Home » ථේරවාද ආර්ථිකය

ථේරවාද ආර්ථිකය

by Mahesh Lakehouse
August 31, 2024 12:29 am 0 comment

නාධිපතිවරණයට අදාළව ප්‍රධාන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා ආර්ථික ගැටලු සහ එහි ප්‍රතිඵල ලෙස සමාජගත වෙමින් ඇති නානාවිධ සමාජ අර්බුද පිළිබඳ කිසිදු ප්‍රතිපත්තියක් නොතිබූ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක ද මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා ඇත.

මීට දෑවසරකට පෙර රට ගිනිගනිමින් තිබියදී එගිනි නිවා රට ගොඩනැඟීම පිළිබඳ කිසිදු නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිව විවිධ කොන්දේසි පනවමින් සිටි එම පක්ෂ දෙකම නින්දෙන් ඇහැරුනා සේ සිය ප්‍රතිපත්ති එළිදැක්වීම එක්තරා ආකාරයකින් සතුට ගෙන එන්නකි. එහෙත් ඉකුත් දෑවසරේ නිර්වින්දිතව පසුවූ පාර්ශ්වයන්ට අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අයිතියක් ඇත්දැයි අප ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුය. මන්ද යත් පුරා මාස විසිහයක් අපරිමිත කැපකිරීම් කරමින්, අසීරු වැල් පාලමක් තරණය කර ආරක්ෂා සහිත තැනකට ගෙන එමින් සිටිනා රටේ අනාගත සැලසුම් සකස් කරනා ඕනෑම කෙනෙකු එකී ගමනේ අවදානම දැන හැඳින සිටිය යුතු බැවිනි.

එහෙත් වත්මන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම කළේ ආණ්ඩුව සමඟ එකී අවදානම් ගමනට එක්වීම නොව වැල් පාලම අඛණ්ඩව සොලවමින් ගමනට බාධා කිරීමය. එහෙයින් ඉකුත් මාස විසි හයේ රට ගෙවා දැමූ අසීරු ගමනේ පාර්ශ්වකරුවෙක් නොවී හුදු නරඹන්නෙක් පමණක් වූ විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අලංකාර වාක්‍ය රටාවන්ට ආකර්ෂණය නොවීමේ වැදගත්කම එළැඹෙන 21 වැනිදා ජනාධිපතිවරයා තෝරා ගැනීමට සිය ඡන්දය භාවිත කරන සියලු දෙනා හොඳින් දැන සිටිය යුතුය. ඒ සඳහා වන සරලම ප්‍රවේශය වනුයේ ප්‍රකාශනවලින් ”ප්‍රතිපත්ති ප්‍රකාශනයක්” වෙන්කර හඳුනා ගැනීමේ ශක්‍යතාව සපුරා ගැනීමය.

මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ප්‍රකාශනය නම් කර අැත්තේ ”පුළුවන්” යන නමිනි. එහි හැඳින්වීමම ආකර්ෂණීයය; සටන්කාමීය. එමතුදු නොව එහි එම සියලු දේ ප්‍රායෝගිකය. හිතුවක්කාර ක්‍රියාකාරකම් එහි නැත. කළ හැකි දැයි කිසිවකුට සැක සිතෙන්නේ නැත. ඊට හේතුව එහි අඩංගු සියලු දේ පසුගිය දෙවසරේ ආණ්ඩුව විසින් සාර්ථකව ක්‍රියාත්මක කර මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කළ ඒවා වීමය. එමෙන්ම අදට ද ක්‍රියාත්මක වන්නේද එම ක්‍රමයන්මය. සැකැවින් පවසතොත් බංකොලොත් රටක් දෑ වසරක් තුළ රුපියල් බිලියන දහයක් වැය කර ඡන්දයක් තියනා තැනට ගෙන ආවේ එම ක්‍රමයමය. එබැවින් ඉදිරි වසර පහ සඳහා අරාබි නිසොල්ලාසය බඳු ප්‍රබන්ධ කියැවීමට හෝ හතර අතට සහන බෙදන්නට කරේ එල්ලාගෙන සිටින නත්තල් සීයාගේ තෑගි මල්ලට අත පොවා බලන්නට මෙරට ඡන්ද දායකයන්ට ඕනෑ නැත.

සැබැවින්ම ”පුළුවන්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් කියැවෙන්නේ දෙස් විදෙස් පැසසුමට ලක්ව ඇති ආණ්ඩුවේ ගමන් මඟේ අපේක්ෂිත ගමනාන්තය ගැන මිස අන් දෙයක් ගැන නොවේ. එය ජනතාව සිය දූ දරුවන් වෙනුවෙන් අපේක්ෂා සහගතව සිටි දෙයම මිස අන් කිසිවක් නොවේ.

ප්‍රායෝගික කරුණුවලින් පිරි එහි ථේරවාද ආර්ථිකය ලෙසින් නම්කර ඇති වෙළෙඳ ආර්ථිකය පිළිබඳ පරිච්ඡේදය සිත් ගන්නා සුලුය. එහි අතීත රජ දවස සිට වර්තමානය තෙක් පැවත එන සේද මාවතේ ආර්ථික ක්‍රියාවලිය සහ ලංකාව ඉන් විතැන්වූ අවස්ථාවන් ගැන සන්සන්දනාත්මක ගැළපීමක් ඇතුළත්ය. සිංගප්පූරු සාධකය වෙනුවට තායිලන්තයෙන් සහ වියට්නාමයෙන් උදාහරණ කර කරුණු දක්වයි. ඉකුත් සමයේ ආර්ථික අර්බුදයක ලංකාව සිර වීමට හේතුව අනෙකක් නොව ණය කළමනාකරණයේ දුබලතා බව බුදුරජාණන් වහන්සේ දෙසූ සාමඤ්ඤඵල සූත්‍රය ඇසුරෙන් පෙන්වා දෙයි.

ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමෝපායන්ට ඉහළ ප්‍රමුඛතාවක් දක්වන මෙහි රාජ්‍ය ආර්ථිකය පවත්වාගෙන යා යුතු ආකාරය විග්‍රහ කෙරේ. ඊට අමතරව ජීවන වියදම අවම කිරීම, බදු සහන ලබා දීම, පුද්ගල අයිතීන් සහ වරප්‍රසාද, දේශපාලන සහ මූල්‍ය හිමිකම්, ජාතික ධන සම්පත වැහි ක්ෂේත්‍රයන් ආවරණය කරමින් සාර්ථකව කරුණු දක්වාලයි. රටේ ප්‍රධාන මෙන්ම ජන ජීවිතය හා බැඳුණු වැදගත් ක්ෂේත්‍රයක් වන කෘෂිකර්මය නූතනකරණය කිරීම පිළිබඳ වැදගත් කරුණු රැසක් ”නවීන කෘෂි සංස්කෘතියක්” පරිච්ඡේදයේ ඇතුළත් වෙයි. ගොවි නිෂ්පාදන තරගකාරී මට්ටමකින් මිලට ගැනීම, අපනයන ඉලක්ක කරගත් කෘෂි ව්‍යාපෘති, නූතන තාක්ෂණය මඟින් වඩාත් ලාබදායී සහ දියුණු කෘෂි භාවිතාවන් ලාංකේය ගොවි ප්‍රජාවට ලබා දීම වැනි කරුණු එහි අඩංගුය.

ශ්‍රී ලංකාවේ වඩාත් අවභාවිත වන සම්පතක් ලෙස සාගර සම්පත දැක්විය හැක්කේය. එකී අවභාවිතය නිමා කරමින් වඩාත් ඵලදායි ලෙස සමුද්‍රීය සම්පත් කළමනාකරණය කර එමඟින් ආදායම් ඇති කිරීමටත්, ධීවර කටයුතු සහ සමුද්‍ර අාශ්‍රිත ආර්ථිකයේ වර්ධනය පිළිබඳ ප්‍රායෝගික ඉලක්ක රැසකුත් මෙහි අඩංගුය. පශු සම්පත් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වැනි කරුණු රැසක් පිළිබඳ අනාගත ඉලක්ක පැහැදිලිව ඉදිරිපත් කරන ”පුළුවන්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් අනාගත ලෝකයේ මානව පැවැත්මට තීරණාත්මකව බලපෑමක් කරනා ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණ විපත් පිළිබඳ සාකච්ඡා කරයි. අනාගත ලෝකයේ කිසිම රටකට සංවර්ධනය පිළිබඳ සිය භෞතික ඉලක්ක සපුරා ගැනීමේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේශගුණ විපර්යාසයන්ට නතු වීමට සිදු වෙයි. එහෙයින් ප්‍රායෝගික තලයේදී කෙරෙනා දේශපාලන කථිකාවේදී දේශගුණික විපර්යාස සඳහා ඉහළ තැනක් හිමි වෙයි.

එහෙයින් ශ්‍රී ලංකාව ද සිය අනාගත සංවර්ධන උපායමාර්ග සලසුම් කිරීමේදී දේශගුණික විපර්යාස ගැන සැලකිලිමත් විය යුතුමය. ලාංකේය ඡන්ද දායකයා ලෝකයෙන් ගලවා සිය පක්ෂයේ එහෙයියෙක් කරගැනීමේ සිහිනය දකින්නෝ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් මෙවැනි බරපතළ කරුණු සාකච්ඡා කරන්නේ නැත. ඒවායේ අඩංගු වන්නේ අපි ආවොත් දෙනවා යයි කියනා තෑගි මල්ලේ විස්තරය පමණි. බලයට එන්නේ නැති බව දන්නාම නිසා සුරංගනා කතා ඕනෑ තරම් කීමේ වරදක් ද නැත. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට ඉඳුරාම වෙනස් ස්ථාවරයක පිහිටා කටයුතු කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකශනයේ සැලකිය යුතු වැදගත් තැනක් දේශගුණ විපර්යාස සඳහා ලබා දී ඇත.

කවුරුන් කුමන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළද ජනතවට වටින්නේ වඩාත් ප්‍රායෝගික ක්‍රමය කුමක්ද යන්නය. ඊට හේතුව මහ පොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය කළ නොහැකි ප්‍රතිපත්ති ප්‍රකාශන යනු හුදු කඩදාසි ගොන්නක් පමණක් වන බැවිනි. ඒ අනුව දෙකෝටි විසි ලක්ෂයක් වන ලාංකිකයන් මෙවර ජනාධිපතිවරණයේදී වඩාත් ප්‍රායෝගික සහ සාර්ථක ප්‍රතිපත්ති වෙත සිය සහාය දක්වනු ඇති බව නිසැකය. ඊට හේතුව ඔවුන් නව ක්‍රම සහ ප්‍රතිපත්ති වත්මන් ක්‍රමය සහ ප්‍රතිපත්ති සමග සාපේක්ෂව සංසන්දනය කිරීමය. නව ක්‍රමය යනු ඔබ ඉන්ධන, ගෑස් සහ සහල් පෝලිම්වලින් මුදවාගත් ක්‍රමය ය. විදුලි බිල, ජල බිල අඩු කළ ක්‍රමය ය. ඩොලරය බැස්සූ ක්‍රමය ය, උද්ධමනය තනි ඉලක්කමට ගෙනා ආ ක්‍රමය ය. තවත් පහදා කියන්නේ නම් අඬුව තියෙද්දී කිසිවෙකුට අත පුච්චා ගැනීමේ වුවමනාවක් නැත. ඒ අනුව දෑ වසරකට පෙර අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකිව බංකොලොත් රටක්ව තිබූ ශ්‍රී ලංකාව සාර්ථකය කළමනාකරණයක් සමඟ ඉදිරියට යන රටක් බවට පත්කළ වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරි වසර පහේදීත් ක්‍රියාත්මක කිරීමට ඔවුහු තීරණය කිරීම කිසිවකුටත් වැළකිය හැකි නොවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division