මම චීනයේ සේවය කරන සමයේ වෛද්‍යවරයෙක් වූ මගේ පාසැල් සගයෙක් ඔහුගේ පවුලේ දුවා දරුවෝ සමඟ මගේ නිවසට පැමිණියහ. චීනයේ අධ්‍යාපනය හදාරා තිබුණු ඔහු චීන බස මැනවින් දැන සිටියේය.
“අයියා කොහොමද මෙහේ වැඩ කර ගන්නේ”
චීනයේ සමහර පළාත්වල සන්නිවේදනයට චීන භාෂාව නැතුවම බැරිය. මම පදිංචි වී සිටියේත් බෙයිජින් නගරයේ එහෙම ප්‍රදේශයකය.
“වචන දෙක තුනකින් රෝල ගහගන්නවා” මම කීවෙමි.
ඒ වන විට මම චීන භාෂා පන්තියක අසාර්ථක සිසුවෙක් බවට පත්වෙමින් සිටියෙමි. නමුත් අවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගැනීම, කොණ්ඩය කපා ගැනීම වැනි ඕනෑම දෙයක් චීනයේ ඇවිද තනියම කර ගැනීමට මම පුරුදු වී සිටියෙමි.
“ඇත්තටම අයියා දෙන්නෙක් අතර සංවාදයකදී භාෂාව ඕනෑ වෙන්නෙ 45%ක් වගේ ප්‍රමාණයක් විතරයි.”
අරුණ රබෙල් නැමැති මේ තරුණ වෛද්‍යවරයාගේ කතාව මගේ සිතේ දිගටම හොල්මන් කරන්නට පටන් ගත්තේය.
අප චීනයේ ඉන්නා කාලයේ ‘ගූගල්’ වෙත පිවිසීම තරමක් අසීරුය. කෙසේ වෙතත් අසීරුවෙන් ‘ගූගල් අඩවියට” පිවිස, දොස්තර රබෙල්ගේ කියමන පිළිබඳ තවදුරටත් තොරතුරු සෙව්වෙමි.
ඉරාන ජාතික මහාචාර්ය ඇල්බට් මෙහ් රාබියන් (Albert Mehrabian) පිළිබඳ තොරතුරු ලැබුණේ එවිටය. ඔහු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මේ මහාචාර්යවරයා කියා ඇත්තේ දෙදෙනෙක් අතර සන්නිවේදනයේ දී වචනවල කාර්යය 7%ක් පමණක් බවයි. 55%ක්ම සන්නිවේදනය සිදුවන්නේ ශරීරයේ අභිනයෙනි. කටහඬේ ස්වරය සහ උච්චාවචනය මඟින් 3%8ක් සන්නිවේදනය වෙයි.
වචනවල තේරුමෙන් සන්නිවේදනය වන්නේ, 7%ක් වැනි සුළු ප්‍රමාණයක් නම් භාෂාවක් නොදන්නවා යැයි බියක් ඇති කරගත යුතු නැත. මගේ චීන භාෂා අධ්‍යයනය අධෛර්යය කරවීමට එය හේතුවක් වූවාදැයි නොදනිමි.
මහාචාර්යවරයාගේ කියමන අනුව මට අතීත අත්දැකීම් කිහිපයක් සිහිපත් විය.
වරක් මම නේපාලයට ගියෙමි. ඒ මගේ නේපාලයේ පළමු අත්දැකීමයි. ඉන්දියාවේ සිට නේපාලයට යන විට කුඩා බෑගයක් රැගෙන යා යුතු යැයි තීරණය කර තිබිණි. රැගෙන ගියේ මගේ අත් බෑගය පමණි. එහි තිබුණේ සාලුව සබන් කෑල්ල සහ දත් බුරුසුවය. අනෙක් ඒවා අමතක වෙලාය.
අලුත් ටී ෂර්ට් එකක් සහ කොට කලිසමක් මිලදී ගත යුතු යැයි මම මගේ මිත්‍රයාට කීවෙමි. ඔහු නේපාලය හොඳින් පළපුරුදු කෙනෙකි.
“අර තියෙන්නේ මාකට් එක, ගිහිල්ල ගන්න.”
කට කොනක සිනහවක් රඳවා ඔහු මට අභියෝගයක් කළේය. ටික වෙලාවකින් මම ජීවිතයේ පළමු වතාවට නේපාලයේ ලුම්බිණී නගරයේ ඇඳුම් සාප්පු අතර තනිව ඇවිදිමින් සිටියෙමි.
“සර් වෙයා යූ ගෝ?”
වාසනාවකට මගේ පිටුපස සිටියේ, සැවැත් නුවර ජේතවනාරාමයේ හාමුදුරුවන් ලුම්බිණියට යාම සඳහා අපට ලබා දුන් වාහනයේ රියැදුරා, සෑම්ය. ඔහු හින්දු භක්තිකයෙකි.
ඔහුට යම් තරමකට ඉංග්‍රීසි භාෂාව පුළුවන. මම මගේ කාරණය පැහැදිලි කළෙමි.. ඔහු වහාම මා කැටුව ඇඳුම් සාප්පුවකට ගොඩ වුණේය. එහි සිටියේ නේපාල ජාතික සුන්දර කාන්තාවකි.
ෂර්ට් එකක් සහ කලිසමක් තෝරා ගත් පසු සෑම් එහි මිල ගණන් කතාකරන්නට පටන් ගත්තේය. කාන්තාවගේ මුහුණේ සතුටක් නැත. මගේ රියැදුරු මිතුරා මිල අඩු කරන ලෙස ඇයට බල කරනවා විය යුතුය.
“කීයද මෙයා කියන්නේ” ?
“සර්, එකසිය විස්සක් කියල කියනවා. මම සීයකට අඩු කළා.”
එම වෙළඳපොළේ ඉන්දියානු මුදල් ඒකක භාවිත කළ හැකිය.
ඉන්දියානු රුපියල් සීයක් යනු ඒ කාලයේ හැටියට ලංකාවේ රුපියල් තුන්සීයක් පමණි. එහෙම බැලුවොත් මේ දෙක ඒ ගානට ගජ ලාබය. මම ඒ කාන්තාව දෙස බලා සිනාසුණෙමි. අනතුරුව සිංහලෙන් කතා කළෙමි.
‘ඔයා නං මාරයි.. ඒ ගානට මේක හරිම ලාබයි නේ”,
ඇය කෘතඥතා පූර්වක සිනහවක් පළ කළාය. හින්දි භාෂාවෙන් මොනවාදෝ සෑම්ට කීවාය.
“සර් යූ ආර් වන්ඩර් ෆුල්” සෑම් පුදුමය පළ කළේය. අර කාන්තාව තවත් රුපියල් දහයක් අඩුකර රුපියල් 90කට එකඟ වී තිබේ.
“ෂී සෙඩ් යූ ගුඩ් සර්, ෆොර් දැට් රෙඩුයුස් 10”
රුපියල් විස්සක් අඩු කර ගැනීම සඳහා හින්දි බස කතා කරන සෑම්ට විනාඩි විස්සක් පමණ ගතවිය. නමුත් මා වාක්‍යය දෙකකින් රුපියල් දහයක් අඩු කරගෙන තිබේ.
මේ තත්ත්වය පැහැදිලිවම අවබෝධ වූයේ චීනයේදීය. ග්‍රාමීය කඩ සාප්පුවලදී බොහෝ චීන ජාතිකයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර වැඩක් නැත. මේ නිසා මම පුරුදු සිංහලෙන්ම කතා කළෙමි. බාබර් සාප්පුවේදී මගේ කොණ්ඩය කැපූ කාන්තාවට, “හොඳටම කොට කරන්නැයි” මම කීවේ සිංහලෙනි. ඇයට එය වැටහිණි.
චීනයේ අඩු මිලට බඩු විකුණන විශාල සාප්පු සංකීර්ණයක් තිබේ. එය හැඳින්වූයේ ‘සිලි මාකට්’ කියාය. නමුත් වර්තමානය වන විට එම වෙළඳපොළේ මා කියන තත්ත්වය නැත.
ඒ කාලයේ මෙම වෙළඳපොළට ගොඩ වුණේ විදේශිකයෝ පමණි. ඉංග්‍රීසි වචන කීපයක් දැනගත් වෙළෙන්දෝ රැසක් එහි වූහ. එම වෙළෙඳ සලේ බඩු වල මිල කියන්නේ දහ පහළොස් ගුණයක් වැඩිකරලා බව ඉතා ප්‍රකටය.
සාමාන්‍යයෙන් යුවාන් පනහක පමණ භාණ්ඩයක් ඔවුන් පටන් ගන්නේ යුවාන් දහසකිනි. එය දහසක් වීමට බොහෝ සාධාරණ හේතුත් පෙන්වා දෙනු ලබයි. ඇතැම් විදේශිකයෝ ඒ ගණන්වලට රැවටෙති. මෙම සාප්පු සංකීර්ණයෙන් කිසිදු චීන ජාතිකයෙක් භාණ්ඩ මිලදීගන්නේ නැත. ඒ අය කියන්නේ මේ වෙළෙඳ සලේ ඇත්තේ තත්ත්වයෙන් බාල බඩු බවයි.
කෙසේ වෙතත් අප වැනි අයට හරි යන්නේ ලාභ බඩු තියෙන තැන්ය. අපේ කණ්ඩායම එහි යන විට බලහත්කාරයෙන් මෙන් කවුරු හෝ චීන ජාතිකයෙක් කැටුව යයි. ඔහු හෝ ඇයගේ කාර්‍යය මිල ගණන් අඩුකර දීමයි.
නමුත් මගේ අත්දැකීම වුයේ ඔවුනට වඩා වැඩි ප්‍රමාණයක් මිල අඩු කරගන්නට අපට පුළුවන් කියාය.
මම වරක් මගේ මව වෙනුවෙන් එක්තරා භාණ්ඩයක් මිලදී ගැනීමට එම සංකීර්ණයට ගියෙමි. එම උපකරණය ලංකාවේ තිබුණේ නැත. පසු කලෙක ලංකාවට ආවේ එකක් රුපියල් පන්දහස බැඟින්ය.
ඒ අනුව බැලුවහොත් මෙහි සැබෑ වටිනාකම යුවාන් දෙසිය පනහක් පමණි. නමුත් වෙළඳසලේ සිටි ළාබාල යුවතිය, යුවාන් එක්දහස් පන්සියයක් බව කීවාය. මම ඇයට ඉංග්‍රිසි බසින් මිල වැඩි බව කීවෙමි.
ඇය මගේ අත ගෙන ස්පර්ශ කරන්නට පටන් ගත්තාය. කම්මුලෙන් අදින්නට පටන් ගත්තාය. මෙය ඇයගේ දවසේ පළමුවන වෙෙළඳාම බවත්, යුවාන් එක්දහස් දෙසීයක් දක්වා අඩු කළ හැකි බවත් කීවාය.
මම සිංහල භාෂාවෙන් කතා කරන්නට පටන් ගත්තෙමි. මම කතා කළේ ඉතාමත්ම සරලව සහ සැහැල්ලු සිනහ මූණක් ඇතිවය. කිසිවකුට සැක නොහිෙතන පරිදිය.
“උඹ හිතනවද උඹට මාව රවට්ටන්න පුළුවන් කියලා. යකෝ මේකෙ ගාන මම දන්නවා. මම ඕන නම් පනහක් දෙන්නම්.”
මා කී දේ වැටහුණා සේ ය. ඇය ඇගේ මුහුණේ ඉරියව් වෙනස් කරගත්තාය.
“යූ නෝටි.” ඇය යළිත් හුරතල් වෙන්නට පටන් ගත්තාය. මම සිංහලෙන් කතා කළෙමි. “උඹේ හුරතලේට මම රැවටෙයි කියලා හිතුවාද? මට මේක වටින්නේ ‘ෆිෆ්ටි යුආන්’. දෙනවනම් දීපන්. නැත්තං මම යනවා.”
මම ආපසු හැරී යන්නට උත්සාහ කළෙමි. නමුත් ඇය මගේ අතිත් තදින් අල්ලා ගත්තාය. “ඕකේ.. ගිව් මී 500.”
මම පනහක දැඩි ස්ථාවරයේම සිටියෙමි.
මම භාණ්ඩය ප්‍රතික්ෂේප කර ආපසු යන්නට සැරසුණෙමි. නමුත් ඇය මගේ අත අතහරින්නේ නැත. ඉන් අදහස් වන්නේ මෙහි මිල තවත් අඩුකළ හැකි බවයි. යම් ලෙසකින් ඔවුනට විකිණිය නොහැකි මුදලක් අප යෝජනා කරන්නේ නම් ඔවුන් එම වෙෙළඳාම අත්හරි.
ඇය ටිකෙන් ටික ඇගේ ගණන අඩු කළාය. අවසානයේදී ඇය යුවාන් සියයක් යෝජනා කළාය. මම පනහේ ස්ථාවරයේම සිටියෙමි. එවර ඇගේ දෑස් කඳුළින් තෙත් විය. ඒවා සැබෑ කඳුළු ද, නැතිනම් පුහුණු කර ඇති අයුරුද කියා මට සිතාගත නොහැකිය.
කඳුළු හමුවේ මා පරාජය විය. අවසානයේ ඒ පාද සම්බාහන උපකරණය මිලදී ගත්තේත් යුවාන් හැත්තෑ පහකටය.
මේ කතාව මගේ සගයන් සහ චීන ජාතිකයන් පුදුම කරවන්නක් විය. මගේ දැනුමේ හැටියට අපේ කණ්ඩායම මෙම ක්‍රමය ඉන් පසු දිගින් දිගටම අනුගමනය කළෝය. සාර්ථක ප්‍රතිඵල ලැබිණ.
මේ අනුව මහාචාර්ය ඇල්බට් මෙහ් රාබියන්ගේ සොයා ගැනීම සත්‍යයක් යැයි මම විශ්වාස කරමි. අපගේ ආංගික අභිනය සහ හඬ උච්ඡාවචනය නිවැරදිව ප්‍රකාශ වන්නේ අපේ මව් භාෂාවෙන් කතා කරන විටය.
එවිට මම 9%3 කින් සාර්ථක වී තිබේ.
කවුරුන් හෝ සමඟ කතා කරන විට අප වඩාත් ප්‍රවේසම් විය යුත්තේ ආංගික අභිනය හෙවත් “බොඩි ලැංවේජ්” ගැන යයි මට සිතෙයි.