රටක් හදන්න පුළුවන්, රටක් වෙනස් කරන්න පුළුවන් කතාවෙන් නෙවෙයි; ක්‍රියාවෙන්. පහුගිය අවුරුදු දෙකේ ඔහු එය පෙන්නුවා. තෙල් පෝලිම්වල හිර වී පීඩා විඳිමින් සිටි ජනතාවක් ඉතා කෙටි කාලයකදී දන්සල් පෝලිම්වල සිනා වෙමින් සිටින තත්ත්වයට පත් කළා.
අසීරු වැල්පාලමෙන් ලක් මාතාව එගොඩ කිරීමේ දැවැන්ත අභියෝගය ඔහු භාර ගත්තා.
මේ සියල්ල ඔහු කළේ සැලසුම්සහගතව; දුර දැක්මක් සහිතව.
ගෙවුණු දෑවුරුද්ද තුළ ඔහු මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු සිදු නොකළ අන්දමට නව අණපනත් ගෙන ආවා. අලුත් නීති රීති සම්මත කළා.
රට නිවැරදි මාවතේ ඉදිරියට ගෙන යෑම උදෙසා ඔහු මෙතෙක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අණ පනත් සංඛ්‍යාව සියයකට ආසන්නයි. දූෂණ විරෝධි පනත, මහ බැංකු පනත, මැතිවරණ වියදම් රෙගුලාසි, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ජාතික සමගි සහ සංහිඳියා පනත, මාර්ගගත ආරක්ෂණ පනත, රාජ්‍ය ණය පනත, විදුලිබල පනත, කාන්තා සවිබලගැන්වීමේ පනත, රාජ්‍ය මුදල් කළමනාකරණ පනත, ආර්ථික පරිවර්න පනත ආදි අණ පනත් හා රෙගුලාසි ඒ අතරින් විශේෂයි.
ඇමැතිවරයෙක් හැටියට වැඩ කරද්දී රටට වැඩක් ඇති වැඩ ඔහු කළා. ඔහු යොවුන් ඇමැති කාලයේ තමයි යොවුන් පරපුරේ දීප්තිමත්ම යුගය. ඔහු අධ්‍යාපන ඇමැති කාලෙ තමයි මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කීර්තිමත්ම යුගය. ඔහු කර්මාන්ත ඇමැති කාලෙ තමයි මේ රට පුරා නව කර්මාන්ත බිහි වුණු යුගය. ඔහු අගමැති හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති කාලෙ තමයි, රටේ ආර්ථිකය වඩාත්ම දියුණු වූ යුගය. වෙන මොන ජනාධිපති අපේක්ෂකයටද ඒ වගේ විජයග්‍රාහී අතීතයක් තියෙන්නෙ?
ඔහු කිහිප වරක් අගමැති පදවියේ හිටියා තමයි. ඒ හැම වෙලාවෙම ඔහුට ඉහළින් ජනාධිපති කෙනෙක් හිටියා. මීට දෑවුරුද්දකට කලින් ඔහු රටේ ජනාධිපති වුණේ ප්‍රථම වතාවට. නිදහසේ රටට වැඩක් කරන්න ලැබුණේ ප්‍රථම වතාවට. අන්ත දුක්ඛිත තත්ත්වයකට වැටිලා තිබුණු රට ඔහු දෑවුරුද්දෙන් ගොඩගත්තා, කාටවත් හිතා ගන්න බැරි විදිහට.
ඔහු විතරමයි, කයිවාරු නැතිව වැඩක් කරලා පෙන්නලා, ඔප්පු කරලා තියෙන්නෙ.
ජනාධිපතිවරයකු තෝරාගැනීම ගැන තවමත් ඔබ දෙගිඩියාවෙන් ඉන්නවා නම්, පහත දැක්වෙන අදහස් විවේක බුද්ධියෙන් කියවා බලන්න; කියවා බලා තීන්දුවක් ගන්න. රනිල්ගේ විශිෂ්ට කාර්යසාධනය ගැන මේ දේවල් කියන්නෙ අපි නෙවෙයි; ජාත්‍යන්තර දේශපාලන, ආර්ථික හා සමාජීය විෂයයන් පිළිබඳ පෘථුල අත්දැකීම් ඇති පිටරටවල්වල මහා විද්වතුන්:
“රටේ සමස්ත ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැප වීම පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා.”
– ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියෝවා මහත්මිය, 2023 සැප්තැම්බර්.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන යන ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම සඳහා මගේ පූර්ණ සහාය හිමි වෙනවා. රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය සමනය කිරීම අරමුණු කරගත් එතුමාගේ මෙම වැඩපිළිවෙළට ප්‍රශංසා කරමින් එතුමාගේ කැපවීම මම අගය කරනවා.”
– දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, 2023 සැප්තැම්බර් 19.
“ශ්‍රී ලංකාවේ වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ජනාධිපතිතුමා අත් කරගෙන ඇති දේ වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කිරීමට අවශ්‍යයි. වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට එතුමා සමත් වී තිබෙනවා.”
– ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා, 2024 ජූලි 18.
“ආර්ථික සහ ක්‍රියාකාරි සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරනවා.”
– ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා, 2024 මැයි 5.
“ණය අර්බුදය විසඳීමට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ඔබතුමා දක්වන නායකත්වය මම අගය කරනවා.”
– ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකො කමිකවා මහත්මිය, 2024 මැයි 4.
“මා සේවය කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් වේගවත් යළි පිබිදීම පිළිබඳ කතාවක් තවත් නැහැ.”
– දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා, 2024 පෙබරවාරි 19.
දෑවුරුද්දක් තුළ මේ සා දැවැන්ත ප්රාතිහාර්යයක් පෑ විශ්වකර්ම මිනිසා රනිල්.
ජනාධිපති අපේක්ෂකයන් අතර එවැන්නෝ නැත්තටම නැත.
එසේ නම් ඔබගේ තේරීම විය යුත්තේ ඔහු නොවේද?
ථේරවාද වෙළෙඳ ආර්ථිකය
අපි ථේරවාද වෙළෙඳ ආර්ථික ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර ඉහළට නංවමින් ආදායම් උපයන්නෙමු. අතීත ලංකාවේ රජරට රාජධානිය ආඪ්‍යව පැවති සමයේ මෙරට ක්‍රියාත්මක වුණේ ථේරවාද සංකල්ප පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමය යටතේ අප චීනයේ සිට පර්සියාව දක්වා රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගනුදෙනු කළා; ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස නම් දැරුවා. මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් ලෙස කීර්තියට පත් වුණා. විශේෂයෙන්ම මුළු පෙරදිගටම ධාන්‍ය බෙදාහැරීමේ යන්ත්‍රණය, පහසුකම් හා හැකියාව තිබුණේ අපටයි. ඒ නිසාම ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලී ලැබුවා.
2022 වන විට ඩොලර් බිලියන 84ක පමණ ණය කන්දරාවක් අපේ පිට පැටවී තිබුණා. ඉන් වැඩි හරිය ගත්තේ පරිභෝජනයට. මේ නිසා අපි වසර දෙකකට කලින් ලෝකයා ඉදිරියේම නින්දාවට පත් වුණා; 2022 වසර වෙද්දී ආර්ථිකය දරුණු හැකිළීමකට භාජනය වුණා; දළ දේශීය නිෂ්පාදිතය කඩාවැටුණා; ආර්ථිකයේ විදේශ අංශයත් බිඳ වැටුණා. මේ නිසා රුපියලේ අගය පහත වැටුණා. 2019 වසරේ රුපියල් 183.61ක්ව තිබූ ඩොලරයේ වටිනාකම 2022 වන විට රුපියල් 363.11ක් බවට පත් වුණා. 2019දී 3.53%ක්ව පැවැති උද්ධමනය 2022 වන විට 70% දක්වා ඉහළ නැග්ගා.
අපි පටන් ගත්තා…
යළි නැඟී සිටීමේ අසීරු ව්‍යායාමය ආරම්භ කරමින් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පටන් ගත්තා. ඒ වෙද්දී රට තිබුණේ ඉතා දුර්වල තත්ත්වයක. සාකච්ඡා පවත්වද්දී එය අපට ලොකු අවාසියක් වුණා. නමුත් සියලු දුෂ්කරතාවන් විඳදරාගනිමින් රට යළිත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට අප වෙහෙසුණා. යළිත් වරක් පුරවැසියන් පෝලිම්වල රස්තියාදු වෙමින්, දුක් විඳින යුගයක් උදා නොකිරීම අපේ අපේක්ෂාව වුණා. ඒ සඳහා අප අනුගමනය කළ ථේරවාද වෙළෙඳ ආර්ථික පිළිවෙත සාර්ථක බව දැන් ලෝකයම පිළිගෙන තියෙනවා.
සැහැල්ලු වෙන ජීවන බර
අපේ පිළිවෙත නිසා 2022දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 ජූලි මාසය වෙද්දී 2.81% දක්වා පහත වැටී තිබෙනවා. රුපියල් හාරසියයකට ඔන්න මෙන්න කියා තිබුණු ඩොලරයේ අගය රුපියල් 300ට වඩා අඩු මට්ටමකට දැන් පහත වැටී තිබෙනවා. 2022 වසරේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 470යි; දැන් 344යි. එදා ඔටෝ ඩීසල් මිල රුපියල් 460යි; අද 317යි. විදුලි බිල අඩු වෙමින් පවතිනවා. ජල ගාස්තු පහළ වැටෙමින් පවතිනවා.
මේ නිසා ජීවන වියදම දිනෙන් දින අඩු වෙනවා. තව කෙටි කලකින් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සඳහා සහන ලබාදීමටත් අපට ශක්තිය ලැබෙනවා.
බදු බරට සහනයක්
2015 සිට ක්‍රියාත්මක කෙරෙමින් තිබූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ 2019දී එවක රජය විසින් අත්හිටුවා දැම්මා. හිතුමතේ බදු කප්පාදු කළා. රජයේ ආදායම ලෝකයේ අඩුම මට්ටමට ඇදවැටුණා. අප මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගියේ 16 වතාවක් ඔවුන්ගේ එකඟතා කඩ කළ බංකොලොත් රටක් විදියටයි. රට ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන් යෝජනා කළ රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රතිපත්තිවලට එකඟ වීම ඒ අවස්ථාවේ රට බේරාගැනීම සඳහා කළ හැකි හොඳම පිළිවෙත වුණා.
ඒ නිසයි බදු පනවන්නට සිද්ධ වුණේ. නමුත් අපේ ආර්ථිකය විනයානුකූලව හසුරුවමින් ශක්තිමත් තලයකට ගෙන ඒමට දැන් අප සමත්ව සිටින නිසා බදු කොන්දේසි යළි සලකා බැලීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබාගත්තා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන බදු ස්තර අතර පරතරය පුළුල් කරලීමටත්, බදු ප්‍රතිශත සංශෝධනය කිරීමටත් අපට අවස්ථාව ලැබෙනවා.
මේ සහනයට අමතරව වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක් ගෙවීමටත් අප පියවර ගන්නවා; ඒ වගේම අතුරු බදු හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වී සිටින නිසා, අප ක්‍රමානුකූලව අතුරු බදු අහෝසි කිරීමට පියවර ගන්නවා. ඉදිරි වසර දෙක තුළ මේ කාර්යයන් නිම කර බදු ගෙවන ජනතාවට සහන සලසනවා.
ඒ වගේම මින් ඉදිරියට:
රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නෑ.
අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.
විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.
සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.
මේ ඉලක්ක හා සීමාවන් ස්ථාවරයි. ඒවා ගැන යළි සාකච්ඡා කිරීමට හෝ වෙනස් කර ගැනීමට හෝ ඉඩක් නෑ. අපේ නිල ණය හිමියන් සහ චීනය අපට සහන ලබා දුන්නේ ඉහත දැක්වෙන ඉලක්ක හා සීමාවන්ට යටත්වයි. ඒ ඉලක්ක හා සීමා සපුරාගන්න බැරි වුණොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය විතරක් නෙවෙයි, ණය සහන සියල්ලත් අහිමි වෙනවා.
මැතිවරණ සමයේ බොහෝ දේශපාලන පක්ෂ මේ ඇත්ත වසං කර විවිධ පොරොන්දු ඔබට දේවි. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නැහැ. ඒ නිසයි බොහෝ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවකට එන්න බැරි.
සැපතින් පිරි රටක් කරා…
අපේ සැලැස්ම අපනයනය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන හා සේවා මඟින් ආර්ථිකය ශක්තිමත් කිරීම. මේ සැලැස්ම ඔස්සේ ඉදිරියට ගියේ නැත්නම් ඉතාම කෙටි කාලයකින් අප දැවැන්ත ආර්ථික අර්බුදයකට යළිත් පත් වෙනවා. මේ මාවතේ ඉදිරියට ගියොත් 2048 වෙද්දී ණය නැති, සංවර්ධිත ආර්ථිකයක් අපට ගොඩනඟාගත හැකි වෙනවා.
අගහිඟකම් නැති පරපුරක්
ඉදිරි අවුරුදු 5ක කාලය තුළ කොවිඩ් වසංගතය වැනි අනේකවිධ උවදුරුවලින් පීඩා විඳින අගහිඟ ඇති ජන අනුපාතය 10% දක්වා අඩු කිරීමට පියවර ඒ සඳහා දැනටමත් සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
අස්වැසුම වැඩසටහන යටතේ ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්රතිලාභ. දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා, ඒ පවුල්වල වකුගඩු රෝගීන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට වෙනම දීමනා
ලස්සන 2048කට…
ථේරවාදි වෙළෙඳ ආර්ථික ගමන්මග ඔස්සේ ඉහළ තරගකාරි, අපනයනය කේන්ද්‍ර කරගත් ඩිජිටල් හරිත ආර්ථික පදනමක් නිර්මාණය කිරීම.
* 2048 වෙද්දී අපේ සියලු ආර්ථික ඉලක්ක ගැනීමට අවශ්‍ය පරිවර්තනය සඳහා පදනම් වෙන මහබැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත වැනි ප්‍රධාන මේ වන විටත් සම්මත කර, ක්‍රියාවට නංවා අවසන්.
මේ මඟින්:
නව රැකියා නිර්මාණය වී රැකියා වෙළෙඳපොළ පුළුල් වීම, ආදායම් ඉපැයීමේ නව අවස්ථා බිහි වී ආදායම් උපයාගැනීම ඉහළ නැඟීම සිදු වේ. හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවෙසක අයිතිය, ජාතික ධනසම්පත (National Wealth Fund) ස්ථාපිත කිරීම, සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීම.
දේපළ හිමිකම
උරුමය වැඩසටහන ඔස්සේ මිලියන 2කට ඉඩම් අයිතිය, කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාස අයිතිය නිවැසියන්ටම
මධ්‍යම පාන්තිකයන්ට නිවාස ඉදිකරලීමට සහනදායි ණය. අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස හිමි කරගැනීමේ පහසුකම්.
වතු කම්කරු ජනතාවට නව ගම්මාන. ලයින් කාමරවල වෙසෙන අයට ඉඩම් කැබැල්ලක අයිතිය
මූල්‍ය හිමිකම
සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් මණ්ඩල සාමාජිකත්වයට දැනට වඩා ශක්තිමත් වෘත්තීය සමිති නියෝජනයක් ලබා දීම.
රජයේ කටයුතු සඳහා එම අරමුදල් උපයෝගී කරගැනීම අවම මට්ටමකට ගෙන ඒම. දේශීය හා ජාත්‍යන්තර සුරක්ෂිත මූල්‍ය ආයතනවල ආයෝජනය කිරීමෙන් 2030 වෙද්දී රටේ විශාලතම ආයෝජන අරමුදල බවට පත් කිරීමෙන් සාමාජිකයන්ට වැඩි ප්රතිලාභ හිමි කර දීම
දේශගුණයේ ගුණ අගුණ
දේශගුණ විපර්යාස පනත ක්‍රියාවට නැංවීම
දේශගුණික කාර්යයන් පිළිබඳ මහ ලේකම් කාර්යාලය සහ දේශගුණ විපර්යාස අරමුදලක් ස්ථාපිත කිරීමෙන් පරිසරය ආරක්ෂා කරගනිමින්, දේශගුණ විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමේ අවකාශය
නවීන කෘෂි සංස්කෘතියක්
ඉහළ තරගකාරි අපනයනය ඉලක්ක කරගත්, වැඩි ආදායම් ලබන නවීන කෘෂි සංස්කෘතියක් හඳුන්වා දීම.
විදේශ වෙළෙඳපොළ අරමුණු කරගත් කාබනික වගාවන් දිරිමත් කිරීම. පොහොර, උපාංග සහ නවීන යන්ත්‍රෝපකරණ ගොවියාට ලබා දීම සහ ගොවි නිෂ්පාදන ඍජුව ගොවියාගෙන්ම මිල දී ගැනීමෙ. රජය සතු ඌන උපයෝජිත ඉඩම්වලින් අලුතෙන් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අපනයන කේන්ද්‍රීය වාණිජ භෝග වගාවන් සඳහා වෙන් කිරීම.
කෘෂිකර්මාන්ත කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ජල අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මල්වතු ඔය, තල්පිටිගල සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ පළමු අදියර 2030 වෙද්දී නිම කිරීම.
වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා රුපියල් 25,000ක සහනාධාර මුදලක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දීම සහ කන්නයෙන් කන්නයට සහතික මිලක් නියම කිරීම.
මහ සයුරේ රළ පතරේ
රට පුරා ඇති ධීවර වරාය නවීකරණය කර ඒවා ධීවර ආර්ථික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම. කුඩා ධීවර යාත්රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමවේදයක්
ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම.
ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ අත්දැකීම් උපයෝගි කරගනිමින් සාගර පතුලේ ඇති විවිධ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩ සැලැස්මක්
කිරි නැති හින්දා රට කිරි දීලා…
ජාතික පශු සම්පත් මණ්ඩලය සමඟ ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක්. එමගින්
ලීටර මිලියන 380ක් වූ වත්මන් වාර්ෂික කිරි නිෂ්පාදනය 2035 වෙද්දී ලීටර මිලියන 820 දක්වා ඉහළට
එවිට දිවයිනේ සියලු පාසල් දරුවනට දිනපතා නොමිලේ නැවුම් කිරි වීදුරුවක්
උසස් ජානමය කිරි හරකුන් 20,000ක් 2025 වසර තුළ දේශීය කිරි ගොවියන් වෙත ලබා දීම
මේ වැඩපිළිවෙළ ඔස්සේ 2035 වෙද්දී දේශීය කිරි ගොවියන්ට ලැබෙන ආදායම රුපියල් බිලියන 40 දක්වා වැඩිවේ
යන්න රට වටේ
සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ තලයකට ගෙන එමින්, වර්තමානයේ මිලියන 2.5ක් වූ සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි පස් වසර තුළ මිලියන 5 දක්වා ඉහළ නැංවීම. වර්තමානයේ එක් සංචාරකයෙකුගෙන් රටට ලැබෙන දළ ආදායම අමෙරිකානු ඩොලර් 150 2035 වන විට අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළට.
කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම අනුරාධපුරය, සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත් කොට, සීගිරිය තරමටම ලෝකයේ ප්‍රචලිත කරලීම.
අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට
කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කළ හැකි මට්ටමකට ඔසවා තැබීමට නව තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණය වූ නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය මෙරටට ලබා ගැනීම
ජාත්‍යන්තර ආයෝජන, තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපරිමයෙන් යොදා ගැනීම. ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආර්ථික කොමිසමක්ද, රටේ ඵලදායි තත්ත්වය නැංවීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා කොමිසමද, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්ද ස්ථාපිත කිරීම.
ඉන්දීය සහය මත බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කිරීම
i. බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරලීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තියෙනවා.
ii. කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් අක්කර 1,000ක නව ආයෝජන කලාපය පිහිටුවීම 2025දී ආරම්භ කෙරේ.
iii. 2027 වෙද්දී දොම්පෙ අක්කර 120ක නව ආයෝජන කලාපයක්. සපුගස්කන්ද ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරමින් එයට තවත් අක්කර 400ක්
iv. අක්කර 4,000ක් පුරා ඉදි වන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර 2026දී.
v. මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන අක්කර 100ක පමණ තාක්ෂණ කලාපයක් 2026දී
මහා පරිමාණ ව්‍යාපෘති හා කර්මාන්ත ඇරඹීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම උදෙසා ජාතික සංවර්ධන බැංකුව 2025 දී ආරම්භ කරනවා.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දෙන ලක්ෂ 25 දක්වා වූ ණය මුදලේ පොලී අනුපාතය 5% මට්ටමට ගෙන ඒම.
විශ්ව ශක්තියට බලශක්තිය
හරිත හයිඩ්රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජන දිරිමත් කරනවා.
2030 වෙද්දී විදුලි සැපයුම් ජාලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම. ශ්‍රී ලංකාව හරිත බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කොට, ඉන්දියාව සහ අසල්වැසි රටවලට බලශක්තිය අපනයනය කිරිම.
ඉදිරි වසර කිහිපය තුළ බලශක්තිය සඳහා පුරවැසියන්ට දැරීමට සිදු වන පිරිවැය අඩු කර, විදුලිය, ඉන්ධන සහ ගෑස් කිසිදු හිඟයකින් හෝ කප්පාදුවකින් තොරව ලබා දීම.
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීම.
ඩිජිටල් මාවත
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේ සම්මත කරගැනීම .
චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත්
අන්තර්ජාල සේවාවන් හඳුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කිරීම.
තරුණ තරුණියන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කිරීම.
වසර තුනක් ඇතුළත මුළු රාජ්‍ය සේවයම කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යටතට ගෙන ඒම. පූර්ණ ඊ-රාජ්‍ය සේවයක් (e-Govermance) නිර්මාණය කිරීම.
අපේ ඩිජිටල් ආර්ථික පංගුව ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම. කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නවතාලන, එමෙන්ම කටහඬ, රූපය ආදියෙහි පුද්ගලිකත්වය හා බුද්ධිමය දේපළ අයිතිය සුරකින නීති රීති සම්පාදනය කිරීම.
ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීම හඳුන්වා දීම.
දැනුමෙන් සන්නද්ධ සමාජයක්
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධ කර වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා (VSSL) නමින් නව ආයතනයක් 2025 වසරේ දී.
පාසලෙන් පිට වන දරුවනට වෘත්තීය පුහුණුව ලබා ගැනීමට 2025 වසරේ සිසුන් 50000කට වෘත්තීය පුහුණුවට අවශ්‍ය මුදල් රජයෙන් සැපයීම.
Chennai IIT (චෙන්නායි තොරතුරු තාක්ෂණ ආයතනය) අනුග්‍රහයෙන් මහනුවර – ගලහ ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් . හේවාගම් කෝරළයේ, සියනෑ කෝරළයේ සහ සත් කෝරළයේ තාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම.
2008 අංක 31 දරන පනතින් පිහිටුවන ලද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය 2026 වෙද්දී ප්‍රතිව්‍යුහගත කොට විමලසුරේන්ද්‍ර තාක්ෂණික විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීම.
2029 වන විට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට
දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය
කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
සියලු ගුරුවරු ගුරුවරියන්ට අලුත් දැනුම සමඟ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළ 2025දී ආරම්භ කිරීම.
වයස අවුරුදු 17 වන විට විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි ආකාරයටම මෘදු කුසලතා, ජීවන නිපුණතා, සාරධර්ම සහිත නවීන පාසල් අධ්‍යාපනය මෙන්ම විභාග හා ඇගයීම් විධිමත් කිරීම.
ඉදිරි දශකය තුළ සියලු පාසල් දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන English for All සැමට ඉංග්‍රීසි වැඩසටහන .ඉංග්‍රීසි ගුරු හිඟය වළක්වාලීමේ කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අලුතෙන් ගුරුවර ගුරුවරියන් 2,500ක්
පෙර පාසල් ක්‍රමය වැඩි දියුණු කිරීම, නියාමනය සහ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් ප්‍රමිතිගතව පුහුණු කිරීම
ආරෝග්‍ය පරමා ලාභා
වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණු වීමේ අවස්ථා
කොළඹ ජාතික රෝහල නව සැලැස්මක් අනුව ජාත්‍යන්තර පහසුකම්වලින් යුතු නවීන රෝහලක් ලෙස යළි ඉදි කර එය දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත් කිරීම.
ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහතික කිරීමට පියවර ගන්නා අතර, ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයන් පිළිගන්නා ඖෂධ ප්‍රමිති සහතික ආයතනයක් ස්ථාපිත කිරීම.
පුද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා.
රටේ ඕනෑම පුරවැසියකුට රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා තමන් කැමති රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි වන පරිද්දෙන් ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම
නිම් වළල්ලෙන් එහා ලෝකයට
2026 වෙද්දී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම.
හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කටයුතු ආරම්භ කිරිම.
පුරවර අසිරිය
කළුතර සිට මීගමුව දක්වා කලාපය තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කිරීම. නගර නිර්මාණය පිළිබඳ ජගත් කීර්තිය දිනූ සිංගප්පූරුවේ සුබානා ජුරොං (Surbana Jurong) ආයතනය සමඟ එක්ව නගර සැලසුම
ස්වාභාවික විපත් නිසා ආපදාවට ලක් වන නගර සඳහාත්, එවැනි අවදානමක් ඇති අලුතෙන් ඉදි වන නගර සඳහාත් නවීන විපත් පාලන සැලසුමක් 2025 වසරේ ආරම්භ කිරීම.
ගමන බිමන
ඩිජිටල් තාක්ෂණය වාහන හැසිරවීමේ සිට රියැදුරු බලපත් ලබාදීම දක්වා ව්‍යාප්ත කිරීම.
විදුලි වාහන භාවිතය දිරිමත් කරමින් ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා
පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත්ව සංවර්ධනය කිරීම.
දැනට ඇති මාර්ග සංවර්ධන කිරීම අඛණ්ඩවම සිදු කරමින් අනාගතයට ගැළපෙන පරිපූර්ණ මහාමාර්ග සැලැස්මක් *මහනුවර අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ඉදිරියටත්.
මේ කාර්යයන් 2025 වසරේ ආරම්භ කරනවා.
උතුරට යතුරක්
අලුතෙන් අරඹන ජල ව්‍යාපෘති ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතිය 2027දී ආරම්භ කිරීම .
පුනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම.
නැඟෙනහිර නවෝදාව
වෙරුගල්ආර සිට පානම – කුමන වෙරළ තීරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිද්දෙන් සංවර්ධනය කිරීම.
වතුකරයට හිරු පායයි
යහපත් ජීවිතයක් වතුකරයේ ජනතාවට ලබා දීම උදෙසා ලැයිමක් වෙනුවට ගම්මානයක් ලබා දීම
වතු පාසල්වල ගුරු හිඟය නැති කිරීම උදෙසා වතුකරයෙන්ම බිහි වන දක්ෂ තරුණ තරුණියන් යොදවාගැනීම තහවුරු කරමින් ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨය පුළුල් කිරිම.
හොරු අල්ලන අණ පනත්
දකුණු ආසියාවේ දූෂණය අවම රාජ්‍යය බවට අපේ රට පත් කරගැනීම උදෙසා
1. දූෂණය පිටුදැකීම උදෙසා පූර්ණ කැප වීම
2. විනිවිදභාවයෙන් යුතු අනාගතයක් උදෙසා ආයතන ශක්තිමත් කිරීම
3. සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධනය
4. ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
මේ යටතේ:
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිම .
2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධී සැලැස්මක් සකස් කර, ක්‍රියාත්මක කිරිම.
විගණන කාර්යන් වඩාත් බලවත් කරලීම උදෙසා, ජාතික විගණන පනත සංශෝධනයට
බදු සහන ලබන ආයතන ලැයිස්තුව ප්‍රසිද්ධයට
ගෞරවනීය කාන්තාව
දැනටමත් සම්මත කර තිබෙන ‘කාන්තාව සවිබල ගැන්වීමේ පනතට’ අනුව කාන්තා අයිතිවාසිකම් සඳහා වෙනම කොමිෂන් සභාවක්
වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු වෙනත් ණය බරින් ඔවුන් මුදාගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තව තවත් පුළුල් කිරීම.
කාන්තා ගෘහමූලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලියක් යටතේ සහන ණය ලබා දීම, ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා උදා කිරිම.
නිවෙසේ, මඟතොටේ, වැඩබිමේ ආදි තැන්වල කාන්තාවන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගැනීම.
දැයට පිපෙන මල්
දරුවන්ගේ මානව හිමිකම් සුරැකීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන් අපයෝජනයට ලක් කිරීමෙන්, අපචාරයන්ගෙන් සහ ලිංගික කටයුතු සඳහා යොදාගැනීමෙන් මුදාගැනීමට අවශ්‍ය නීති රීති සහ අණ පනත් 2025 වසර තුළ සම්පාදනය කිරීම.
යොවුන් වසන්තයේ
ඩිජිටල් දැනුමැති Gen Z ගණයේ වේගවත් යොවුන් පරපුරට රටේ අනාගතය භාර ගැනීම උදෙසා අවශ්‍ය දැනුම සහ පන්නරය ලබා දීම
ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), සේවා දායකයන්ට නිදහස් සේවාවන් සැපයීම (Freelancing), විද්‍ය ුත් වාණිජ කාර්යයන් (E-Commerce) ආදි ක්ෂේත්රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට නිවෙසේ සිටම ආදායම් උත්පාදනය කළ හැකි මාර්ග විවර කිරිම.
සමාජ මාධ්‍ය පරිහරණය කරමින් ආදායම් උපදවාගන්නා යොවුන් පරපුරට ඊට අවශ්‍ය නිර්මාණ සහ තාක්ෂණික මඟපෙන්වීම්. ආර්ථිකය ශක්තිමත් වෙද්දි, පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසරකාමී සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් අවශ්‍ය පසුබිම සැකසීම.
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට එක් කරගැනීම.
ක්‍රීඩාවට ජවයක්
නව ක්‍රීඩා නීතියක් .
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යූහගතකරණයට. කමිටුව ඉදිරිපත් කළ කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තියෙනවා.
ගම්බද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම උදෙසා ගම් මට්ටමින් සහ පාසල් මට්ටමින් විධිමත් වැඩපිළිවෙළක්
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
නවීන සියලු පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රටපුරා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනයට
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව
ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මූලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 වසරේ පාර්ලිමේන්තුවට
සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීම, විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසිම. ඔවුන් සඳහා වූ ගොඩනැඟිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනයට. ඔවුන්ට විශේෂ රැකියා කෝටාවක්
සැමට ගෞරවය
ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය ආදි හේතු මත කිසිදු පුරවැසියෙකුට කවර හෝ හේතුවක් මත වෙනස්කමක් හෝ මදිපුංචිකමක් ඇති නොවන සමාජයක් නිර්මාණය කිරීම.
රාජ්‍ය සේවයට ඉර සේවය
2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයන්ට (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/-ක්
රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000/-ක් ලෙස සලකා අනිකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීම.
වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරලීමට ඉවහල් වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු
මුළුමහත් රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට පරිවර්තනයට. ඊට සහායක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකතන රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබා දිම.
ලබන වසරේ අලුත් රස්සා ලක්ෂයක්…!
2025 වසර තුළ රැකියා 100,000ක් ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි.
විදේශ රාජ්‍යයන් මඟින් සහාය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදී පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක්. රජයෙන් රුපියල් 35,000ක දීමනාවක් . පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සහන ණය
කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන්
රට රස්සා
විදේශ රැකියා කාර්යාංශ පනත සංශෝධනයට. මේ නව පනත යටතේ විදේශ ශ්‍රමිකයන්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදී පහසුකම් රැසක්
විදේශයන්හි රැකියාවන් යෑමට කැමති තරුණ තරුණියන් අදාළ භාෂා ප්‍රවීණතාව සමඟ පුහුණුව.
අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළ
– ත්‍රිරෝද රථ රියැදුරන්, පුද්ගලික බස් සේවකයන්, නාට්ටාමිවරුන්, තෙරපිවරියන්, පවිත්‍රතා සේවක සේවිකාවන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ සිට.
– ඔවුන් සියලු දෙනාට වෘත්තීය ගරුත්වයක් ලබාදීම උදෙසා ප්‍රමිතිගත පුහුණුවක්.
– ණයබරින් පීඩා විඳින ත්‍රිරෝද රථ රියැදුරන්ට ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කරලීම උදෙසා රාජ්‍ය බැංකු මඟින් අවස්ථා ලබා දීම. පුද්ගලික බැංකු සමඟද සාකච්ඡා කර, මේ සහනය ලබා දීමට අප පියවර
රට රැකීම
– ත්‍රිවිධ හමුදාවල තත්ත්වය නඟාසිටුවීම සහ රටේ ආරක්ෂාව ස්ථාවර කරලීම උදෙසා ආරක්ෂක විධිවිධාන (විශේෂ) පනත මේ වන විට සකස් කර අවසන්.
2030ට සරිලන අයුරින් ආරක්ෂක හමුදා නවීකරණය කරලීමේ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම.
– රණවිරුවන් සඳහා ‘එක් නිලයක් – එක් විශ්‍රාම වැටුපක්’ ක්‍රමවේදය මගින් රණවිරු විශ්‍රාම වැටුප් අතර ඇති විෂමතා තුරන් කිරීමට අවකාශය
– උඩින්, යටින්, මුහුදෙන් පොළොවෙන් කවර හෝ පැතිවලින් රටේ ආරක්ෂාවට තර්ජන එල්ල නොවන ලෙස සන්නද්ධ හමුදා බලයෙන්, දැනුමෙන් හා තාක්ෂණයෙන් පෝෂණය කිරීම.
පොලිස් පුනරුදය
පොලිස් නිලධරයන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම සහ කුසලතා වැඩිදියුණු කරලීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරිම. එමඟින් සේවයේ යෙදී සිටියදී උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව
සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.
– ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නව බන්ධනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම.
– බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණුවද ලබා දීමට පියවර
අනීතික මත්ද්‍රව්‍ය දුරැලීම
තහනම් මත්ද්‍රව්‍ය භාවිතය, වෙළෙඳාම, ඇබ්බැහිකම සහ ඇබ්බැහියෙන් අත්මිදීමට ඇති නොහැකියාව සහමුලින් පාලනය කිරීමට පියවර
මත්ද්‍රව්‍ය මැඬලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය සඳහා පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඬලීමේ අණදෙන මූලස්ථානයක් ස්ථාපිත කරලීමට නව පනතක්
සංස්කෘතික පුරවැසියෙක්
– අනුරාධපුරයේ හා පොලොන්නරුවේ නව කැණීම් අතරින් සොයා විමසා ඇති වටිනා උරුමය හදාරා, අලුත් ශ්‍රී ලංකාවට ඒවායින් ගත හැකි ප්‍රයෝජන ලබාගැනීම. ඓතිහාසික මහනුවර ආශ්රිත බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම.
– ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රිම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරින් පහසුකම් ඇති කිරීම. මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරිම.
– ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් ලබා දීමට අරමුදලක් ඇති කිරීම. පැවිදි බිමට පත් මෙහෙණින් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කළ හැකි යටිතල පහසුකම් සැපයීම
– මන්නාරමේ තිරුකේතීශ්වරම්, යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේශ්වරම් යන කෝවිල් පදනම් කර ගනිමින්, දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දීම
– ක්‍රිස්තියානි හා කතෝලික දරුවන්ට, කිතුනු පරිසරයක ආගම ඉගැන්වීම උදෙසා පහසුකම් සැලසම සහ ක්‍රිස්තියානි හා කතෝලික අධ්‍යාපනය ලබා දෙන සෙමනේරිවලට හා මධ්‍යස්ථානවලට රජයේ ආධාර
– ඉස්ලාම් ආගමික අධ්‍යාපනය සඳහා පහසුකම් සලසමින්, මද්රසා අධ්‍යාපනය දියුණු කිරිම. කෝවිඩ් වසංගත සමයේ මුස්ලිම් සිරුරු ආදාහනයට මුහුණ දුන් සියලු පවුල් වෙත වන්දි ලබා දීම.
ලලිත කලා ඔප කරනා…
– අපේ සංස්කෘතියෙහි අනන්‍යතාව රැක දෙන ශිල්පීන් ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට පියවර.
*කොළඹ, ගාලුමුවදොර පිහිටි පැරණි යුද හමුදා රෝහල් ගොඩනැඟිල්ලේ නූතන කලා නිර්මාණ කෞතුකාගාරයක්
– පතපොත මුද්‍රණය සඳහා පහසුකම් පුළුල් කිරිම,
– කලාපයේ සංස්කෘතික හා කලා කටයුතු දියුණු කිරීම සඳහා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පණ ගැන්වීම
– ජනප්‍රිය සංස්කෘතිය ප්‍රිය කරන යොවුන් පරපුර වෙනුවෙන් පොප් සංගීත හා නර්තන කලා මධ්‍යස්ථානයක්
ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්රවණතාවන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත් කර ‘ෆිල්ම් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කිරිම. මෙමඟින් ශ්‍රී ලංකාවේ සිනමාව ජාත්‍යන්තර තලයට හා ඩිජිටල් වේදිකාවන්ට ගෙන යෑමේ සැලසුම්. සිනමා සංවර්ධනය වෙනුවෙන් වැඩ සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන මේ පනත් කෙටුම්පත සම්මත වූවායින් පසුව, චිත්‍රපට ක්ෂේත්රයේ කිසිදු ව්‍යාපාරික කාර්යයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවන අතර නියාමන කාර්යයන් පමණයි.
යහපත් මාධ්‍ය පරිසරයක්
– ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමේ කටයුතු 2025 දී ආරම්භ කිරීම.
-බප්රාදේශීය ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු එකින් එක විසඳීමේ වැඩපිළිවෙළක්.
– ආචාරධර්මීය සුරක්ෂිතභාවය ඇති විනිවිද පෙනෙන, ප්රඥාගෝචර මාධ්‍ය පරිසරයක් උදාකරලීම පිණිස විද්‍ය ුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිම.
එකමුතු ශ්‍රී ලංකා
හැම ජන වර්ගයකටම ඥාතීන්, මිත්‍රයන් ලෙස ජීවත් වීමේ පසුබිම සකස් කිරිම. උතුරු-නැඟෙනහිර කලාපීය සමාජ, ආර්තික, දේශපාලනික හා සංස්කෘතික, අස්පර්ශීය සංස්කෘතික උරුමය සුරැකීම සම්බන්ධව මෙන්ම අධ්‍යාපනික ගැටලුවලටද යථා විසඳුම් හා සමාජ ප්‍රශ්නවලටද පිළිතුරු සැපයීම.
යුද සමයේ අහිමි වූ ඉඩම් පිළිබඳ ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීම සඳහා ජාතික ඉඩම් කොමිසම
යුද සමයෙන් පසු නව ජීවනයකට අවතීර්ණ වෙමින් සිටින උතුරු-නැඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ගැටලු විසඳීම සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසම් පනත ක්‍රියාවට නැංවීම, අතුරුදන් වූවන් පිළිබඳ නවාස් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කිරීම, පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ස්වයං රැකියා කිරීම සඳහා මූල්‍ය සහාය
මහ බලයක්…
13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරලීම පිළිබඳව 2024 වසරේ අප ඉදිරිපත් කළ යෝජනා අනුව;
– ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පළාත් සභාවන්ට බලතල ලබා දීම.
– පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දීම සම්බන්ධ තීරණ ගැනීම නව පාර්ලිමේන්තුවට භාර කිරිම.
– පක්ෂ නායකයන් අනුමත කළ, උපලේඛන 3 හි අඩංගු බලතල පළාත් සභා වෙත පවරා දීම.
– 2025 වසර තුළ දැනට ක්‍රියාත්මක වන නගර සභා ප්‍රතිව්‍යුහගත කොට, මහනගර සභා බවට පත් කිරී.
දිනවමු ශ්‍රී ලංකා
ජනාධිපතිවරණයෙන් පසු, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද, නැතිද යන්න තීරණය කිරීම නව පාර්ලිමේන්තුවට පැවරීම.
මැතිවරණ ක්‍රම
මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ කාර්යය ද නව පාර්ලිමේන්තුව විසින් සිදු කෙරේ.
මැතිවරණ වියදම් සම්බන්ධයෙන් හා අනෙකුත් පක්ෂ ක්‍රියාකාරකම් පිළිබඳව නව නීතිරීති හඳුන්වා දීම.
පාර්ලිමේන්තු ප්‍රමිති පනත
පාර්ලිමේන්තු ප්රමිතීන් පිළිබඳ පනතක් නීති ගත කර ප්රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකි අන්දමේ වගන්ති ඒ පනතට ඇතුළත් කිරීම.
පුරවැසි ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කිරීම
දෙවැනි මන්ත්‍රණ සභාව
ව්‍යවස්ථාදායක සභා වාර්තාවට අනුකූලව පළාත් සභා නියෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කිරීම.
පුරවැසියා බලගැන්වීම
පුරවැසියන් බලවත් කිරීමේ අරමුණ ඇතිව නව නීති රීති සහ ආයතන කීපයක් හඳුන්වා දීම.
මහජන ප්රාරම්භන පනත
මහජනතාවට පාර්ලිමේන්තුව වෙත යෝජනා සහ අණපනත් ඉදිරිපත් කිරීමේ අවකාශය. ව්‍යවස්ථා සම්පාදනයට ඍජුවම සම්බන්ධවීමට පුරවැසියන්ට හැකි වෙනවා.
ජන සභා
ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කරගැනීම. දැනටමත් නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි.
ඉතින් හදමු අපි අලුත් රටක්…!
අපේ මේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව දිනවීමටයි; පක්ෂයක් හෝ පුද්ගලයකු හෝ දිනවීමට නෙවෙයි.
පස් අවුරුදු මෙහෙයුම
රටේ ආර්ථිකය පුපුරා සුන්නද්දූලි වෙලා ගිය වෙලාවේ කිසිදු දේශපාලන පක්ෂයක්, කිසිදු නායකයෙක් රට යළි ගොඩනැඟීමේ අභියෝගය භාර ගත්තෙ නැහැ. මම භාර ගත්තා.
ඔබට මතකද වසර දෙකකට කලින් පැවති ඒ අරාජික යුගය? ගෑස් ටැංකි කර තියාගෙන පෝලිම්වල දවස් ගණන් හිටියා. අම්මා උදේ. දුව හැන්දෑවෙ. තාත්තා මහ රෑ. පුතා පාන්දර. ත්‍රීවීලරයට, වාහනයට පෙට්‍රල් ටික ගහගන්න රෑ තිස්සේ වාහන ඇතුළේ නිදිමැරුවා. තෙල් පෝලිම්වල ජීවිත හානි පවා සිද්ධ වුණා. පීඩනය දරා ගන්න බැරිව ජනතාව පාරට බැස්සා. උද්ඝෝෂණ කළා. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරු මහ පාරේ මරා දැම්මා. අගමැතිතුමා ඉල්ලා අස් වුණා. ජනාධිපතිතුමා ඉවත් වුණා. පුරාජේරු කතා කියමින් සිටි සියලුම දේශපාලන නායකයන් බෑයි කියල අහුමුලුවල හැංගුණා.
මම යූඑන්පීයේ චිට් මන්ත්‍රීකමෙන් පාර්ලිමේන්තුවට ගිහින් උන් තනි මිනිහා. අන්තිමේදී මගේ ගෙටත් ගිනි තිබ්බා. රටම ගිනි ගත්තා. ආයෙත් කවදාවත් සාමකාමී රටක්, විඳවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙයි කියලා කවුරුවත්ම හිතුවෙ නෑ.
ඒත් හැමදාමත් අප්‍රමාණව රටට ආදරය කළ මට, මේ ගිනි ගන්නා රට දැක දැක හැංගෙන්න හිතුණෙ නෑ. මියෙම්වා, රැකෙම්වා කියා මං ගින්නට පැන්නා; ඒ ගින්න නිව්වා.
අද මේ රටේ මිනිස්සු හිනා වෙලා ඉන්න හැටි දකින කොට, අමාරුවෙන් හරි තුන් වේල කනවා දකින කොට, ත්‍රීවිල් යානවාහන පාරේ දුවනවා දකින කොට, කාලෙකට පස්සේ අවුරුදු උත්සව, තෛපොංගල් උත්සව, රාමසාන් උත්සව සතුටින් සමරනවා දකින කොට, වෙසක් සැරසිලි, නත්තල් සැරසිලි පාර දෙපැත්තෙ ඉදි වෙන කොට, දන්සල් දහස් ගණන් රට පුරා සංවිධානය වෙන කොට මට දැනෙන්නෙ නිරාමිස සතුටක්.
එදා හැංගි හැංගි උන් දේශපාලනඥයන් අද කලඑළියට ඇවිත්, ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය බිලියන 10ක මුදල් ජාතික ආර්ථිකයට සොයා දුන් මට පස්පඩංගුවේ බැණවදින කොට මං බලා ඉන්නේ උපේක්ෂාවෙන්.
ඔව්… මං භාර ගත්තේ බංකොලොත් රටක්. දැන් අපි බංකොලොත් භාවයෙන් මිදෙමින්, ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කරගෙන ඉදිරියට යනවා.
2019 අවුරුද්දේ මං අගමැති තනතුරෙන් ඉවත්ව ඉද්දී අපේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 89ක්. හැබැයි 2022 ජනාධිපති පදවිය භාර ගනිද්දී එය අමෙරිකානු ඩොලර් බිලියන 76.9ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 12.1කින් පහත වැටිලා! නමුත් 2023 අවසන් වෙද්දි අපට පුළුවන් වුණා එය ඩොලර් බිලියන 84.4ක් දක්වා ඉහළ නංවන්න.
මේ යන ගමන ඉදිරියටම ගියොත් 2025 අවසන් වෙද්දි එය ඩොලර් බිලියන 89 දක්වා ඉහළ නැංවෙනවා. එතැන් සිට දවසින් දවස එය ඉහළ නැංවෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යන්න යන්න අපේ ආදායම් වැඩි වෙනවා. මිලදී ගැනීමේ ශක්තිය ඉහළ නංවනවා. ජීවන තත්ත්වය උසස් වෙනවා.
මම දැන් අසීරු වැල්පාලමේ ගමන සෑහෙන දුර ඇවිත් තියෙනවා.
ඔබ දැන් කිසියම් සහනයක්, නිදහසක් ලබන්නේ පසුගිය කාලය පුරා ණය නොගෙවූ නිසා කියලා සමහරු කියනවා. ඒක ඇත්තම නෙවෙයි.
මේ අසීරු ගමන් මඟ තුළ අපි ණය ගෙව්වා. 2022 වසරේ ඩොලර් බිලියන 2.5ක් පමණ. 2023 දී ඩොලර් බිලියන 2.6ක් පමණ.
ඉතින් අපට වැල්පාලම තරණය කරන්න යන්න තියෙන්නේ තව ටිකයි. ඒ ටිකත් පරිස්සමෙන් සහ අමාරුවෙන් ගිහින් යහපත් අනාගතයක් හදාගන්නවාද? එහෙමත් නැත් නම් බොරු පොරොන්දු හා එක එක තාලයේ අත්හදා බැලීම්වලට රැවටිලා අගාධයට වැටෙනවාද? හිතන්න…
මම මේ සියල්ල කළේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තියාගෙන. නමුත් මේ ගමන යන්න අවශ්‍ය අණපනත් වගේම සැලසුම් සකස් කරන්න පක්ෂ ගණනාවක සහය ලබාගන්න මට පුළුවන් වුණා. ඒ වගේම රටට ආදරය කරන, විවිධ දේශපාලන අදහස් දරන ඔබ සියලු දෙනා මට සහාය ලබා දුන්නා. අන්න ඒ නිසයි මම ස්වාධීන අපේක්ෂකයෙක් විදියට මේ ඡන්දයට ඉදිරිපත් වෙන්නේ.
මම ඉදිරිපත් වෙන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් නෙවෙයි; විවිධ දේශපාලන අදහස් දරන ඔබ වෙනුවෙන්; පැරණි පරම්පරාවේ සිට අලුත් පරම්පරාව දක්වා විතරක් නෙවෙයි, උපදින්න ඉන්න අනාගත පරම්පරාවත් වෙනුවෙන්; ඔබේ අනාගතය වෙනුවෙන්; අපේ මාතෘ භූමිය වෙනුවෙන්;
ඔව්. මම ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන් ඉදිරි වසර 5 තුළ ඉතිරි ටිකත් කරනවා; රට හදනවා; නිදහසින් වසර සියයක් පිරෙන 2048 වෙද්දී ණය බරින් නිදහස් අපේ මාතෘභූමිය ලෝකයේ සංවර්ධිත, දියුණු රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වෙන කොට මම ජීවත් නොවේවි. නමුත් මම මේ කරන්නේ 2022දී වැටුණු රට අඛණ්ඩව ගොඩ ගෙන, අනාගතය සඳහා ශක්තිමත් පදනමක් දාන එකයි.
ඔබේ හිතවත් රනිල් වික්‍රමසිංහ.