේ. තුන්වන විචාරක සම්මාන උලෙළේ (1970) දී හොඳම නළුවාට හිමි සම්මානය ටෝනි රණසිංහට හිමි වූ බව සිහි කළ යුතු ය. චිත්‍රපට අධ්‍යක්ෂණයෙහි ලා සුගතපාල සෙනරත් යාපා කලාකරුවාගේ දායකත්වය කිසිසේත් ම ලඝු කොට තැකිය හැක්කක් නොවේ යැයි සිතමි. ඔහුගේ අධ්‍යක්ෂණ භූමිකාවෙහි බොහෝ සාධනීය ලක්ෂණ වූ බව දකිමි. වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ඈත් වී රජයේ චිත්‍රපට අංශයෙහි අධ්‍යක්ෂ ලෙස වාර්තා හා කෙටි චිත්‍රපට රාශියක් ම නිර්මාණය කළේ ය. සම්මාන ලද ගරඬු ගල ඇතුළුව මහ සයුරෙන් දිය දෝතක්, උඩවැඩියා මල්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළදා වහන්සේ වැනි වාර්තා චිත්‍රපට ඔහුගේ අධ්‍යක්ෂණ අතර වේ. 1989 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස ද 2002 වර්ෂයේ දී ඔහු චිත්‍රපට පිළිබඳ රජයේ උපදේශකවරයකු ලෙස ද සේවය කළේය. ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ජනාධිපති සම්මාන, සරසවිය රණ තිසර, ස්වර්ණ සංඛ ආදී සම්මාන රැසකින් පිදු ලැබූ සුගතපාල සෙනරත් යාපා වාමාංශික දේශපාලනයෙහි නිරතව සිටි කැපී පෙනෙන චරිතයක් වූයේ ය. ලංකා සමසමාජ පක්ෂයෙහි සමීප ආධාරකරුවකු වූ සෙනරත් යාපා රජයේ චිත්‍රපට අංශයෙහි සිටිය දී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා චරිතය වාර්තා චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය කළේය. හන්තානේ කතාව සමඟ සුගතපාල සෙනරත් යාපා විවර කළ දොරටු ඔස්සේ පසුකාලීන අධ්‍යක්ෂ පරපුර මැද මාවත සිනමාවෙහි ද වම් ඉවුරේ සිනමාවෙහි ද ගමන් ගනිමින් සිටින බව පෙන්වා ඇත. එබඳු පසුබිමක් ගොඩනැඟීමෙහි ලා පුරෝගාමී වූ සුගතපාල සෙනරත් යාපා වැනි සිනමාකරුවකු තම යුතුකම් කොටස ඉටුකොට සමුගෙන ඇත්තේ අනාගත පරපුරට ආදර්ශයක් වන ලෙසය.
බුද්ධි ගලප්පත්ති