ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කළහොත් දැනට ක්‍රියාත්මක IMF වැඩසටහන සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා කියලා ඔබ කියනවා. ඔබ එහෙම කියන්න හේතුව මොකක්ද?
ඔව් මම එහෙම කියනවා තමයි. 2020 අගෝස්තු IMF එකට මුලින්ම යන්න කියලා කිව්වෙත් මමයි. එතකොට එදා ඔය ජාජබ කට්ටියයි, ආණ්ඩුවේ කට්ටියයි හිනාවුණා. එදා ඒ අය කිව්වේ IMF යන්න අවශ්‍ය නැහැ කියලා. ඉන්පසුව ආණ්ඩුව IMF එකට යන්න ඕන කියලා තීන්දු කළ විට අපි එයට විරුද්ධ වුණේ නැහැ. දැන් මේ කට්ටිය කියනවා; IMF එක හැරෙන්න වෙන මුකුත් විකල්ප නැහැ කියලා. IMF එකේ වචනයක්වත් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න බැහැ කියලයි දැන් කියන්නේ. මේ අවස්ථාවේදී IMF එක අවශ්‍යයි, රට ගොඩනැඟීමට. අපි එය මුල ඉඳලම තේරුම් අරගෙන හිටියා. හැබැයි අපි දිගින් දිගටම කිව්වා IMFඑකේ ඇතැම් කොන්දේසි ජනතාව පීඩාවට පත් කරන නිසා යම් යම් දේවල් වෙනස් කරන්න සාකච්ඡා කරනවා කියලා. ඒත් ආණ්ඩුව කිව්වා; කිසිසේත් වෙනස් කරන්න බැරි බව. ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා, ඒගොල්ලෝ මේ IMFඑකේ පදනම සම්බන්ධව සාකච්ඡාවක් කරනවා කියලා .එතැනයි ගැටලුව තියෙන්නේ. IMF පදනම තමයි ණය ගෙවීම තිරසර කිරීමේ විශ්ලේෂණය. අපිට ණය ගෙවා ගන්න බැරි නිසා තමයි අපි බංකලොත් වුණේ. ණය ගෙවීම තිරසර කරන්න තමයි අපි IMF එකට ගියේ. එහි පදනමක් තියෙනවා. එම පදනම කිසිසේත් වෙනස් කරන්න බෑ. ඒ පදනම වෙනස් කළොත් IMF මුළු වැඩසටහනම කඩාගෙන වැටෙනවා. අපි පදනම වෙනස් කරන්නේ නැතුව IMF අභ්‍යන්තරය වෙනස් කිරීමටයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව කියනවා ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් කරන්න බැහැ කිව්ව ජනාධිපතිම දැන් ළඟදී ඉඳලා කියනවා IMF එකත් එක්ක මේ බදු වෙනස් කරන්න සාකච්ඡා කරනවා කියලා; එහෙනම් ඒ ගොල්ලො කියල තියෙන්නෙ බොරුවක්නේ. ජනාධිපතිවරයා සහ ජාජබ කියන කතා දෙකේ ම ලොකු වෙනසක් තියෙනවා. ජාජබ කියන්නේ IMF එකේ පදනම වෙනස් කරනවා කියලා. ඒත් එය කරන්න අසීරුයි. එය සියලු වැඩසටහනම ඇන හිටින ක්‍රියාවක්. පදනම වෙනස් කරන්නේ නැතුව අභ්‍යන්තරය වෙනස් කරන්න පුළුවන්.
ණය තිසරසරකරණය විශ්ලේෂණයක් මත IMF ගිවිසුම් ගැන යළි සාකච්ඡා කරන්නේ නම් ශ්‍රී ලංකාව සහ IMF අතර දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඔබ පවසන්නේ ඇයි ?.
මුළු වැඩසටහනම රඳා පවතින්නේ මේ DSA මතයි. එනම් විකල්පණය තිරසර කීරීමේ විශ්ලේෂණය මතයි. මේ DSA කාර්තුවෙන් කාර්තුවට වෙනස් වෙනවා. එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන දේ හරි. දැනටමත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඉවරයි. මේ කියලා තියෙන්නේ මහ දැවැන්ත භයානක දෙයක්. විකල්ප DSA එකක් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. එය හැදුවට IMF භාරගන්නේ නැහැ . අපි අභියෝග කරනවා. විකල්ප DSA එකක් ඒ අය පිළිගනීද කියලා අපිට පෙන්වන්න කියලා. මේ කියන්නේ හැමෝම මුළා කරන්න හෝ නොදැනුවත්කම නිසා. මේ සියලු දේ රඳා පවතින්නේ යම් යම් උපකල්පන මතයි. ඕන කෙනෙකුට විකල්ප DSA එකක් හදන්න පුළුවන්; නමුත් ඒක බාර ගන්නේ නැහැ.
ජනතාවට බොරු නොකියා, IMF සම්බන්ධව විවෘත සාකච්ඡාවකට එන්න කියලා ජනාධිපතිවරයා විවෘත ආරාධනාවක් කරනවා?
ඔව් අපි ලෑස්තියි. අපි ඒක පිළිගන්නවා. අපි ඕන වෙලාවක සූදානම්. ඇත්ත වශයෙන්ම අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව විනිවිඳ භාවයකින් තොරවයි ඔය හැමදේම කළේ; ආණ්ඩුව IMF එකට අත්සන් කරලා ඉවර වෙනකන් අපිට වචනයක්වත් පෙන්නුවේ නැහැ. ඔක්කොම කරලා ඉවර වෙලා දැන් අපිට සංවාදවලට එන්න කියනවා. අපි ණය හිමියොත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවා. ඒක දුන්නෙත් නැහැ. දැන් අද වෙනකොට අපි කියන දේවල් මිනිස්සු විශ්වාස කරනවා කියලා දැනගෙන අපිට විවාදවලට එන්න කියලා කියනවා. අපි ඕන වෙලාවක ලෑස්තියි.
IMF එකේ කොන්දේසි වෙනස් කිරීමට නොහැකියි කියලා ආණ්ඩුව කියනවා. එසේ කළොත් රට නැවත කඩාගෙන වැටෙනවා බව ජනාධිපතිවරයා කියනවා..?
ඇයි IMF කොන්දේසි වෙනස් කරන්න බැරි? අපිට පුළුවන් ඕක වෙනස් කරන්න. පදනම වෙනස් කරන්නේ නැතුව ජනතාවට පීඩා ගෙන දෙන යම් යම් දේවල් වෙනස් කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. වෙනස් කරන්න බැහැ කිව්වට දැන් IMFඑකත් එක්ක බදු වෙනස් කරන්න සාකච්ඡා කරනවා . දැන් පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒ ගොල්ලොමනෙ කිව්වේ අකුරක්වත් වෙනස් කරන්න බෑ කියලා .
සජබ රජයක් යටතේ IMF එක සමඟ නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුමන කොන්දේසි සම්බන්ධයෙන්ද?
අපි IMF එකත් එක්ක කාරණා දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. IMF එකේ ගිවිසුම අනුව ගත් විට, ආර්ථිකය සම්බන්ධව අවශ්‍ය දිරිගැන්වීම් එහි නැහැ, අපිට අවශ්‍ය වෙලා තියෙනවා අපනයන ආර්ථිකයකට රට හරවන්න. IMF වැඩසටහන ක්‍රියාත්මක වන අතරෙ ඒ තුළ සිටයි කරන්න වෙන්නේ. මෙහි පදනම වෙනස් කරන්න අවශ්‍ය නැහැ. දිරිගැන්වීම් කරන්නේ කොහොමද, ආයෝජන ගේන්නේ කොහොමද කියන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි කාරණාව තමයි බදු සම්බන්ධ ප්‍රතිපත්තිය. මේ බදුවල අසාධාරණතාවයක් තියෙනවා. මූලික වශයෙන් වැඩ කරන මිනිස්සුන්ට ගහලා තියෙන උපයන විට ගෙවීමේ බද්ද අසාධාරණයි. ඒක අපි වෙනස් කිරීමට අවශ්‍ය සංශෝධන ගේනවා.
IMF කොන්දේසෙි වෙනස් කළ නොහැකි වන ලෙස එය ස්ථාවර කිරීමට අදාළව පනත් පහක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා නේද.?
සමහර පනත්වලට අපේ විරෝධයක් නැහැ. උදාහරණයක් ලෙස මහ බැංකු ස්වාධීනකරණය කිරීමේ පනත් ,ආර්ථීක කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ පනත, දූෂණ විරෝධී පනතට අපි විරුද්ධ නැහැ. අපි විරුද්ධ වෙලා තියෙන්නේ ආර්ථික පරිවර්තන පනතේ එක් කොටසකටයි.
ඒ හරහා IMF කොන්දේසි වෙනස් කිරීමට නොහැකි වන නිසාද?
එහි දෙවැනි ඡේදයට විතරක් අපි විරුද්ධයි. දෙවැනි ඡේදයේ තියෙන්නේ ආණ්ඩුව IMF එකත් එක්ක එකඟවූ සියලු කාරණා වෙනස් කරන්න බැහැ කියලා. ඒ කොටසට අපි විරුද්ධයි. ඒ කොටස විතරයි අපි වෙනස් කරන්නේ.
ඉතිහාසයේ සිට ඉලක්ක ගත පිරිසට පමණක් නොවෙයි; වෙනත් අයටත් මේ සුභසාධන වැඩපිළිවෙළ යටතේ සහන ලැබුණ බවට චෝදනා තියෙනවා. මේ දේවල් විධිමත්ව කිරීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවාද?
අස්වැසුම තියෙන අවුල තමයි, ඔහේ සල්ලි දෙනව. අපි කරන්නේ එහෙම නෙමෙයි. අපි දෙනවා. හැබැයි ඒක ලබාගන්න ගමන් ඒ මතින් නැඟී සිටින්න ඕන. අනිත් එක අපි එක පාරට ඒක කරන්නෑ. මේ ක්‍රමවේදය අපි හදනවා. එතකම් අපි නවලක්ෂ හැටදහකට රු 5000ක් බැගින් දෙනවා. එය දස දහසක් දක්වා වැඩි කරනවා. තව නම ලක්ෂයකට රු 7,500 බැඟින් දෙනවා; එය 10,000ක් කරනවා. තව හාර ලක්ෂ අසූ දහසකට රු 15,000ක් දෙනවා. එයත් වැඩි කිරීමට අපි කල්පනා කරනවා. අවමය අපි රු 10,000ක් කරනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ජාජබ කියනවා. සජබ ඒ සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද?
ඒ සම්බන්ධව අපි මුල ඉඳලම කිව්වා. ඒක කරන්න ලේසි වැඩක් නෙවෙයි. එයට තුනෙන් දෙකක ඡන්දෙ අවශ්‍යයි. ජනමත විචාරණයක් ඕන. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන.එය සංකිර්ණ වැඩ පිළිවෙළක්.
අත්‍යවශ්‍ය භාණ්ඩ බද්දෙන් නිදහස් කරන බවත් ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බදු සම්බන්ධයෙන් සජබ අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද ?
අපි කළයකට වතුර පුරවනවා නම් එය මුනින් අතට හරවලා වතුර පුරවන්න බැහැ. හරි පැත්තට හරවලා තමයි වතුර පුරවන්න ඕන. ජනතාව ඉන්නේ මහා දැවැන්ත පීඩනයක. හුස්ම ගන්නවත් ඉඩක් නැති මිනිස්සුන්ට හුස්ම ගන්න ඉඩක් දෙන්න ඕන. ඉන් පසුවයි අනිත් දේවල් කරන්න ඕන. ඒක කරලයි අපි අපේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. මේ වෙලාවේ ජනතාවට තියෙන පීඩාව අපි තේරුම් අරගෙනයි ඉන්නේ.
මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ආහාරපානවල මිල ගැසට් ගහලා අඩු කරන්න බැහැ. අපි මුලින්ම බලන්න ඕන ආහාරවල මිල. ඇයි හාල් මිල මෙච්චර වැඩි . ඒ වැඩිවීමට හේතු කීපයක් තියෙනවා. හාල් මාෆියාවක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ හාල් මාෆියාව අපි කඩනවා. මේ මාෆියාව කැඩුවාම එක් පැත්තකින් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් විකුණන්න සහ මිලදී ලබාගන්න පුළුවන්. විසිදහසකට දෙන පොහොර මිටිය අපි පන්දහස දක්වා අඩු කරනවා. අල ලූනු මිරිස්වලට රටපුරා ප්‍රභාෂ්වර කියලා අධික උෂ්ණත්වය සහ සීතල පාලනය කරපු ගබඩා සංකීර්ණයක් හදනවා. අපි හදන්න ගත්තු ඒවා පහුගිය කාලේ නැවැත්තුවා.
ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන පරිදි අමාත්‍යධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර 25කට සීමාවන අතර රාජ්‍ය අමාත්‍යධූර අහෝසි කරන බවත් පවසනවා. අමාත්‍ය ධූර ඒ සම්බන්ධව ඔබ පක්ෂ ස්ථාවරය මොකක්ද?
අපි ඒක තර්කානුකූලව කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට අමාත්‍යධූර තිහක් තියෙනවා .තිහ ඇතුළේ අපි ඒ දේ කරනවා.
සජබ රජයක් යටතේ මාස 24 කින් දිළිඳුකම තුරන් කරනවා කියනවා. බංකොලොත් භාවයට පත්වී යාන්තම් හිස ඔසවන මොහොතක කොහොමද මේක කරන්නේ?
අපි කරන්නේ මිනිස්සුන්ට නිකම් සල්ලි දීලා නෙවෙයි. අපි මුදල් දෙන්නේ නිකම් නොවෙයි. ඒ අයට කරන්න පුළුවන් රැකියාවක් හෝ කිසියම් ව්‍යාපාරයක් ගොඩනඟාගෙන ස්වයංව නැඟී සිටින්නයි උපකාර කරන්නේ.
ඒ කියන්නේ සජබ ආණ්ඩුවක් යටතේ අස්වැසුම වැනි සුභසාධන තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලද?
අස්වැසුම නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒක දෙන්නේ තෝරාගත්ත ඉලක්කගත පිරිසකට නැඟී සිටින්න. යම්කිසි ආකාරයකට ඒ අයට පුළුවන් දෙයක් කරන්න. ගමේ වැඩ කටයුත්තකට හෝ ස්වයං රැකියාවකට තමන්ට හැකි දෙයක් කරන්න ඉලක්කගත පිරිසකට මෙය දෙනවා.
සුභද්‍රා දේශප්‍රිය