Home » සරසවි විභාග සියල්ල ජයගෙන රන් පදක්කම් අටක් දිනා පේරාදෙණි ඉතිහාසය අලුතින් ලියූ සේරුවිල සුරූපිනිය

සරසවි විභාග සියල්ල ජයගෙන රන් පදක්කම් අටක් දිනා පේරාදෙණි ඉතිහාසය අලුතින් ලියූ සේරුවිල සුරූපිනිය

by gayan
August 31, 2024 12:30 am 0 comment

“දුව ඉපදුණේ 1993 ජුනි 26 වැනිදා ගම්පහ මහ රෝහලේදි. ඒ දවස්වල මම වැඩ කළේ ගම්පහ. එදා උදේම මම ගම්පහ ටවුමෙ ඉන්න ජ්‍යෝතිෂවේදියෙක්ගෙ කාර්යාලයට ගියා දුවට නමක් දාන්න සුබ අකුරු ටිකක් බලා ගන්න. ඒ වෙලාවේ එතැන ලොකු සෙනඟක් හිටියා.මම දොරින් ඇතුළු වෙද්දිම ජ්‍යෝතිෂවේදියා සෙනඟ අතරින් මට අඬගහලා කිව්වා, කුලුඳුලේ වාසනාවන්ත ගෑනු දරුවෙක් ඉපදිලා ඉන්නවා නේද? හතර කේන්දරේම හොඳ දරුවෙක්.ගොඩක් ඉහළ තැනකට යන කෙනෙක් කියලා මට අක්ෂර 4ක් ලියලා දුන්නා. මගෙන් සල්ලි ගත්තෙත් නැහැ. එතැන ඉඳලා රෝහලට පයින් එන අතරෙයි මම දුවට නම හැදුවේ.

ලොකු වෙද්දි දුව ඒ නමට එච්චර කැමැති වුණේ නැහැ. ඒත් මම දුවට හැම වෙලාවෙම කිව්වෙ,” පුතේ ඔයාට ඔය නම කැතයි කියලා හිතුණට ඔය නම ප්‍රසිද්ධ වුණොත් ඒක ලෝකෙට කැත නමක් වෙන්නෙ නෑ” කියලා. මම එහෙම කිව්වේ ජ්‍යෝතිෂවේදියාගේ අනාවැකිය හිතේ තියාගෙන නෙවෙයි. මේ ජයග්‍රහණ ලබාගන්න මගේ දුව විඳපු දුක් කන්දරාව නිසයි. අපි එයාගේ ඉලක්කයට යන්න පාර හදලා දුන්නා විතරයි. මේ හැමදේම එයා උත්සාහයෙන් ලබාගත් දේවල්. දුවෙක් මේ තරම් ඉහළට ගියාම තාත්තා කෙනෙකුට කොච්චර සතුටුද? ඒ මගේ දුව… ඒත් මට හිතෙන්නෙ එයා දැන් මේ රටේම දුවෙක් කියලා…”

සතුටු කඳුළු මුසු වූ ඒ හෘදය සංවේදී වදන් ආදරණීය පියකුගේය. එදා ඔහු උදේනි කුමුදුමලී කියා නම් තැබූ දියණිය අද රටම හඳුනන්නේ ‘කුමුදුමාලී ඩබ්ලිව්. යූ’ ලෙසිනි. ඉකුත් අගෝස්තු 21 වැනිදා පැවති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධිධාරිනී ඩබ්ලිව්. උදේනි කුමුදුමලී සිය උපාධිය ලබා ගන්නේ රන් සම්මාන අටක් දිනා ගනිමිනි. තමාට හිමි රන් සම්මාන සහ අනුස්මරණ සම්මාන ලබාගැනීමට ඇය අට වරක් වේදිකාවට පිවිසි අයුරු දැක්වෙන විනාඩි 3යි තත්පර 26ක් දිගු වීඩියෝවක් එතැන් සිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය. ‘කුමුදුමාලී ඩබ්ලිව්.යූ’ ලෙස ප්‍රසිද්ධියට පත් ඩබ්ලිව්. උදේනි කුමුදුමලී උපාධි ප්‍රදානෝත්සවයට පසුදිනම අමෙරිකාවේ එබානා ෂැම්පේන් හි ඉලිනොයි විශ්වවිද්‍යාලය වෙත ගියේ පශ්චාත් උපාධිය හැදෑරීමටය. 31 හැවිරිදි සොඳුරු යුවතියක වන කුමුදුමලීගේ දිවිසැරිය කටුක අභියෝගවලින් පිරුණු එකකි.

“වැදගත් වෙන්නේ මම ගත්ත සම්මානවත් පදක්කම්වත් සෝෂල් මීඩියාවල වයිරල් වුණ මගෙ වීඩියෝ එකවත් නෙවෙයි. මේ දක්වා ගමනේදී හමුවූ අභියෝගවලට මම මුහුණ දුන් ආකාරයයි. ජීවිතේ කුමන හෝ අභියෝගයක්, බාධකයක් හමුවේ වැටිලා, පැරදිලා ඉන්න කෙනෙකුට මගේ ජීවිත කතාවෙන් පන්නරයක්, ශක්තියක් ලැබෙනවා නම් මගෙ සතුට ඒකයි. පැහැදිලි ඉලක්කයක්, අරමුණක් වෙනුවෙන් කැපවෙලා වැඩ කරන හැමෝටම මම කියන්නෙ තමන්ට ආදරය කරන්න, විශ්වාස කරන්න, අනිවාර්යෙන් ඔබට දිනන්න පුළුවන්. ඒ වගේම ගැහැනියක් වීම අභියෝගයක් වුණත් ඒ ආභරණය හරියට පලඳගත්තොත් ඔබට දිනන්න පුළුවන්.” කුමුදක් සේ සුන්දරව හිනැහෙමින් ඇය එසේ කීවාය.

ගම්පහ මහ රෝහලේ උපන් කුමුදුමලී ඊට පසුදින මවුපියන් රැගෙන යන්නේ ඔවුන් ජීවත් වූ ත්‍රිකුණාමලයේ සේරුවිල සේරුනුවර ගම්මානයටය. යුද ගිනි ඇවිළෙන භූමියේ මායිම් ගම්මානවල ජීවත් වන කවුරුත් අත් විඳින දුක් දොම්නස් මේ පුංචි සමනලිය ද එතැන් සිට අත්වින්දාය.

“ඒ කාලේ රෑට නිදාගද්දි මම ආච්චිගෙන් අහනවා අදත් අපිට දුවන්න වෙයිද කියලා. රෑට දුවද්දි මම ගේ පිටිපස්සෙ තිබුණු නිදිකුම්බා ගාලට වැටුණු වාර අනන්තයි. බෝම්බ, වෙඩි සද්දෙට හැංඟෙන්නේ ගෙදර දර පෝරනුව යට. නැත්තම් ඉස්කෝලෙට දුවනවා. 7 වසරේ ඉන්නකොට අවුරුද්දක් විතර ඉස්කෝලෙ වැහුවා. කල්දේරම් බත් කකා අවුරුද්දක් කන්තලේ අනාථ කඳවුරකත් හිටියා. විද්‍යාඥයෙක් වෙනවා කියන අදහස මගේ හිතේ දලු දාන්නෙ ඒ කාලේ. අයින්ස්ටයින් කියන වචනෙ කොහෙන් හිතට ආවද මන්දා, ඒ පුංචි වයසේ ඉඳන් මම හීන මැව්වෙ කවදහරි ඒ වගේ විද්‍යාඥයෙක් වෙනවා කියලා. මහවැලිගම විද්‍යාලයෙන් ලකුණු 183ක් අරගෙන ශිෂ්‍යත්වයත්, බී සාමාර්ථ්‍යය 8ක් ඒ සාමාර්ථ්‍යයක් අරගෙන සාමාන්‍ය පෙළත් සමත් වුණා. අම්මාගේ ලොකුම හීනය මම වෛද්‍යවරියක් වීම නිසා විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න කන්තලේ අග්‍ර බෝධි ජාතික පාසලට ඇතුළත් වුණා. ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර් 60ක් විතර දුරයි. ඉස්කෝලෙ ගුරුවරු අඩුයි. ඒත් අමතර පන්තිවලට වියදම් කරන්න සල්ලි නැති නිසා හරියට ටියුෂන් යන්න බැරි වුණා. විභාගෙ ලිව්වොත් ෆේල් වෙයි කියලා හිතුණු නිසා 2012 මම විභාගය ලිව්වෙ නෑ. ඒ වෙලාවේ මට හැමෝගෙන්ම දෝෂාරෝපණ එල්ල වුණා. සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵලයකුත් අරගෙන උසස් පෙළ අතෑරියා කියලා. සමහර අය ගෑනු ළමයෙක් අහන්නවත් සුදුසු නැති කතා කිව්වා. ඒත් ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්. මම කවුද කියල මම පෙන්නන්නම් කියලා දැඩි අරමුණක හිටියා. “දිරිය යුවතිය අප හමුවේ දිගහැරියේ ඒ කටුක ගමනේදී තැළුණු රිදුණු හදවතේ කතාවය.

“2013 උසස් පෙළ සමත් වුණත් මාව තේරෙන්නෙ විද්‍යා පීඨයට. ඒ වෙලාවෙත් මට ගොඩක් දෝෂාරෝපණ ආවා. ඒ වෙද්දි මගෙ යාළුවො වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට ගිහින්. දුකට අඬා හැපිලා වැලපුණත් මම මගේ සටන අතෑරියෙ නෑ. 2014 ආයෙමත් විභාගෙ ලිව්වා. ඒ පාරත් තේරුණේ විද්‍යා පීඨයට. මානසිකව වැටුණත් මම අතෑරියේ නෑ. ඒත් එක තැනකදි මට හිතුණා, දැන් මේ ඇති කියලා. මේ ලෝකෙ හැමදේම තීරණය කරන්නෙ සල්ලි. මට බෝඩින් ගාස්තු ගෙවන්න, ටියුෂන් යන්න සල්ලි ඕන නිසා මම සල්ලි හොයාගෙන, ඊට පස්සේ ඉගෙන ගන්නවා කියලා හිතාගෙන 2015 ඉඳන් මම ඖෂධවේදී පාඨමාලා කරන්න පටන් ගත්තා. රුපියල් අටදාහේ මාසික වැටුපට ෆාමසිවල වැඩ කළා.”කුමුදුමලීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ සුවිශේෂී පුද්ගලයා හමුවන්නේ ඇය සේවය කළ එක් ෆාමසියකදීය.

“වෛද්‍ය කරන්නාගොඩ අපේ ගමේම කෙනෙක්. මගේ උසස් පෙළ ප්‍රතිඵලය අහලා ඔළුවෙ අත ගහගෙන ඔහු කිව්වා, “ඔය පිස්සු වැඩේ කරන්න එපා දරුවො, මට පෙන්න ආයේ ෆාමසියට එන්න එපා. කරුණාකරලා ආයෙත් විභාගෙ ලියලා කැම්පස් යන්න.”කියලා. මම කිව්වා “මට මේ වෙලාවේ සල්ලි ඕනේ. මම වැඩ කරලා ෆාමසි ලයිසන් එක ගන්නෝනි” කියලා. ඒත්” මේ තරම් හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඉන්න එකේ තව පාරක් විභාගෙ ලියන්න, මේ පැත්ත පළාතෙ ආයෙ එන්න එපා” කියලා ඒ මාසේ පඩියත් දීලා ඩොක්ටර් මාව පිටත් කළත් ඒ වෙද්දි විභාගෙ ලියන්න කාලයක් තිබුණෙ නැති නිසා නුවර ටියුෂන් ගිහින් විභාගෙට ලෑස්ති වුණා. 2016 විභාගයෙන් මම පශු වෛද්‍ය පීඨයට තේරුණා. මෙච්චර මහන්සි වෙලත්, දක්ෂ වෙලත් මේ ප්‍රතිඵලේ ලැබුණේ මට ඩොක්ටර් කෙනෙක් වෙන්න දෙන්නෙම නැද්ද කියලා මගේ හිත එක්ක ගොඩක් තර්ක කළා. මම යන්නේ පශු වෛද්‍ය පීඨයට කියල කිව්වම අම්මා ඇහුවා, ඔයා ඩොක්ටර් නලාව දානවද කියලා. “ඔව් අම්මා, ඩොක්ටර් නළාවක් නම් දාන්න පුළුවන්, හැබැයි බෙහෙත් දෙන්නෙ සත්තුන්ට” කියලා කිව්වම අම්මා කිව්වා “කමක් නෑ පුතේ නළාව දානවනේ” කියලා. අම්මයි තාත්තයි ඒ ගැන සතුටු වුණ එකත් මට තියෙන අවසාන අවස්ථාවත් මේක කියල හිත හදාගෙන මම පශු වෛද්‍ය පීඨයට යන්න හිත හදා ගත්තා. ඒ වෙලාවේ ගොඩක් අය මට හිනා වුණා. ඒ වෙලාවේ මගේ හිතට අලුත් සිතිවිල්ලක් ආවා. වෛද්‍යවරයකුට හෝ ඉංජිනේරුවරයකුට තියෙන්නෙ ඒ රැකියාව විතරයි, නමුත් මම ජොබ් හතරක් විතර තියෙන සුපිරි චරිතයක් වෙනවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ”

විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ආරම්භ කිරීමට ප්‍රථම ඖෂධවේදී පාඨමාලාව සම්පූර්ණයෙන් අවසන් කරන කුමුදුමලී විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පළමු වසර තුළදී ඖෂධවේදී බලපත්‍රය ද ලබා ගන්නීය. ඉන්පසු ඇය ඖෂධවේදිනියක් ලෙස සති අන්තයේ සේවයේ නියැළෙන්නේ සතියකට රුපියල් හාරපන්දහසක මුදලක් උපයමිනි. ජ්‍යෙෂ්ඨ සිසුවියක වූ රුමේෂා සිරිවර්ධනගෙන් පශු වෛද්‍ය උපාධිය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගන්නා කුමුදුමලී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ ඉතිහාසය තුළ මෙතෙක් කිසිවකු ලබාගෙන නැති අවස්ථාවක් තමා සතුකර ගැනීමට තරයේ අදිටන් කරගන්නීය.

“වෛද්‍ය පීඨය පහුකරගෙන පශු වෛද්‍ය පීඨයට මම ආවේ කැඩුණු හිත එක්ක. ඒත් මගේ හිත වෙනස් කළේ සම්මාන ගත්ත අක්කා කෙනෙක් වේදිකාවෙදි කරපු කතාවක්. ඉංග්‍රීසියෙන් කළ ඒ කතාව මට ගොඩක් තේරුණේ නැති වුණත් දවසක මමත් ඒක කරනවා කියන අහිංසක ආශාව ඇති වුණා. දැන් මම ඖෂධවේදිනියක් නිසා පුහුණු වෛද්‍යවරියක් වෙලා, කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් වෙලා රැකියා හතරක් කරනවා කියන ඉලක්කය හිතේ තිබුණා. මම ආයෙමත් රුමේෂා අක්කට කෝල් කරලා මට ගන්න පුළුවන් සම්මාන මොනවද කියල ඇහුවම අක්කා කිව්වා වාර්තා පොතේ තියෙන සේරම ගන්න පුළුවන් කියලා. මම ඇහුවා ඒ සේරම ගත්ත කවුරුහරි ඉන්නවද කියලා.”ඒ ආසන්නයට ආව අය නම් ඉන්නවා, ඔයා උත්සාහ කරන්න, ඔයාට පුළුවන් නංගි “කියලා අක්කා කිව්වා. එදා මම අධිෂ්ඨාන කරගත්තා ඒ සේරම පදක්කම්, සම්මාන මම ගන්නවා කියලා. මම ඩිමයි කොළවල ඒවා ඇඳලා බෝඩිමේ බිත්තියේ අලවගෙන ඉලක්කයක් තියා ගත්තා අනිවාර්යෙන් මම ඒ දේ කරනවාමයි කියලා.”

එහෙත් ඒ කිසිවක් තමාට රන් බන්දේසියක තබා දෛවය විසින් පිළිගන්වන්නේ නැති බව දිරිමත් යුවතිය මනාව දැන සිටියාය. දිනපතා විශ්වවිද්‍යාලයීය දේශනවලින් පසුව සවස හයේ සිට රාත්‍රී දහය වන තුරු ෆාමසිවල සේවය කර මුදල් උපයා ගනිමින් ඉගෙනීම වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම් නිසාම පළමු වසරේ පළමු විභාගයෙන් හොඳම ලකුණු ලබාගත් සිසුවිය වීමට ඇයට හැකි විය. “මුල් කාලේ ආර්ථික ප්‍රශ්න වගේම මට භාෂා ප්‍රශ්නයත් තිබුණා. කවුරු මට හිනා වුණත් කමක් නෑ කියලා වැරදි වැරදි ඉංග්‍රීසි කතා කළ නිසා දැන් මට බය නැතුව අමෙරිකන් ජාතිකයෙක් එක්ක වුණත් කතා කරන්න පුළුවන්. පළමු වසරෙදි මම බැජ් ටොප් වුණා. පළමුවරට මම හොඳ ස්මාට් ෆෝන් එකක් ගන්නේ මට ලැබුණු රුපියල් පනස්දාහක ශිෂ්‍යත්වයකින්. දෙවැනි වසරෙදි කොවිඩ් වසංගතය නිසා ෆාමසිවල වැඩ කරන්න යන්න බැරි වුණත් ඒ කාලය මම සම්පූර්ණයෙන් යෙදෙව්වෙ පාඩම් කරන්න. කිහිප දෙනෙකුට වට්සප් සහ සූම් මාර්ගයෙන් ඔන්ලයින් පන්තිත් කළා. ඒ අවුරුද්දෙත් රන් පදක්කම් 3ක් එක්ක මම බැජ් ටොප් වුණාට පස්සේ ශිෂ්‍යත්ව කිහිපයක්ම ලැබුණා. දිගටම බැජ් ටොප් වෙද්දි මට පිළිගැනීමක් ලැබුණා. මුල් කාලේ සමහර ළමයි මට සැලකුවේ ත්‍රිකුණාමලයෙන් ආව ගොඩේ කෙල්ලෙක් විදිහට. මම ඒවා තැකීමක් නොකර මගේ අරමුණ වෙනුවෙන් දිගටම මහන්සි වුණා. තුන්වැනි අවුරුද්දෙත් බැජ් ටොප් වුණා. ඒත් තුන්වැනි වසරේ විභාගය ඉවර වෙලා මගේ අවසන් විභාගය පටන් ගන්න සති දෙකක් තියෙද්දි ජීවිතේ තීරණාත්මක බිඳ වැටීම සිදු වුණා. ඒක තමයි මම මුහුණ දුන් දරුණුම ප්‍රතික්ෂේප වීම” වසර කිහිපයක් පැවැති ප්‍රේම සබඳතාව බිඳී යෑමත් ඒ නිසා විඳින්නට සිදුවූ දැඩි මානසික පීඩාවත් දරාගත් අයුරු යුවතිය ස්මරණය කළේ ඉතා සන්සුන්වය.

“මම මේවා කියන්නේ කාටවත් මඩ ගහන්න නෙවෙයි. ඔහුට සහ ඒ පවුලේ අයට මගේ පවුල් පසුබිම ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ වෙද්දි හැම අතින්ම මට විවිධාකාර පීඩා ආවා. පීඩනය දරුණුම වෙලාවක මට මැරෙන්නත් හිතුණා. ඒත් මම කල්පනා කළා, පොඩි කාලේ ගමේදි මම බය වුණේ මැරෙන්න. දැනුත් එල්ටීටීඊය වගේ හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරලා මාව නොමරා මරනවා. එදා එල්ටීටීඊයට මාව මරන්න බැරි වුණා නම් ඇයි දැන් මැරෙන්නෙ කියල මම හිත හයිය කරගත්තා.”වැටුණු හැම තැනකදීම තමා නැඟිට්ටේ තමා තුළින්ම ලත් අභිප්‍රේරණයෙන් බව කුමුදුමලී කියන්නීය.

” මම ගොඩක් ආගමට දහමට නැඹුරු වුණා. නිතර ගැටඹේ පන්සලට, දළදා මාලිගාවට ගිහින් වැදුම් පිදුම් කළා. භාවනා කළා. රෝහලේ වැඩ කරලා බෝඩිමට ඇවිත් ගැටඹේ පන්සලට ගිහින් හිත නිදහස් කරගෙන බෝඩිමට ඇවිත් එක දිගට පාඩම් කරනවා. දවස් ගණන් හරියට නින්දක් නැහැ. සමහර වෙලාවට මම කන්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ ඇස්දෙක දිහා බලාගෙන කතා කරලා මාවම ධෛර්යවත් කරගන්නවා. කොච්චර අවිවේකී වුණත් මම හැමදාම මාවරලිය භද්දිය හාමුදුරුවන්ගේ කාලීන ධර්ම සාකච්ඡාවක පොඩි කොටසක් හරි අහනවා. විවේචනය, ගැරහුම් හමුවේ මම අඳ, ගොළු, බිහිරිකම ප්‍රගුණ කළා. ඒ නිසාම මගේ සිහින සේරම සැබෑ කරගෙන සරසවි ජීවිතයට සමුදුන්නා.”පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයෙන් පළමු පන්තියේ උපාධිය සමඟ රන් පදක්කම් 8ක්, විශ්වවිද්‍යාල ත්‍යාග 2ක්, අනුස්මරණ ශිෂ්‍යත්ව 2ක් සහ අනුස්මරණ සම්මාන 2ක් සහිත ඒ ජයග්‍රහණයේ ප්‍රහර්ෂය ඇයගේ සොඳුරු වත තවත් හැඩ කරද්දී ජීවයෙන් පිරුණු ඇයගේ හඬ ඇසේ.

” ස්වාභාවයෙන් ලැබුණු ලස්සන පෙනුමට මම හැමදාම ආදරය කළා. කොච්චර නැති වුණත් මම නැති කෙනෙක් කියලා ලෝකෙට පෙන්නුවේ නැහැ. විශ්ව ශක්තියත් ආකර්ෂණ නීතියත් සොබාදහමත් මට ආශීර්වාද කළා. තව කෙනෙක් එක්ක තරග කරනවා වෙනුවට මම මගේම හැඩි වුණු ජීවිතය ලස්සන කරගන්න වෙහෙසුණා. උපාධි ප්‍රතිඵල එක්ක මම තාවකාලික කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරන අතර පශ්චාත් උපාධිය වෙනුවෙන් විදෙස් විශ්වවිද්‍යාල කිහිපයකට අයැදුම් කළා. ජීවිතයේ මට ලැබුණු වටිනාම දේ මේ විශ්වවිද්‍යාලයෙන් ලැබුණු පූර්ණ ශිෂ්‍යත්වය. අමෙරිකාවටට එන්න තිබුණේ ජනවාරි වුණත් උපාධි උත්සවය අවසන් වනතුරු හිටියෙ ගොඩක් දුක් විඳලා ලබා ගත්ත දේවල් මගේ අත් දෙකට අරගෙනම මේ ගමන එන්නයි. මම ගොඩක් සතුන්ට බෙහෙත් කරලා තියෙනවා. ඒත් මම දුක් වුණා පශු වෛද්‍යවරියක් නිසා මට මිනිස්සුන්ට බෙහෙත් කරන්න බැහැ කියලා. නමුත් අද මගේ පශ්චාත් උපාධියෙන් මිනිස්සු වෙනුවෙන් අලුත් බෙහෙතක්, එන්නතක් හොයාගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ දේ කළොත් වෛද්‍යවරයෙක් වෙලා මිනිස්සුන්ට කරනවාට වැඩිය සේවයක් විද්‍යාඥවරියක් විදිහට මට කරන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය තුළින් මගේ රට මම වෙනුවෙන් වියදම් කරපු සත පහක්වත් අපතෙ හැරියෙ නැති එක ගැන මට ආඩම්බරයි. මම ජීවිතේ දිනපු පින මගේ ආදරණීය මවුපියන්ට, පාසල් ගුරුවරුන්ට, වෛද්‍ය සම්පත් කරන්නාගොඩට, රොමේෂා අක්කාට, මහාචාර්ය ඩිලාන් සතරසිංහ, මහාචාර්ය අනුරුද්ධිකා සහ කථිකාචාර්ය සමන්තිකා ජාගොඩට අයිතියි. විද්‍යාඥවරියක් වෙලා ලෝකෙට හොඳ දෙයක් දෙනවා වගේම හොඳ බිරියක්, මවක් වීම මගේ අනාගත බලාපොරොත්තුව. නමුත් දැනට බිරිය, මව කියන චරිත පැත්තකින් තියලා මම මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් මුළුමනින් කැපවෙනවා.”

ඒ අභිමානවත් දියණිය ගැන පියා වසන්ත කුමාර (60) තවත් මතක අවදි කළේ මෙසේය.

“චූටි කාලේ ඉඳලම දුව ඉගෙනුමට වගේම නටන්න, ගයන්න, වයලින් වාදනයට, කථිකත්වයට, ලියන්න, ක්‍රීඩාවට දක්ෂතා වගේම නායකත්ව ලක්ෂණත් පෙන්නුම් කළා. ඇය ගමේ දහම් පාසලෙත් ක්‍රියාකාරී සිසුවියක්. එදා ඉඳලම දුවගෙ වැඩවල අමුතු පිළිවෙළක් තිබුණා. ශිෂ්‍යත්වය ඉහළින් පාස් වුණත් මම එයාව වෙනත් පාසලකට යැව්වෙ නැත්තේ ආරක්ෂාව ගැන හිතලා. දැනුම් තේරුම් වයසට ආවම අපි එයා විශ්වාස කරලා නිදහස දුන්නා. දුව අපේ විශ්වාසය ඒ විදිහටම රැකගෙන එයාගෙ ඉලක්කයට ගියා. “කුමුදුමලීගේ බාල සහෝදරයා ප්‍රදීප්ටත් නැඟණිය වරුණිටත් ඇය ආදර්ශයකි. කුමුදුමලීගේ පියා මුල් කාලයේ මේසන් බාස් කෙනෙකු ලෙස ජීවිකාව ගෙන ගිය අතර දැන් ඔහු ඉදිකිරීම් සම්බන්ධ කොන්ත්‍රාත් වැඩ සහ වෙළෙඳසැලක් පවත්වා ගෙන යයි. මව කුසුම් විජේසිංහ (50) කුමුදුමලී පිළිබඳ මතක අවදි කළේ තුටු කඳුළු අතරිනි.

“ඒ සතුට කියන්න වචන නෑ. දැන් අපි මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා. පොත් මිසක් දුව චූටි කාලෙවත් බෝනික්කෙක් ඉල්ලලා නැහැ. පෙර පාසල් යද්දි අරගෙන ගියෙත් කුමාරෝදය පොතක්. දුව ලැබෙන්න අමාරු වෙලා හදිසියේ රෝහලට ඇතුළත් කළ නිසා ඕන කරන දේවල් ගෙනිච්චෙ නෑ. රෝහලේ ඉන්නකොට මම ගත්ත ලොතරැයියට රුපියල් පන්දාහක දිනුමක් ලැබුණා. ඒකෙන් තමයි ඕන කරන බඩු ගත්තෙ. ඉපදෙද්දිම වාසනාව අරගෙන ආව පින් ඇති දරුවෙක්. මම ආසාවෙන් හිටියෙ පුතෙකුට. ඒත් රෝස මලක් වගේ ලස්සන දුව දැක්කම ලොකු සතුටක් දැනුණා. දුව දැන් දුර රටක ඉන්න එක දුකක්, පාළුවක් වුණත් එයා ලෝකෙම දිනලා එනකම් අපි බලාගෙන ඉන්නවා.”

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division