සසර මඟ අත නෑර තනියට
හුස්ම සේ සිත ළඟ සිටී
මේ භවේ දෙතැනක තැවෙන්නට
කොහොම මඟ හැරුණද අපි
නෙළනු බැරි දුර උයන් කෙළවර
සුවඳ දී හිනැහෙන් පිපී
මගේ නොවුණැයි කියා නුඹ
මේ සිතේ කිසි කහටක් නැතී
ගව් ගණන් දුර වුවත් අප අද
සිතින් නුඹ මා ළඟ ඇතී
දරාගෙන මේ ප්‍රේමයේ දුක්
සිනාසෙමු සොඳුරියෙ අපි
ගායනය – ඩේසික කමලංජන දසනායක
පද රචනය – සුරංගා දිසානායක
සංගීතය – දර්ශන වික්‍රමතුංග
බිඳ වැටෙන ප්‍රේමය හමුවේ හඬා වැටුණ, ජීවිත කාලයම හඬා වැටෙන, කඳුළු හංඟාගෙන ජීවත් වන මිනිස්සු අපට කොච්චර නම් මේ සමාජයේදී හමුවෙලා තියෙනවද? එහෙම චරිත හමුවුණා කියලා, ප්‍රේමයෙන් රිදිච්ච හිත් එක්ක ජීවත් වෙන අවසාන කෙනා ඔහු නෙවෙයි. අපට හමු වුණ අවසන් පරාජිත පෙම්වතා පෙම්වතියද ඔහු නොවේ.
ප්‍රේමය වෙනුවෙන් හඬා වැටෙන හිත් වෙලාවකට දරුණු වෙනවා. ඒත් හැම පෙම්වතියක්ම, හැම පෙම්වතෙක්ම එහෙම දරුණු නැහැ. ජීවිතේ දරා ගන්න අමාරු තැන්වලත් ජීවිතය දරාගෙන ජීවත්වන, හුදෙකලාවේ තනිවුණ බොහෝ චරිත අපට හමුවේ. සමහර විට ඉදිරියේදිත් එවන් චරිත මේ සමාජයේදී අනන්තවත් අපට හමුවේවි.
මේ මට හමුවූ එවන් චරිත දෙකකි. කිහිපවරක්ම පන්සලේදී මට ඇයත් ඔහුත් හමුවිය. දුටු පළමු දිනම ඔවුන් හිනැහුණි. ඉන් පසු කිහිපවිටක්ම ඇය මට මහමඟදි හමුවිය. දැන හැඳුනුම්කම්වලින් ඇරඹි අපේ මිතුරුදම අප බොහෝ ළෙන්ගතු මිතුරියන් බවට පත් කළේ අපටත් නොදැනීමය.
“හුඟ දවසකින් ඔයාගේ මහත්තයා දැක්කේ නෑ … එයා කොහෙ හරි දුරක ගිහින්ද?”
දිනෙක මම යෙහෙළියගෙන් ඇසිමි. ඇය මදෙස බැලූයේ පුදුමයෙනි.
“මගෙ හස්බන්ඩ්….? මම බැඳලා නැහැනෙ”
“අනේ සමාවෙන්න… අර ඔයත් එක්ක මම පන්සලේ ඉන්නවා දැක්ක කෙනා ගැන… මම හිතුවේ එහෙමයි… මට සමාවෙන්න…”
“ආ….”
ඇය විනාඩි ගණනාවක් නිහඬව සිටියාය. ඇගේ දෑසින් කඳුළු වැටිණි. මට මා ගැනම ඇති වුයේ තරහකි.
” මං මොකටද එයාගෙන් ඒ ගැන ඇහුවේ.” මහිත දොස් කීවේය. ඇයත් මමත් කොතරම් වේලා නිහඬව සිටියේදැයි නොදනිමු. බොහෝ වේලාවකට පසු ඇය හඬ අවදි කළාය.
” සමාවෙන්න මට… මම ඔයාට මෙච්චර දවස් මොකුත්ම නොකිව්වට. එයා මගේ මහත්තයා නෙමෙයි. එයා මගේ ඉස්සර පෙම්වතා.. ඇත්තම කිව්වොත් අපි තාමත් පෙම්වතුන්… ඔයාට පුදුම හිතෙයි. දැන් නම් මගෙ බඳින වයසත් පහුවෙලා. එයාගෙත් එහෙමයි. අපේ මේ ඇසුරට දැන් අවුරුදු දහයකට වැඩියි.”
මම ඇය දෙස බලා සිටියේ පුදුමයෙනි.
“මගෙ අම්මා ගුරුවරියක්.. තාත්තත් ගුරුවරයෙක්. මගෙ පවුලේ අක්කයි මමයි විතරයි. අක්කා විවාහ වෙලා දැන් ඉන්නේ ගාල්ලේ. මම වැඩ කළේ පුද්ගලික අංශයේ තැනක. එයත් ඒ ඔෆිස් එකේමයි. අපි දෙන්නා අඳුනගෙන මාසයකට විතර පස්සේ තමයි අපි අතර සම්බන්ධයක් ඇති වුණේ. එයාට තිබුණා කුල ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න අපේ පවුලට නොගැළපෙන වෙන දේවල් තිබුණේ නැහැ. අවුරුදු ගණන් මාස ගණන් තිස්සේ ඇදි ඇදී ගිය මේ කුල ප්‍රශ්නෙට දැන් අවුරුදු විස්සක්. එයා දවසක් මට කිව්වා අපි කොහේ හරි යමු කියලා. ඒත් අම්මගෙයි තාත්තගෙයි හිත රිදවලා මං කොහොමද ගෙදරින් යන්නේ. මං එයාට ඒ බව කිව්වා. කාලයක් ගියා, අපේ ආදරයට නැවතීමේ තිත තිබ්බා. එයාගේ අම්මා එයාට මංගල යෝජනාවක් ගෙනාවා. අකැමැත්තෙන් වුණත් එයා අම්මගෙ කීමට කැමැති වුණා. අන්තිමට විවාහ වුණා. දැන් එයාට දරුවෙකුත් ඉන්නවා. එයා විවාහ වුණත් මාත් එක්ක යාළුකම තියාගන්න උත්සාහ කළා. මට හිතුණා ඒකෙන් අපි දෙන්නගෙම ජීවිත අවුල් වෙන බව. මම රස්සාවෙන් අස්වුණා. වෙනත් රස්සාවකට ගියා. කාලෙකට පස්සේ මගෙ තාත්තා මිය ගියා. ඉන් අවුරුද්දකට විතර පස්සේ අම්මත් මියගියා. අක්කා හැමවෙලාවෙම මට කිව්වේ පිළිවෙළක් වෙන්න, පහුගිය දේවල් අමතක කරන්න කියලා. ඒත් මට එයාව අමතක කරන්න හරි අමාරුයි. මම මගෙ හිතත් එක්ක රණ්ඩු වුණා. එයාට පුළුවන් වුණා නම් විවාහයක් කර ගන්න ඇයි ඔයාට බැරි කියලා. මගෙ හිත වෙන කෙනෙක්ට ඉඩක් නැති තරම්, එයා ගැන ආදරෙන් පිරිලා තියෙන්නේ. මාසයකට දෙකකට වතාවක් එයයි මමයි හමුවෙනවා පන්සලේදී. දැන් අපි වයසයි. එයා තවමත් මට ආදරෙයි. ඒත් එයා වෙන කෙනෙක්ගේ…ඉස්සර තරම්ම ආදරයක් නැති වුණත් මගෙ හිතට එයා ගැන තියෙන බැඳීම නැති කරන්න හරි අමාරුයි…” ඇය එහෙම කිව්වේ දැස් අග එකතු වුණ කඳුළකට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්. ඒ, එක් කතාවක් පමණි. මෙවන් පෙම්වතියන් පෙම්වතුන් තවත් ඕනෑ තරම් සිටිය හැකිය.
වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වන නව පරපුරේ ගායන ශිල්පී දේශික කමලාංජන ගයන
“සසර මඟ අත නෑර තනියට
හුස්ම සේ සිත ළඟ සිටී
මේ භවේ දෙතැනක තැවෙන්නට
කොහොම මඟ හැරුණද අපි…”
මේ ගීතය ඇසූ විට යෙහෙළියගේ කතාව සිහි වුයේ නිතැතිනි. ගීතය ලියන්නේ නව පරපුරේ ගී පද රචිකාවක් වන සුරංගා දිසානායක ය. ඒ පද සංගීතවත් කරන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගයන් ය.
“සසර මඟ අත නෑර තනියට…” ගීතයේ අත්දැකීම පිළිබඳ ගීපද රචිකා සුංරගා පවසන්නේ මෙවන් කතාවකි.
“අපේ සමාජයේ තරුණ තරුණියන් අතර බැඳීම ඇති වෙනවා …. එක්කෝ ඒ බැඳීම් සාර්ථක වෙනවා.. එහෙමත් නැත්නම් අතරමඟදි ඒ බැඳීම් කැඩිලා බිඳිලා යනවා. මං දන්න අය ඉන්නවා දෙන්නා දෙපැත්තකට වුණත් ඒ අය අතර කිසිම තරහක් නෑ. ජීවිතේ අමතක කරන්න බැරි බැඳීම් බොහෝම වේදනාවෙන් දරා ගත්ත අය, ඒ වෙනුවෙන් ඔවුන්ගේ හදේ නැඟෙන සුසුම්, ඇසේ නැඟෙන කඳුළු ගැන හිතලම තමයි මගේ හිතේ මුලින්ම මේ පද පෙළ ලියැවුණේ. ගීතයේ එක් තැනකදි මට මෙහෙම ලියැවෙනවා.
“ගව් ගණන් දුර වුවත් අප අද
සිතින් නුඹ මා ළඟ ඇතී
දරාගෙන මේ ප්‍රේමයේ දුක්
සිනාසෙමු සොඳුරියෙ අපි”
මේ සමාජයේ කොතෙක් නම් ඇතිද එවැනි ආදරවන්තයින්. ඔවුන් හැම කෙනෙක් වෙනුවෙන්මයි මගෙ අතින් ඒ ගීතය ලියැවුණේ. දේශික කමලාංජන සොයුරා මේ පද පෙළ හරි අපූරුවට ගයනවා. ඒ වගේම දර්ශන වික්‍රමතුංග සොයුරාගේ සංගීත නිර්මාණයත් ඊටම ගැළපෙනවා. මේ වන විට ගීතයට බොහෝම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඒක මට සතුටක්.”
ඉනෝකා සමරවික්‍රම