Home » මාක් සකර්බර්ග් බිරිඳට දුන් අපූරු තෑග්ග

මාක් සකර්බර්ග් බිරිඳට දුන් අපූරු තෑග්ග

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment
කසුන් අරවින්ද

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් නිතර මාධ්‍ය තුළ පුවත් මවන්නෙක් බව රහසක් නොවෙයි. බොහෝ අවස්ථාවල ඔහු මේ ආකාරයෙන් අවධානයට ලක්වන්නේ ඔහුගේ සමාගම්වලට අදාළ කාරණා නිසා යි. නමුත් පසුගිය සතියේ සකර්බර්ග් ඊට වඩා හාත්පසින්ම වෙනස් කාරණයක් නිසා මාධ්‍ය තුළ ලොකු අවධානයක් දිනාගෙන තිබෙනු දකින්න ලැබුණා.

මෙයට පසුබිම් වී තිබුණේ මාක් සිය බිරිඳට දුන් තෑග්ගක්. ඔහු මෙයට ටික දිනකට පෙර මේ ආකාරයෙන් ඔහුගේ බිරිඳ ප්‍රිසිලා චෑන්ට තෑගි දී තිබුණේ ඇයගේ රුව රැගත් විශාල ප්‍රතිමාවක්. ඉතා අපූරු ප්‍රතිමාවක් වූ එය අඩි 7ක් උස බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. ප්‍රිසිලා රිදී පැහැති රෙද්දක් පොරවාගෙන සිටින ආකාරයක් මෙයින් නිරූපණය වෙනවා. මෙම ප්‍රතිමාව පිහිටුවා තිබෙන්නේ මාක් – ප්‍රිසිලා දෙදෙනා වාසය කරන නිවසේ ගෙවත්තේ බවයි සඳහන් වන්නේ. එය ප්‍රසිද්ධ මූර්ති ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ෂම්ගේ නිර්මාණයක් බවත් සඳහන්. මෙය තඹ සහ වානේ ඇසුරෙන් තනා ඇති බවක් පෙනෙන බවත් ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුණා.

තම බිරිඳ මෙම ප්‍රතිමාව අසල සිටගෙන කෝප්පයකින් යමක් පානය කරමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් මාක් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබෙනු දැකිය හැකි වූ අතර, එයට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණා. මෙම ඡායාරූපයෙහි ප්‍රිසිලා අත ඇති කෝප්පයත් ප්‍රතිමාවේම පාටින් නිම වූ එකක්.

“බිරියන්ගේ ප්‍රතිමා තැනීමේ පැරණි රෝම සම්ප්‍රදාය නැවත කැඳවීමක්” මාක් සිය ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපය සමඟ එවැනි සටහනක් ද යොදා තිබෙනවා. පැරණි රෝම ප්‍රතිමා කලාවෙන් ලද ආභාෂය මෙම ප්‍රතිමාව තුළ දැකිය හැකියි.

මාක්ට මේ කාලයේ සිය බිරිඳ වෙත මෙවැනි තෑග්ගක් දීමට විශේෂ හේතුවක් නොතිබුණු බවයි සඳහන් වන්නේ. පසුගිය දිනවල ඇයගේ උපන් දිනයවත් යෙදී තිබුණේ නැහැ. ප්‍රිසිලාගේ උපන් දිනය යෙදී ඇත්තේ පෙබරවාරි මාසයේ යි. එමෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබෙන්නේත් මැයි 19 වැනි දිනටයි. (මේ දෙදෙනා විවාහ වූයේ 2012 වසරේ යි.) මෙම තත්ත්වය තුළ මාක් මෙවැනි වටිනා තෑග්ගක් තම බිරිඳට පිරිනැමුවේ මන්ද යන්න ගැනත් විශාල කුතුහලයක් මතුව තිබෙනු දැකිය හැකි වුණා.

ඔවුන් දෙදෙනාගේ යුග දිවියට මේ වන විට වසර 12ක් ගත වී තිබෙනවා. ප්‍රිසිලා චීන වියට්නාම සම්භවයක් සහිත කෙනෙක්. ඇයගේ මවුපියන් කලකට පෙර වියට්නාමයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූවන්. ඔවුන් ඇමරිකාවට පැමිණ තිබුණේ බෝට්ටුවල නැඟී බවත් පැවසෙනවා. කෙසේ නමුත් ප්‍රිසිලා උපත ලබා තිබුණේත්, හැදී වැඩී තිබුණේත් ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ යි. ඇය බෞද්ධ කාන්තාවක බව වරක් මාක් සිය ෆේස්බුක් පෝස්ටුවක සඳහන් කර තිබුණා.

ඔවුන් දෙදෙනා මුල් වරට හමු වී තිබුණේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි කාලයේයි. ඒ කාලයේ පැවැති සාදයක දී ඔවුන් පළමු වතාවට එකිනෙකා හඳුනාගෙන තිබුණේ. මාක් සහ ප්‍රිසිලා අතර ආදර සම්බන්ධය ආරම්භ වී තිබුණේ 2003 වසරේ යි.

ජීව විද්‍යා උපාධියක් සමඟ 2007 වසරේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පිට වූ ප්‍රිසිලා ඉන්පසු වසරක පමණ කාලයක් පෞද්ගලික පාසලක විද්‍යා ගුරුවරියක ලෙසත් කටයුතු කර තිබුණා. එයින් පසු ඇය කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහි වෛද්‍ය උපාධිය ලබා පිටවීමෙන් පසු ළමුන් සම්බන්ධ වෛද්‍යවරියක ලෙස කලක් කටයුතු කළා. ඇය සේවය කළේ සැන් ෆ්‍රැන්සිස්කෝ රජයේ රෝහලේ යි. ප්‍රිසිලාගේ පවුලේ සාමාජිකයන් අතරින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ පළමුවැන්නා ඇය බවයි සඳහන් වන්නේ.

2017 වසරේ ඇය වෛද්‍ය වෘත්තියට සමුදුන්නා. ප්‍රිසිලා මෙලෙස එම වෘත්තියෙන් ඉවත් වූයේ සමාජ සේවා කටයුතුවල නිරත වීමට වුවමනා වූ නිසා බවයි පැවසෙන්නේ. මාක් සහ ප්‍රිසිලා එක්ව සමාජ සේවා ආයතන කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. මේවා සෞඛ්‍ය, අධ්‍යාපන, විද්‍යාත්මක පර්යේෂණ වැනි ක්‍ෂේත්‍රවලට සම්බන්ධ ආයතන.

මේ වෙද්දී මාක් සහ ප්‍රිසිලා දරුවන් තිදෙනෙකු ගේ මවුපියන්. ඒ තිදෙනාම දියණියන් වීමත් විශේෂත්වයක්. පළමු දියණිය මැක්සිමා චෑන් සකර්බර්ග් උපන්නේ 2015 වසරේ යි. දෙවැනි දියණිය ඕගස්ට් 2017 වසරේ උපත ලැබූ අතර, බාලම දියණිය ඔරේලියා උපන්නේ 2023 වසරේ යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division