ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ සටනට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්‍ෂය යටතේ ඔබ මෝටර් රථය ලකුණින් තරග කරනවා….කොහොමද ඡන්ද සටන සිදු වන්නේ..?
අපේ අපේකෂකයෝ මේ වන විට ගතානුගතික ක්‍රමයට ඡන්ද එකතු කරමින් ඉන්නේ. අද එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ එක ආසනයක් පමණයි. පොහොට්ටුවට එකතු වූ කණ්ඩායම දැන් විසිරිලා ගිහින්. මේ දවස්වල කුලියට මුදල් ගෙවා විවිධ දේ ලබා දෙමින් ජනතාව රැස්කරවමිනුයි රැස්වීම් පවත්වන්නේ. ඔවුන් හිතනවා රැස්වීම්වල ජනතාව පෙන්වූ පසු ඡන්දය ලැබෙයි කියලා. ලංකාවේ ක්‍රියාකාරීව දේශපාලනයට එන්නේ, රැස්වීම් බලන්න එන්නේ, සංවිධානය කරන්නේ ජන සංඛ්‍යාවෙන් උපරිමය ලක්ෂ දෙකක් පමණයි. නමුත් ලක්ෂ 171 ක ඡන්දදායකයන් පිරිසක් ඉන්නවා. මෙවර රැලිවලින් කිසිදු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දෙවැන්න මෙවර පක්ෂ දෙස බලන්නේ නැහැ. මෙවර බලන්නේ අපේක්ෂකයන් දෙසයි. අද වන විට ඡන්දදායකයා දියුණු වෙලා. අව්වේ වේළෙමින් රැස්වීම් ඉදිරියට ඇවිත් ඉන්න තරම් අද ජනතාව මෝඩ නැහැ. ඔවුන් තවත් දියුණු විය යුතුයි. අද මේ මත නිර්මාණය කිරීමේ වැඩි වගකීමක් දරන්නේ සමාජ මාධ්‍ය. ප්‍රධාන මාධ්‍ය තවත් 30% ක පමණ වගකීමක් දරනවා. ඉතිරිය කැන්වසින් ගොස් ලබා ගන්නවා. මමත් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය සමඟ ප්‍රචාරණ කටයුතු කරනවා. එසේම දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන කටයතු කරනවා. ඊළඟ පාර්ලිමේන්තුවට 225ත්, පළාත් සභාවට 450ත්, පළාත් පාලන ආයතනවලට 8800ක ප්‍රමාණයකටත් අපේක්ෂකයෝ හදාගැනීමට මම දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන කටයුතු කරනවා.
ඔබ පවසන්නේ මෙවර පක්ෂ දේශපාලනය වැඩක් නැති බවද? නමුත් ඉතිහාසයේ වැඩිම හා ප්‍රබල අපේක්ෂකයන් රැසක සමඟයි ඔබේ තරගය පවතින්නේ. ජයග්‍රහණය සම්බන්ධව මොකද හිතෙන්නේ..?
මේ 38 තුළම ඇත්තේ දූෂණයක්. සමහර අපේක්ෂකයන්ගේ උපදේශකයාත් අපේක්ෂකයෙක්. කැබිනට් එකේ සිට ජනතාව පන්නපු ඇමැතිවරයකුත් අපේක්ෂකයෙක්. එයින්ම මේ ප්‍රධාන අපේක්ෂකයන් නුසුදුසුයි. ඒ නිසා සංඛ්‍යාව අදාළ නැහැ. මෙවර ජයග්‍රහණයට 50% කතාව අදාළ වන්නේ නැහැ. 38%කින් 40%කින් හෝ 45% කින් හෝ ජනාධිපති විය හැකියි. සජිත් ප්‍රේමදාසට ලක්ෂ 27ක ගියවර ගත් ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. ජවිපෙ ට හාරලක්ෂ හතළිස් දාහක ඡන්ද ප්‍රතිශතයක් පවතිනවා. ඒවා තවත් වැඩි වෙයි කියා උපකල්පනය කර ලක්ෂ 60කට ගණනය කළත් මේ රටේ ඡන්ද ලක්ෂ 140ම භාවිත කළොත් ඉතුරු ලක්ෂ 80ටයි මෙවර තරගය ඇත්තේ. මෙයින් ඡන්ද ලක්ෂ 50ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බ්ලොක් වෝට්ස්. චන්ද්‍රිකා මැතිනිය සමයේ එය ලක්ෂ 40 සීමාවේ තිබුණා. මහින්දගේ කාලයේ ලක්ෂ 50කට වැඩි වුණා. එතැනින් උඩට යන්නේ තමන්ගේ ජනප්‍රියතාව මතයි. 1994 සිට අද වන තෙක් මේ රටේ ජනතාවගේ ජනාධිපති වූ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කර ගනිමින් ආ අයයි. 2010 මහින්ද යුද්ධය ජයගත් නිසා බ්ලොක් වෝට්ස් ලක්ෂ 50 සිට 60 කට වැඩි කර ගත්තා. ගෝඨාභය තමන් දුන් පොරොන්දු සමඟ එය ලක්ෂ 69 දක්වා වැඩි වුණා. නමුත් පදනම ලක්ෂ 50 ක්. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද. මෛත්‍රිපාල මහතා මහින්ද මහතාව පක්ෂයෙන් නෙරපූ පසු ඔහු පොහොට්ටු පක්ෂය හැදුවා. 2018 පළාත් පාලන මැතිවරණයේදි ඔහු මේ ලක්ෂ 50 ගත්තා. ජනාධිපතිවරණයේදි ලක්ෂ 69 ක් දක්වා වැඩි වුණේ එයයි. මම ආමන්ත්‍රණය කරන්නේ ඒ ලක්ෂ 50 ට. දේශීය සම්පත් ආරක්ෂා කරමින් යන ගමනට අවශ්‍ය ක්‍රමවේදය ඇත්තේ මට පමණයි. අතීතයේදි මම එය ඔප්පු කළා. කැබිනට් ඇමැති ධුරවලින් නෙරපද්දී දේශීය සම්පත් විකුණන එකට මම විරුද්ධ වුණා. විකුණූ ජාතික සම්පත් සියල්ල යළි ලබා ගත්තේ මමයි.
ජනාධිපතිවරණය සඳහා ඔබට ඇති විශේෂ සුදුසුකම එයද?
එයත් විශේෂම සුදුසුකමක්. අනිත් එක අත්දැකීම්. පාර්ලිමේන්තුවට නියෝජිතයන් යවන්නේ පාරවල් හදන්න නෙමෙයි. ඔවුන් ජාතික දේශපාලනය කළ යුතුයි. රටේ ප්‍රතිපත්ති, නීති සම්පාදනය කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා නීති හැදුවා. නීති හදපු වෙන එකම අපේක්ෂකයෙක්වත් ඉන්නවාද? ලලිත් ඇතුලත්මුදලි මහතා තමයි අපේ රටේ වැඩියෙන්ම නීති හදලා වාර්තාවක් තිබ්බේ. ඊට දෙගුණයකටත් වඩා මම සකස් කර තියෙනවා. ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය මම ඉටු කර තියෙනවා. අපේ රට පාලනය කරන්න අපි උගතකුට අවසථාවක් ලබා දීලා නැහැ. පාර්ලිමේන්තුවේ වසර 25 ක් ඉඳලත් මම හැදුවා වගේ එක පනතක් හෝ සකස් කළාද? පනතක් කියවා තේරුම් ගැනීමට හැක්කේ කීයෙන් කී දෙනාටද? අඩුම තරමින් 25 දෙනෙක්වත් නැහැ. අපේ ජනතාවත් වැරදියි. තමන්ගේ මළගෙදර මඟුල් ගෙදර ආපු කෙනාටයි ඡන්දය දෙන්නේ. ඡන්ද කලේ හාල් සේරුව හා අරක්කු බෝතලය දුන් කෙනාටයි ඡන්දය දෙන්නේ. ජනතාවත් මෙහි වගකීම භාරගත යුතුයි.
මුලින් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපතිවරයා පවා සහතික වුණා. ලක්ෂ දහයක පහළොවක මූලික ඡන්ද පදනමක් ඇති පක්ෂයකින් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළේ ඇයි?
1952 ඡන්දයේදී බණ්ඩාරනායක මහතාවත් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ නැහැනේ. ඔහුත් තරග කළේ කරත්ත රෝද ලකුණින්. චන්ද්‍රිකා ආවේ පුටුවෙන්. මහින්ද ආවේ මමයි මංගලයි හදපු බුලතින්. ගෝඨාභය ආවේ පොහොට්ටුවෙන්. එ් නිසා පක්ෂයේ ලකුණ අදාළ වන්නේ නැහැ. අදාළ වන්නේ ප්‍රතිපත්තියයි. පක්ෂයේ පාක්ෂිකයෝ අතීතයේ පවා වෙනත් ලකුණකින් ආවත් ඡන්දය ලබා දුන්නා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අවුල පවතිද්දී ඔබ පක්ෂය රැක ගැනීමට ඉදිරිපත් වුණා. ඒ පාක්ෂිකයන් කළ ගුණ සලකයිද?
මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල සභාපති. නමුත් අධිකරණයෙන් වාරණය කර තියෙනවා. එදා මෙය භාර ගන්නත්, භාර ගෙන අවුල ලිහන්නත් කෙනෙක් සිටියෙ නැහැ. මම මැතිවරණය අවසන් වූ පසු මේ අවුල ලිහා පෙන්වනවා. දැන් දූෂිත යැයි කියාගන්නා මන්ත්‍රීවරු අඩුම තරමින් 200 හෝ ඉවතට දමා අලුත්ම පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන එමේ ක්‍රමවේදය මම සකසා තියෙනවා. දූෂණ විරෝධී පනත්, මැතිවරණ වියදම් සීමා පනත් ගෙනාවේ සෙල්ලම් කරන්න නෙමෙයි. ජෝකර්ලට, හොරුන්ට පාර්ලිමේන්තුවට යාමට ඇති දොර වසා වෘත්තිකයන්ට, බුද්ධිමතුන්ට එතැනට යාමේ ක්‍රමවේදයක් සෑදීමටයි එය ගෙනාවේ. අපි එය පළමුවෙන්ම ක්‍රියාත්මක කරන්නේ මේ මැතිවරණයේදි. නමුත් මැතිවරණ කොමිසම පැහැර හැරියා. ඔවුන්ට අවබෝධයේ නැහැ. ඒ නිසා කෝටි 186 ක් වියදම් කරන්න අවසර දුන්නා. බලන්න කෝටි 186ක් වියදම් කරන කෙනාගේ මාසික ආදායම ලක්ෂ දෙකයි. රජයේ පරිපාලන නිලධාරියකුටත් මේ හා සමාන වැටුපක් තියෙනවා. මේ සියල්ල හොර සල්ලි, කුඩු සල්ලි, පාතාල සල්ලි. මේවා ජාවාරම්කරුවන් දේශපාලනඥයෝ වෙනුවෙන් කරන ආයෝජන. මෙයින් රට බංකොලොත් වීම අහන්න දෙයක් නෙමෙයි. මේ තරම් වංචා දූෂණ සිදුවෙද්දි රට මේ විදියට තිබීම ගැන ජනතාව සතුටු විය යුතුයි.
ප්‍රධාන පක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කර තියෙනවා. ඔබ මොනවද ජනතාවට දෙන පොරොන්දු?
මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි මේ. නිල වශයෙන් ජනගත වන්නේ සැප්තැම්බර් 5 වැනිදා. මම මේ කරණු ගැන දිගින් දිගටම දැනුවත් කරනවා, වංචාව, දූෂණය නතර කරනකම්. අපේ රට හදන්න අවශ්‍ය කරන නීති රාමු 90% ක් කරලා අවසන්. තව එක පනතක් තියෙනවා සම්මත කර ගන්න. ඒ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් හෝ එවායින් ගත් දේපල අධිකරණයට නොගොස් වුවද නැවත රජයට පවරා ගැනීමේ පනත. දැන් එය කළ හැක්කේ උසාවි ගොස් නඩු පැවැරීමෙනුයි. එය ගෙනා පසු මේ රට හදන්න අවශ්‍ය වන නීති අංග සම්පූර්ණයි. මෙය බරපතළ නීතියක් නිසා අධ්‍යයනය කළ යුතුව තිබුණා. අපේ රටේ මේ පිළිබඳ කාටවත් අත්දැකීම් නැහැ. කෙටුම්පත හදන්න වසර දෙකක් ගියා. එදා නාමයෝජනා දෙද්දි ජනාධිපතිවරයාත් සමඟ මම දීර්ඝ කතාවක සිටියේ මේ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙනුයි. ජනාධිපතිවරයාත් එකඟ වුණා ඉතා ඉක්මනට මෙය සම්මත කර ගැනීමට.
ඊළඟට පත්වන රජයක් හරහා මෙය සම්පූර්ණ කරගත හැකි වෙයිද?
ඊළඟට පත්වන රජය මෙය කළ යුතුයි. නමුත් එය සකස් කර ගැනීම සඳහා වූ ආණ්ඩුවක් පිහිටුවීමේ සැලැස්මක් තියෙනවා.
ඔබ බලයට පත්වුණොත් ආර්ථිකය ගොඩගැනීමේ සටනට උර දෙන්නේ කෙසේද?
සමහරු විධායක ජනාධිපතිවරණය අහෝසි කරනවා කියනවා. මොන මෝඩ කතාවක්ද? මෙය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි. මේවා විශ්වාස කරන්න ජනාතව මෝඩ ද? මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මම ජනාධිපති වූ පසු ආණ්ඩුවක් පිහිටුවා නීතියේ ආධිපත්‍ය මම පිහිටුවනවා. නීතියේ ආධිපත්‍ය අවශ්‍යමයි. ආර්ථිකය, අධ්‍යාපනය ගැන කතා කරන්න බැහැ, නීතියේ ආධිපත්‍ය නැතුව. නීතියේ ආධිපත්‍ය අකුරට ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේක්ෂකයෙක් මෙතැන නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මම ඡන්දයට ඉදිරිපත් වන්නෙත් නැහැ.
සේයාරුව – දුෂ්මන්ත මායාදුන්න
සුභාෂිණි ජයරත්න