Home » සැඳෑවිය

සැඳෑවිය

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

ලියන ගමගේ නන්දිකා හේමාලි – කුරුණෑගල

න්දෑ කළුවර මුළු වත්තටම පාළු පෙනුමක් අරන් ඇවිත්. ඉස්කෝලේ මහත්තයට මේ පාළු පාට දැන් හොඳට පුරුදුයි. හැමදාම හැන්දෑවට හාන්සි පුටුවට වෙලා ඉන්න එක දවසේ අනිවාර්ය පුරුද්දක් වෙලා. හාමිනේ කුස්සියේ තේ හදන පුංචි පුංචි සද්ද ඉස්තෝප්පුවට යන්තමට ඇහෙනවා. හාමිනේ තව ටිකකින් ඉඟුරු දාලා තේ එකකුත් අරගෙන එනවා කියලා ඉස්කෝලේ මහත්තයා දන්නවා. ඒත් එක්කම හාමිනේ තේ කෝප්පයක් අරන් ඉස්තෝප්පුවට ආවා. හාමිනේ තේ කෝප්පය ඉස්කෝලේ මහත්තයට දීලා ළඟින් වාඩි වුණා. හාමිනේගේ මූණ දිහා බැලුව ඉස්කෝලේ මහත්තයට තේරුණා හාමිනේගේ හිතේ කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒකට අවසර දෙන්න වගේ ඉස්කෝලේ මහත්තය ප්‍රශ්නාර්ථය හඟවන බැල්මෙන් හාමිනේගේ මුණ බැලුවා.

“කොච්චර දරුවෝ හිටියත් අපි දෙන්නා අන්තිමට මේ පාළු ගෙදර තනි වුණා”

හාමිනේගේ කටහඩේ තිබු‍ණේ කලකිරුණු බවක්.

මෑතක් වෙනකම්ම හාමිනේගේ මූණේ තිබුණ හිනාව, කතාව හොරු ගෙනිහින් වගේ කියලා ඉස්කෝලේ මහත්තයට හිතුණා.

“දවල් පොඩි පුතා කතා කළා” හාමිනේ කිව්වේ අහක බලාගෙන.

වෙනදා පොඩි පුතා කතා කළාම හාමිනේගේ මූණ පුරා විසිරෙන හිනාව ඉස්කෝලේ මහත්තයට මතක් වුණා.

“ඇයි ඒ හදිසියෙම”

ඉස්කෝලේ මහත්තය ඇහුවේ පුදුමයෙන් වගේ. කවදාවත් මුනුපුරාගේ උපන් දිනයක්, ඉඳුල් කටගාන දවසක්, අකුරු කියවන උත්සවයක් නිකමටවත් මතක් කරන්න පොඩි පුතාට වගක් වත් තිබුණේ නෑ. ඒත් ඉස්කෝලේ මහත්තයා ඒවට තරහ ගත්තේ නෑ. ඔය කොළඹ උත්සව අපට පෑහෙන්නේ නෑ හාමිනේ කියලා කියනවා.

“ගොඩක් වෙලා කතා කළා. බැංකුවට සල්ලි දැම්මා කිව්වා. ඉස්කෝලේ මහත්තයට වෙලාවට බෙහෙත් ටික ගන්න කිව්වා. මේ දවස්වල වැඩ කරන තැන ගොඩක් වැඩ වැඩියි කිව්වා. ගෙදර වැඩට කවුරුවත් තාම හොයා ගන්න බැරි වුණා, දරුවා දාලා යන්න විශ්වාසවන්ත කවුරුවත් නෑ කියලා මට එන්න පුළුවන්ද කියලා ඇහුවා”

ඉස්කෝලේ මහත්තයා කල්පනාවට වැටුණා. මේ වයසක ගෑනි කොහොම ද කොළඹ යන්නේ, ගියත් ඉන්නේ කොහොම ද?, පුතාගේ නෝනත් ටිකක් එක විදියක්නේ. මේ ගෑනිට වෙනස්කමක් වත් කරයිද? නැතත් මේ ලෙඩ ගෑනි කොහොමද දරුවෙක් ආන්බාන් කරන්නේ

“මම කිව්වා තාත්තත් දැන් ලෙඩ ගානේ වතුර ටිකක් වත් රත් කරලා දෙන්න මම ඉන්න ඕන කියලා”

“ඉතින්?” ඉස්කෝලේ මහත්තයා හාමිනේගේ මූණ බැලුවා

“මම එහේ ගිහින් කවුද ඉස්කෝලේ මහත්තයට කන්න බොන්න හදලා දෙන්නේ. අනෙක දැන් නිතරම ඉස්කෝලේ මහත්තයට පපුවේ අමාරුව. හදිසියේ අසනීපයක් හැදුණා. කාට කියන්න ද”

ඉස්කෝලේ මහත්තයට දුක හිතුණේ තමන් ගැන නෙමේ. හාමිනේ ගැන. තමන්ගේ අමාරුකම්වලට වඩා හාමිනේ ළතවෙන්නේ මම ගැන නේදැයි හිතුණා. ඒත් ඉස්කෝලේ මහත්තයා මුකුත් අඟවන්න ගියේ නෑ.

“බත් ටිකක් නම් මට රත් කර ගන්න බැරියැ. ඒත් මං කල්පනා කළේ හාමිනේට පුරුදුයැ ඔය කොළඹ ගෙවල්වල ඉන්න. අනෙක ඔය අසනීපත් එක්ක පුළුවන් ද පොඩි දරුවෙක් එක්ක ඔට්ටු වෙන්න”

ඉස්කෝලේ මහත්තයා කිව්වේ හැබෑම කරුණාවෙන්. ඒත් එක්කම වගේ ඉස්කෝලේ මහත්තයට මුනුපුරා මතක් වුණා. හුරතල් කොල්ලා, දඟ මල්ල. ඉස්කෝලේ මහත්තයට හීන් හිනාවක් ඇඳුණා.

“හැබෑට හාමිනේ ගිය සිංහල අවුරුද්දට දැක්කට පස්සේ පොඩි එකාව දැක්කෙත් නෑ. දැන් ටිකක් ලොකු ඇති නේද?”

ඕන් හාමිනේගේ මූණටත් ලස්සන හිනාවක් ආවා

“ඔව් දැන් ලොකුයි. අපේ පුතා වගේමලු” ආයිත් මූණ කළු වුණා

“කොහෙද ඉතින් ළඟ පාතකවත් හිටිය නම්. දරුවව බලාගෙන ඉන්න තිබුණා අපි දෙන්නට” හාමිනේ කිව්වේ සාංකාවෙන් වගේ.

හාමිනේගේ හිතට හරි නෑ. ඉස්කෝලේ මහත්තයා තනිපංගලමේ මේ පාළු ගෙදර දාලා යන්නත් බෑ. ඉස්කෝලේ මහත්තයා කොළඹ යන්නත් කැමති නෑ කියලා හාමිනේ දන්නවා. දරුවගේ ඉල්ලීම අහක දාන්නත් බෑ. මොනවා කරන්න ද මන්දා. මේ ගෙවන පාළු ජීවිතය දැන් දෙන්නටම පුරුදු වෙලා. පාළුව තනිකම සාංකාව මුළු ගෙදරම රජ කළත් දෙන්නා දෙමහල්ලෝ බණක් භාවනාවක් කරමින් නිදහසේ ජීවත් වුණා. හවසට තමන් ගැන දරුවෝ ගැන, දහම් කරුණු ගැන දෙන්නා කතා වුණා.

“දැන් බණ පටන් ගන්නත් වෙලාව හරි නේද?” ඉස්කෝලේ මහත්තයා කිව්වේ ඔය කතාව දැන් ඇති කියන්න වගේ දෙන්නම සාලේ වාඩි වෙලා බණට සවන් දුන්නා. බණ අහලා රෑට කෑම ගත්තා. හාමිනේ රෑට හදලා තිබුණේ ඉස්කෝලේ මහත්තයගේ ප්‍රියතම කෑම වට්ටෝරුව. තිබ්බොටු මැල්ලුම් හදලා පතෝල කිරට උයලා තිබුණා.

“සිදාදියේ ජීවත් වෙන්න හරි අමාරුයි. දෙන්නම මහ ලොකු ගාණක් ගන්නේ නෑනේ” හාමිනේ කියවනවා.

“හ්ම්” ඉස්කෝලේ මහත්තයත් හුමිටි දෙනවා

“දැන් ඔය වැඩට ඉන්න ගෑනුත් මහ ගණන් ඉල්ලනවනේ. අනෙක පිට අය ළඟ දරුවා දාලා යන එකත් අද කාලේ හරි භයානකයිනේ. මට යන්න නම් පුළුවන්. ඒත් ඉස්කෝලේ මහත්තයත් දැන් ලෙඩ ගාණේනේ ඉන්නේ. හදිසියක් වුණොත් කාට කියන්න ද?”

“හාමිනේගේ කැමැත්තක් කරන්න. දරුවෝ දෙයක් කියද්දි කොහොම ද අහක බලන් ඉන්නේ”

එළිය වැටීගෙන එද්දි පුරුද්දට වගේ හාමිනේට ඇහැරෙනවා. එතකොටත් ඉස්කෝලේ මහත්තයා රේඩියෝ එකේ පිරිත් දාලා. හාමිනේ උදේම දවල්ටත් එක්ක බත් ටිකක් උයා ගන්නවා. ඊට පස්සේ වත්ත පිටියේ පොඩි පොඩි වැඩ කරනවා. ඒ වැඩ ඉවර වුණාම නාලා කියලා බණ පොතක් බලලා නිවී සැනසිල්ලේ දවස ගෙවා ගන්නවා.

දවල්ට කාලා ඉස්කෝලේ මහත්තයා හාන්සි පුටුවෙම ටිකක් ඇල වෙනවා. කම්මැළි කමටත් එක්ක හවසට පන්සලට ගිහින් හාමුදුරුවොත් එක්ක දහම් ගැටලු ටිකක් සාකච්ඡා කරනවා. නැත්නම් වෙද මහත්තයා එක්ක ටිකක් කතා කර කර ඉන්නවා. කොහොම වුණත් ඇඳිරි වැටෙන්න කලින් ගෙදරට එනවා. ඉස්කෝලේ මහත්තයත් එක්ක තේ ටිකක් බිබී දවසේ විස්තර කතා කරන්න හාමිනේ බලන් ඉන්නේ ඒ වෙලාවට.

“පුතා අදත් කතා කළා. ටිකක් තරහින් වගේ”

හාමිනේ කිවුවේ දුක්මුසු කටහඬකින්. ඉස්කෝලේ මහත්තයට පපුව දාලා ගියා වගේ. ඒත් මුකුත් කිව්වේ නෑ

“පොඩි පුතා දොස් කිව්වත් එක්ක, හැමදාම උදවු ඉල්ලන්නෙත් නෑනේ. මෙහෙම වෙලාවක උදවුවක් නැත්නම් වැඩකුත් නෑ කිව්වා.”

ඉස්කෝලේ මහත්තයට මුකුත් කියන්න වචන හොයා ගන්න බැරි වුණා.

“එයාලා එහෙම කියන එක වැරදියිනේ ඉස්කෝලේ මහත්තයා, අපි ඒ කාලේ ඉඳලම දුක් වින්දා. මහන්සියෙන් දරුවෝ ලොකු මහත් කළා, තියෙන හැම සතේම වියදම් කරලා ඉගැන්නුවා. ගුණ ධර්ම කියලා දුන්නා. තියෙන හැම දේපළක්ම ලියලා දුන්නා. මේ බැරි කාලේ අපට පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න දෙන්න එපැයි”

“මට යන්න පුළුවන්. ඔය පුංචි පැටියව බලා ගන්න මේ අත් දෙකේ තාම වාරු තියෙනවා. ඒත්……..” හාමිනේ කතාව ඉවර කළෙත් නැතුව කතාව වෙන පැත්තකට හැරෙව්වා.

“දැන් අතේ කැක්කුම අඩුයි ද ඉස්කෝලේ මහත්තයා”

ඇඳට වෙලා කල්පනා කරමින් හිටිය ඉස්කෝලේ මහත්තයාගෙන් හාමිනේ ඇහුවා

“ටිකක් විතර කැක්කුම අඩුයි දැන්”

“ඒක හොඳ තෙලක් ඉස්කෝලේ මහත්තයා. මෙහෙන් වාඩි වුණා නම් අදත් බෙහෙත් තෙල් ටිකක් ගාන්න”

හාමිනේ බෙහෙත් තෙල් ටිකක් ගාලා හොඳට අත ගෑවා.

“අනේ මන්දා ඉස්කෝලේ මහත්තයා මට යන්නම වෙයි වගේ. දැන් දවස් දෙකක්ම දුව වැඩට ගියේ නැතිලු. පුතාව දාලා යන්න විදියක් නැතුව”

හාමිනේ කිව්වේ හරි දුකින්

“දැං ඇති හාමිනේ. මොනවා කරන්න ද? ඔන්න ඔහේ ගිහින් එන්න”

හැමදාම පුරුද්දට වගේ හාමිනේට උදෙන්ම ඇහැරෙනවා. එතකොටත් ඉස්කෝලේ මහත්තයා රේඩියෝ එකේ පිරිත් දාලා. තේ එකක් බීලා දෙන්නම පිරිත් අහනවා.

එදා සෙනසුරාදා දවසක්. ටිකෙන් ටික ළා හිරු එළිය ලෝබ නැතිව මුළු වත්තම එළිය කළා. වත්තේ කොනේ දාස ගස්වල මල් පිරිලා. මුළු පළාත ම කහ පාටයි. අඹ ගහේ ගෙඩි පිරිලා. ලේන්නු, කුරුල්ලෝ රණ්ඩු වෙවී හරි සතුටෙන් එහාට මෙහාට දුවනවා. වෙනදා වගේ කෑ ගහන සත්තු එළවන්න හාමිනේට හිතුණේ නෑ. පුංචි උන්ට අඹ ගෙඩියක් යවා ගන්න තිබුණා නම්. හාමිනේට නිතරම හිතුණා.

ලොකු දුව ඒවි කියලා මේ දවස් ටිකේ ම හාමිනේට හිතුණා. අද නම් කොහොම හරි ඒවි. පුංචි පැටව් දෙන්නට අඹ ටිකක් කඩලා තියන්න ඕන කියලා හිතුව හාමිනේ අමාරුවෙන් ටිකක් ලොකු උණ ගහක් අරගෙන අඹ ටිකක් කඩන්න බැලුවා.

“හා හා හාමිනේ ඔය මොකද කරන්නේ”

ඉස්කෝලේ මහත්තයා ඉක්මනට හාමිනේ ළඟට ආවා.

“අද ලොකු දුව එයි මගේ හිතේ. පොඩිවුන්ට ගෙඩි ටිකක් කඩලා තියන්න කියලා හැදුවේ”

“හාමිනේ ඉන්නකෝ ටිකක්. දැන් ඔය කොන්දේ කැක්කුමත් වැඩි කර ගන්නවා”

ඉස්කෝලේ මහත්තයා උණ ගහට කෙක්කක් බැඳලා ගෙඩි ටිකක් කඩා ගත්තා.

“මේ ටික අරන් තියන්නම්. පොඩි උන්ට දෙන්න”

හාමිනේ ඇවිත් අඹ ගෙඩි ටික උරයකට දැම්මා.

“මම ඉස්කෝලේ මහත්තයට සුදු ලූණු, උළුහාල් ටිකක් තැම්බුවා. පපුවේ අමාරුව ඇරිලා යාවි. ටිකක් බීලා ඉන්න”

දවල් වෙන කොට ලොකු දුව සුවිනිතා දරුවෝ දෙන්නත් එක්ක ගෙදර ආවා. හාමිනේගේ මුණ පුරා සතුට දෝරේ ගලනවා. ඉස්කෝලේ මහත්තයටත් එහෙමමයි. පොඩි උන්ටත් හරි සතුටුයි.

හිනා වෙවී ආසාවෙන් දරුවෝ දිහා බලා හිටිය ඉස්කෝලේ මහත්තයගේ හිත අතීතයට දිව ගියේ විදුලි වේගයෙන්. ඉස්කෝලේ මහත්තයා කාලයේ වෙනසත් එක්ක ළමා වියේ වෙනස්කම් හිතින් මැන බැලුවේ පොඩි උන් ගැන අනුකම්පාවෙන් හිතන ගමන්.

වත්ත පහළ කොටයක් ළඟ හරි ලස්සනට බිම්මල් පිපිලා තිබුණා. සුවිනීතා හරි කැමතියි හතු මාළුවට. එයා බිම්මල් ටිකක් පරිස්සමට කඩා ගත්තා. පොළේ තියෙන්නේ වස විස පිරුණු කොළ එළවළු බව දන්න සුවිනීතා ගොටුකොළ, මුකුණුවැන්න කොළ ජාති වගේ ම උයන්න පිහන්න ගොඩක් දේවල් එකතු කර ගත්තා. අජිත් අඹ ගෙඩි ටිකක් කඩා ගත්තේ අඹ මාළුවක් කන්න ආසාවට.

සුවිනීතා හාමිනේව ගෙදර එක්කන් යන්න හුඟක් මහන්සි ගත්තා. අම්මා ආවොත් ළමයින්ගේ ආරක්ෂාවටත් හොඳයි. සුවිනීතට හිතුණා.

සුවිනීතා ඉස්කෝලේ මහත්තයට බෙහෙත් අරන් දෙන්න කියලා හාමිනේට සල්ලි දුන්නා. දරුවෝ දුක් විඳලා හම්බ කළ සල්ලි ගන්න හාමිනේට දුකයි. ඒත් දුවගේ හිත නරක් වෙයි කියලා හාමිනේ සල්ලි ටික අතේ ගුළි කර ගත්තා.

“ටික දවසක් ඉන්න යමු කිව්වට අම්මා එන්නේ නෑනේ” සුවිනීතා නෝක්කාඩු කිව්වා

————–

රෑ නිදා ගන්න ඔන්න මෙන්න දුරකතනය නාද වුණා.

හාමිනේ නැඟිටලා ගියා. ඒත් ආවේ නම් එච්චර සතුටකින් නොවේ.

“පොඩි පුතා, හෙට එක්කන් යන්න එන්න ද අහනවා. දුවට සඳුදාටවත් වැඩට යන්න තිබුණොත් හොඳයි කියලා”

දෙන්නගේ හිතේ තිබුණ සතුට හොරු අරන් ගියා වගේ. දෙන්නම කල්පනාව

“මම ගිහින් එන්නම් ඉස්කෝලේ මහත්තයා. මම එහා ගෙදර කමලා දුවට වත් කියන්නම් ඉස්කෝලේ මහත්තයගේ කෑම බීම ටික බලන්න කියලා. වෙන මොනවා කරන්න ද? ඒ දරුවටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති”

හාමිනේ අහක බලාගෙන ම අන්තිමට කිව්වේ වෙන කරන්න ම දෙයක් නැති කමට.

හෙට ඉඳන් ඉස්කෝලේ මහත්තයා කන්නේ මොනවද? ලෙඩක් දුකක් හැදුණම මොකද කරන්නේ? හැන්දැවට තේ ටිකක් වත් වක්කර ගෙන බොයිද? හැන්දෑවට තට්ට තනියම මේ ගෙදර ඉන්නේ කොහොමද? දුක් මහන්සි වෙලා දරුවෝ හදලා දීග තල දුන්නට පස්සෙත් නිදහසක් නෑ නේද කියලා හාමිනේට හිතුණා.

ඉස්තෝප්පුවේ පුටුවට වෙලා හිටිය ඉස්කෝලේ මහත්තයා ඈත කළුවර දිහා බලාගෙන ඔහේ හිටියා. ජීවිතය පුරාම හෙවණැල්ලක් වගේ ළඟින් හිටිය හාමිනේ අද රැයෙන් පස්සේ මේ පාළු ගෙදර නෑ කියලා දැනුණම හදවත ඇතුළේ ගුළි ගැහුණ දුක, සෝකය පුපුරු ගහනවා වගේ ඉස්කෝලේ මහත්තයට දැනුණා. පපුවත් තද කරනවා වගේ ඉස්කෝලේ මහත්තයට දැනුණා. හාන්සි වෙලා ඉන්න අතරේම වමතින් ටිකක් පපුව අත ගා ගත්තා. ඉස්කෝලේ මහත්තයා හාමිනේ කියලා කතා කරන්න හැදුවත් වචනයක් වත් පිට වුණේ නෑ. ඒත් එක්කම ලොකු හුස්මක් ගත්තා.

හාමිනේ ඉස්කෝලේ මහත්තයගේ බෙහෙත් ටික තෝර ගන්න පහසු විදියට සුදානම් කළා. ඊට පස්සේ ඇඳුම් දෙක තුනක් ලෑස්ති කර ගත්තා. ඉස්කෝලේ මහත්තයගේ ඇඳුම් ටිකත් එක තැනකට කළා.

හාමිනේට ඉස්තෝප්පුව පැත්තෙන් නුහුරු හඬක් ඇහුණා. ඒ හඬට ඇහුම්කන් දුන්න හාමිනේට වෙනසක් දැනුණා. ඇඳුම් ටික එහෙම්මම දාලා හාමිනේ ඉස්තෝප්පුවට දුවගෙන ආවා.

අනේ ……………… බුදු මහත්තයෝ………………….

හාමිනේගේ විලාප හඬට එහා ගෙදර කමලා දුවගෙන එනකොට හාමිනේත් ඉස්කෝලේ මහත්තයගේ දෙපා මුල වැටිලා හිටියා.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division