– සිංහසීවලී වගේම නයෝමි වෙනුවෙනුත් මං ලොකු කැපකිරීමක් කළා
– පාරදිගේ බන්ටි වගේම පින්කිත් මගේ රංගන ජීවිතේ ලොකු පෙරළියක් කළා
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ශමීර නාඔටුන්නගේ නවතම සිනමා නිර්මාණය ‘සිහින නෙළුම් මල්’ මේ දිනවල සාර්ථකව තිරගත වෙයි. එහි නයෝමි ලෙසින් සමාජයේ කතාබහට ලක්වන භූමිකාවක් රඟ දක්වන ඇය දුශේනි මියුරංගි ය. මේ ඇයගේ දෙවැනි සිනමා අත්දැකීමයි. සිංහබාහු සිනමා පටයේ සිංහසීවලී ලෙසින් ලද කුලුඳුල් සිනමා අත්දැකීම පන්නරයක් කර ගනිමින් සිනමාවේ හෙමින් ගමනක් යන ඇය පාරදිගේ, සල්ලි පොකුරු ටෙලි නිර්මාණ හරහා පුංචි තිරයේ ද නම රැන්ඳූ දක්ෂ රංගන ශිල්පිනියකි.
සිහින නෙළුම් මල් කියන්නෙ දුශේනිගේ නවතම සිනමා අත්දැකීම. ඒ ගැන මොකද හිතෙන්නේ?
ස්ක්‍රිප්ට් එක ගැන කතා කරද්දිම මට තේරුණා හරිම ලස්සන නිර්මාණයක් කියලා. ඒ වගේම මගේ රංගනයේ මීට කලින් නොදැකපු පැතිකඩක් පෙන්නන්න පුළුවන් අවස්ථාවක් කියලත් හිතුණා. ඒක වෙනස් චරිතයක්. හරිම ආසාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක් වගේම හරිම ආසාවෙන් කළ චරිතයක්.
ඒ සඳහා ආරාධනා ලැබෙන්නෙ කොහොමද?
සිහින නෙළුම් මල් අධ්‍යක්ෂණය ශමීර නාඔටුන්න. ඔහු සමඟ මං මීට කලින් වැඩ කරල නොතිබුණත් සම්මානනීය ‘මෝටර් බයිසිකල්’ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා කියල දැනගෙන හිටියා. ඔහු මට කතා කළේ සිංහබාහු චිත්‍රපටය කරල ඉවර වුණු ගමන්ම වගේ. මේ චිත්‍රපටයේ රඟපාන්න හරිම කැමැත්තෙන් භාර ගත්තා. මේක මගේ දෙවැනි සිනමා අත්දැකීම.
කුලුඳුල් සිනමා අත්දැකීම විදිහට රඟපෑ සිංහසීවලී කියන්නේ වගකීම්සහගත භූමිකාවක්. නියෝමි ඊට වෙනස් චරිතයක්. කොහොමද දැනුණේ?
ඒ චරිත දෙක හාත්පසින්ම වෙනස්. සිංහසීවලී භූමිකාව තුළ මට ලොකුවට වගකීමක් කියන එක දැනුණෙ නෑ. ඒක අවුරුදු 16ක ළාබාල තරුණියකගේ චරිතයක්. හරිම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වුණු චරිතයක් නිසා මට දැනුණ විදිහට ඒ චරිතය තුළ තිබුණු බරපතළකම අඩුයි. ඒත් නයෝමි කියන්නෙ ටිකක් මෝරපු විවාහක කාන්තාවක්. එහෙම බලද්දි ශාරීරිකවත් මට වෙනස් වෙන්න ඕන වුණා. සිංහසීවලී වගේම නයෝමි වෙනුවෙනුත් මං ලොකු කැපකිරීමක් කළා. සමාජයෙන්, පවුල් පසුබිමෙන් ඇයට එන ඝට්ටනත් එක්ක ඒ චරිතය තුළ විවිධත්වයක් තිබුණා. සිනමාපටය නරඹද්දි ප්‍රේක්ෂකයන් ඒක තේරුම් ගනීවි කියලා හිතනවා.
නයෝමි සහ සහන් හරහා කාලීන ප්‍රශ්නයක් ගැන කතා කරන්න උත්සාහ කරල තියෙන්නේ?
ඔව්. මේකෙන් සාකච්ඡා කරන්නේ අද සමාජයේ පවතින ගැටලුවක්. දරුවෙක් නැති එක ඒ දෙන්නටත් වැඩිය ගැටලුවක් කරගෙන තියෙන්නේ සමාජය. තරුණ යුවළක් ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න දරන උත්සාහය තමයි මේකෙන් පෙන්නන්නේ. ඔවුන් ඒ වෙනුවෙන් කරන දේ වගේම ඉන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියන එකත් සාකච්ඡා වෙනවා. නයෝමිගෙ පැත්තෙන් ගත්තොත් මේක කාන්තාවන්ට ගොඩක් දැනෙන චිත්‍රපටයක් වේවි. සහන්ගෙ පැත්තෙන් ගත්තත් පිරිමි අයටත් ගොඩක් දැනෙන නිර්මාණයක් වේවි.
දුශේනිට නයෝමිව දැනුණෙ කොහොමද කියල ඇහුවොත්?
මම නම් හිතන්නේ පෞද්ගලිකත්වය කියන්නෙ පෞද්ගලිකත්වයට. කෙනෙක් නොබැඳ ඉන්නව නම් බඳින්නෙ නැද්ද? පෙම්වතුන් නම් කසාද බඳින්නෙ කවදද? විවාහ වෙලා නම් ළමයි හදන්නෙ නැද්ද? ඔය වගේ අතිශයින් පෞද්ගලික ප්‍රශ්න එයාලටම විසඳගන්න ඉඩ දෙන්න ඕන. ඒ අයගේ පෞද්ගලිකත්වයට පිටස්තරයෙක් හෝ පවුලේ අනෙක් අය වුණත් මැදිහත් වෙන්න හොඳ නෑ. ඒක එයාලට විඳින්න ඉඩ දෙන්න ඕන. අද සමාජයේත් දිනපතාම කවුරුන්ම හෝ මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.
හේමාල් එක්ක ඔබේ පළමු රංගන අත්දැකීම. කොහොමද ඒ අත්දැකීම?
හරිම සහයෝගයෙන් වැඩ කරන නළුවෙක්. ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක්. ඒ වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම සතුටක්. මට හිතෙනවා ඒ සහයෝගයත් එක්ක හොඳ කෙමෙස්ට්‍රි එකක් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි කියලා.
නයෝමි එක්ක නිතරම ගැටෙන සීසර් ගැනත් කියමු?
එයා හරිම ආදරණීයයි. එයාගෙ ඇත්ත නමත් සීසර්. මං සාමාන්‍යයෙන් ලොකුවට කෙයාරින් සත්තු හදල නෑ. සාමාන්‍ය විදිහට හදල තිබුණට. එක පාරටම සීසර්ව ගෙනත් දුන්න යාළු කර ගන්න කියලා. එයා හේමාල් අයියාගේ. එක දවසක් එයාට කෑම දෙන්න පරක්කු වෙලා මං ප්‍රෙෂ් මිල්ක් ටිකක් දුන්නා. ඊළඟ දවසෙ එයාගෙ බඩ අවුල් වෙලා සනීප නැති වෙලා. හේතුව හොයල බලද්දි අර මං දුන්න කිරි නිසා. රඟපාන්න ඇවිත් සීසර්ට ඒ වගේ අත්දැකීමකටත් මුහුණ දෙන්න වුණා.
සල්ලි පොකුරු තාමත් විකාශය වෙනවා. කොහොමද පුංචි තිරයේ තොරතුරු?
ඔව්. තාමත් සල්ලි පොකුරු විකාශය වෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරදිගේ ටෙලි නිර්මාණයේ බන්ටි වගේම පින්කිත් මගේ රංගන ජීවිතේ ලොකු පෙරළියක් කළා. සැප්තැම්බර් 2 වැනිදා ඉඳලා මායාවී කියලා සිරස නාළිකාවේ අලුත් ටෙලි නිර්මාණයක් විකාශය වෙනවා. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයක්. අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජකරුණා. ඒකේ හිතෛෂීවත් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනීවි කියලා හිතනවා.
දුශේනි කියන්නෙත් හුරුබුහුටි ආදරණීය චරිතයක්. දුශේනිගේ ආදරය ගැන කතා කළොත්?
මමත් ආදරය විඳිමින් ඉන්නවා කියල තමයි දැනට කියන්න තියෙන්නේ.
නාමලී ගමගේ