Home » සෝලෝ ටවුන් කියන්නේ ලංකාවේ පළමුවැනි බෝයි බෑන්ඩ් සිනමාපටය

සෝලෝ ටවුන් කියන්නේ ලංකාවේ පළමුවැනි බෝයි බෑන්ඩ් සිනමාපටය

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

– ලංකාවේ පළවැනි වතාවට තමයි මේ වගේ බෑන්ඩ් එකක් පටන්ගෙන තිබුණේ
– ගායනයට වගේම රංගනයටත් ඉතාම ජනප්‍රිය ශිල්පීන් යොදාගැනීම විශේෂත්වයක්

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ශීඝ්‍රයෙන් සංසරණය වන සෝලෝ ටවුන් සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. සෝලෝ ටවුන් කියන්නෙ මොකක්ද? මෙතෙක් කල් ලංකාවේ එහෙම එකක් තිබුණෙද. මේ, මේ දිනවල බොහෝ දෙනාට ඇතිවී තිබෙන ගැටලුය. ඒක බෑන්ඩ් එකක් හරියට බැක් ස්ට්‍රීට් බෝයිස් වගේ කියූ පිරිස් ද වෙති. බීටීඑස්ලත් ඔය වගේ තමයි සමහරු එසේද කියති. මේ සියලු ගැටලුවලට පිළිතුරු සෙවීමට සිතූ අපි එහි නියම හිමිකරුවා සොයා ගියෙමු. ඔහු උදිත කුරේය. සෝලෝ ටවුන් සිනමාපටයේ නිෂ්පාදකවරයාය.

සෝලෝ ටවුන් කියන්නෙ මොකක්ද? කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කියල මුලින්ම කියමුකෝ?

නිෂ්පාදක උදිත කුරේ

නිෂ්පාදක උදිත කුරේ

සෝලෝ ටවුන් සිනමාපටයක් විදිහට එළියට ඒම ඇතුළෙ පසුබිම් කතාවක් තියෙනවා. මම, මගේ බිරිය සෙව්වන්දි වීරසිංහ, චතුරංගන ද සිල්වා සහ ඔහුගේ බිරිය ප්‍රසාදි අබේගුණවර්ධන එකතු වෙලා Stage Adverntures කියන කම්පැණි එක පටන් ගන්නවා. ඒ හරහා තමයි අපි ලංකාවේ පළවැනි වරට බෝයි බෑන්ඩ් එකක් පටන් ගන්නේ. ‘සෝලෝ ටවුන්‘ කියන්නේ ඒ බෝයි බෑන්ඩ් එකේ නම. සාමාජිකයෝ හතර දෙනයි. සාමාන්‍යයෙන් එයාල කරන්නේ ඩාන්ස් කරන ගමන් ගායනය කරන එක. අර බැක් ස්ට්‍රීට් බෝයිස්, බීටීඑස් වගේ. අන්න ඒ සංකල්පයට අනුව නිර්මාණය වුණු එකක්. සෝලෝ ටවුන් සංගීත කණ්ඩායම පටන් ගත්තේ ගිය අවුරුද්දේ අන්තිමේ වගේ. ලංකාවේ පළවැනි වතාවට තමයි මේ වගේ බෑන්ඩ් එකක් පටන්ගෙන තිබුණේ. ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ. ඉතින් අපිට ඕන වුණා මේක හඳුන්වලා දෙන්න. සෝලෝ ටවුන් කියන චිත්‍රපටය නිර්මාණය වෙන්න හේතුව වුණේ ඒක. සෝලෝ ටවුන් සිනමාපටය හරහා සෝලෝ ටවුන් කියන සංගීත කණ්ඩායමත් අපි හඳුන්වා දෙනවා. ඔවුන් මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙනවා.

සිනමා පටයට පෙර ගීත නිකුත් කරන්න හේතුව මොකක්ද?

මේක මියුසිකල් මෙලෝ ඩ්‍රාමා කියන ශානරයට නිර්මාණය වුණු චිත්‍රපටයක්. විවිධත්වයෙන් යුතු ගීත රාශියක් තියෙනවා. ගායනයට වගේම රංගනයටත් ඉතාම ජනප්‍රිය ශිල්පීන් චිත්‍රපටය සඳහා යොදාගැනීමත් විශේෂත්වයක්. අනිත් කරුණ තමයි මේ හරහා අපි සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන්නත් උත්සාහ කරනවා. ටීම් එකක් විදිහට සාමූහිකව වැඩ කටයුතු කරලා පොදු ඉලක්කයක් කරා යන්නෙ කොහොමද කියන එක. ඒ වගේම තනි තනිව ගියොත් මුහුණ දෙන්න වෙන ගැටලු ගැනත් හොඳින් පෙන්වා දෙනවා. වයස් භේදයක් නැතිව නරඹන්න පුළුවන්, රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. තාරුණ්‍යය වඩාත් කැමතිවෙයි කියලා හිතනවා. ජනප්‍රියම ගායන ශිල්පීන් යොදාගෙන කරපු ලස්සන ගීත රාශියක් තියෙන නිසා අපි හිතුවා මුලින්ම ට්‍රේලර් එකත් එක්ක ගීත කිහිපයක් එළිදක්වන්න ඕන කියලා. ගීත ඉක්මනින්ම සමාජගත වන නිසා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා එය සුදුසුයි කියලා හිතුවා. ලංකාවේ ප්‍රදර්ශනයට කලින් සෝලෝ ටවුන් සිනමා පටය කැනඩාවේ හා ඔස්ට්‍රේලියාවේත් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සැප්තැම්බර් 6 වැනිදා කැනඩාවේ ප්‍රදර්ශනය වෙනවා.

මේ සඳහා දායක වූවන් ගැන සඳහන් කරනවා නම්?

නිෂ්පාදනය කරන්නේ මම. තිරපිටපත අධ්‍යක්ෂණය වගේම සංගීත අධ්‍යක්ෂණයත් චතුරංගන ද සිල්වා. සහාය අධ්‍යක්ෂණය සහන් වික්‍රමාරච්චි. කැමරාකරණයෙන් සහන් වික්‍රමාරච්චි සහ පුෂ්පික නිර්මාල්. සංස්කරණයෙන් ලහිරු සහ යශෝද, තිර පිටපත රචනා කරන්නේ චතුරංගන ද සිල්වා, අයේෂා සහ ප්‍රසාදි අබේගුණවර්ධන. ගායනයෙන්, රංගනයෙන් රවීන් කණිෂ්ක, කාංචනා අනුරාධි, ෆැලන් ඇන්ඩ්‍රියා, සුපුන් පෙරේරා, බාජි සුසාන්, මිහිඳු ආරියරත්න ඇතුළු පිරිසක් දායක වෙනවා. සරිත් සුරිත්, බාජි සුසාන්, මිහිඳු ආරියරත්නගේ තාමත් එළි නොදක්වපු ගීත සෝලෝ ටවුන් සිනමාපටය නරඹන අතරේ රසවිඳින්න පුළුවන්. රිලීස් කළ ගීතවලට වගේම චිත්‍රපටයේ ට්‍රේලර් එකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ වෙද්දිත් ඔබ කැනඩාවේ පදිංචි කෙනෙක්?

ඔව්. මගේ බිරියයි දුවයි සමඟ දැනටත් මම කැනඩාවේ ජීවත් වෙන්නේ. මෙහේ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකියාවක නිරත වෙනවා. ඉදිරියටත් මේ වගේ කලා නිර්මාණ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඉතාම ඉක්මනින් සෝලෝ ටවුන් සිනමාපටය විඳින්න සූදානමින් ඉන්න කියලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division