දොලේ දියත් නැති විය නුඹ නාවන්ට
තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්ට
කටුසර බෝග තිබුණේ බඩ පුරවන්ට
සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට….
වියළී ගිය පරිසරයේ තෙතමනයක සේයාවකුදු නැත. කර්කශ අහසේ හිරු ගිනිගෙන දැවෙද්දී වුව අම්මාගේ පපුවේ දයාවේ තෙතමනය දෝරේ ගලන්නේ ය. නෙතලි නානායක්කාර රංගනවේදිනියගේ ලේ සිඳී ගිය මුහුණේ ආලෝකවත් බවේ සංඥාව දැල්වෙන්නේ දෑස් අග රැඳි කඳුළු බිඳුවක පහස දනවන හීන්වී ගිය දෙනෙතිනි.
මම ‘ද නිවුස්පේපර්‘ චිත්‍රපටය නරඹමින් සිටින්නෙමි. දෑස්, තිරය මත දයානුකම්පාවේ සේයාව විඳිද්දී පසුබිම් ගායනය ඒ දෑස් අඟ කඳුළු බිඳුවකින් බර කළේ ය. නන්දා මාලිනිය ගයන්නී ඒ පරිසරයේ මතු නොව තම දරුවා කෙරෙහි වන අපමණ සෙනෙහසින් පපුතුරේ කැකෑරෙන වේදනාව සිය හඬට මුසු කරගනිමිනි. චිත්‍රපට පසුබිම් ගී කලාවේ සුවිසෙස් බව යම් සේ ද නන්දා මාලිනිය ඒ සුවිසෙස් බවේ කලාව මනාව දත්තී ය.
නන්දාව හා සරසවිය සම්මාන අතර ඇත්තේ අපූරු සහසම්බන්ධතාවකි. ඇය පළමුවරට සරසවිය සම්මානය දිනා ගන්නේ 1964 වසරේ මැයි 9 වැනිදා කොළඹ අශෝක සිනමා ශාලාවේ පැවැති පළමු සරසවිය සම්මාන උලෙළේදී ය. ඒ 1963 රන්මුතු දූව චිත්‍රපටය වෙනුවෙන් ගැයූ “ගලන ගඟකි ජීවිතේ” ගීතය වෙනුවෙනි. එහි සංගීතය විශාරද පණ්ඩිත් අමරදේවගේ ය.‘ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ’ යුග ගායනය නන්දා මාලිනි හා නාරද දිසාසේකරගේ ය.
ඊට වසර හැටකට පසු ඇය, 2020 වසර වෙනුවෙන් 2024 මාර්තු 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 35 වැනි වරට පවත්වනු ලැබූ සරසවි සම්මාන උලෙළේදී වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානයට පාත්‍ර වූවා ය. ඒ ද නිවුස්පේපර් චිත්‍රපටයේ දොළේ දියත් නැති විය නුඹ නාවන්නට… ගීය වෙනුවෙනි. ඒ ගීතයේ පද මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ය. සංගීතය ගයාත්‍රී කේමදාසගේ ය. දරුවා වෙනුවෙන් පපුතුරේ හැංගුණු මහා ආදරය වචනවලට පෙරළු ඈ එය ප්‍රේක්ෂක පපුතුරේ හීන් වේදනාවක සලකුණු ඉතිරි කළේ චිත්‍රපටය අවසානයේ පවා ඒ හඬ හදවතේ නින්නාද වෙන තරමට ආදරය දවටා ය.
2023 නොවැම්බර් 14 වැනිදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී ද 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ඈ සම්මානිත වූවා ය. වසර හැටකට පසුවත් අඛණ්ඩ ව හොඳ ම චිත්‍රපට පසුබිම් ගී ගායනයට සම්මානිත වීම ජනහදෙහි ඇය තැබූ නොමැකෙන සහෘදත්වයේ හා ආදරයේ සංකේතයක් නොවන්නේ ද? එදා මඳ අසනීප ගතියකින් සිටි ඇය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මානය පිරිනැමුවේ ප්‍රේක්ෂකාගාරයේ ඇය සිටි ස්ථානයට යමිනි. ඒ අවස්ථාවට ද නිවුස්පේපර් චිත්‍රපටයේ නිෂ්පාදක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ද සහභාගී විය. එහිදී ප්‍රේක්ෂකාගාරයේ සිටි සියල්ලෝ අසුන්වලින් නැඟිට අත්පොළසන් දෙමින් ඇය වෙත හරසර පුද කළහ.
නන්දා මාලිිනිය මේ වන විට ජනාධිපති සම්මාන 11කින් පිදුම් ලබා තිබේ. ඇය ජනාධිපති සම්මාන ඉතිහාසයේ වැඩිම ජනාධිපති සම්මාන දිනාගත් ගායිකාවයි. ඇයට පළමුවරට ජනාධිපති සම්මානය හිමි වූයේ 1980දී මොණරතැන්න චිත්‍රපටයට ගැයූ හඳ හාවුන් හඳේ ගීතය වෙනුවෙනි. ඉන් අනතුරුව ඇය විටින්විට ජනාධිපති සම්මානය වරින්වර දිනා ගත්තා ය. ඒ සියලු සම්මාන ඇගේ සුගායනීය ගායන මැදිහත් වීම් වෙනුවෙන් ලැබුණු ඒවා ය. මේ සියල්ල ඇය සමසිතින් පිළිගන්නේ සිය වතෙහි සොම්නස් සිනාවක් දරමිනි. ඇගේ ඒ සිනාව කවදත් එක වගේ ය. එයට ලොකු – පොඩි ප්‍රවීණ – ආධුනික බේද නැත.
නන්දා මාලිනියට වැඩිම ගී සංඛ්‍යාවක් ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න ය. ඇය මෙවර සම්මානය දිනා ගත් ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ දොළේ දියත් නැති විය නුඹ නාවන්ට… කියන ගීතය රචනා කරන්නේ ද මහැදුරු සුනිලුන් ය. නන්දාවන්ගේ ගමන් මඟ හා ඇගේ අනන්‍යතාව ගැන මහැදුරු සුනිල් ආරියරත්න දරන්නේ මෙවන් මතයකි.
‘නන්දා මාලිනී තමයි තමන්ගේ අනන්‍යතාව පළ කළ එකම ගායිකාව. ආරම්භයේ පටන් අද දක්වාම තමන් යා යුතු මාර්ගය තෝරා ගන්න ඇයට සුවිසෙස් හැකියාවක් තිබුණා. තමන් මොනවද ගායනා කරන්නේ, කවුරු වෙනුවෙන් ද ගායනා කරන්නේ කියන එක ඒතරම් පැහැදිලිව තෝරා ගත් වෙන අයෙක් නැති තරම්. ඒකට ප්‍රධානම හේතුව වුණේ නන්දාට බාල කාලේ පටන් ම ලැබුණු සද්ජන ඇසුර. පණ්ඩිත් අමරදේව, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි චරිත ඇයට ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයක්. ඇයට බාල කාලයේදී ම චිත්‍රසේන හා අමරදේව වැනි මහා කලාකරුවන් දෙදෙනාගේ නිර්මාණවලට දායක වෙන්න ලැබීමත් වැදගත්. මේවා වෙන කිසිකෙනකුට නොලැබුණු අවස්ථා. ඒකෙ තියෙන ලොකුම දේ තමයි, එහෙම ඇසුර ලැබීම වගේම ඒ වැනි අවස්ථා නිසා නන්දා වෙනස් නොවීම. ජනප්‍රියත්වය ලැබෙන කොට තමන් කොහේද යන්නෙ කියලා තමන්ටවත් සිතා ගන්න ගොඩක් අයට බැරි වෙනවා. නමුත් නන්දාට තිබුණා තමන් ඇසුර ලැබූ පුද්ගලයන්ගේ ගමන් මාර්ගය ගැන අවබෝධයක්. තමනුත් ඒ ගමන් මාර්ගයේ ගමන් කළ යුතුයි කියන දැනීම ඇයට තිබුණා. නන්දාගේ සාර්ථකත්වය තියෙන්නෙ එතැන.
1963 පළමුවැනි චිත්‍රපට ගීතය ගායනා කරලා පළමුවැනි ගීතයෙන්ම සම්මානයට පාත්‍ර වෙන කොට ඕනෑම කෙනකුගේ ඔළුව නරක් වෙන්න පුළුවන්. එ්වයෙන් අන්ධ නොවෙන්න තරම් දැනුමක්, නුවණක් ඇයට ලැබුණෙ කොහොමද කියලා මම අදත් පුදුම වෙනවා. දරිද්‍රතාවේ අන්තිම කෙළවරේ ඉඳන් ආව පවුල් පසුබිමෙන් එවැනි පෙලඹවීමක් ඇයට ලැබෙන්න විදියක් නැහැනෙ. ඇය උපදින්නෙ කොටහේනේ. රජයේ ලලිත කලා ආයතනයේ තමයි ඇය ඉගෙනුම ලබන්නෙ. එතැන් සිට තමන් ගයන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ විතරයි කියලා ඇය හිතන එකේ ම කොච්චර සංයමයක් තියෙනවාද? ඒ කාලෙ නන්දා අවුරුද්දටම ගැයුවේ ගීත පහළොවක් විස්සක් විතර වෙන්න පුළුවන්. තෝරා ගැනීමක් කරද්දි ඊට වඩා ගයන්න බෑ. ඇය ගැයූ චිත්‍රපට ගීත බොහොමයක් සම්මානයට පාත්‍ර වුණා.
ඒ වගේම තමන්ගෙ හඬට උචිත තනු මොනවද, ගීතය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් දැනුමක් ඇයට තිබුණා. ඇයට තියෙන්නෙ ගැමි හඬක්. ඒ හඬට අනුචිත ගී ඇය ගැයුවෙ නෑ. ඇය ක්ෂණික ජනප්‍රියත්වය බලාපොරොත්තු වුණේ නෑ. ඇගේ ජීවිතේ සාර්ථකත්වයට හේතුව ඒ තෝරා ගැනීම‘
ඇය පසුගියදා සරසවිය හා ජනාධිපති සම්මානවලට පාත්‍ර වීම ගැන මහැදුරු සුනිල් පැවසුවේ මෙවැනි අදහසකි.
‘ මේක එක්තරා විදියක පුදුමයක්. 1963 මුලින්ම සරසවිය සම්මානය ගන්නවා. ඊට පස්සේ 2023 නැවත ඒ සම්මානය ගන්නවා, අවුරුදු 60කට පස්සෙ. අවුරුදු 60ක් තමන්ගෙ හඬ රැක ගැනීම ලේසි පහසු දෙයක් නොවෙයි. මේ භාග්‍ය ඇයට ලැබෙන්නෙ මා පෙරකී ඇගේ ලක්ෂණ නිසයි‘
1964 පළමු සරසවිය සම්මානයෙන් පසු ඇය සරසවිය සම්මාන 13ක් ලබා ගෙන තිබේ. ඒ සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගෙ රටයි… ගීය වෙනුවෙන් 1966 දී, සැඩොල් කඳුළ චිත්‍රපටයේ දස මස කුස දරා… ගීය වෙනුවෙන් 1968 දී, ආදරවන්තයෝ චිත්‍රපටයට 1969 දී ගැයූ පිංචි පැංචි ගීය වෙනුවෙන් ද, 1980 දී මොනරතැන්න චිත්‍රපටයේ හඳ හාවුන් හඳේ ගීය වෙනුවෙන් ද, වජිරා චිත්‍රපටයේ දෙනෝ දාහක් නුවන් අතරේ ගීය වෙනුවෙන් 1982 දී ද, 1983දී යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය වෙනුවෙන් ද, පෙම් රජදහන චිත්‍රපටය වෙනුවෙන් අහසින් බසින් ගීය වෙනුවෙන් 1991 දී ද ඇය සම්මානිත වූවාය. එතැනින් ඉනික්බිති 1995දී අඹුසැමියෝ චිත්‍රපටයේ ඉවුරු බිඳුණු ගංතලාව ගීතය වෙනුවෙන් ද, සුදු සෙවණැලි චිත්‍රපටය වෙනුවෙන් 2003 දී ද, 2004 දී ඉරැස්මා චිත්‍රපටය වෙනුවෙන් ද නන්දා මාලිනිය සම්මානිත වූවාය.
නන්දා මාලිනියට ආචාර්ය උපාධිය පිරිනැමෙන්නේ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙනි. ඇයට ආචාර්ය උපාධිය පිරිනැමූ මොහොතේ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් ඇයට ආචාර්ය උපාධිය පිරිනැමීම ගැන රූපවාහිනී වැඩසටහනකදී මෙසේ පවසා තිබේ. පණ්ඩිත් අමරදේවයන් ඇය ගැන කියූ ඒ වදන් ඇයට ආචාර්ය උපාධිය සේම වටින්නට ඇත.
“ශ්‍රී ලංකාවේ ගායිකාවන් අතර කිසිදු විවාදයකින් තොරව නන්දා මාලිනී හඳුන්වාදිය හැකි ආකාරය නම් “සුභාවිත ගීතයේ සිංහල ලකුණ” යනුවෙනි. රටත් ජාතියත් නළවන ඒ රන් ස්වරය, මුලින්ම රසිකයන් හඳුනා ගන්නේ, මා සංගීත අධ්‍යක්ෂණය කළ, රන්මුතුදූව, චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ ගීතයෙනි. ඒ නිසා නන්දාගේ ගායන ලීලාවට මා සවන් දෙන්නේ මහත් වූ අභිමානයකින් හා සතුටකින්. ප්‍රතිභාසම්පන්න කලාවේදිනියකට ව්‍යුත්පත්ති සම්පත්තිය ප්‍රදානය කරන්නට තරම් මා වාසනාවන්ත වී සිටිනවා. නන්දා ජන්මයෙන් උරුම කරගෙන ආ සිය ප්‍රතිභාව, හෙවත් කෘත පුණ්‍ය වාසනා ගුණය ගුරු ඇසුරු පතපොත පරිසරය ඇසුරින් වර්ධනය කර ගත්තා. ඇයගේ ගායන භාෂාව ප්‍රසාදජනකයි. සුගායනීයයි. සප්‍රාණිකයි. ගේය පදවල ලාවණ්‍යයත්, රමණීයත්වයත්, ව්‍යඤ්ජනා ශක්තියත් වර්ධනය කරන සුළුයි‘
ඇය ගුවන්විදුලිියේ ළමා පිටියේ ගායිකාවක් ව රසික ප්‍රජාවගේ සවන් පිනවමින් සිටියදී ඇයට ස්වර්ණමය අවස්ථාවක් තිළිණ වෙන්නේ යන්තම් විසි එක් වැනි විය සපුරද්දී ය. ඒ පණ්ඩිත් අමරදේවයන් සමඟ යුග ගායනයකට එක්වන්නට ලැබීමෙනි. එය ඇගේ ගායන දිවියේ අසිරිමත් ඇරඹුමක් සටහන් කළේ ය. ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු වේදිකා නාට්‍ය ගී ගායනය, චිත්‍රසේනගේ කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍ය ගී ගැයුම නන්දාගේ ගායන ජීවිතයෙහි මුල් කාලීන හැරවුම් ලක්ෂ්‍යය වේ. ඉනික්බිති ඇය රමණීය ගී තනු රැසක් නිර්මාණය කිරීමට එක් වන්නී ය. ඇය විසින් නිර්මිත ගී තනු අතර මගේ සිත ඔබ අරගෙන, චන්ද්‍ර මඩුළු යට, සුදු හාමිනේ, සැඳෑ කළුවර, රුක් අත්න මල මුදුනේ , සකුරා මල් පිපිලා, සාරිපොඩිත්තක් , සුරංගීට දුක හිතුනා.. වැනි ගී විශේෂිත ය. ඇගේ සංගීත අධ්‍යක්ෂණ භූමිකාව ආරම්භ වන්නේ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ බඹා කෙටූ හැටි චිත්‍රපටයෙනි.
ආචාර්ය නන්දා මාලිනිය යනු මෙරට රසික ප්‍රජාවට දෘෂ්ටිවාදී ලෙස බලපෑම් කළ ගායනවේදිනියකි. ඇය නිරන්තර සිය හඬ අවදි කරන්නට උත්සාහ ගත්තේ සුවහසක් ප්‍රේක්ෂක ප්‍රජාවගේ මතවාදීමය වෙනසක අපේක්ෂාවෙනි.
නන්දා මාලිනිය තමන් ආ ගමන් මඟ පිළිබඳව අප හා ආවර්ජනයකට එක් වූවාය. වසර හැටකට පසුව නැවතත් සරසවිය සම්මානය ලැබීමේ භාග්‍යයත් එවන් කාලයක් පුරා සිය හඬ අනන්‍යතාව රැකගැනීම පිළිබඳවත් අප ඇසූ පැනයට ඈ දුන්නේ මෙවන් පිළිතුරකි.
‘මම අවුරුදු 35කට වැඩි කාලයක් තිස්සෙ සංගීත ආශ්‍රමයේ දරුවන් එක්ක තමයි කාලය ගත කරන්නෙ. මගේ හඬ දියුණු වෙන්න මම දරුවන් එක්ක එකදිගට වැඩ කිරීම බලපෑවා කියලයි මට හිතෙන්නෙ. අසනීප තත්ත්වෙන් පස්සෙත් මම ගීතයක් කළා මලේ.. මලේ.. කියලා. මම තවමත් සින්දු කියනවා. ඒකෙ සතුට මට තියෙනවා.
මම මුල ඉඳලම හිතුවෙ ජීවිතේ කියන්නෙ විනෝදාස්වාදනය උදෙසා තියෙන එකකට වඩා යම් පණිවිඩයක් සමාජයට දෙන්න තියෙන එකක් ය කියලා. සින්දුව වුණත් මම කියවා ගත්තෙ එහෙම. බෞද්ධ ගීත, ප්‍රේම ගීත, විරෝධාකල්ප ගීත මේ හැම එකක් ගැනම මම හිතුවෙ එහෙම. මට මේ සිතිවිල්ල ඇති වෙන්න මහාචාර්ය සුනිල් ආරියරත්න බෙහෙවින් බලපෑම් කළා. එතුමාගේ ගී රචනා මගේ ඉහළ ගමනට ගොඩක් බලපෑවා.
මට හරි සතුටක් තියෙනවා, මේ දක්වාම මට මෙහෙම ප්‍රසාදයක් ලැබෙන එක. ද නිවුස්පේපර් චිත්‍රපටයේ දොළේ දියත් නැති විය නුඹ නාවන්ට… කියන ගීතය ලිව්වේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමා. සංගීතය කළේ ගයාත්‍රී කේමදාස. කේමදාස මහත්තයා එක්කත් මම වැඩ කරලා තියෙනවා. දැන් දුව එක්ක වැඩ කරලා සම්මානෙකුත් ගත්තා‘
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූවේදී උපත ලබන නන්දා හැදී වැඩෙන්නේ කොළඹ, කොටහේනේ ය. නොබෝදා ඈ සැමරුවේ සිය 81 වැනි ජන්ම දිනය ය. කුඩා කල බොහෝ සේ දුක් විඳි ඈ දුක අබිබවා සොම්නසේ කිරුළු පැලැන්දුවේ ස්වකීය අප්‍රමාණ ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි. කොටහේන ශ්‍රී ගුණානන්ද විදුහලේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් ම ගායන කෞෂල්‍ය විදහා දැක්වූ ඇය, රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව සිය උසස් අධ්‍යාපනය ලැබුවා ය. ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීත ඩිප්ලෝමාවත් පසුව විශාරද උපාධියත් ලැබූ ඇය ලංකාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරියයි.
ඇයගේ ලිවිසැරියේ බර හා සමාන බරක් ඇය දිවිසැරියේ විඳ ඇත්තී ය. ඒ කඳුළු බර ය. එහෙත් ඒ හැම කඳුළු බින්දුවකට ම සරිලන ලිවිසැරියක් ඈ අපට තිළිණ කළා ය. ඇගේ සෝ තැවුල් හඬ සමහර විට ඇගේ ආත්මයෙන් එන්නක් යැයි අපට දැනෙන්නේ ඇගේ සෝබර දිවියේ ලකුණු නිසා විය හැකිය. තැළුණු පෙළුණු රිදුණු ආත්මයක ශෝකාරාවයට වඩා අද අප විඳින්නේ ඒ සියල්ල මතින් නැඟි ඇගේ යශෝරාවය නොවේද? මිනිස් ජීවිතයක අරුත ඇගේ ජීවිතයෙන් ම පසක් වීමේ ප්‍රහර්ශය අප විඳින්නේ ඒ නිසා ය.
සුමුදු චතුරාණී ජයවර්ධන