කලින් කලට විවිධ රෝගකාරක වයිරස් ප්‍රභේද ලොව පුරා පැතිර යෑම අරුමයක් නොවේ. මෑත කාලයේ එසේ ලෝකයම පීඩා වින්දේ වසංගතයක් බවට පත්වූ කොවිඩ් වයිරසයෙනි. යළිත් එවැනි අවදානමක් පිළිබඳ බියක් ඇති වූයේ වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් නමැති වයිරසයක් අප්‍රිකාවෙන් ආරම්භ වී වේගයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟය. කොංගෝ සමූහාණ්ඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන වඳුරු උණ වයිරසය අප්‍රිකානු කලාපයේ රටවල් 13කට ව්‍යාප්ත වූ අතර, වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 548 දක්වාත්, ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 16,000ත් ඉක්මවා යද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ඉකුත් අගෝස්තු 14 වැනිදාය.
වසර දෙකක් ඇතුළත වඳුරු උණ වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ දෙවැනි අවස්ථාව එය වූ අතර, මෙම වයිරසට සමාන එතරම් දරුණු නොවන එම්පොක්ස් ප්‍රභේදයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුලින්ම අනාවරණය කළේ 2022 ජූලි මාසයේදීය. මුල් අදියරේදී සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව කියන වඳුරු උණ පසුව මිනිසුන් අතර ව්‍යාප්ත වූ බවත් පැවසේ. 1958දී වඳුරන්ගෙන් හඳුනා ගැනීම නිසා එය මන්කිපොක්ස් ලෙස නම් කර ඇති අතර, පළමු රෝගියා 1970දී කොංගෝවෙන් හඳුනා ගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් අගෝස්තු 20 වැනිදා ප්‍රකාශයට පත් කළේ වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බවය. එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන නමුත් කොවිඩ්-19 මෙන් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවත් මන්කිපොක්ස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කළේය.
එසේ වුවද මෙම නව වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳ ඇසූ විට ශ්‍රී ලංකාවට ද වඳුරු උණ රෝගය ඇතුළු වීමේ අවදානමක් පිළිබඳ බියක් ජනතාව අතර පැතිර යන්නට විය. එහෙත් ඒ පිළිබඳ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් කඩිනමින් රැස්වී රෝගයට වඩාත් හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම ද ලබාදුන් බවත්, ඒ සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබා දීමට කටයුතු කළ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව ගුවන් තොටුපොළ මඟින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමට රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන අතර, රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝ වන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇත. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීමේ රසායනාගාර පහසුකම් පවතියි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ජාත්‍යන්තර අවධානය ලක් කළ යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ වන විට ආසියානු කලාපීය රටවලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේය. එසේ වුවද රෝගය වැළැක්වීම සඳහා මහජනතාවගේ නිසි දැනුම්වත්භාවය අත්‍යවශ්‍ය බැවින් ඒ පිළිබඳ මේ පැහැදිලි කිරීම වැදගත් වනු ඇත.
රෝගය පැතිරෙන අයුරු
අසාදිත පුද්ගලයකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් සහ ආසාදිත පුද්ගලයකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නීරෝගි පුද්ගලයකුගේ සිරුරට මෙම වයිරසය ඇතුළු වීමට ඉඩ තිබෙන අතර, රෝගය නිසා ඇතිවන බිබිළි හා තුවාලවල, අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතකදී භාවිත කළ ඇඳ ඇතිරිලි වැනි දෑ තුළත් වයිසරය අඩංගු විය හැකිය.
මෙය ලිංගාශ්‍රිතව බෝ වන රෝගයක්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්තා වී ඇති රෝගීන්ගෙන් 98%ක් පමණ සමලිංගික පිරිමි පුද්ගලයන් අතර වාර්තා වී තිබුණද මෙය ලිංගාශ්‍රිතව බෝ වන රෝගයක් යැයි කිසිසේත් අදහස් නොවේ. එම නිසා සාමාන්‍ය සිප වැලඳ ගැනීමකින් රෝගය පැතිරීමට ඉඩක් නැති අතර, සම මත ඇතිවන තුවාල සහ බිබිළිවලින්, ද්‍රාවණවලින් ආසාදනය විය හැකිය. සැකකටයුතු රෝගියකු සමඟ ඇසුරක් පැවැත්වුවහොත් ප්‍රවේසම් විය යුත්තේ රෝග ලක්ෂණ මතුවීමට දින 21ක් පමණ ගතවිය හැකි නිසාය.
රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය
සාමාන්‍යයෙන් වයිරසය ශරීරගත වී දින 5 – 21 කාලයක් තුළ රෝග ලක්ෂණ පහළ වේ.
ප්‍රධාන රෝග ලක්ෂණ
උණ, සමෙහි බිබිළි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම (කුද්දටි), මස්පිඬු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත් බව සමඟ සම මතුපිට පළු සහ බිබිළි ඇතිවීම මූලික වේ. උණ ඇති වී දින 1-3 ගත වන විට මුහුණේ, ගෙලේ, දෑත් සහ පතුල්වල හටගන්නා රතු පැහැති පැල්ලම් වතුර බුබුළක් බවට පත්වී ඊට පසු සැරව බුබුළක් බවට පත්වේ.
රෝගය වැලඳී ඇති බව
තහවුරු කර ගන්නා ආකාරය
මීට සමාන රෝග ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝගවලදී ද ඇතිවන නිසා ‘මන්කිපොක්ස්’ රෝගය තහවුරු කර ගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදාගනී.
සුව වීමට ගතවන කාලය
සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත් වන රෝගයක් වුවත් ප්‍රතිශක්ති ඌනතා සහිත පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇතිවීමේ යම් අවදානමක් පවතී. එමෙන්ම කුෂ්ඨ සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම, මන්කිපොක්ස් ආසාදිතයකු රෝග වාහකයකු වීමේ හැකියාව ඇත.
වළක්වා ගැනීමට කළ යුතු දේ
ඉහත රෝග ලක්ෂණ සහිත, තහවුරු කළ හෝ සැක සහිත පුද්ගලයන්ගේ සමට සම ස්පර්ශ වන පරිදි සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එවැනි පුද්ගලයන් භාවිත කළ උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැළකී සිටිය යුතුය. ඉහත කී රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත්ය.
රෝගය පාලනය සඳහා ප්‍රතිකාර
වඳුරු උණ සඳහා එන්නත්කරණය සීමා සහිත අතර, අමෙරිකාවේ එන්නත්කරණය ආරම්භ කර ඇත. රෝගියකු හඳුනා ගැනීමෙන් දින 04ක් තුළ එන්නත ලබාදීමෙන් රෝගය වැලඳීම වළක්වාගත හැකිය.
වඩා අවදානම් සහිත කාණ්ඩය
ප්‍රතිශක්තීකරණ ඌනතා සහිත පුද්ගලයන්ට මෙම රෝගය වැලඳුණහොත් බරපතළ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇත. එම නිසා විශේෂයෙන් කුඩා දරුවන්, දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන් සහ වකුගඩු රෝගීන් රෝගයෙන් ආරක්ෂා විය යුතුය. සැක සහිත ආසාදිතයන් සමඟ ගැටීමේදී මුව ආවරණයක් පැලඳ සිටීම සුදුසුය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්